14වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
සභාවේ සාමය හා පවිත්‍රතාව රැකගැනීම
144 සිට 150 දක්වා පිටු
අවුරුදු පතා දහස් ගණනක් යෙහෝවා දෙවිගේ සෙනඟ සමඟ එක්ව නිර්මල නමස්කාරයේ හවුල් වන්නේ මහත් ප්‍රීතියෙන්. මෙය අනාවැකියක ඉටුවීමක්. (මීකා 4:1, 2) අපි ඔවුන්ව ‘දෙවිගේ සභාවට’ මහත් ප්‍රීතියෙන් පිළිගන්නෙමු. (ක්‍රියා 20:28) අප සමඟ එක්ව සැබෑ දෙවිට නමස්කාර කිරීම වරප්‍රසාදයක් ලෙස සලකන ඔවුන් ක්‍රිස්තියානි සභාව තුළ තිබෙන පාරාදීසයක් බඳු පවිත්‍ර හා සාමකාමී තත්වය බොහෝ සේ අගය කරනවා. එවැනි තත්වයක් පවතින්නේ දෙවිගේ බලය සභාවේ ක්‍රියාත්මක වීමත් සභාවේ සාමාජිකයන් බයිබලයේ සඳහන් නැණවත් උපදෙස් අදාළ කරගැනීමත් නිසයි.—ගීතා. 119:105; සෙක. 4:6.
බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන නිසා සැබෑ ක්‍රිස්තියානීන් තුළ තිබිය යුතු ගුණාංග වර්ධනය කරගැනීමට අපට හැකි වී තිබෙනවා. (කොලො. 3:10) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට අපි හැකි සෑම වෑයමක්ම දරනවා. මේ නිසා අපි සුළු සුළු අමනාපකම් හා එකඟ නොවීම් අමතක කරලා දානවා. අද ලෝකයේ පවතින භේදකාරී බලපෑම්වලට හසු නොවී සිටීමට හැක්කේ දෙවි දී තිබෙන මඟ පෙන්වීම්වලට එකඟව අපි ක්‍රියා කරන නිසයි. ලොව පුරා ප්‍රේමයෙන් එක්සත්ව දෙවිට සේවය කිරීමට අපිට හැකි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි.—ක්‍රියා 10:34, 35.
කෙසේවෙතත් සභාවේ සාමයට හා සමඟියට තර්ජනයක් වන ගැටලුත් කලින් කලට ඇති වෙනවා. මෙවැනි ගැටලුවලට ප්‍රධාන හේතුව කුමක්ද? ප්‍රධාන හේතුව බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගැනීමට අසමත් වීමයි. අප තුළ තිබෙන පව්කාර නැඹුරුවාවන්ට එරෙහිව සටන් කරන්න අපිට සිදු වී තිබෙන අතර. අපි කා අතිනුත් වැරදි සිදු වෙනවා. (1 යොහ. 1:10) තමන් කරන දේ ගැන පූර්ණ අවබෝධයක් නැතුව යම් කෙනෙක් වරදක් කරන්න පුළුවන්. එයින් සභාවේ සදාචාරය හා නමස්කාරය දූෂ්‍ය විය හැකියි. එමෙන්ම අපි දුර දිග නොබලා කරන හෝ පවසන දේවල් නිසා යමෙකුගේ සිත රිදෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් වෙනත් කෙනෙක් කළ කී දෙයක් නිසා අපේ සිතත් රිදෙන්න පුළුවන්. (රෝම 3:23) සබඳතා පලුදු වන මෙවැනි ගැටලු පැන නඟින විට කාරණා නිවැරදි කරගැනීම සඳහා අපිට කළ හැක්කේ කුමක්ද?
මේ සෑම දෙයක්ම සැලකිල්ලට ගෙන ප්‍රේමණීය ලෙස අපට උපකාර කර තිබීම ගැන අපි යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! උරුම වී තිබෙන පව්කාර නැඹුරුවාවන් නිසා එකිනෙකා අතර ගැටලු මතු වන විට හෝ සභාවේ සාමාජිකයෙක් පාපයක් කර තිබෙන විට ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන දෙවි බයිබලය මගින් අපිට උපදෙස් සපයනවා. සභාවේ සිටින ප්‍රේමණීය වැඩිමහල්ලන්ද අපට උපකාර කිරීමට සූදානමින් සිටිනවා. ඔවුන් බයිබලයෙන් සපයන උපදෙස් පිළිපැදීමෙන් සභාවේ සියලුදෙනා සමඟම හොඳ සබඳතාවක් පවත්වාගන්න අපට හැකියි. එමෙන්ම යෙහෝවා දෙවිගේ අනුමැතියද දිනාගත හැකියි. අපි කර තිබෙන වරදක් නිසා අපිට යම් හික්මවීමක් හා අවවාදයක් ලැබෙන විට අපි එය සැලකිය යුත්තේ අපේ ස්වර්ගීක පියා අපිට දක්වන ප්‍රේමය නිසා ලබා දෙන දෙයක් ලෙසයි.—හිතෝ. 3:11, 12; හෙබ්‍රෙ. 12:6.
