16වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
එක්සත් සහෝදරත්වයක්
163 සිට 170 දක්වා පිටු
යෙහෝවා දෙවි ආබ්‍රහම් සහ ඔහුගෙන් පැවතෙන්නන් සමඟ වසර 2000ක පමණ කාලයක් පුරා කටයුතු කිරීමෙන් පසු “තම නාමය උදෙසා අන්‍යජාතිකයන් අතරෙන් සෙනඟක් ගන්නා පිණිස මුල් වතාවට [අන්‍යජාතිකයන්] වෙත අවධානය යොමු” කළා. (ක්‍රියා 15:14) දෙවිගේ නාමය දරන සෙනඟ ඔහුගේ සාක්ෂිකරුවන් ලෙස ක්‍රියා කරන අතර ලෝකයේ කොතැනක සිටියත් ඔවුන් එක්සත්ව සිටියි. ඔවුන්ගේ එක්සත්කම ඇති වී තිබෙන්නේ යේසුස් දුන් මේ ආඥාවේ ඉටුවීමක් ලෙසයි. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”—මතෙ. 28:19, 20.
ඔබ යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් පසු යේසුස්ගේ ගෝලයෙක් වී ලෝක ව්‍යාප්ත එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වයක කොටස්කරුවෙක් වී තිබෙනවා. මෙම එක්සත්කම බිඳ දැමීමට ජාතික, ගෝත්‍රික හෝ ආර්ථික වෙනස්කම්වලට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. (ගීතා. 133:1) මේ නිසයි ඔබේ සභාවේ සිටින සෙසු ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් සමහරදෙනෙක් වෙනත් ජාතියකට හෝ කුලයකට අයත් වුණත් ඔබ ඔවුන්ට ප්‍රේමයෙන් හා ගෞරවයෙන් සලකන්නේ. ඇතැම්විට ඔබේ සභාවේ සිටින කිට්ටු මිතුරන්ගෙන් සමහර අයව වාර්ගික, සංස්කෘතික, අධ්‍යාපනික හා ආර්ථික පසුබිම් නිසා ඔබ කලින් ප්‍රිය නොකළා විය හැකියි. සමාජීය, ආගමික හා පවුල් බැඳීම්වලට වඩා ශක්තිමත් බැඳීමක් ඇති කරන කුහකකමින් තොර සහෝදර ස්නේහය අප අද අද්දකිනවා.—මාක් 10:29, 30; කොලො. 3:14; 1 පේතෘ. 1:22.
සිතන ආකාරය වෙනස් කරගනියි
ජන වාර්ගික, දේශපාලනික, සමාජීය වශයෙන් හෝ වෙනත් ආකාරවලින් මුල්බැසගත් අගතිසහගත හැඟීම් පහ කර දැමීම යම් අයට දුෂ්කර විය හැකියි. එවැනි අය මුල් සියවසේ විසූ යුදෙව් ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන් කෙරෙහි තිබූ අගතිසහගත හැඟීම් නැති කරගත් ආකාරය ගැන සිතා බැලීම හොඳයි. රෝම හමුදා නිලධාරියෙකු වූ කොර්නේලියස්ගේ නිවසට යන්න කියා පේතෘස්ට පැවසූ අවස්ථාවේදී දෙවි කාරුණික ලෙස ඔහුව එම නව පැවරුම සඳහා සූදානම් කළ ආකාරය ඔබට මතකද? මේ ගැන දැනගැනීම සඳහා ක්‍රියා 10වන පරිච්ඡේදය කියවා බලන්න.
