උද්‍යෝගයෙන් දේශනා කරන්න
1. අපේ අවධානය යොමු විය යුත්තේ පාවුල්ගේ කුමන දිරිගැන්වීමටද?
1 ‘දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න.’ (2 තිමෝ. 4:2) පාවුල් එදා දුන් දිරිගැන්වීම අද අපට වැදගත් වන්නේ ඇයි? එම වදන් අපේ මෙන්ම අන් අයගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?
2. ශුභාරංචිය නොලැබුණු අයව අපි උනන්දුවෙන් සෙවිය යුත්තේ ඇයි?
2 ජීවිත වටිනවා: ලොව වටා සිටින මිලියන සංඛ්‍යාත සෙනඟකට ගැලවීම ලබා දෙන ශුභාරංචිය තවමත් ලැබී නැහැ. (රෝම 10:13-15; 1 තිමෝ. 4:16) අපි නිතර සේවයේ යෙදෙන ප්‍රදේශවල හොඳ ප්‍රතිචාරයක් දක්වන බොහෝදෙනෙකුව තවමත් අපට මුණගැසෙනවා. වෙනත් දිනයක හෝ දවසේ වෙනත් වෙලාවක අප නිවසකට යනවා නම් කලින් මුණගැසී නැති පුද්ගලයෙකුව මුණගැසිය හැකියි. අපි එවැනි උනන්දුවක් දක්වනවා නම් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සියලුදෙනාගේ ලෙයින් නිදහස්ව සිටින්න අපට හැකියි.—ක්‍රියා 20:26.
3. දේවසේවයේ යෙදෙන විට කාලය නැණවත්ව පාවිච්චි කළ හැක්කේ කෙසේද?
3 පළමු සියවසේ ක්‍රිස්තියානීන් දරුණු විරුද්ධවාදිකම් හමුවේ පවා ‘තමන්ගේ ඉගැන්වීම්වලින් යෙරුසලම පිරෙව්වා.’ (ක්‍රියා 5:28) එලෙස “සම්පූර්ණ සාක්ෂියක් දරන්න” අපත් අදිටන් කරගෙන සිටිනවාද? (ක්‍රියා 10:42) දේවසේවයේ යෙදෙන විට අපි කාලය නැණවත්ව පාවිච්චි කරනවාද? සේවයේ යෙදෙන අතරතුර සහෝදරයන් එන තෙක් බලා සිටින විට අප අසලින් ගමන් කරන අයට කතා කරන්න අපි පියවර ගන්නවාද?
4. උද්‍යෝගයෙන් සේවයේ යෙදීම සෝදිසියෙන් සිටීමට උපකාරයක් වන්නේ කෙසේද?
4 සෝදිසියෙන් සිටීමට උපකාරයක්: පවතින සමාජයේ අවසානය අත ළඟ නිසා අපි අවදිව, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. (1 තෙස. 5:1-6) රාජ්‍යය පිළිබඳ අපේ බලාපොරොත්තුව ගැන අපි නිතිපතා කතා කරන විට පවතින සමාජයේ කරදරවලින් අපේ සිත් බර වෙන්නේ නැහැ. (ලූක් 21:34-36) යෙහෝවා දෙවිගේ දවස ගැන අපේ ‘මනසෙහි ප්‍රමුඛව තබාගෙන’ සිටින විට ජීවිත ගලවන දේශනා සේවයේ වැඩියෙන් හවුල් වෙන්න අපි පෙලඹෙනවා.—2 පේතෘ. 3:11, 12.
5. ජීවිතවල වටිනාකම තේරුම්ගැනීමෙන් අපි දේවසේවයට පෙලඹෙන්නේ කෙසේද?
5 දේශනා සේවයේ උද්‍යෝගයෙන් යෙදීමෙන් අපත් පිළිබිඹු කරන්නේ ‘සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට කැමති නැහැ’ යන දෙවිගේ ආකල්පයයි. (2 පේතෘ. 3:9; එස. 33:11) දේශනා සේවයේ යෙදීමට තිබෙන ප්‍රදේශයෙහි සිටින වැඩිදෙනෙකුව හමු වීමට අපි අදිටන් කරගනිමු. මේ සියල්ලෙන් ප්‍රශංසාව ලැබෙන්නේ යෙහෝවා දෙවිටයි!—ගීතා 109:30.