ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 151 පි.-157 පි. 2 ¶
  • දෙවියන්ගේ නම ගැන කිව්වේ ආඩම්බරෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ නම ගැන කිව්වේ ආඩම්බරෙන්
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම
  • හිතට වදින භාෂාව
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 151 පි.-157 පි. 2 ¶
ඉන්දුනීසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහජනයා ගැවසෙන තැනක පුවරුවක් තියාගෙන සාක්ෂි දරනවා

ඉන්දුනීසියාව

දෙවියන්ගේ නම ගැන කිව්වේ ආඩම්බරෙන්

තහනම තිබුණු කාලය පුරා සහෝදරයන් වැඩ කළේ ‘සර්පයන් මෙන් සුපරීක්ෂාකාරී වන්න. පරෙවියන් මෙන් අහිංසක වන්න’ කියලා යේසුස් දුන්න උපදෙසට අනුවයි. (මතෙ. 10:16) ඒත් තහනම අයින් කළාට පස්සේ “නිර්භීතව” දේශනා කරන්න ගොඩක් අයට ඉගෙනගන්න සිද්ධ වුණා.—ක්‍රියා 4:31.

මොකද සමහර අය ගෙයින් ගෙට සේවේ යනවාට වඩා ආස වුණේ නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන්න. තවත් අය මුස්ලිම් අයට දේශනා කරන්න අදිමදි කළා. ගොඩක් අය තමන්ව හඳුන්වලා දුන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා නෙමෙයි. ක්‍රිස්තියානීන් කියලයි. තවත් අය ඉන්දුනීසියානු ‘නව ලොව පරිවර්තනය’ වෙනුවට පාවිච්චි කළේ වෙනත් බයිබල් පරිවර්තන.a අපේ පොත් පත් බෙදා දෙන්නත් සමහර අය මැළි වුණා.

සහෝදරයන් මේ විදිහට වැඩ කරන්න හේතු 2ක් බලපෑවා. එක හේතුවක් තමයි තහනම තිබුණ කාලයේදී සේවය කරපු විදිහ වෙනස් කරන්න ඔවුන් අකමැති වුණ එක. අනිත් එක ඔවුන්ගේ සංස්කෘතිය. මොකද ඉන්දුනීසියානු ජාතිකයන් සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගේ මතයකට විරුද්ධ දෙයක් කියන්න කැමති නැහැ. ඒ වගේම විවෘතව කතා කරනවා වෙනුවට ඔවුන් කතා කරන දේ ගැන ඕනෑවට වඩා පරෙස්සම් වෙනවා. සහෝදරයන් මේ තත්වෙන් ගොඩ ආවේ කොහොමද?

යෙහෝවා දෙවි අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන් මගින් ඔවුන්ට මඟ පෙන්වීම් දුන්නා. (එෆී. 4:11, 12) උදාහරණයකට 2010දී පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ස්ටීවන් ලෙට් ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරලා දෙවිගේ නම ගැන සාක්ෂි දරන්න දිරිගැන්නුවා. ඒ ගැන මීෂා බීරෙන්ස් කිව්වේ මෙහෙමයි. “සහෝදර ලෙට් කියපු දේවල් ප්‍රචාරකයන්ගේ හිත්වලට තදින්ම කාවැදුණා. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වලා දෙන්න ඕන ඇයි කියලත් දෙවිගේ වචනය පාවිච්චි කරන්න ඕන ඇයි කියලත් එයාලා තේරුම්ගත්තා.”

ඉන්දුනීසියාවේ මුස්ලිම් අය හිතුවේ සාක්ෂිකරුවන් කියන්නෙත් ක්‍රිස්තියානි පල්ලිවල අය වගේම කට්ටියක් කියලයි. ඒ නිසා ‘අපගේ රාජ්‍ය සේවාවකින්’ මේ වගේ මඟ පෙන්වීමක් දුන්නා. “දේශනා කරන්න පටන්ගද්දිම අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කියන්න. අපි නියෝජනය කරන්නේ යෙහෝවා දෙවිව. ඒ නිසා දෙවිගේ නමයි ඔහු කරන්න යන දේවලුයි අපි අනිත් අයට කියන්න ඕනේ.” ශාඛා කාර්යාලයේ සේවය කරන සහෝදර ශින්සුකි කාවාමොටෝ ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඒ විදිහට අපිව හඳුන්වලා දුන්නාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි සාක්ෂිකරුවන් කියලා කිව්වාම අපෙයි අනිත් ක්‍රිස්තියානි අයගෙයි වෙනස මුස්ලිම් අයට දැනගන්න ඕන වෙනවා. ඒ නිසා එයාලාට සාක්ෂි දරන්න හරි ලේසියි.”

‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා වැඩියෙන් බෙදා දෙන්න කියලත් ප්‍රචාරකයන්ට උනන්දු කළා. ඒ ගැන ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක ලෝටා මීහාංක් කිව්වේ මෙහෙමයි. “අනිත් අය අපි ගැන දැනගන්න නම් එයාලා අපේ සඟරා කියවන්න ඕනේ. අපේ පණිවිඩය අහන්න එයාලාගේ හිත් පොලඹවන්න සඟරාවලට පුළුවන්. අස්සක් මුල්ලක් නෑර සඟරා බෙදා දෙනකොට යෙහෝවා දෙවි ගැන දැනගන්න හුඟක් අයට අවස්ථාව ලැබෙනවා.”

මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම

සේවය සඳහා පාලක මණ්ඩලයෙන් හඳුන්වලා දුන්න අලුත් ක්‍රම දෙකක් 2013දී ඉන්දුනීසියාවේත් ක්‍රියාත්මක කළා. ඒ තමයි ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීම සහ සභා මට්ටමෙන් සැලසුම් කරන මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම. මේ අලුත් ක්‍රම නිසා ඉන්දුනීසියාවේ ඉන්න හුඟක් අයට දෙවි ගැන දැනගන්න පුළුවන් වෙලා තියෙනවා.

ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීම මුලින්ම කළේ ජකාර්තාවල තියෙන ලොකු වෙළඳ සංකීර්ණයක. සභාවල අයත් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන පුවරු සහ මේස තියාගෙන ඔවුන්ට අයිති ප්‍රදේශවල සේවය කරන්න පටන්ගත්තා. අවුරුද්දක් ඇතුළත පුවරු සහ මේස 400කට වඩා ඉන්දුනීසියාව පුරාම දකින්න ලැබුණා.

ලැබුණ ප්‍රතිඵල ගැන ජකාර්තාවල වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “මේ සේවය පටන්ගන්න කලින් මාසෙකට අපි ඉල්ලුම් කළේ මාසික සඟරා 1,200යි. ඒත් ඒක පටන් අරන් මාස 6කට පස්සේ මාසික සඟරා 6,000ක් ඉල්ලුම් කරන්න වුණා. දැන් අපි මාසික සඟරා 8,000ක් ගෙන්නනවා. පොත් සහ සඟරාත් ගොඩක් යනවා.” මෙඩන්වල පුරෝගාමීන් කිහිපදෙනෙක් තැන් 3ක පුවරු තියාගෙන මේ සේවය පටන්ගත්තා. මුල් මාසයේදී ඔවුන් පොත් 115ක් සහ මාසික සඟරා 1,800ක් විතර බෙදා දුන්නා. ඊට මාස දෙකකට පස්සේ පුරෝගාමීන් 60දෙනෙක් තැන් 7ක මේ සේවය පටන්ගත්තා. පොත් 1,200කට වැඩි ගණනක් සහ මාසික සඟරා 12,400ක් ඔවුන් බෙදා දුන්නා. මිෂනාරි සේවය කරන ජෙසී ක්ලාක් මෙහෙම කියනවා. “මේ සේවය නිසා සහෝදරයන්ගේ උද්‍යෝගය තවත් වැඩි වෙලා. සත්‍යය දැනගන්න ආස අය තව කොච්චර ඉන්නවාද කියලත් ඒකෙන් ඔප්පු වෙනවා. මේ වැඩේ නම් නැවතෙයි කියලා හිතන්න බැහැ.”

හිතට වදින භාෂාව

ඉන්දුනීසියාව හා ඒ අවට රටවල්වල ඉන්න මිනිස්සු විවිධ භාෂා කතා කරනවා.b මේ රටේ ප්‍රධාන භාෂාව ඉන්දුනීසියානු භාෂාව වුණත් හුඟදෙනෙක් කතා කරන්නේ ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයට ආවේණික භාෂා. ඒ භාෂා තමයි ඔවුන්ගේ හදවතට සමීප.

සුමාත්‍රාවේ බාටාක්-ටොබා පරිවර්තන කණ්ඩායම

සුමාත්‍රාවේ බාටාක්-ටොබා පරිවර්තන කණ්ඩායම

මේ නිසා 2012දී ශාඛා කාර්යාලය ප්‍රාදේශීය භාෂාවලටත් අපේ පොත් පත් පරිවර්තනය කරන්න සැලසුම් කළා. ඒ ගැන ටොම් වැන් ලීම්පූටන් කිව්වේ මෙහෙමයි. “අපි මුලින්ම ප්‍රාදේශීය භාෂා 12කට අපේ ප්‍රකාශන පරිවර්තනය කරන්න පටන්ගත්තා. මිලියන 120කට වඩා වැඩිදෙනෙක් ඒ භාෂා කතා කරනවා. ජාවානු භාෂාවෙන් පරිවර්තනය කරපු පත්‍රිකාවේ මුල් පිටපත ජාවානු පරිවර්තකයන් දැක්කම එයාලාගේ ඇස්වලට කඳුලු ආවා. මොකද දැන් එයාලට එයාලගෙම භාෂාවෙන් පොත් පත් තියෙනවා.”