යුදෙව්වන්ට අතගැසීමටවත් නුසුදුසු වූ ඇතැම් අපවිත්‍ර සතුන්ව මරා අනුභව කරන්න කියා පේතෘස්ට දර්ශනයකින් දැනුම් දුන්නා. පේතෘස් ඊට අකමැති වූ විට ස්වර්ගයෙන් මෙම හඬ නිකුත් වුණා. “දෙවි පවිත්‍ර කළ දේට දූෂිතයයි කීම නවත්වන්න.” (ක්‍රියා 10:15) දෙවි එලෙස මැදිහත් වුණේ වෙනත් ජාතීන්වලට අයත් ජනයා වෙත යෑමට පේතෘස්ට දුන් නව පැවරුම භාරගැනීම සඳහා ඔහු සිතන ආකාරය වෙනස් කිරීමටයි. දෙවිගේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කළ අවස්ථාවේදී පේතෘස් රැස්ව සිටි සමූහයාට මෙසේ පැවසුවා. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු හා සම්බන්ධකම් පැවැත්වීමවත් ඔහු ළඟට යෑමවත් යුදෙව්වෙකුට කොතරම් තහනම් දෙයක්දැයි ඔබ හොඳින් දන්නහුය. එහෙත් මා විසින් කිසිම මිනිසෙකුට දූෂිතය කියා හෝ අපවිත්‍රය කියා හෝ නොකිව යුතු බව දෙවි මට පෙන්නුවේය. එබැවින් මාව කැඳවාගෙන එන පිණිස මිනිසුන් එවූ විට, මම කිසි විරුද්ධත්වයක් නැතිව ආවෙමි.” (ක්‍රියා 10:28, 29) ඉන්පසු පේතෘස් කොර්නේලියස් හා ඔහුගේ නිවසේ අයට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබී තිබෙන බවට වූ සාක්ෂි ගැන කතා කළා.—1 පේතෘ. 3:10-12.
ඉතා උගත් පරිසිවරයෙකු වූ තාර්සස්හි සාවුල්ට නිහතමානි වී, තමන් කලින් ප්‍රිය නොකළ අය සමඟ ඇසුරු කිරීමට සිදු වුණා. ඔවුන්ගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට පවා ඔහුට සිදු වුණා. (ක්‍රියා 4:13; ගලා. 1:13-20; ෆිලි. 3:4-11) සර්ජියස් පාවුලස්, දියොනිසියස්, දමරිස්, ෆිලෙමොන් හා ඔනෙසිමස් ඇතුළු තවත් අය ශුභාරංචිය පිළිගෙන යේසුස්ගේ ගෝලයන් බවට පත් වී ඔවුන් සිතන ආකාරය වෙනස් කරගත් බවට සැකයක් නැහැ.—ක්‍රියා 13:6-12; 17:22, 33, 34; ෆිලෙ. 8-20.
එක්සත්කම පවත්වාගනිමු
යෙහෝවා දෙවිත් ඔහුගේ සංවිධානයත් කෙරෙහි ඔබේ සිත ඇදී යෑමට ඔබේ සභාවේ සිටින සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය හේතු වූ බව නිසැකයි. මීට කලින් මෙවැනි ප්‍රේමයක් වෙනත් තැනක ඔබ අද්දැක නැතුව ඇති. තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි මූලික ලක්ෂණයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහ. 13:34, 35) මෙවැනි ප්‍රේමයක් හා එක්සත්කමක් සභාව තුළ තිබෙන බව ඔබ පැහැදිලිව දැක තිබෙනවා. එහෙත් ඔබ සභාව තුළ අද්දැක තිබෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟ අතර ලොව පුරා පවතින ප්‍රේමයෙන් බිඳක් පමණයි. මෙය ඔබ තේරුම්ගන්න විට දෙවි මේ කාලයේ මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය තව තවත් අගය කිරීමට ඔබ පෙලඹී තිබෙන බවට සැකයක් නැහැ. යෙහෝවා දෙවි සාමයෙන් හා එක්සත්ව නමස්කාර කරන සෙනඟක් එක් රැස් කිරීම ගැන බයිබලයේ සඳහන් අනාවැකියක් ඉටු වී තිබෙන අයුරු ඔබද දැක තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔබත් ඒ ඉටුවීමේ කොටස්කරුවෙක්. ඒ අනාවැකිය කියවා බලන්න ඔබ කැමතිද? එසේනම් මීකා 4:1-5 කියවන්න.
