පාලක මණ්ඩලයෙන් ලියුමක්
ප්‍රිය සහෝදර සහෝදරියෙනි,
මෙම ලිපියෙන් ඔබව අමතන්න ලැබීම ගැන අපි බොහෝ සේ සතුටු වෙනවා. වරක් යොහන් සෙසු ඇදහිලිවන්තයන්ට “සැබවින්ම ප්‍රේම කරන” බවත් ඔවුන් ‘සත්‍යයෙහි ගමන් කරමින්’ සිටීම ගැන බොහෝ සේ ප්‍රීති වන බවත් පැවසුවා. අපටත් හැඟෙන්නේ ඒ ආකාරයටමයි. (2 යොහ. 1, 4) සත්‍යය දැන සිටීම අප සැමට මොන තරම් ආශීර්වාදයක්ද! එනිසා අසත්‍ය ආගම්වලින් හා දෙවිව අගෞරවයට පත් කරන චාරිත්‍ර වාරිත්‍රවලින් නිදහස් වෙන්න අපට හැකි වී තිබෙනවා. බයිබලයේ සඳහන් සත්‍යයට අප කීකරු වීම නිසා ප්‍රේමණීය, කරුණාවන්ත හා දයාන්විත පුද්ගලයන් වීමට අපට හැකි වී තිබෙනවා. දෙවි ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් මෙන්ම සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇතුව සිටීමට අපට හැකි වී තිබෙන්නේ සත්‍යය නිසයි.
දෙවි අපට දිනපතා මඟ පෙන්වීම් හා ශක්තිය ලබා දීම ගැන අපි ඔහුට බොහෝ සේ ස්තුති වෙනවා. “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” නමැති පසුගිය දිස්ත්‍රික් සමුළුවේදී දෙවි ඔහුගේ බලය අපට ලබා දෙන විවිධාකාර පැති දැනගන්න ලැබීම ගැන අපි සතුටු වුණා. ඉදිරියේදී අපිට දරුණු කාලයකට මුහුණ දෙන්න සිදු වන නිසා අපි දැන් සිටම දෙවි කෙරෙහි රඳා සිටීම කොතරම් අවශ්‍යද!
අපේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා අද්දකින පීඩා විඳදරාගැනීම ගැන වාර්ෂික පොත ඇතුළු වෙනත් ප්‍රකාශනවල අද්දැකීම් පළ වෙනවා. ඒවා කියවන විට ඔබ මහත් දිරිගැන්වීමක් ලබන බව අපට විශ්වාසයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එවැනි ඇදහිල්ලක් පෙන්වා තිබෙන්නේ බව්තීස්ම වීමට කලිනුයි. තවත් අය එසේ කර තිබෙන්නේ බව්තීස්ම වී කෙටි කාලයක් තුළයි. ඔවුන් දෙවිට තිබෙන පක්ෂපාතකම හා ඒ වෙනුවෙන් ගෙන තිබෙන නොසැලෙන ස්ථාවරය නිසා ඔවුන් කෙරෙහි මහත් ප්‍රේමයක් අප තුළ ඇති වෙනවා. කුමන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණත් දිගටම දෙවිට පක්ෂපාතව සිටීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට ඔවුන්ගේ විශිෂ්ට ආදර්ශ අපට උපකාරවත් වෙනවා.—1 තෙස. 1:6-8.
ප්‍රිය සහෝදරයෙනි, ඔබේ පවුලේ බැඳීම ශක්තිමත්ව තබාගැනීමට අපහසු කරවන ආර්ථික ගැටලු ඇතුළු වෙනත් ගැටලු බොහොමයකට ඔබ මුහුණ දෙන බව අපි දන්නවා. අතපසු නොකර දේශනා සේවයේ හා රැස්වීම්වලට යෑම පවා ඔබගෙන් සමහරදෙනෙකුට දුෂ්කර විය හැකියි. මේ නිසයි අපි බොහෝ සේ යාච්ඤා කිරීමෙන් හා සාකච්ඡා කිරීමෙන් පසුව 2009 ජනවාරි 1වනදා සිට නව රැස්වීම් සැලැස්මක් ඇති කළේ. ඔබ මෙම සැලැස්මෙන් ප්‍රයෝජන ගනිමින් පෞද්ගලික පාඩම හා පවුලේ පාඩම සඳහා වැඩි කාලයක් වෙන් කරයි කියා අපි සිතනවා.
පසුගිය එක්රැස්වීම්වලදී හා දිස්ත්‍රික් සමුළුවලදී බොහෝදෙනෙක් බව්තීස්ම වීම ගැන අපි සතුටු වුණා. බව්තීස්ම වූ අය අතර බාලයන්ද සිටියා. තම දරුවන් තුළ සත්‍යය කෙරෙහි ඇල්මක් ඇති කිරීම ගැනත් බාල වියේ පටන්ම යෙහෝවා දෙවිට කැප වී සේවය කිරීමට දරුවන්ව දිරිගැන්වීම ගැනත් දෙමාපියෙනි ඔබට ප්‍රශංසා කරන්න කැමතියි. ඒ දරුවන් පාසැලේදී බොහෝ අභියෝගවලට මුහුණ දුන්නත් බව්තීස්ම වීමට ඔවුන් සුදුසුකම් ලැබුවේ ඔබ ඔවුන්ට නිවසේදී කදිම පුහුණුවක් ලබා දුන් නිසයි.—ගීතා. 128:1-6.
බයිබල් පාඩම්වල වර්ධනයක් ලබා තිබීමද ප්‍රශංසනීයයි. වෙහෙස මහන්සි වී සේවයේ හවුල් වන මිෂනාරිවරුන් හා විශේෂ පුරෝගාමීන් ඒ වර්ධනයට බොහෝ සේ දායක වී තිබෙනවා. සත්‍යයට පිපාසයක් තිබෙන සියලුදෙනාටම “එන්න!” ‘ජීවන වතුර නොමිලේ ගන්න’ කියා පැවසීමේ කාර්යයෙහි ඔබ සැම නියැලෙමින් සිටිනවා. ඒ සඳහා ඔබ දරන වෙහෙස පාලක මණ්ඩලයේ සිටින අපි සියලුදෙනාම බොහෝ සේ අගය කරනවා. (එළි. 22:17) පසුගිය වසරේදී බව්තීස්ම වූ 2,89,678දෙනාව අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට සාදරයෙන් පිළිගන්න කැමතියි.
යොහන්ගේ මේ වදන් අපි කිසිදා අමතක නොකරමු. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහ. 2:17) අපි ජීවත් වන්නේ මේ ලෝකය පහව යෑමට ඉතාමත් ආසන්න කාලයකයි. මේ නිසා දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දීමත් ‘සෝදිසියෙන් සිටීමත්’ කොතරම් නැණවත් දෙයක්ද! (මතෙ. 24:42) එසේ කිරීමට ගන්න තීරණය ගැන අපි කවදාවත් කනගාටු වන්නේ නැහැ. එමෙන්ම දෙවි පෙන්වන කරුණාවෙන් අප ප්‍රයෝජන ලබනවා නිසැකයි.—යෙසා. 63:7.
අපි ඔබ සැමදෙනා ගැනම සිතන බවත් ඔබට ප්‍රේම කරන බවත් මතක තබාගන්න. අපි ඔබ ගැන නිතර යාච්ඤා කරනවා. ප්‍රිය සහෝදරයෙනි ඔබ සැමට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!
ඔබේ සහෝදරයෝ,
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය