පාඩම් ලිපිය 23
ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි
යෙහෝවාගේ නම ඔයාට කොච්චර වටිනවාද?
“යෙහෝවා මෙහෙම කියනවා. ‘මගේ සාක්ෂිකරුවන් ඔබයි.’” —යෙසා. 43:10.
ලිපියේ අරමුණ
යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්නත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළල අයින් කරන්නත් අපිට කරන්න පුළුවන් මොනවාද?
1-2. යෙහෝවාගේ නම යේසුස්ට ගොඩක් වටිනවා කියලා අපි දන්නේ කොහොමද?
යේසුස්ට යෙහෝවාගේ නම තරම් වටින දෙයක් තවත් නැහැ. යෙහෝවාගේ නම ගැන අනිත් අයට කියලා දීපු ප්‍රධානම කෙනාත් ඔහුයි. අපි කලින් ලිපියේ බැලුවා වගේ දෙවියන් ශුද්ධයි කියලා පෙන්නලා ඔහුගේ නමට ඇති වුණ කැළල අයින් කරන්න යේසුස් ඔහුගේ ජීවිතෙත් දුන්නා. (මාක් 14:36; හෙබ්‍රෙ. 10:7-9) දහස් අවුරුදු පාලනයෙන් පස්සේ යෙහෝවාගේ නම තව ගෞරවයට පත් කරන්න යේසුස් ඔහුට තියෙන හැම බලතලයක්ම යෙහෝවාට භාර දෙනවා. (1 කොරි. 15:26-28) යේසුස් කරපු කියපු හැම දේකින්ම පේනවා ඔහුගේ හිතේ යෙහෝවා ගැන, ඔහුගේ නම ගැන කොච්චර ආදරයක් තිබ්බාද කියලා.
2 යේසුස් මේ පොළොවට ආවේ ඔහුගේ තාත්තාගේ නම වෙනුවෙන් කතා කරන්න. (යොහ. 5:43; 12:13) ඔහු ඔහුගේ අනුගාමිකයන්ට තාත්තාගේ නම ගැන කියලා දුන්නා. (යොහ. 17:6, 26) ඔහු මිනිස්සුන්ට දෙවියන් කියලා දීපු දේවල් ඉගැන්නුවා. දෙවියන්ගේ නමින් ගොඩක් ආශ්චර්යයනුත් කළා. (යොහ. 10:25) ඒ වගේම යේසුස් යෙහෝවාගෙන් ඉල්ලුවා “ඔයාගේ නම වෙනුවෙන්” අනුගාමිකයන්ව ආරක්ෂා කරන්න කියලා. (යොහ. 17:11) යේසුස්ගේ හිතේ යෙහෝවා ගැන එච්චර ආදරයක් තිබුණා නම් ඔහුගේ සැබෑ අනුගාමිකයෙක් කියලා කියන කෙනෙක් දෙවියන්ගේ නම ගැන නොදැන ඉන්න පුළුවන්ද? ඒ නම පාවිච්චි නොකර ඉන්න පුළුවන්ද?
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 යේසුස්ගේ පියසටහන් කිට්ටුවෙන් අනුගමනය කරන අය විදිහට අපිටත් යේසුස්ගේ තාත්තාගේ නම ගොඩක් වටිනවා. (1 පේතෘ. 2:21) ඒ නිසා අපි මේ ලිපියෙන් බලනවා අද කාලේ “රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කරන අයව යෙහෝවා ඔහුගේ නමින් හඳුන්වන්නේ ඇයි කියලා. (මතෙ. 24:14) ඒ වගේම යෙහෝවාගේ නම අපි එක් එක් කෙනාට ගොඩක් වටින්නේ ඇයි කියලත් අපි බලනවා.
“නම දරන්න සෙනඟක්”
4. (අ) ස්වර්ගයට යන්න කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ මොකක්ද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්නෙට උත්තරේද?
4 ස්වර්ගයට යන්න කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) ඉතින් ශුභාරංචිය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වෙන්න යනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න. (මතෙ. 28:19, 20) හැබැයි යේසුස් කිව්වේ ඔයාලා “මං ගැන සාක්ෂි දරයි” කියලනේ. ඒ කියන්නේ අලුතෙන් යේසුස්ගේ ගෝලයන් වෙන අය යෙහෝවාගේ නම දැනගන්න ඕනෙ නැද්ද? එයාලා සාක්ෂි දරන්න ඕනෙ යේසුස් ගැන විතරද? ඒකට උත්තරේ ක්‍රියා 15වෙනි පරිච්ඡේදයෙන් අපිට හොයාගන්න පුළුවන්.
