ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූනි 26-30 පි.
  • අවුරුදු 70ක් විතර කියුබාවේ කරපු සේවේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවුරුදු 70ක් විතර කියුබාවේ කරපු සේවේ
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අමාරු කාලේ පටන්ගත්තා
  • වෙනස්ම පැවරුම් දෙකක්
  • තහනමක් මැද චාරිකා සේවේ
  • වෙනස්කම් මැද සතුටින්
  • “මගේ සිහිනය සැබෑ වුණා”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා මගේ යාච්ඤාවලට කන් දුන්නා
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔබේ ප්‍රේමනීය-කරුණාව ජීවිතයට වඩා යහපත්”
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කියුබාවේ ‘ක්‍රියාකාරකම්වලට මඟ පෙන්වන විශාල දොරක් විවෘත වී තිබේ’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූනි 26-30 පි.
ගුස්ටාවෝ සහ එමිලියා ජෝසෆ්.

ජීවිත කතාව

අවුරුදු 70ක් විතර කියුබාවේ කරපු සේවේ

ගුස්ටාවෝ ජෝසෆ්

මං ඉපදුණේ 1947 කැරිබියන් දූපතක් වන කියුබාවේ. මේ ලස්සන දූපත තියෙන්නේ කැරිබියන් මුහුදයි, අත්ලාන්තික් සාගරයයි යා වෙන තැන. අපේ පවුලේ පස්දෙනායි. මායි, නංගිලා දෙන්නායි, අම්මායි, තාත්තායි. අපි ජීවත් වුණේ එස්මෙරල්ඩා කියන ගමේ.

අපේ පුංචි ගමේ අපි කිසි ප්‍රශ්නයක් නැතුව නිදහසේ හිටියා. අපේ නෑදෑයෝ හුඟදෙනෙක් හිටියතේ අපේ ගෙවල් ළඟමයි. අපිට කන්න, බොන්න ඇති තරම් දේවල් තිබුණා. ඉතිං අපි හරි සතුටින් කල් ගෙව්වා.

අපේ අම්මායි, තාත්තායි වෝල්ටන් ජෝන්ස් කියන සහෝදරයා එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගද්දී මට අවුරුදු පහක් විතර ඇති. එයා හරිම උද්‍යෝගයෙන් සේවේ කරපු සහෝදරයෙක්. අපේ ගමට එන්න එයා පැය දහයක් විතර ඇවිද්දා. එයා ආපු හැම සැරේකම අපේ පවුලේ කට්ටිය සීයලාගේ ගෙදර එකතු වෙලා පැය ගණන් බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කළා. අපේ අම්මායි, තාත්තායි, පේඩ්රෝ බාප්පායි, එලා නැන්දායි එයාලා ඉගෙනගත්ත දේවලට ආස වුණා. එයාලා ඉක්මනටම බව්තීස්ම වුණා. එලා නැන්දාට දැන් අවුරුදු 100කටත් කිට්ටුයි. ඒත් එයා තාම කියුබාවේ පුරෝගාමියෙක් විදිහට සේවේ කරනවා.

ඒ කාලේ කියුබාවේ සාක්ෂිකරුවන්ට නමස්කාරයේ වැඩ නිදහසේ කරගෙන යන්න පුළුවන්කම තිබුණා. හැමෝම අපිව දන්නේ වටින බයිබල් පොත් පත් බෑග්වල දාගෙන ගෙයින් ගෙට යන අය විදිහට. සේවේ කරද්දී අපි සෑහෙන්න ඇවිද්දා. “හොඳ වාතාවරණයක්” තිබුණ ඒ කාලේ කරපු සේවේ ගැන මට හරිම ලස්සන මතකයන් තියෙනවා. ඒත් ඉස්සරහට අමාරු කාලයක් එන්න තිබුණා.—2 තිමෝ. 4:2.

