වියෝ දුකෙන් පෙළෙන අයව සනසමු
1. වියෝ දුකෙන් පෙළෙන අයට සැනසිල්ල අවශ්‍ය වන්නේ ඇයි?
1 අපි ජීවිතයේ අද්දකින දරුණුම වේදනාවලින් එකක් වන්නේ තමන් ආදරය කරන කෙනෙකුගේ මිය යෑමයි. විශේෂයෙන්ම දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුවක් නැති අයට ඒ වේදනාව දරාගන්න අමාරුයි. (1 තෙස. 4:13) ‘මිනිස්සු මැරෙන්නේ ඇයි? මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ? කවදා හරි මට එයාව දකින්න ලැබෙයිද?’ කියා හුඟදෙනෙක් කල්පනා කරනවා. තමන්ගේ පවුලේ කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ මරණය නිසා හුඟාක් දුකෙන් සිටින අයව සමහරවිට අපිට ක්ෂේත්‍ර සේවයේදී හමු වෙනවා. මේ අයව සනසවන්න පුළුවන් ආකාර කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.—යෙසා. 61:2.
2. ගෙවැසියෙක් තවමත් වියෝ දුකෙන් සිටිනවා නම් දිගු වේලාවක් සාක්ෂි දැරීම සුදුසුද?
2 දේවසේවයේදී: තමන්ගේ පවුලේ සාමාජිකයෙක් මිය ගොස් වැඩි දවසක් නැහැ කියා නිවැසියෙක් අපිට පවසන්න පුළුවන්. තවමත් ඔහුගේ හෝ ඇගේ මුහුණින් මහත් දුකක් පෙනෙන්න තිබෙනවාද? ශෝකයෙන් සිටින නෑදෑයන් තවමත් ඒ නිවසේ සිටිනවාද? මෙවැනි වතාවරණයක් තිබෙන විට වැඩි වේලාවක් සාක්ෂි දැරීම ඥානවන්ත නැහැ. (දේශ. 3:1, 7) අපේ ශෝකය පළ කර වියෝ දුකෙන් සිටින තැනැත්තාට ගැළපෙන පත්‍රිකාවක්, සඟරාවක් හෝ විවරණිකාවක් දී වැඩි වේලාවක් රැඳී නොසිට එන්න. බයිබලයේ සඳහන් සැනසිල්ල ගෙන දෙන පණිවිඩය බෙදාගැනීම සඳහා ආපසු වෙනත් සුදුසු වේලාවක ඒ නිවසට යන්න පුළුවන්.
3. සුදුසුයි කියා හැඟෙන අවස්ථාවලදී, වියෝ දුකෙන් පෙළෙන තැනැත්තෙකුට පෙන්විය හැකි බයිබල් පද මොනවාද?
3 තවත් අවස්ථාවලදී මුල් හමුවීමේදීම ටිකක් වැඩිපුර කතා කළොත් හොඳයි කියා අපිට හැඟෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී මරණය ගැන ආගම්වල උගන්වා තිබෙන දේවල් අසත්‍යයි කියා ඔප්පු කිරීමට කාලය නොගෙන, නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන බයිබල් පද දෙක තුනක් පෙන්වන්න පුළුවන්. (යොහ. 5:28, 29) එසේත් නැත්නම් මළවුන්ගේ තත්වය ගැන බයිබලයෙන් පැහැදිලි කර දිය හැකියි. (දේශ. 9:5, 10) නැවත නැඟිටුවීමක් ගැන බයිබලයේ සඳහන් වාර්තාවක් ගැන කියවීමෙන්ද සැනසිල්ලක් ලබා දිය හැකියි. (යොහ. 11:39-44) තවත් ක්‍රමයක් නම් යෝබ් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබමින් පැවසූ වදන් සලකා බැලීමයි. (යෝබ් 14:14, 15) මරණයේදී සිදු වන්නේ කුමක්ද? හෝ ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට නමැති විවරණිකා හෝ ගැළපෙන පත්‍රිකාවක් වියෝ දුකෙන් පෙළෙන තැනැත්තාට දිය හැකියි. එසේ නැත්නම් බයිබලයේ ඉගැන්වීම් පොතේ 6වන පරිච්ඡේදයේ සඳහන් තොරතුරුවලට අවධානය යොමු කරවා වෙනත් වේලාවකදී ඒ ගැන සාකච්ඡා කිරීමට කටයුතු යෙදිය හැකියි.
4. වියෝ දුකෙන් පෙළෙන අයව සැනසිය හැක්කේ තවත් කුමන අවස්ථාවලදීද?
4 වෙනත් අවස්ථාවලදී: රාජ්‍ය ශාලාවේ අවමංගල්‍යය කතාවක් ඉදිරිපත් කරන අවස්ථාවකදී සාක්ෂිකරුවන් නොවන අයත් පැමිණෙන්න පුළුවන්. එවැනි අයට සැනසිල්ල ගෙන දෙන පොත් පත් සඟරා, විවරණිකා හා පත්‍රිකා ලබා දිය හැකියි. මරණයක් සිදු වී තිබෙන නිවෙස්වල සිටින ඇතැම් අය සැනසිල්ලක් ලබාගැනීම සඳහා අපේ ප්‍රකාශන කියවන්න කැමති විය හැකියි. එවැනි අයට සුදුසු ප්‍රකාශන ලබා දිය හැකියි. පුවත්පත්වල පළ වන මරණ දැන්වීම්වල ලිපිනයන්ට ලිපි ලියා කෙටියෙන් සාක්ෂි දරන්න පුළුවන්. බිරිඳ මිය ගොස් සිටි පුරුෂයෙකුට මෙවැනි ලිපියක් සමඟ තිබූ පත්‍රිකා කිහිපයක් ලැබුණා. ඔහු තම දියණියත් සමඟ ඒ ලිපිය ලියූ ප්රචාරකයාගේ නිවසට ගොස් මෙසේ පැවසුවා. “මට මේ ලිපිය එව්වේ ඔයාලද? බයිබලය ගැන ඉගෙනගන්න මම ආසයි.” එම තැනැත්තාත් ඔහුගේ දියණියත් බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. පසුව ඔවුන් දෙදෙනාම රැස්වීම්වලටත් පැමිණෙන්න පටන්ගත්තා.
5. වියෝ දුකෙන් පෙළෙන අයව සැනසීමට ලැබෙන අවස්ථා ගිලිහී යෑමට ඉඩ නොදිය යුත්තේ ඇයි?
5 “මඟුල් ගෙදරට යනවාට වඩා වැලපෙන ගෙදරට යෑම යහපත” කියා දේශනාකාරයා 7:2හි සඳහන් වෙනවා. විනෝද වෙමින් සිටින කෙනෙකුට වඩා දුකෙන් සිටින කෙනෙක් දේවවචනයට සවන් දීමට වැඩි නැඹුරුවාවක් දක්වනවා. යෝග්‍ය සෑම අවස්ථාවකදීම වියෝ දුකෙන් පෙළෙන අයට සැනසිල්ල ලබා දෙමු. එවැනි අවස්ථා ගිලිහී යෑමට ඉඩ නොදෙමු.