භේද ඇති කරවන හේතු සාධක රැසක් මධ්‍යයේ “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ” සෙනඟක් අතර එක්සත්කම තිබීම විය නොහැකි දෙයක් කියා බොහෝදෙනෙක් සිතනවා. (එළි. 7:9) නවීන තාක්ෂණික සමාජයත් සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට ඇලී සිටින ජන සමාජයත් අතර පවතින පරතරය ගැන සිතා බලන්න. එකම ජාතියට අයත් ජනයා අතර පවතින ආගමික එදිරිවාදිකම් ගැනද සිතා බලන්න. ජාතිවාදී හැඟීම පෙරට තබා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙන කවරදාටත් වඩා බෙදීම් ඇති වී තිබෙනවා. විවිධ හේතු නිසා ලොව පුරා ජනයා අතර බෙදීම් පවතින මෙවන් කාලයක විවිධ ජාතීන්ගෙන් හා පසුබිම්වලින් සමන්විත එක්සත් සෙනඟක් අතර තිබෙන නොබිඳිය හැකි ප්‍රේමය හා සාමය ඇත්තෙන්ම සර්වබලධාරී දෙවිට පමණක් කළ හැකි ප්රාතිහාර්යයක්.—සෙක. 4:6.
ඔබ යෙහෝවා දෙවිගේ කැපවූ සාක්ෂිකරුවෙක් වූ විට එක්සත් සහෝදරත්වයේ කොටස්කරුවෙක් බවට පත් වුණා. දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීම නිසා ඔහුගේ සෙනඟ අද්දකින සාමය හා එක්සත්කම ඔබත් අද්දකින්නේ ඔබේ ඇදහිල්ල නිසයි. එමනිසා එය රැකගැනීමට ඔබටත් වගකීමක් තිබෙනවා. ගලාති 6:10හි සඳහන් පාවුල්ගේ මේ වදන්වලට ඔබ අවනත වීම අවශ්‍යයි. “අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” එමෙන්ම ඔබ මේ උපදේශයත් පිළිපැදීම අවශ්‍යයි. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත් පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න. ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලි. 2:3, 4) සෙසු සහෝදර සහෝදරියන්ගේ දුර්වල අඩුපාඩුකම් ඉතාමත් ළඟදී පහ වී යෑමට නියමිතයි. දෙවි ඔවුන් දෙස බලන විදිහටම බලන්න අපත් ඉගෙනගන්නවා නම් එකිනෙකා සමඟ සාමකාමී හා සන්තෝෂවත් සබඳතාවක් භුක්ති විඳින්න හැකි වෙයි.—එෆී. 4:23, 24.
එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු
පාවුල් නිදසුනක් මගින් පැහැදිලිව පෙන්වා දුන්නාක් මෙන් සභාවේ සාමාජිකයන්ට එකිනෙකාව අවශ්‍යයි. ඔවුන් එකිනෙකා ගැන සැලකිලිමත් වෙයි. (1 කොරි. 12:14-26) සංවිධානයේ යම් අයට බලපාන දේවල් දෙවිගේ සියලුම සෙනඟට බලපානවා. ලෝකයේ සෙසු රටවල සිටින සහෝදරයන්ගෙන් අපි බොහෝ දුරස්ව ජීවත් වුණත් ඔවුන්ගේ ශුභසාධනය ගැන අපි ඉමහත් සේ සැලකිලිමත් වෙනවා. අපේ සමහර සහෝදරයන් හිංසා පීඩාවලට ලක් වන විට අපිට ඒ ගැන විශාල දුකක් දැනෙනවා. සමහර අය අග හිඟකම්වලින් පෙළෙන විට හෝ ස්වාභාවික විපත් හා යුද්ධ නිසා පීඩා විඳින විට හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට උපකාර කරන්න අපි පියවර ගන්නවා.—2 කොරි. 1:8-11.