අමාරු කාලේ පටන්ගත්තා

මට අවුරුදු පහේදී විතර තාත්තායි, බාප්පායි අපේ දූපතේ වෙන පැත්තක තිබුණ සමුළුවකට ගියා. ඒ ගමනේදී එයාලා බීපු අපිරිසිදු වතුර නිසා ඒ දෙන්නාටම උණසන්නිපාතය හැදුණා. මට මතකයි එයාලා ආයෙත් ගෙදර ආවට පස්සේ ඒ අසනීපේ නිසා බාප්පාගේ කොණ්ඩේ ගියා. ඒත් එයාගේ ජීවිතේට අනතුරක් වුණේ නෑ. හැබැයි තාත්තා නැති වුණා. එතකොට එයාට අවුරුදු 32යි.

තාත්තා නැති වුණාට පස්සේ අම්මා තීරණේ කළා මාවයි, නංගිලවයි එක්කගෙන ලම්බියෝ කියන ගමේ හිටපු අම්මාගේ අයියා ගාවට යන්න. ඉතිං අපි ගොඩක් ආදරේ කරපු අපේ ආච්චිවයි, සීයාවයි, අනිත් නෑදෑයන්වයි දාලා යන්න අපිට සිද්ධ වුණා. ඒ කොහොමවුණත් අපි හතරදෙනා දිගටම නමස්කාරයේ දේවල් කරගෙන ගියා.

1957 අගෝස්තු 26වෙනිදා ලම්බියෝවල තිබුණ වැවක මං බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු දහයයි. ඒක වෙලා අවුරුදු දෙකක් යන්නත් කලින් කියුබාවේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ ලොකු පෙරළියක් වුණා. 1959දී ආණ්ඩුව පෙරළිලා කොමියුනිස්ට් පාලනයක් බලයට ආවා.

අලුත් ආණ්ඩුවට ඕන වුණේ හමුදාවට තව අයව බඳවගෙන එයාලාගේ හමුදා බලය වැඩි කරගන්න. සාක්ෂිකරුවෝ දේශපාලනයේදී, යුද්ධවලදී පැති ගන්නේ නැති නිසා ආණ්ඩුව ගත්ත ඒ තීරණේ අපිට බලපෑවා. ඉතිං නමස්කාරයේ වැඩ කරගෙන යන්න අපිට තිබුණ නිදහස ටිකෙන් ටික නැති වෙලා ගියා. අන්තිමේදී එයාලා අපේ වැඩ තහනම් කරලා විශ්වාසවන්ත සහෝදරයන් සිය ගාණක් හිරේ දැම්මා. ඒ සමහර අයට නිතරම ගැහුවා. හරියට කන්න දුන්නෙත් නෑ. සමහර වෙලාවලට දුන්නේ ලේ දාලා හදපු කෑම. ඒත් බයිබලේ කියලා තියෙන විදිහට අපිට ඒ වගේ කෑම කන්න බෑ.

මොන අභියෝග ආවත් යෙහෝවාට නමස්කාර කරන්න අපි දිගටම එකට එකතු වුණා. (හෙබ්‍රෙ. 10:25) කොච්චරද කියනවා නම් රට පුරා තිබුණ ගොවිපොළවල්වල සහ තව තැන්වල අපි සමුළුත් පැවැත්වුවා. මට මතකයි සැරයක් සහෝදරයෙක් එයාගේ බැටළුවෝ හිටපු මඩුව අපිට දුන්නා සමුළුවක් තියන්න. සමුළුවට කලින් බැටළුවන්ව ඒකෙන් අයින් කරලා ඒක ටිකක් සුද්ද පවිත්‍ර කරන්නවත් අපිට බැරි වුණා. ඉතිං අපි බැටළුවොත් එක්කම සමුළුව තිබ්බා.—මීකා 2:12.