සමහර ප්‍රදේශවල අය ඔවුන්ගේ ප්‍රදේශයට ආවේණික භාෂා කතා කළත් සභාවල රැස්වීම් තිබ්බේ ඉන්දුනීසියානු භාෂාවෙන්. දවසක් සිද්ධ වුණ දෙයක් ගැන සහෝදර ලෝටා මීහාංක් මෙහෙම කිව්වා. “2013දී මමයි මගේ නෝනා කාමනුයි නියාස්වල තිබුණ දෙදින සමුළුවකට ගියා. ඒකට ඇවිල්ලා හිටිය 400න් වැඩිදෙනෙක් කතා කළේ නියාස් භාෂාව. ඒත් සමුළුව තිබ්බේ ඉන්දුනීසියානු භාෂාවෙන්. නියාස් භාෂාවෙන් දේශන දෙන්න පුළුවන්ද කියලා කථිකයන් එක්ක කතා කරගත්තට පස්සේ අපි සමුළුවට ආව අයට කිව්වා හෙට සමුළුව තියෙන්නේ නියාස් භාෂාවෙන් කියලා. එදා සමුළුවට 600කට වඩා ආවා.” සහෝදරි කාමන් මෙහෙම කියනවා. “ඉන්දුනීසියානු භාෂාවෙන් දේශන දුන්නු දවසට වඩා එදා එයාලා සමුළුවට හොඳ අවධානයක් දුන්නා. මොකද බයිබලයේ තියෙන දේවල් තමන්ගේම භාෂාවෙන් අහන්න ලැබුණු නිසා එයාලාට හොඳට තේරුණා. එයාලා ඒ ගැන ගොඩක් සතුටු වුණා.”

බිහිරි කෙනෙක්ට ශුභාරංචිය දේශනා කරමින්

බිහිරි කෙනෙක්ට ශුභාරංචිය දේශනා කරමින්

මේ වෙනකොට ඉන්දුනීසියාවේ බිහිරි අය මිලියන 3ක් විතර ඉන්නවා. ඔවුන්ටත් දැන් ඔවුන්ගේම භාෂාවෙන් සත්‍යය ඉගෙනගන්න පුළුවන්. ඉන්දුනීසියානු සංඥා භාෂා පරිවර්තන කණ්ඩායම 2010 ඉඳන් මේ දක්වා සඟරා 7ක් සහ පත්‍රිකා 8ක් මුදාහැරලා තියෙනවා. ශාඛා කාර්යාලයෙන් සංඥා භාෂාව උගන්වන පන්ති 24ක් පවත්වලා තියන නිසා සහෝදර සහෝදරියන් 750කට වැඩිදෙනෙක් ඒකෙන් පුහුණු වෙලා තියෙනවා. දැන් රට පුරා තියෙන සංඥා භාෂාව කතා කරන සභා සහ කණ්ඩායම් ගණන 23යි.

මේ රටේ පරිවර්තන අංශයේ පරිවර්තන කණ්ඩායම් 37ක් තියෙනවා. ස්ථාන 19ක 117දෙනෙක් පරිවර්තකයන් විදිහට වැඩ කරන අතර තවත් 50දෙනෙක් ඔවුන්ට උදව් කරනවා.

a ඉන්දුනීසියානු ‘නව ලොව පරිවර්තනය’ මුදාහැරියේ 1999දියි. තහනම යටතේ අවුරුදු 7ක් ඒක පරිවර්තනය කරන්න සහෝදරයන් මහන්සි වුණා. අවුරුදු කිහිපයකට පස්සේ ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ වෙළුම් දෙක සහ CDවල තියෙන ‘මුරටැඹ පුස්තකාලය’ ඉන්දුනීසියානු භාෂාවෙන් මුදාහැරියා.

b ඉන්දුනීසියාවේ භාෂා 707ක් තියෙනවා. ඔවුන්ගේ අසල්වැසි රටක් වන පැපුවා නිව් ගිනියාවේ භාෂා 838ක් තියෙනවා.

පරිවර්තන කටයුතුවල දියුණුව

  • ඉන්දුනීසියානු භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාවයි

  • ඉන්දුනීසියාවේ භාෂා 707ක් විතර තියෙනවා

පරිවර්තන අංශය:

  • පරිවර්තන කණ්ඩායම් 37: පරිවර්තකයන් 117යි

  • භාෂා 24කට පරිවර්තනය කරනවා

  • ස්ථාන 19ක සේවය කරනවා

සංඥා භාෂාව:

  • 2010 ඉඳන් පරිවර්තන කණ්ඩායම් 2ක් සඟරා 7ක් සහ පත්‍රිකා 8ක් පරිවර්තනය කළා

  • සංඥා භාෂා පන්ති 24ක් පවත්වලා 750කට වඩා වැඩිදෙනෙක්ව පුහුණු කරලා තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න