5. හැම කෙනෙක්ම යෙහෝවාගේ නම දැනගන්න ඕනෙ කියලා යෙරුසලමේ හිටපු නියෝජිතයන් සහ වැඩිමහල්ලන් පෙන්නුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
5 වෙනත් ජාතීන්ට අයිති අය ක්‍රිස්තියානීන් වෙද්දී චර්මච්ඡේදනය වෙන්න ඕනෙද කියලා සාකච්ඡා කරන්න ක්‍රි.ව. 49දී යෙරුසලමේ හිටපු නියෝජිතයන් සහ වැඩිමහල්ලන් එකට එකතු වුණා. ඒ සාකච්ඡාවේ අන්තිමට යේසුස්ගේ මල්ලි වුණ යාකොබ් මෙහෙම කිව්වා. “මුල්ම වතාවට වෙනත් ජාතීන්වල අයව දෙවියන් තෝරගත්ත විදිහ ගැන සිමියොන් අපිට හොඳින් පැහැදිලි කළා. දෙවියන් එහෙම කළේ එයාලා අතරිනුත් ඔහුගේ නම දරන්න සෙනඟක්ව තෝරගන්නයි.” යාකොබ් මෙතන කියන්නේ කාගේ නම ගැනද? එයා ආමොස්ගේ අනාවැකියක් උපුටලා අරන් මෙහෙම කිව්වා. ‘මම එහෙම කරන්නේ, ඉතුරු වෙලා ඉන්න අය මගේ නම දරන සියලු ජාතීන් එක්ක එකතු වෙලා යෙහෝවා වන මට ළං වෙන්න ලොකු වෑයමක් දරනවා දකින්න කැමති නිසයි. ඒ දේ කියන්නේ යෙහෝවා වන මමයි.’ (ක්‍රියා 15:14-18) ඒකෙන් පැහැදිලියි අලුතෙන් ක්‍රිස්තියානීන් වෙන අය යෙහෝවා ගැන ඉගෙනගන්න ඕනෙ වගේම එයාලා ඔහුගේ නම දරන්න ඕනෙ කියලා. ඒ කියන්නේ එයාලා දෙවියන්ගේ නම ගැන අනිත් අයට කියන්න ඕනෙ වගේම එයාලව හඳුන්වන්නෙත් ඒ නමින්.
මුල් සියවසේ පාලක මණ්ඩලයේ රැස්වීමක්. එදා ඒ විශ්වාසවන්ත පුරුෂයන් තේරුම්ගත්තා සැබෑ ක්‍රිස්තියානීන් දෙවියන්ගේ නම දරන්න ඕනෙ කියලා (5 ඡේදය බලන්න)
6-7. (අ) යේසුස් මේ පොළොවට ආවේ ඇයි? (ආ) යේසුස් මේ පොළොවට ආපු වැදගත්ම හේතුව මොකක්ද?
6 යේසුස් කියන නමේ තේරුම “යෙහෝවා දෙන ගැලවීම.” ඇත්තටම යේසුස් ගැනයි, යෙහෝවා ගැනයි විශ්වාසේ තියන අයව ගලවගන්න යෙහෝවා පාවිච්චි කළේ යේසුස්ව. යේසුස් මේ පොළොවට ආවේ මිනිස්සු වෙනුවෙන් ජීවිතේ දෙන්න. (මතෙ. 20:28) ජීවිත පූජාව නිසා මිනිස්සුන්ට ගැලවීම ලැබෙනවා. සදහටම ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.—යොහ. 3:16.