අපේ විශ්වාසේ ශක්තිමත්ව තියාගන්න ඕන කරන පෝෂණය අපිට දෙන්න මහන්සි වුණ සහෝදරයන්ව අපි ගොඩක් අගය කළා. ඒ කාලේ සමුළු වැඩසටහන් කලින්ම කැසට් පටිවල රෙකෝඩ් කරලා ඒවා රට පුරාම හිටපු සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා. සමහර වෙලාවට සමුළුවේ සේරම කොටස් ලෑස්ති වෙලා, ඉදිරිපත් කරලා, රෙකෝඩ් කරන්න භාර දීලා තිබුණේ සහෝදරයෝ දෙන්නෙක්ට විතරයි. එයාලා ඒවා රෙකෝඩ් කළේ රහසිගත තැන්වල හින්දා සමුළු අහන කොට ඒවායේ අමුතු අමුතු සද්දත් තිබුණා. සමහර ඒවාවල කුකුල්ලු කෑගහන සද්දත් ඇහුණා. සමුළුව තියෙන තැන කරන්ට් එක නැති වෙලාවල සහෝදරයෙක් ඩයිනමෝවක් හයි කරපු බයිසිකලයක් පැදලා තමයි කරන්ට් එක ගත්තේ. ඒ නිසා සමුළුව රෙකෝඩ් කරලා තිබුණ කැසට් පටිවලට ඇහුම්කන් දෙන්න අපිට පුළුවන් වුණා. අනිත් රටවල අයට තිබුණ නිදහස, එයාලට තිබුණ තරම් පොත් පත් ඒ කාලේ අපිට තිබුණේ නෑ. ඒත් යෙහෝවාට ළං වෙන්න ඕන කරන දේවලින් අපිට කිසිම අඩුවක් තිබුණේ නෑ. ඉතිං ඒ කාලෙත් අපි ඔහුට සේවේ කළේ හරිම සතුටින්.—නෙහෙ. 8:10.

වෙනස්ම පැවරුම් දෙකක්

මට 18ක් වෙද්දීම මං ෆ්ලොරිඩා කියන පැත්තේ ස්ථාවර පුරෝගාමි කරන්න පටන්ගත්තා. ඊට අවුරුද්දකට විතර පස්සේ මාව විශේෂ පුරෝගාමියෙක් විදිහට කාමාග්වේ කියන නගරෙට යැව්වා. ඒක තමයි ඒ පැත්තේ ප්‍රධාන නගරේ. එහෙදී තමයි මට එමිලියාව හම්බ වුණේ. එයා සන්තියාගො ඩි කියුබාවේ හිටපු ලස්සන සහෝදරියක්. අපි යාළු වෙලා අවුරුද්දකින් විතර බැන්දා.

පින්තූරවල අදහස: 1. ගුස්ටාවෝ සහ එයාගේ පාසැලේ සහෝදරයෝ ෆොටෝ එකකට ඉන්නවා. 2. ගුස්ටාවෝ සහ එමිලියා විවාහ වුණ දවසේ ගත්ත ෆොටෝ එකක්.

(වම) 1966දී කියුබාවේ කාමාග්වේවල තිබුණ පත් කළ සහෝදරයන් සඳහා පාසැල (වැඩිමහල්ලෝ)

(දකුණ) 1967 අපි බැඳපු දවස

ආණ්ඩුවට අයිති සීනි කම්හල් හුඟක් තිබුණා. මාත් ඒවායින් එකක වැඩ කරන්න පටන්ගත්තා. එමිලියාටයි, මටයි දිගටම පුරෝගාමි කරන්න බැරි වුණත් අපිට ඕන වුණේ පුළුවන් උපරිමයෙන් සේවේ හවුල් වෙන්න. මං පාන්දර තුනේ ඉඳන් උදේ 11 වෙන කල් වැඩ කරන්න තියෙන ෂිෆ්ට් එක තෝරගත්තා. මං පාන්දර නැඟිටින්න නං ආස නෑ. ඒත් ඒ ෂිෆ්ට් එක තෝරගත්ත නිසා මට වරද්දන්නේ නැතුව සේවේ යන්නයි, එමිලියා එක්ක හැම රැස්වීමකටම යන්නයි පුළුවන් වුණා.

