අපේ සේවය පුළුල් කළ හැකිද?
1 දෙවිව සතුටු කරන අයුරින් හැසිරීමටත් ‘වඩ වඩා එසේ කිරීමටත්’ පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නා. (1 තෙස. 4:1) මෙය අපිට අදාළ කරගත හැක්කේ කෙසේද? එක් ආකාරයක් නම් අපේ නමස්කාරය හා බැඳි ක්‍රියාකාරකම්වල පුළුල් ලෙස නියැලිය හැකිදැයි සොයා බලා ‘අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට’ වෑයම් කිරීමයි.—2 තිමෝ. 4:5.
2 චේතනාව: අපේ සේවය පුළුල් කිරීමට පෙලඹීමක් ඇති කරන්නේ මැවුම්කරුට තව වැඩියෙන් සේවය කිරීමට අප තුළ තිබෙන ආශාවයි. සත්‍යය තුළ වර්ධනය වීමත් අපේ සේවය දියුණු කරගත හැකි පැති සොයා බැලීමත් අවශ්‍යයි. අපි දෙවිට කරන සේවය තුළ ඉලක්ක අත් කරගැනීමට නම් නිවැරදි චේතනාවක් තිබිය යුතු අතර දෙවි අපෙන් අපේක්ෂා කරන දේවල් නිතිපතා කිරීමත් අවශ්‍යයි.—ගීතා. 1:1, 2; ෆිලි. 4:6; හෙබ්‍රෙ. 10:24, 25.
3 අපේ සේවය පුළුල් කරගැනීමේදී ත්‍යාගශීලී හා ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් තිබීම වැදගත්. යේසුස් තැබූ කදිම ආදර්ශය ගැන යාච්ඤාපූර්වකව සිතා බැලීමෙන් එවැනි ස්වභාවයක් වර්ධනය කරගත හැකියි. (මතෙ. 20:28) යේසුස් අන් අයට සේවය කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා. (ක්‍රියා 20:35) ජනයා කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දැක්වීමෙන් හා අපේ සේවය පුළුල් කිරීමට උදා වන ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගැනීමට සූදානම්ව සිටීමෙන් යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන්.—යෙසා. 6:8.
4 දෙමාපියන්ගේ කාර්යය: අන් අයට සේවය කිරීමටත් එය පුළුල් කිරීමටත් ආශාවක් දරුවන් තුළ කුඩා කාලයේ පටන් ඇති කළ හැකියි. දේවසේවය සඳහා පවුලේ අය දක්වන උනන්දුව හා එය පුළුල් කිරීමට දරන වෑයම් දරුවන්ගේ අවධානයට යොමු වෙනවා. එක් සහෝදරයෙක් තම සේවය පුළුල් කිරීමට පෙලඹුණේ කුඩා කාලේදී ඔහුගේ සීයා සමඟ සභාවේ වැඩකටයුතුවලට හවුල් වූ නිසයි. සීයා උනන්දුවෙන් හා ප්‍රීතියෙන් සභාවේ වැඩවල හවුල් වෙනවා දැකීම ඔහුගේ සිතට කාවැදුණා. ප්‍රතිඵලයක් හැටියට සහෝදරයන්ට උපකාර කරමින් තම සේවය පුළුල් කිරීමට ඔහු පෙලඹුණා. දැන් ඔහු සභා සේවකයෙක් ලෙස සේවය කරනවා.
5 සහෝදරයන් අවශ්‍යයි: සුදුසුකම් අත් කරගැනීම සඳහා වෑයම් කිරීමට සහෝදරයන්ව දිරිගන්වා තිබෙන්නේ මෙලෙසයි. “යමෙක්. . . අත් කරගැනීමට වෑයම් කරන්නේ නම් ඔහු යහපත් වැඩක් කිරීමට කැමති වන්නේය.” (1 තිමෝ. 3:1) ඒ සඳහා විශේෂ දක්ෂතා හෝ සහජ හැකියාවන් තිබිය යුතු නැහැ. සේවය පුළුල් කිරීමට වෑයම් කරන සහෝදරයෙකු පළමුකොට රාජ්‍යය සෙවිය යුතු අතර දේවසේවයේ උද්යෝගයෙන් හවුල් විය යුතුයි. (මතෙ. 6:33; 2 තිමෝ. 4:5) එමෙන්ම අන් අයට හොඳ ආදර්ශයක් වීමටද ඔහු වෑයම් කළ යුතුයි.
6 ලොව පුරා: එක්රැස් කිරීමේ කාර්යය දෙවි වේගවත් කරමින් සිටිනවා. (යෙසා. 60:22) යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් සෑම කෙනෙක්ම තම සේවය පුළුල් කරගැනීම වෙන කවරදාටත් වඩා අවශ්‍ය කාලයකයි අපි ජීවත් වන්නේ. දෙදහස් හය සේවා වසරේදී 2,48,327දෙනෙක් බව්තීස්ම වුණා. මෙය සාමාන්‍යයක් හැටියට ගත් කල දවසකට 680දෙනෙක් වෙනවා. මහත් වැඩ කොටසක් ඉටු කිරීමට තිබෙන මේ කාලයේදී අපි සියලුදෙනාම අපේ සේවය පුළුල් කළ හැකි ක්‍රම ගැන සිතා බලමු.