අපි සෑමකෙනෙක්ම දිනපතාම අපේ සහෝදර සහෝදරියන් ගැන යාච්ඤා කළ යුතුයි. සමහරුන් පරීක්ෂාවලට මුහුණ දෙනවා. සමහර සහෝදරයන් අද්දකින දුක් වේදනා බොහෝදෙනා දැන සිටියත් රැකියා ස්ථානයේ හෝ නිවසේ සිටින නොඇදහිලිවන්තයන්ගෙන් එල්ල වන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන ඇතැම් අය ගැන වැඩිදෙනෙක් දන්නේ නැහැ. (මතෙ. 10:35, 36; 1 තෙස. 2:14) අපි ජාත්‍යන්තර සහෝදරත්වයක සාමාජිකයන් නිසා එවැනි අය ගැනත් අපි සැලකිලිමත් වෙනවා. (1 පේතෘ. 5:9) වෙහෙස මහන්සි වී දෙවිට සේවය කරන, සභාවල මෙන්ම දේවසේවයේ පෙරමුණ ගෙන කටයුතු කරන අයද අපේ සැලකිල්ලට යොමු විය යුතුයි. ලොව පුරා සිදු වන කටයුතු අධීක්ෂණය කරන අයද ඔවුන් අතර සිටිනවා. මේ සියලුදෙනා ගැනම යාච්ඤා කරන්න අපිට පුළුවන්. මෙයින් අපි පෙන්වන්නේ ඔවුන්ට සහය වීම සඳහා අපිට පෞද්ගලිකව යමක් කළ නොහැකි වුණත් අපේ සහෝදරයන් ගැන අවංක ප්‍රේමයක් අපට තිබෙන බවයි.—එෆී. 1:16; 1 තෙස. 1:2, 3; 5:25.
මේ අන්තිම දවස්වල ලොව පුරා පවතින නොසන්සුන්තාව නිසා උද්ගත වන හදිසි තත්වයන්වලට හා භූමිකම්පා සහ ජලගැලීම් වැනි ස්වාභාවික විපත්වලට ගොදුරු වන සෙසු සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට දෙවිගේ සේවකයන් සූදානම්ව සිටිය යුතුයි. මෙවැනි අවස්ථාවලදී මහ පරිමාණයෙන් සහන සේවා සැපයීමත් ආහාරපානාදිය හා ඇඳුම් පැළඳුම් ඇතුළු වෙනත් අවශ්‍යතාවන් සැපයීමටත් වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය විය හැකියි. මේ කාරණය ගැන මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් අපිට කදිම ආදර්ශයක් සපයනවා. යේසුස්ගේ උපදේශය මතකයේ තබාගෙන සිටි වෙනත් දේශවල විසූ ඔහුගේ අනුගාමිකයන් සාගතයක් පැවති කාලයේදී යෙරුසලමේ සහෝදරයන්ට අවශ්‍ය දේවල් ලබා දුන්නා. (ක්‍රියා 11:27-30; 20:35) ක්‍රමවත් ලෙස අවශ්‍ය දේවල් සැපයීම සඳහා පාවුල් සහන සේවා වැඩපිළිවෙළක් සංවිධානය කළා. (2 කොරි. 9:1-15) මේ කාලයේදීද අපේ සහෝදරයන් දුෂ්කරතා හා විපත් අද්දකින විට සංවිධානය මෙන්ම විවිධ සහෝදරයන් පෞද්ගලික මට්ටමින්ද විගස උපකාර සපයනවා.