1969දී අපේ ලොකු පුතා ගුස්ටාවෝ ඉපදුණා. ඒ කාලේදීම වගේ සහෝදරයෝ මගෙන් ඇහුවා චාරිකා සේවේ යන්න පුළුවන්ද කියලා. ඒ දවස්වල පවුලක් බලාගන්න ගමන් චාරිකා සේවේ කරන එක කියුබාවේ සාමාන්‍ය දෙයක්. ඔන්න ඔය විදිහට අපේ ජීවිත පොතේ සතුටින් පිරුණු, කාර්යබහුලම පරිච්ඡේද ටික පටන්ගත්තා. සහෝදර සහෝදරියන් වෙනුවෙන් සේවේ කරන්න ලැබුණ ඒ අවස්ථාව මායි, එමිලියායි සැලකුවේ ගොඩක් වටින දෙයක් විදිහට. ඔහොම චාරිකා සේවේ කරගෙන යද්දී අපේ දෙවෙනි පුතා ඕබෙද්, තුන්වෙනි පුතා ඇබ්නර් ඉපදුණා. ඊට අවුරුදු කීපයකට පස්සේ අපේ දුව මහේලි ඉපදුණා.

අපි චාරිකා සේවේ ගිය කාලේ දිහා ආපහු හැරිලා බලද්දී කියුබාවේ හිටපු යෙහෝවාගේ සෙනඟට ඔහු ආශීර්වාද කරපු විදිහ දකිනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්. දෙමාපියන් විදිහට අපේ දරුවන්ගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න අපි ගත්ත මහන්සියටත් ඔහු ආශීර්වාද කළා. අපි චාරිකා ගිය කාලේ මගෙයි, එමිලියාගෙයි ජීවිතේ මොන වගේද කියලා මං ඔයාලට කියන්නම්කෝ.

තහනමක් මැද චාරිකා සේවේ

අපේ වැඩ තහනම් කළාට පස්සේ නමස්කාරයේ දේවල් කරන එක තව තව අමාරු වුණා. නමස්කාර මධ්‍යස්ථාන වහලා දැම්මා. මිෂනාරිවරුන්ව රටින් පිටමන් කළා. හුඟක් තරුණ සහෝදරයන්ව අත්අඩංගුවට අරන් හිරේ දැම්මා. හවානාවල තිබුණ අපේ ශාඛා කාර්යාලයත් වහලා දැම්මා.

ගුස්ටාවෝ සහ එමිලියා ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන “පිබිදෙව්!” සඟරා අතේ තියාගෙන ඉන්නවා.

1990 ගණන්වල චාරිකා සේවේ යද්දී

තහනම නිසා අපිට සභාවන් බලන්න යන්න පුළුවන් වුණේ සති අන්තවල විතරයි. ඉතිං සති අන්ත දෙකකම අපි ගියේ එකම සභාවට. ඒ යනකොට අපි ගොඩක් බඩු ගෙනියන්නේ නෑ. හුඟක් වෙලාවට අපි යන්නේ බයිසිකල් එකක. එතකොට අපිව අනිත් අයගේ අවධානයට අහු වෙන්නේ නෑනේ. අපි චාරිකා යනවා කියලා සභාවේ නිවේදනය කළෙත් නෑ. අපි පෙන්නුවේ නෑදෑයන් බලන්න යනවා වගේ. ඇත්තටම ඒක කරන එක එච්චර අමාරු වුණේ නං නෑ. මොකද සමහර වෙලාවට අපිටත් අමතක වුණා අපි මේ යන්නේ චාරිකා සේවේ කියලා. අපිට දැනුණේ අපි අපේම පවුලේ අය එක්ක ඉන්නවා වගේ. (මාක් 10:29, 30) ඒත් අපිට පරෙස්සම් වෙන්නත් වුණා. පොලිසිය නිතරම අපේ පස්සෙන් ආවා. අපෙන් ප්‍රශ්නත් කළා. අපිව අහු වුණා නං අපිට නවාතැන් දුන්න සහෝදරයන්වත් අත්අඩංගුවට ගන්න ඉඩ තිබුණා.—රෝම 16:4.