සුළු ගැටලු නිරාකරණය කරගැනීම
සභාවේ ඇතැම් සාමාජිකයන් අතර සුළු කාරණා නිසා මතභේද හෝ ගැටලු ඇති විය හැකියි. සහෝදර ප්‍රේමය පෙන්වීමෙන් මේවා වහාම විසඳාගත යුතුයි. (එෆී. 4:26; ෆිලි. 2:2-4; කොලො. 3:12-14) සභාවේ සෙසු සාමාජිකයෙකු සමඟ ඇති කරගන්න ගැටලුවලින් බොහොමයක් පාවුල්ගේ මේ උපදේශය අදාළ කරගැනීමෙන් විසඳාගත හැකියි. “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න. මන්ද, ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය.” (1 පේතෘ. 4:8) එකිනෙකා සමඟ සුළු ගැටලු ඇති වන්නේ උරුම කරගෙන තිබෙන පව්කාර ස්වභාවය නිසයි. අපි සියලුදෙනාම බොහෝ අවස්ථාවලදී වැරදි කරනවා. (යාකො. 3:2) මෙය වටහාගෙන, අන් අය අපිට කරනවාට කැමති දේම අපිත් ඔවුන්ට කරමින් රන් අණ පිළිපදිනවා නම් අන් අයගේ දුර්වලකම්වලට සමාව දීමටත් ඒවා අමතක කර දැමීමටත් අපිට හැකියි.—මතෙ. 7:12.
කෙසේවෙතත් සභාවේ සෙසු සාමාජිකයෙකු සමඟ ඔබේ සබඳතාව පලුදු වීමට හේතු වී තිබෙන යම් දෙයක් ගැන ඔහු හෝ ඇය සමඟ කතා කර විසඳාගත යුතුයි කියා ඔබට හැඟෙනවා නම් කුමක් කළ හැකිද? කළ යුතු ප්‍රඥාවන්තම දෙය වන්නේ හැකි ඉක්මනින්ම කාරණය සමථයකට පත් කරගැනීමයි. මන්ද එය යෙහෝවා දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වයට බලපායි. මේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “එබැවින්, ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.” (මතෙ. 5:23, 24) සබඳතා පලුදු වීමට හේතුව වැරදි වැටහීමක් විය හැකියි. ක්‍රිස්තියානීන් අතර සමඟිය තිබීම අත්‍යවශ්‍ය බව පිළිගනිමින් කාරණා සමථයකට පත් කරගැනීමට කතා බහ කළ යුතුයි. සභාවේ සියලුදෙනා අතර හොඳ අදහස් හුවමාරුවක් තිබෙනවා නම් වරදවා වටහාගැනීම් වළක්වාගන්නත්, උරුම කරගෙන තිබෙන පව්කාර ස්වභාවය නිසා ඇති වන ගැටලු විසඳාගන්නත් පහසුයි.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් අවශ්‍ය උපදෙස් දීම
සභාවේ සාමාජිකයෙකුව නිවැරදි කිරීම සඳහා ඔහුට හෝ ඇයට යම් උපදෙසක් දීම අවශ්‍යයි කියා සභාවේ වැඩිමහල්ලන්ට හැඟී යා හැකියි. උපදෙස් දීම බොහෝවිට ලෙහෙසි දෙයක් නොවෙයි. කෙසේවෙතත් පාවුල් ගලාතියේ විසූ ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “සහෝදරයෙනි, යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගත්තොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න.”—ගලා. 6:1.
ප්‍රේමණීය එඬේරුන් සභාවේ සාමාජිකයන්ව රැකබලා ගනිමින් ඔවුන්ගේ ඇදහිල්ලට එල්ල විය හැකි අනතුරු ගැන නිතරම සාවධානව සිටිනවා; සභාව තුළ වර්ධනය විය හැකි බරපතළ ගැටලු වැළැක්වීමටත් වහා පියවර ගන්නවා. සභාවේ එඬේරුන් මහත් වෑයමක් දරමින් සිටින්නේ යෙහෝවා දෙවි යෙසයා මාර්ගයෙන් දුන් මේ පොරොන්දුවට එකඟව තම සේවය පිරිනැමීමටයි. “ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවාවීමට නිවහනක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට ගුහාවක් මෙන්ද, වියළි දේශයක ගලා යන දිය පාරවල් මෙන්ද, කාන්තාරයක මහ පර්වතයක සෙවණැල්ල මෙන්ද වන්නෝය.”—යෙසා. 32:2, නව ලොව පරිවර්තනය, NW.
ඇතැම් බරපතළ වැරදි නිරාකරණය කිරීම
සුළු සුළු කාරණා ගණන් නොගෙන සමාව දීම හොඳම දෙය බව අපි සලකා බැලුවා. නමුත් වැරදි දේවල් හමුවෙහි අපි ඇස් වසාගෙන සිටින හෝ ඒවා අනුමත කරන බවක් එයින් අදහස් කරන්නේ නැහැ. සෑම වරදකටම හේතුව උරුම වී තිබෙන පාපය කියා පැවසිය නොහැකියි. බරපතළ වැරදි ගණන් නොගෙන සිටීමෙන් අපේ සහෝදරයන්ටත් සභාවටවත් කිසිම යහපතක් වන්නේ නැහැ. (ලෙවී. 19:17; ගීතා. 141:5) ඇතැම් පාපවල බරපතළකම විවිධ මට්ටමින් මැනිය හැකි බව මෝසෙස් මගින් දෙන ලද නීති සංග්රහයේද සඳහන් වුණා. ක්‍රිස්තියානීන්ද ඒ කාරණය සැලකිල්ලට ගන්නවා.—1 යොහ. 5:16, 17.
