ශිෂ්‍යයා ගැන සිතා සූදානම් වෙන්න
1. ශිෂ්‍යයා ඉගෙනගන්නා දේවල්වල වටිනාකම අවබෝධ කරගත් විට සිදු වන්නේ කුමක්ද?
1 අපි කෙනෙක් සමඟ බයිබලය පාඩම් කරන්නේ ඔහු තුළ දෙවිට සේවය කිරීමට පෙලඹීමක් ඇති කිරීමටයි. එවැනි පෙලඹීමක් ඇති වෙන්නේ ශිෂ්‍යයා තමන් ඉගෙනගන්නා දේවල් ගැන වටිනාකම අවබෝධ කරගත්තොත් පමණයි. එවැනි උපකාරයක් දීමට නම් අපි හොඳින් සූදානම් වීම අවශ්‍යයි. (ද්වි. 6:5; හිතෝ. 4:23; 1කොරි. 9:26) එසේනම් ශිෂ්‍යයා ගැන සිතා අපි සූදානම් වෙන්නේ කොහොමද?
2. සූදානම් වීමට පෙර යාච්ඤා කිරීම වැදගත් මන්ද?
2 සූදානම් වීමට පෙර යාච්ඤා කරන්න: ශිෂ්‍යයාගේ හදවතේ දේවවචනය කෙරෙහි ඇල්ම වර්ධනය කරන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා සූදානම් වීමට පෙර ශිෂ්‍යයාට උපකාර අවශ්‍ය පැති ගැන අපි යාච්ඤා කිරීම සුදුසුයි. (1 කොරි. 3:6; යාකො. 1:5) එවිට දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුට ‘නිවැරදි දැනුම’ ලබා දීමට අපට දෙවි මඟ පෙන්වනවා.—කොලො. 1:9, 10.
3. එක් එක් ශිෂ්‍යයාට ගැළපෙන අයුරින් අප සූදානම් වන්නේ කෙසේද?
3 ශිෂ්‍යයා ගැන සිතන්න: හොඳ ප්‍රතිඵල ලබන්න නම් සබය ගැන සිතිය යුතු බව යේසුස් දැන සිටියා. ‘සදාකාල ජීවනය ලබන්න නම් මම මොනවද කරන්න ඕනේ’ යන එකම ප්රශ්නය දෙදෙනෙක් යේසුස්ගෙන් ඇසුවා. යේසුස් දෙදෙනාට පිළිතුරු දුන්නේ දෙවිදිහකටයි. (ලූක් 10:25-28; 18:18-20) ඒ හා සමානව අපි එක් එක් ශිෂ්‍යයාට ගැළපෙන අයුරින් සූදානම් විය යුතුයි. ‘මේ ශිෂ්‍යයා එක්ක කියවන්නේ මොන බයිබල් පදද?’ ‘මේ ශිෂ්‍යයා එක්ක ඡේද කීයක් සාකච්ඡා කරනවාද?’ ‘මේ ශිෂ්‍යයාට තේරුම්ගන්න හෝ පිළිගන්න අමාරු මොන කරුණුද’ කියා කල්පනා කර බලන්න. එමෙන්ම ශිෂ්‍යයා ඇසීමට ඉඩ ඇති ප්‍රශ්න ගැනත් අපි කල්පනා කරනවා නම් නිවැරදි පිළිතුරු දීමට සූදානම්ව යා හැකියි.
4. හොඳින් සූදානම් වීමට ඇතුළත් වන්නේ මොනවාද?
4 එක් එක් ශිෂ්‍යයා වෙනුවෙන් සූදානම් වෙන්න: අලුත් බයිබල් පාඩමක් පටන්ගත් විට, වෙනත් අය සමඟ කිහිප වතාවක් පාඩම් කර තිබෙන කරුණු වුණත් යළි සූදානම් වීම අවශ්‍යයි. ශිෂ්‍යයන් තුළ දෙවිට සේවය කිරීමට පෙලඹීමක් ඇති කිරීමට නම් සෑම පාඩමකටම හොඳින් සූදානම් විය යුතුයි. එවිට ශිෂ්‍යයන්ද හොඳින් සූදානම් වෙයි. සූදානම් වන විට උපුටා දක්වා නැති බයිබල් පද පවා බලන්න. අත්‍යවශ්‍ය කරුණු යටින් ඉරි ගසන්න.—රෝම 2:21, 22.
5. යෙහෝවා දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද?
5 එක් එක් බයිබල් ශිෂ්‍යයාගේ දියුණුව ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වෙනවා. (2 පේතෘ. 3:9) සෑම බයිබල් පාඩමකටම සූදානම් වීමට කාලය ගත කිරීමෙන් අපිත් එවැනි සැලකිල්ලක් දක්වමු.