ඒ කාලේ පුරාම අපිට ගොඩක් වටින සහෝදර සහෝදරියන්ව හම්බ වුණා. එයාලට එච්චර දේවල් තිබුණේ නැතත් එයාලට පුළුවන් උපරිමයෙන් දේවල් කරලා අපිව ආදරෙන් බලාගත්තා. සමහර පැතිවල මිනිස්සුන්ට වඩා මදුරුවෝ හිටියා. ඒත් අපිට කරදරයක් නැතුව නිදාගන්න ඕන හින්දා සහෝදරයෝ එයාලා ළඟ තිබ්බ එකම මදුරු දැලත් අපිට දුන්නා. සමහර අය ළඟ එච්චර කෑම තිබුණේ නැතත් එයාලා අපිව එයාලාගේ ගෙදර නවත්තගත්තා. අපි ගෙදරින් කෑම ගෙනියලා එයාලත් එක්ක බෙදාගත්ත දවසුත් තිබුණා.

ඔහොම සභාවලට යනකොට අපිට ළමයි ඔක්කොම එක්කන් යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අපි අරන් ගියේ එක් කෙනෙක්ව විතරයි. අනිත් ළමයින්ව අම්මායි, නංගියි ළඟ තියලා ගියා. අපි යනකොට පොඩි එක් කෙනෙක්ව එක්කන් ගිය එකෙන් හොඳකුත් වුණා. සමහර වෙලාවට පොලිසිය අපිව නවත්තලා සෝදිසි කළා. ඒත් අපේ පොත් පත් අපි හංගලා තිබුණේ පාවිච්චි කරලා අයින් කරපු පැම්පස් තිබුණ බෑග් එකේ. පොලිසිය කීයටවත් ඒ බෑග් එක නං ඇරලා බැලුවේ නෑ.

පූර්ණකාලීන සේවේ කරපු අවුරුදු ගාණ පුරාම ළමයින්වත් බලාගෙන එමිලියා මට දුන්න සහයෝගය මං ගොඩක් අගය කරනවා. චාරිකා සේවේ කරන ගමන් සීනි කම්හලේ රස්සාව දිගටම කරගෙන යන්න මට පුළුවන් වුණා. සමහර වෙලාවට මං සතියකට එක සැරයක් නැත්නම් දෙසැරයක් ෂිෆ්ට් දෙකක් එක දිගට වැඩ කළා. එතකොට මට සති අන්තයේ නිවාඩු ගන්න පුළුවන්. ඒත් පස්සේ එයාලා මාව මං වැඩ කරපු කණ්ඩායම බලාගන්න කෙනා විදිහට පත් කළා. ඒ නිසා මට සතියේ දවස් හතේම වැඩ කරන්න වුණා. මට ඒකට බෑ කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒත් මට තේරුණා මගේ කණ්ඩායමේ අයට සති අන්තයේ කරන්න ඇති තරම් වැඩ දුන්නොත් මං එතන හිටියේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ කියලා. මං දන්න තරමින් මගේ බොස්ලා අදටත් දන්නේ නෑ මං සති අන්තවල වැඩට ආවේ නෑ කියලා.

වෙනස්කම් මැද සතුටින්

1994 තිබුණ සමුළුවක ගුස්ටාවෝ දේශනයක් දෙනවා.

