සභා පොත් පාඩම මගින් අපිට ලැබෙන උපකාර
1. රැස්වීම් පහ අපිට උපකාරවත් වන්නේ කෙසේද?
1 සතිපතා අපි සහභාගි වන සභා රැස්වීම් පහ පවත්වන ආකාරය හා ඒවායේ අරමුණු වෙනස්. ඒත් “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත්” වීමට අපට උපකාරවත් වෙන මේ සෑම රැස්වීමක්ම ඉතා වැදගත්. (හෙබ්‍රෙ. 10:24, 25) සභා පොත් පාඩමේ විශේෂත්වය හා ඉන් අපිට ලැබෙන උපකාර මොනවාද?
2. පොත් පාඩමේ කුඩා කණ්ඩායමක් සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
2 සත්‍යයේ ප්‍රගතියක් ලබන්න උපකාර කරයි: සාමාන්‍යයෙන් පොත් පාඩමකට පැමිණෙන්නේ සෙසු සභා රැස්වීම්වලට පැමිණෙනවාට වඩා හුඟාක් අඩු පිරිසක්. මේ නිසා පොත් පාඩම් කණ්ඩායමේ අය සමඟ ගොඩනංවනසුලු මිත්‍රත්වයක් ඇති කරගැනීම වඩාත් පහසුයි. (හිතෝ. 18:24) ඔවුන් හැම කෙනෙකුවම දැන හඳුනාගන්න ඔබ උත්සාහ කර තිබෙනවාද? ඔවුන් සමඟ දේවසේවයේ හවුල් වීම ඊට කදිම අවස්ථාවක්. ඔබ සමඟ සේවයේ යන්න කණ්ඩායමේ සෑම කෙනෙකුටම ආරාධනා කර තිබෙනවාද? එමෙන්ම පොත් පාඩම් අවේක්ෂකටත් මේ සැලැස්ම නිසා තම කණ්ඩායමේ සිටින එක් එක් සාමාජිකයාගේ තත්වය හොඳින් හඳුනාගැනීමටත් ඔවුන්ව හමු වී අවශ්‍ය උපකාර හා දිරිගැන්වීම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.—හිතෝ. 27:23.
3. සභා පොත් පාඩම නවකයන්ට පිළිතුරු දීමට මෙන්ම පැමිණීමට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
3 ඔබ සමඟ පොත් පාඩමට යන්න බයිබල් ශිෂ්‍යයන්ට ඔබ ආරාධනා කර තිබෙනවාද? උනන්දුව දක්වන අය විශාල පිරිසක් පැමිණෙන අපේ රැස්වීම්වලට පැමිණෙන්න අදිමදි කරන්න පුළුවන්. ඒත් නිවසක පවත්වන කුඩා රැස්වීමකට පැමිණෙන්න ඔවුන්ට එතරම් චකිතයක් නොදැනෙන්න පුළුවන්. එමෙන්ම පිළිතුරු දීමේ හවුල් වන්න පහසුබවද පොත් පාඩම්වලදී දරුවන්ට හා නවකයන්ට දැනෙනවා. රැස්ව සිටින්නේ කුඩා පිරිසක් නිසා පිළිතුරු දීම මගින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිට වැඩි අවස්ථාවක් ලැබෙනවා.—ගීතා. 111:1.
4. සභා පොත් පාඩම් සැලැස්ම අපිට පහසුවක් වන්නේ කුමන ආකාරවලින්ද?
4 පොත් පාඩම් පවත්වනු ලබන්නේ කණ්ඩායමේ සිටින අයට පැමිණීමට පහසු ස්ථාන කිහිපයකයි. හැම ප්රචාරකයෙකුවම ඔවුන්ට ළඟම තිබෙන පොත් පාඩම සඳහා යොමු කිරීම පහසු නොවුණත්, තමන්ට පවරා තිබෙන පොත් පාඩමට යෑම සඳහා ගත වන්නේ සෙසු රැස්වීම්වලට යනවාට වඩා අඩු කාලයක්. සභා පොත් පාඩම් පවත්වන ස්ථාන ක්ෂේත්‍ර සේවයේ යෑමට එක් රැස්වන ස්ථාන ලෙසද භාවිත කළ හැකියි.
5. දේවසේවය සම්බන්ධයෙන් පොත් පාඩම් අවේක්ෂකගෙන් අපිට උපකාර ලබාගන්න පුළුවන් කෙසේද?
5 දේවසේවය සඳහා ලැබෙන උපකාර: පොත් පාඩම් අවේක්ෂක තම කණ්ඩායමේ සෑම කෙනෙකුටම දේවසේවයේ නිතිපතා ප්‍රීතියෙන් හවුල් වීමටත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමටත් උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා. කණ්ඩායමේ සෑම කෙනෙකු සමඟ සේවයේ හවුල් වෙමින් සේවයේ විවිධ අංගවල නියැලීම සඳහා පෞද්ගලිකව උපකාර කිරීමට ඔහු වෑයම් කරනවා. නැවත බැලීම් කිරීම වැනි සේවයේ යම් අංගයක හවුල් වීම අමාරුයි කියා හැඟෙනවා නම් ඒ ගැන ඔබේ පොත් පාඩම් අවේක්ෂක සමඟ කතා කරන්න. කණ්ඩායමේ සිටින අද්දැකීම් ලත් ප්‍රචාරකයෙකු සමඟ සේවයේ යෑමට ඔබ වෙනුවෙන් කටයුතු පිළියෙල කරන්න ඔහුට පුළුවන්. පොත් පාඩම් අවේක්ෂක පොත් පාඩමේදී උගන්වන ආකාරය ගැන හොඳ අවධානයක් දීමෙන් බයිබල් පාඩම්වලදී ඉගැන්වීමේ හැකියාව ඔබට දියුණු කරගන්න පුළුවන්.—1 කොරි. 4:17.
6. පොත් පාඩම් සැලැස්ම අපි අගය කළ යුත්තේ ඇයි?
6 ඇත්තෙන්ම පොත් පාඩම මොන තරම් ආශීර්වාදයක්ද! යෙහෝවා දෙවි දී තිබෙන මේ ප්‍රේමණීය සැපයුම විශේෂයෙන්ම මේ අන්තිම දවස්වල සත්‍යයේ නොවැටී ගමන් කිරීමට අපට මහත් උපකාරයක්.—ගීතා. 26:12.