අපි වෙනස් සෙනඟක්
අපේ එක්සත් ලෝක ව්‍යාප්ත සහෝදර සංගමය යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට සංවිධානය වී සිටිනවා. මේ සුවිශේෂි කාලයේ ඔහුගේ කැමැත්ත වන්නේ රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු පොළොව පුරාම දේශනා කරනු ලබනවා දැකීමයි. (මතෙ. 24:14) අපි මේ කාර්යය කරන අතරේදී දේවවචනයේ සඳහන් උසස් සදාචාර ප්‍රමිති සැමවිටම පිළිපදිනවා දකින්නත් දෙවි කැමතියි. (1 පේතෘ. 1:14-16) දෙවි පවරා තිබෙන කාර්යය ඉටු කිරීමට නම් අපි සියලුදෙනාම එකිනෙකාට යටත්ව සිටිමින් ශුභාරංචියේ වර්ධනයට අත හිත දිය යුතුයි. (එෆී. 5:21) අපි ජීවත් වන්නේ දේවරාජ්‍යයට මුල් තැන දිය යුතු කාලයක මිස අපේ ඕනෑ එපාකම්වලට මුල් තැන දිය යුතු කාලයක නොවෙයි. (මතෙ. 6:33) මෙය මතකයේ තබාගෙන ශුභාරංචියේ වර්ධනය උදෙසා එකිනෙකා සමඟ එක්සත්ව සේවය කිරීමෙන් දැනුත් සදහටමත් ප්‍රීතිය හා තෘප්තිය අද්දැකිය හැකියි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි පවිත්‍ර සෙනඟක් ලෙස සෙසු ජනයාගෙන් වෙන් වී උද්යෝගයෙන් දෙවිට සේවය කරනවා. (තීත. 2:14) මෙසේ අපි වෙන්ව සිටින්නේ අන් අයගේ අවධානයට ලක්වීමට නොවෙයි. අපි වෙනස් සෙනඟක් වන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය නිසයි. අපි ලොව පුරා සිටින සෙසු සහෝදරයන් සමඟ එක්සත්ව සේවය කරන අතරම සත්‍යය නමැති භාෂාව කතා කරමින් ඊට එකඟව ජීවත් වෙනවා. දෙවි අනාගතවක්තෘ ශෙපනියා මාර්ගයෙන් ඒ ගැන මෙසේ පුරෝකථනය කළා. “මම ජනයාට පවිත්‍ර භාෂාවක් උගන්වන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ නමට අයදින්නත් එක්සත්කමින් ඔහුට සේවය කරන්නත් හැකි වනු ඇත.”—ශෙප. 3:9, NW.
අද අද්දකින එක්සත් පවිත්‍ර ලෝක ව්‍යාප්ත සහෝදරත්වය ගැන මෙසේ විස්තර කිරීමට දෙවි ශෙපනියාට මඟ පෙන්නුවා. “ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය අධර්මිෂ්ඨකම් කරන්නේවත් බොරු කියන්නේවත් නැත. අන් අයව රවටන්නේද නැත. ඔවුහු හොඳින් පෝෂණය වී, කිසිවෙකුගෙන් අනතුරක් නොමැතිව විවේක සුවයෙන් කල් ගෙවන්නෝය.” (ශෙප. 3:13, NW) බයිබලයේ සඳහන් සත්‍යය තේරුම්ගෙන මනස අලුත් කරගැනීමෙන් තමන්ගේ ජීවිතය දෙවිගේ ප්‍රමිතිවලට එකඟව හැඩගස්වා ගෙන සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත්ව ඔහුට සේවය කරනවා. මිනිසුන් සිතන ආකාරයට කාරණා දෙස බලන අයට නම් ඔවුන් ඉටු කරන සේවය කවදාවත් විය නොහැකි දෙයක් මෙන් පෙනෙන්න පුළුවන්. ඇත්තෙන්ම සුවිශේෂි සෙනඟක් වන දෙවිගේ සෙනඟ ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදරත්වයක සාමාජිකයන් ලෙස එක්සත්ව දෙවිව ගෞරවයට පත් කරනවා.—මීකා 2:12.
යේසුස් පෙන්වා දුන් පරිදි, තමන්ගේ සැබෑ ගෝලයන්ව හඳුනාගැනීමට තිබෙන පැහැදිලි ලක්ෂණය වන ප්‍රේමය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළ දැකිය හැකියි. යෙහෝවා දෙවිව අවංකව සොයන අයට ඔහුගේ සෙනඟ අතර තිබෙන මෙම පැහැදිලි ලක්ෂණය දැකගත හැකියි. දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙකු වෙන්න ලැබීම ගැන අපි මොන තරම් ප්‍රීති වෙනවාද! මේ අන්තිම දවස්වල ඔහු අපිට පවරා තිබෙන ගෞරවනීය සේවය ඉටු කිරීමේ වරප්‍රසාදයද අපිට ලැබී තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ප්‍රධාන ගුණාංගය වන ප්‍රේමය සැමදා විදහා පෙන්වන්න අප අදිටන් කරගනිමු. එවිට, අපේ එක්සත් ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සමඟ ප්‍රීතියෙන් දෙවිට සේවය කිරීමට බොහෝ ප්‍රස්තා අපි ඉදිරියේ දිග හැරෙන බවට නිසැක විය හැකියි.