1994 තහනම අයින් කළාට පස්සේ තිබ්බ පළවෙනි සමුළුව

1994 එක දවසක කියුබාවේ පෙරමුණ ගත්ත සහෝදරයෝ චාරිකා සේවකයන් හැමෝම එකතු කරලා හවානාවල රැස්වීමක් තිබ්බා. එදා අපි ඔක්කොම 80දෙනෙක් හිටියා. අවුරුදු ගාණකට පස්සේ කට්ටියම එකට හම්බ වුණ එක ගැන අපිට දැනුණේ පුදුම සතුටක්. සංවිධානයේ වෙලා තියෙන සමහර වෙනස්කම් ගැන ඒ රැස්වීමේදී කතා කළා. ඊටපස්සේ අපි හැමෝම ගැස්සිලා යන විදිහේ නිවේදනයක් එයාලා දුන්නා. සහෝදරයෝ කිව්වා එයාලා ආණ්ඩුවේ බලධාරීන්ට අපේ නම් දෙන්න යනවා කියලා. ඒත් ඒ ඇයි?

එයාලා කිව්වා සාක්ෂිකරුවොයි, ආණ්ඩුවේ බලධාරීනුයි අතරේ තියෙන සම්බන්ධතාවය වැඩි කරන්න හිතාගෙන එයාලා කීප සැරයක්ම ඒ බලධාරීන්ව හම්බ වෙලා කතා කළා කියලා. ඒ බලධාරීන් චාරිකා සේවකයන්ගේ නම් ලැයිස්තුවක් දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතිං අපි හැමෝම කැමති වුණා අපේ නම් එයාලට දෙන්න. ඒකෙන් පස්සේ සහෝදරයෝ එයාලා එක්ක කරපු සාකච්ඡාවලින් සෑහෙන්න හොඳ ප්‍රතිඵල ලැබුණා.

ඒ වෙද්දී නීතියෙන් අපිව ආගමක් විදිහට පිළි අරන් තිබුණේ නැතත් කාලයක් යනකොට නිදහසේ රැස්වීම් තියන්න, සේවේ යන්න අපිට පුළුවන් වුණා. පස්සේ තමයි අපි දැනගත්තේ චාරිකා සේවකයෝ කීපදෙනෙක්ගේ නම් කලින් ඉඳන්ම බලධාරීන් ළඟ තිබිලා තියෙනවා කියලා. එයාලට ඕන වෙලා තියෙන්නේ එයාලා ගාව තිබ්බ නම් හරිද කියලා දැනගන්නයි.

1994 සැප්තැම්බර් මාසයේ ආයෙත් ශාඛා කාර්යාලයක් අරින්න අපිට අවසර ලැබුණා. අවුරුදු 20කට කලින් වහලා දාපු ගොඩනැඟිල්ලම ඒකට පාවිච්චි කරන්න අපිට පුළුවන් වුණා.

1996දී අපිට බෙතෙල් එකෙන් කෝල් එකක් ආවා. එයාලා අපෙන් ඇහුවා බෙතෙල් එකේ සේවේ කරන්න එන්න පුළුවන්ද කියලා. ඒක ඇහුවාම අපි ගල්ගැහුණා. ඊටපස්සේ මං එයාලට කිව්වා “අපේ දරුවෝ දෙන්නෙක් තාමත් අපිත් එක්ක ගෙදර ඉන්නවා. එයාලව බලාගන්න වගකීම මට තියෙනවා” කියලා. ඒ ගැන හිතුවාට පස්සෙත් සහෝදරයෝ කිව්වා අපි බෙතෙල් එකේ සේවේ කරන්න එනවාට එයාලා කැමතියි කියලා. ඉතිං අපි පැවරුම භාර අරන් පවුලේ හැමෝමත් එක්ක හවානාවල පදිංචියට යන්න සැලසුම් කළා.

පින්තූරවල අදහස: 1. එමිලියා සහ අනිත් සහෝදරියන් බෙතෙල් එකේ මැහුම් අංශයේ වැඩ කරනවා. 2. ගුස්ටාවෝ සමුළු ශාලාවේ දේශනයක් දෙනවා.