7 ඒත් ජීවිත පූජාවක් ඕන වුණේ ඇයි? ඒක ඒදන් උයනේදී වුණ දේට සම්බන්ධයි. අපි කලින් ලිපියේ බැලුවා වගේ ආදම් සහ ඒව යෙහෝවාට විරුද්ධව කැරලිගහපු නිසා එයාලට සදාකල් ජීවත් වෙන්න තිබුණ අවස්ථාව නැති වුණා. (උත්. 3:6, 24) හැබැයි යේසුස් පොළොවට ආවේ මිනිස්සුන්ව පාපයෙන් ගලවගන්නවාටත් වඩා වැදගත් දෙයක් කරන්න. ඒ වෙද්දී සාතන් යෙහෝවාගේ නමට මඩ ගහලා තිබ්බා. (උත්. 3:4, 5) ඒ නිසා මිනිස්සු දැනගන්න ඕනෙ යෙහෝවා කිසිම වැරැද්දක් කරලා නැහැ, ඔහුගේ නම ගොඩක් ශුද්ධයි කියලා. ඒක ඔප්පු කරන්න පුළුවන් හොඳම කෙනා යේසුස්. මොකද ඔහු යෙහෝවාව නියෝජනය කළා. යෙහෝවා ඔහුගෙන් බලාපොරොත්තු වුණ දේ 100%ක්ම ඉටු කළා.
යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් දෙවියන්ගේ නම නොදැන ඉන්න, ඒක පාවිච්චි නොකර ඉන්න පුළුවන්ද?
8. යේසුස්ගේ අනුගාමිකයන් හැමෝම තේරුම්ගන්න ඕනෙ මොකක්ද?
8 යේසුස් ගැන විශ්වාසේ තියන යුදෙව්වන් වගේම වෙනත් ජාතීන්ට අයිති අයත් තේරුම්ගන්න ඕනෙ එයාලට ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ තාත්තා වන යෙහෝවා දෙවියන් මාර්ගයෙන් කියලා. (යොහ. 17:3) යේසුස්ව වගේම එයාලවත් හඳුන්වන්නේ යෙහෝවාගේ නමින්. ඒ වගේම එයාලා තේරුම්ගන්න ඕනෙ යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන එක කොච්චර වැදගත්ද කියලා. මොකද එයාලාගේ ගැලවීම රඳා තියෙන්නේ ඒ මත. (ක්‍රියා 2:21, 22) ඉතින් යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් හැමෝම යේසුස් ගැන වගේම යෙහෝවා ගැනත් ඉගෙනගන්න ඕනේ. එහෙම බලද්දී යොහන් 17 යේසුස් කරපු යාච්ඤාව ඔහු මේ විදිහට ඉවර කරපු එක පුදුමයක් නෙවෙයි. “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා. මං ඒ ගැන දිගටම කියලා දෙනවා. එහෙම කරන්නේ ඔයා මට පෙන්නුවා වගේ ආදරයක් අනිත් අයට පෙන්නන්න එයාලට පුළුවන් වෙන්නයි. එතකොට එයාලා එක්ක එකට බැඳිලා ඉන්න මට පුළුවන් වෙයි.”—යොහ. 17:26.
“මගේ සාක්ෂිකරුවන් ඔබයි”
9. යෙහෝවාගේ නම අපිට වැදගත් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?
9 යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් හැමෝම යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න ගොඩක් ආසාවෙන් ඉන්න ඕනේ. (මතෙ. 6:9, 10) අනිත් හැම දේටම වඩා යෙහෝවාගේ නම වැදගත් කියලා එයාලා තේරුම්ගන්න ඕනේ. ඒක එයාලා වැඩ කරන විදිහෙනුත් පේන්න ඕනේ. හැබැයි යෙහෝවාගේ නම ශුද්ධයි කියලත් සාතන් යෙහෝවා ගැන කියපු දේ බොරුයි කියලත් අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?
10. යෙසායා 42–44 පරිච්ඡේදවල කතා කරන්නේ මොන නඩු විභාගය ගැනද? (යෙසායා 43:9; 44:7-9) (පින්තූරයත් බලන්න.)
10 යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන යෙසායා 42–44 පරිච්ඡේදවලින් අපිට ඉගෙනගන්න පුළුවන්. ඒ පරිච්ඡේදවල යෙහෝවා ඔහුට නමස්කාර කරන්නේ නැති මිනිස්සුන්ගෙන් ඉල්ලනවා එයාලාගේ දෙවිවරු සැබෑ අය කියලා ඔප්පු කරලා පෙන්නන්න කියලා. නඩු විභාගයකදී වගේ ඔහු කියනවා ඒ දෙවිවරු සැබෑ අය කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිකරුවන් ඉන්නවා නම් ඉස්සරහට එන්න කියලා. හැබැයි කිසිම කෙනෙක්ට එහෙම එන්න පුළුවන්කමක් නැහැ.—යෙසායා 43:9; 44:7-9 කියවන්න.
