ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් සේවය කරමු
1. පාවුල්ගේ වදන් දේවසේවයට අදාළ කරගත හැක්කේ කෙසේද?
1 පාවුල් මෙසේ පැවසුවා. “මා දුවන්නේ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ. එලෙසම මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.” (1 කොරි. 9:26) පාවුල් ඉලක්කයට පහර දුන්නේ කෙසේද? දෙවිට කළ සේවය වෙනුවෙන් පූර්ණ අවධානය දීමෙනුයි. අපත් සේවයේදී හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට නම් දේවසේවය සඳහා අප දරන වෑයම අපතේ නොයන ලෙස ඊට පූර්ණ අවධානය දීම අවශ්‍යයි. එය කරන්නේ කෙසේද?
2. සේවය කරන වේලාවන් හා ස්ථාන තීරණය කිරීමේදී අපිට මුල් සියවසේ ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
2 ජනයා ගැවසෙන ස්ථානවලට යන්න: පාවුල් මෙන්ම එදා සිටි වෙනත් දේවසේවකයන්ද ශුභාරංචිය දේශනා කිරීමට ජනයා ගැවසෙන ස්ථානවලට ගියා. (ක්‍රියා 5:42; 16:13; 17:17) අපගේ ප්රදේශයෙත් ජනයා වැඩිපුරම නිවෙස්වල සිටින්නේ සන්ධ්‍යා කාලයේ නම් ගෙයින් ගෙට යෑමට හොඳම වෙලාව එයයි. බස් හෝ දුම්රිය නැවතුම්පොළේ හා සාප්පු සංකීර්ණ වැනි ස්ථානවල, ජනයා වැඩිපුරම ගැවසෙන වේලාවන් තෝරාගෙන වීථි සේවයේ හවුල් වීමටද හැකියි.
3. මහන්සියේ තරමට ප්‍රතිඵල නෙළාගැනීමට කුමක් කළ හැකිද?
3 නැණවත්ව කටයුතු කරන්න: අප සේවයේ හවුල් වන විට නැණවත්ව කටයුතු කිරීමෙන් අපගේ මහන්සියේ තරමට ප්‍රතිඵල නෙළාගත හැකියි. උදාහරණයකට එක ප්‍රදේශයක් තුළ විශාල පිරිසක් සේවය කිරීමට සැලසුම් කිරීමේදී ඊට විශාල කාලයක් හා වෑයමක් දැරීමට සිදු වෙයි. ඒ නිසා කුඩා කණ්ඩායම් වශයෙන් වෙන වෙනම සේවය කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැකියි. දුර ඈත ප්‍රදේශයක සේවය කරන විටත් හොඳින් සංවිධානය වූ කුඩා කණ්ඩායම් වශයෙන් යෑමෙන් විශාල ප්‍රදේශයක ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙයි. සමහරවිට නිවසට යාබදව සේවය කිරීම සඳහා ප්‍රදේශයක් ඉල්ලා ගැනීමෙන් ගමනාගමනයට වැය වන කාලයද අඩු කරගත හැකියි.
4. මසුන් අල්ලන්නන් හා සමානව අපටත් සාර්ථක විය හැක්කේ කෙසේද?
4 යේසුස් දේවසේවකයන්ව ‘මසුන් අල්ලන්නන්ට’ සමාන කළා. (මාක් 1:17) ධීවරයෙක් උත්සාහ කරන්නේ නිකම්ම දැළ මුහුදට දමන්න නොවෙයි. කෙසේ හෝ මසුන් අල්ලාගැනීමටයි. ඒ නිසා දක්ෂ ධීවරයන් මසුන් ගැවසෙන ස්ථාන හා වේලාවන් සොයා යමින් තම අරමුණ ඉටු කරගැනීමට උද්යෝගයෙන් කටයුතු කරනවා. තම වෑයම අපතේ නොයැවීමට ඔවුන් වගබලා ගන්නවා. අපත් දේවසේවයේදී එලෙස කටයුතු කරමු.—හෙබ්‍රෙ. 6:11.