(වම) එමිලියා 2000 ගණන්වල මුල් කාලේ කියුබාවේ ශාඛා කාර්යාලයේ මැහුම් අංශයේ වැඩ කරන ගමන්

(දකුණ) 2012 සමුළු ශාලාව කැප කරපු අවස්ථාව

අවංකවම කිව්වොත් මුලදී නම් මං බෙතෙල් සේවෙන් එච්චර සතුටක් ලැබුවේ නෑ. අවුරුදු ගාණක් චාරිකා සේවේ ගිය නිසා මගේ හිත තිබුණෙම ඒ පැවරුමේ. ඔෆිස් එකක කොටු වෙලා ඉන්න එක මට ගොඩක් අමාරු වුණා. ඒත් බෙතෙල් පවුලේ අය, විශේෂයෙන්ම එමිලියා මං හිතන විදිහ හදාගන්න මට උදව් කළා. කාලෙත් එක්ක මගේ සතුට මට ආයෙත් ලැබුණා. දැන් මං බෙතෙල් එකේ සේවේ කරන්නේ හරිම සතුටින්.

පින්තූරවල අදහස: 1. විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වෙන යුවළයන්ට පැවරුම් දෙන අවස්ථාවේදී ගුස්ටාවෝ වේදිකාවේ ඉඳන් එයාලට කතා කරනවා. එයාලා ගුස්ටාවෝට පිටිපස්සෙන් වේදිකාවේ හිටගෙන ඉන්නවා. 2. ගුස්ටාවෝ තවත් ශාඛා කමිටු සාමාජිකයන් හතරදෙනෙක් එක්ක හිටගෙන ඉන්නවා.

(වම) 2013 තිබුණ විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලේ පැවරුම් දෙන අවස්ථාව

(දකුණ) 2013 කියුබාවේ ශාඛා කමිටු සාමාජිකයන් එක්ක

ගුස්ටාවෝ සහ එමිලියා එයාලාගේ දුවයි, බෑනායි එක්ක ඉඳගෙන ඉන්නවා.

චාරිකා සමුළුවකදී අපේ දුවයි, එයාගේ මහත්තයායි එක්ක

එමිලියායි, මායි දැන් වයසයි. ඒත් පහුගිය අවුරුදු ගාණ පුරා අපිට අඳුරගන්න ලැබුණ, එකට සේවේ කරන්න ලැබුණ සහෝදර සහෝදරියන් ගැන හිතද්දී අපිට දැනෙන්නේ පුදුම සතුටක්. විශේෂයෙන්ම අපේ දරුවෝ, අපේ දරුවන්ගේ දරුවෝ යෙහෝවාට සේවේ කරන විදිහ දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. අපිට දැනෙන්නෙත් මහලු වයසේ හිටපු යොහන්ට දැනුණ මේ දේමයි. “මගේ දරුවන් දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා අහන්න ලැබෙන එක තරම් සතුටක් තවත් මට නැහැ.”—3 යොහ. 4.

මායි, එමිලියායි බෙතෙල් එකට ඇවිල්ලා දැන් අවුරුදු 30කටත් කිට්ටුයි. මහලු වයස එක්කයි, පිළිකාවක් එක්කයි ඔට්ටු වෙන්න වුණත් අපි තාමත් අපේ උපරිමය යෙහෝවාට දෙනවා. යෙහෝවාට සේවේ කරපු අවුරුදු ගාණ පුරාම අපිට අභියෝග තිබුණා. ඒත් අවුරුදු 70කට කිට්ටු කාලයක් තිස්සේ මේ දූපතේ ඉඳන් අපේ “ප්‍රීතිමත් දෙවියන්ට” සේවේ කරන්න ලැබුණ එක ගැන අපිට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්!—1 තිමෝ. 1:11; ගීතා. 97:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න