ගොඩක් විදිවලින් අපි නඩු විභාගයක සාක්ෂිකරුවන් (10-11 ඡේද බලන්න)
11. යෙසායා 43:10-12 යෙහෝවා ඔහුගේ සෙනඟට කියන්නේ මොනවාද?
11 යෙසායා 43:10-12 කියවන්න. යෙහෝවා ඔහුගේ සෙනඟට කියනවා “මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තමයි දෙවියන්” කියලා. ඊටපස්සේ ඔහු එයාලාගෙන් මෙහෙම අහනවා. “මං හැර දෙවියන් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?” (යෙසා. 44:8) ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. අපි කරන කියන දේවලින් අපිට පෙන්නන්න පුළුවන් යෙහෝවා තමයි එකම සැබෑ දෙවියන් කියලා. ඒ වගේම ඔහුගේ නම අනිත් හැම නමකටම වඩා උසස් කියලා. සාතන් අපිට මොන විදිහේ පීඩා ගෙනාවත් අපි ජීවත් වෙන විදිහෙන් අපි පෙන්නනවා යෙහෝවා ගැන අපේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද, ඔහුට අපි කොච්චර ළැදිද කියලා. ඉතින් ඒ විදිහට අපිට අවස්ථාව තියෙනවා යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න අපේ පැත්තෙන් කරන්න ඕනෙ කොටස කරන්න.
12. යෙසායා 40:3, 5 තියෙන අනාවැකිය ඉටු වුණේ කොහොමද?
12 යෙහෝවාගේ නම ගොඩක් ශුද්ධයි කියලා අපි සලකද්දී අපි ආදර්ශෙට ගන්නේ යේසුස්ව. යෙසායා කිව්වා කෙනෙක් “යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි (නැත්නම් “සූදානම්,” පාදසටහන) කරනවා” කියලා. (යෙසා. 40:3) කොහොමද ඒක ඉටු වුණේ? අපි දන්නවා යොහන් බව්තීස්ත යේසුස්ගේ මාර්ගය නම් එළිපෙහෙළි කළා කියලා. හැබැයි ඇත්තටම යේසුස් ආවේ යෙහෝවාගේ නමින්. ඔහු යෙහෝවාගේ නම නියෝජනය කරලා දේශනා කළා. ඒ නිසා යොහන් එළිපෙහෙළි කළේ යෙහෝවාගේ මාර්ගය කියලා කියන්න පුළුවන්. (මතෙ. 3:3; මාක් 1:2-4; ලූක් 3:3-6) ඒ අනාවැකියෙම “යෙහෝවාගේ තේජස පැහැදිලිව දකියි” කියලත් කියනවා. (යෙසා. 40:5) ඒක කොහොමද ඉටු වුණේ? යේසුස් මේ පොළොවට ආවාම යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා හරියටම පෙන්නුවා. ඒක හරියට යෙහෝවා මේ පොළොවට ඇවිල්ලා දේවල් කළා වගේ.—යොහ. 12:45.
13. යේසුස්ව ආදර්ශෙට ගන්න පුළුවන් කොහොමද?
13 යේසුස් වගේම අපිත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ. අපි ඒ නම දරනවා විතරක් නෙවෙයි, ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හැමෝටම කියනවා. හැබැයි යෙහෝවා ගැන හොඳ සාක්ෂියක් දෙන්න නම් යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න යේසුස් කරපු හැම දෙයක් ගැනම අපි හැමෝටම කියන්න ඕනේ. (ක්‍රියා 1:8) ඇත්තටම යේසුස් තරම් වෙන කවුරුත් යෙහෝවා ගැන සාක්ෂි දරලා නැහැ. අපි ආදර්ශෙට ගන්නේ යේසුස්වයි. (එළි. 1:5) හැබැයි යෙහෝවාගේ නම ගොඩක් වටිනවා කියලා අපි එක් එක් කෙනාට පෙන්නන්න පුළුවන් කොහොමද?
යෙහෝවාගේ නම අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් තව පැති
14. ගීතාවලිය 105:3 පෙන්නන විදිහට අපිට යෙහෝවාගේ නම ගැන දැනෙන්නේ කොහොමද?
14 යෙහෝවාගේ නම ගැන අපි ආඩම්බර වෙනවා. (ගීතාවලිය 105:3 කියවන්න.) අපි යෙහෝවාගේ නම ගැන ආඩම්බරයෙන් කතා කරද්දී ඔහුගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. (යෙරෙ. 9:23, 24; 1 කොරි. 1:31; 2 කොරි. 10:17) යෙහෝවා ගැන “ආඩම්බරයෙන් කතා කරනවා” කියන්නේ යෙහෝවා අපේ දෙවියන් වුණ එක ගැන අපි ආඩම්බර වෙනවා කියන එකයි. ඔහුගේ නම ශුද්ධයි, ඔහු කරන හැම දෙයක්ම හරියි කියලා අනිත් අයට කියන්න ලැබුණ අවස්ථාව අපි ලොකු ගෞරවයක් විදිහට සලකනවා. ඒ නිසා වැඩපොළේ අයට, ඉස්කෝලේ ළමයින්ට, අසල්වැසියන්ට සහ අනිත් අයට ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන්න ලැජ්ජ වෙන්න එපා. සාතන්ට ඕනෙ අපි දෙවියන්ගේ නම අනිත් අයට කියන එකෙන් අපිව වළක්වන්න. (යෙරෙ. 11:21; එළි. 12:17) සාතනුයි, එයාගේ බොරු අනාගතවක්තෘවරුනුයි හදන්නේ මිනිස්සුන්ගේ හිත්වලින් යෙහෝවා කියන නම මකලා දාන්න. (යෙරෙ. 23:26, 27) හැබැයි යෙහෝවාගේ නම ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා “දවස තිස්සේම” ඔහුට ප්‍රශංසා කරන්න.—ගීතා. 5:11; 89:16.
15. යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
15 අපි යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා. (යෝවෙ. 2:32; රෝම 10:13, 14) ඒ කියන්නේ අපි ඒ නම ගැන දැනගන්න එක, ඒක පාවිච්චි කරන එක විතරක් නෙවෙයි. ඒ වෙනුවට අපි යෙහෝවා කියන්නේ කවුද කියලා හොඳට අඳුරගන්න ඕනේ. ඔහුව විශ්වාස කරන්න ඕනේ. ඔහුගේ මඟ පෙන්වීම්, උදව් ඉල්ලලා ඔහු දිහාවට හැරෙන්න ඕනේ. (ගීතා. 20:7; 99:6; 116:4; 145:18) අපි ඔහුගේ නම ගැන, ගුණාංග ගැන අනිත් අයට කියන්නත් ඕනේ. එතකොට එයාලට පුළුවන් පසුතැවිලි වෙලා, ජීවිත වෙනස් කරගෙන, යෙහෝවා සතුටු වෙන විදිහට ජීවත් වෙන්න.—යෙසා. 12:4; ක්‍රියා 2:21, 38.
16. සාතන් බොරුකාරයෙක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් කොහොමද?
16 යෙහෝවාගේ නම වෙනුවෙන් දුක් විඳින්න වුණත් අපි ලෑස්තියි. (යාකො. 5:10, 11) කොච්චර දුක් පීඩා ආවත් අපි දිගටම යෙහෝවාට ළැදිව ඉන්න එකෙන් අපිට පුළුවන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න. යෝබ්ගේ කාලේදී සාතන් යෙහෝවාට සේවේ කරන අය ගැන මෙහෙම කිව්වා. “මිනිසෙක් එයාගේ ජීවිතේ බේරගන්න මොනවාද නොකරන්නේ? එයා ළඟ තියෙන හැම දේම වුණත් ඒ වෙනුවෙන් දෙයි.” (යෝබ් 2:4) සාතන් කිව්වේ මිනිස්සු යෙහෝවාට සේවේ කරන්නේ ජීවිතේ හොඳින් ගෙවෙද්දී විතරයි, හැබැයි ප්‍රශ්න එද්දී එයාලා යෙහෝවාව අත්හරිනවා කියලා. යෝබ් විශ්වාසවන්තව ඉඳලා සාතන් කියපු දේ බොරුයි කියලා ඔප්පු කළා. ඉතින් අපිටත් අවස්ථාව තියෙනවා සාතන් මොන ප්‍රහාර අපේ පැත්තට දැම්මත් අපි කවදාවත් යෙහෝවාව අත්හරින්නේ නැහැ කියලා පෙන්නන්න. අපි එහෙම කරනවා නම් යෙහෝවා ඔහුගේ නම වෙනුවෙන් අපිව බලාගන්නවා කියලා අපිට විශ්වාසයි.—යොහ. 17:11.
17. යෙහෝවාගේ නම ගෞරවයට පත් කරන්න පුළුවන් තව විදිහක් මොකක්ද? (1 පේතෘස් 2:12)
17 අපි යෙහෝවාගේ නම ගෞරවයෙන් සලකනවා. (හිතෝ. 30:9; යෙරෙ. 7:8-11) අපි යෙහෝවාගේ නම දරන නිසාත් ඔහුගේ සාක්ෂිකරුවන් නිසාත් අපි කරන දේවල්වලින් එක්කෝ ඔහුගේ නමට ගෞරවයක් ලැබෙනවා, නැත්නම් අගෞරවයක් ලැබෙනවා. (1 පේතෘස් 2:12 කියවන්න.) ඒ නිසා අපිට ඕනෙ අපේ කතාබහෙන්, හැසිරීමෙන් පුළුවන් තරම් ඔහුගේ නම ප්‍රශංසාවට පත් කරන්න. අපි එහෙම කරනවා නම් පව්කාරයන් වුණත් අපිට පුළුවන් යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න.
18. යෙහෝවාගේ නම අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් තව විදිහක් මොකක්ද? (පාදසටහනත් බලන්න.)
18 අපි අපේ නමට වඩා යෙහෝවාගේ නම ගැන හිතනවා. (ගීතා. 138:2) ඇයි ඒක වැදගත්? මොකද අපි යෙහෝවාව සතුටු කරන්න දේවල් කරද්දී ගොඩක් වෙලාවට මිනිස්සු ඒකට කැමති නැහැ. මිනිස්සු අපි ගැන වැරදි දේවල් කියනවා.a යේසුස්ටත් මැරෙන්න වුණේ දරුණු අපරාධකාරයෙක් විදිහට. මිනිස්සු ඔහුව ගොඩක් පහත් කළා. හැබැයි යේසුස් “ඔහුට විඳින්න වෙන ලැජ්ජාව ගැනවත්” මිනිස්සු ඔහු ගැන කියන්නේ මොනවාද කියන එක ගැනවත් කරදර වුණේ නැහැ. ඔහුට ඕන වුණේ යෙහෝවාගේ නම ගෞරවයට පත් කරන්න. (හෙබ්‍රෙ. 12:2-4) ඔහු මුල් තැන දුන්නේ යෙහෝවාගේ කැමැත්ත ඉටු කරන්න.—මතෙ. 26:39.
19. යෙහෝවාගේ නම ගැන ඔයාට දැනෙන්නේ කොහොමද? ඒ ඇයි?
19 යෙහෝවාගේ නම ගැන අපිට ගොඩක් ආඩම්බරයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට අපිව හඳුන්වන එකත් අපිට ලොකු ගෞරවයක්. ඒ වෙනුවෙන් ඕනම නින්දාවක් විඳින්න වුණත් අපි ලෑස්තියි. අපිට අපේ නමට වඩා යෙහෝවාගේ නම වටිනවා. ඒ නිසා සාතන් මොන ප්‍රශ්නේ ගෙනාවත් දිගටම යෙහෝවා කියන නමට ප්‍රශංසා කරමු. අපි එහෙම කරද්දී යේසුස් වගේම අපිත් පෙන්නන්නේ මේ ලෝකේ තියෙන වෙන කිසිම දේකට වඩා අපිට වටින්නේ යෙහෝවාගේ නමයි කියලා.
ගීතිකාව 10 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
a මුලදී දරුවොයි, තිබුණ හැම දේමයි නැති වෙද්දී යෝබ් “වරදක් කළේවත් දෙවියන්ට දොස් කිව්වෙවත් නැහැ.” (යෝබ් 1:22; 2:10) හැබැයි යාළුවෝ තුන්දෙනා එයා වරදක් කරන්න ඇති කියලා කියද්දී විශ්වාසවන්තව හිටපු යෝබ් වුණත් තමන්ගේ නම ගැන ඕනාවට වඩා හිතුවා. අනිත් අය එයාට චෝදනා කරද්දී එයා කතා කළේ “වියරු වැටුණ කෙනෙක් වගේ.” ඒ වෙලාවේ එයා යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නනවා වෙනුවට තමන්ගේ නම වෙනුවෙනුයි කතා කළේ.—යෝබ් 6:3; 13:4, 5; 32:2; 34:5.