සභාවේ සාමාජිකයන් අතර ඇති විය හැකි බරපතළ ගැටලු නිරාකරණය කරගැනීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පිළිවෙත යේසුස් පෙන්වා දුන්නේ මෙසේයි. “ඔබේ සහෝදරයා පාපයක් කළොත්, [1] ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුන්නොත්, ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබේ. නමුත් ඔහු සවන් දෙන්නේ නැත්නම්, [2] සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන පිණිස, තව කෙනෙකුව හෝ දෙදෙනෙකුව කැඳවාගෙන යන්න. ඔහු ඔවුන්ට සවන් දෙන්නේ නැත්නම්, [3] සභාවට දැනුම් දෙන්න. ඔහු සභාවට සවන් දෙන්නෙත් නැත්නම්, ඔහු ඔබට අන්‍යජාතිකයෙකු මෙන්ද බදු එකතු කරන්නෙකු මෙන්ද වේවා!”—මතෙ. 18:15-17.
යේසුස් ඉහත ක්‍රියා මාර්ගය විස්තර කිරීමෙන් පසු පැවසූ උපමාවෙන් (මතෙව් 18:23-35) පෙනී යන පරිදි මතෙව් 18:15-17හි කතා කරන පාපවලට අයත් වන්නේ මුදල් හෝ දේපොළ සම්බන්ධ ගනුදෙනුවලදී පොරොන්දු වූ පරිදි ගෙවීම් නොකිරීම හෝ යම් ප්‍රමාණයක වංචාවක් කර තිබීමයි. එමෙන්ම යමෙකුගේ හොඳ නමට කැළැලක් වන ආකාරයෙන් අපහාස කර තිබීමත් එවැනි පාපයක්.
සභාවේ සෙසු සාමාජිකයෙක් ඔබට විරුද්ධව එවැනි බරපතළ පාපයක් කර තිබෙන බවට ඔබ ළඟ පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් ඒ ගැන පැවසීමට හෝ එයට මැදිහත් වන්න කියා ඉල්ලීමට ඉක්මනින්ම වැඩිමහල්ලන් හෝ වෙනත් අය ළඟට යන්න එපා. යේසුස් දුන් උපදෙසට අනුව මුලින්ම අදාළ තැනැත්තා සමඟ ගැටලුව කතා කරන්න. වෙනත් අයව සම්බන්ධ කර නොගෙන ඔබ දෙදෙනා පමණක් කතා කර කාරණය නිරාකරණය කරගැනීමට වෑයම් කරන්න. ඔබගේ මේ වෑයමට ඔහු හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් ඊළඟ පියවර ගැනීමට කලින් සුළු කාලයකට ඉඩ හරින්න. ‘එකවරක් පමණක් ගොස් ඔහුගේ වරද පෙන්වා දෙන්න’ කියා යේසුස් පැවසුවේ නැති බව මතක තබාගන්න. මේ නිසා ඒ පුද්ගලයා මුලදී වරද පිළිගෙන සමාව ඉල්ලුවේ නැත්නම් නැවත වෙනත් අවස්ථාවක ගොස් ඒ ගැන කතා කිරීම හොඳයි. මේ ආකාරයට කාරණය සමථයකට පත් කරගත හැකි නම්, ඔහු කළ වරද ගැන අන් අයට පවසා සභාව තුළ ඔහුගේ හොඳ නමට කැළැලක් නොකිරීම ගැන ඒ තැනැත්තා ඔබව අගය කළ හැකියි. මෙලෙස ක්‍රියා කිරීමෙන් ‘ඔබේ සහෝදරයාව දිනාගැනීමට’ ඔබට හැකි වෙයි.
වරද කළ තැනැත්තා වරද පිළිගෙන සමාව ඉල්ලා කාරණය සමථයකට පත් කරගැනීමට කැමති නම් කාරණය තවදුරටත් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නැහැ. මෙයින් පෙනී යන්නේ ඉහත සඳහන් කළ බරපතළ කාරණයක් වුණත් ඊට සම්බන්ධ පුද්ගලයන් අතර විසඳාගෙන ඔවුන්ට පමණක් සීමා කරගත යුතු බවයි. එම වැරදිවලට වේශ්‍යාකම, පරදාරසේවනය, සමලිංගික සේවයන, දේව අපහාස, සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම, රූප වන්දනාව හා ඒ හා සමාන වෙනත් පාප අයත් වන්නේ නැහැ. (1 කොරි. 6:9, 10; ගලා. 5:19-21) මේ වැරදිවලදී සමාව දීමට වඩා වැඩි යමක් කළ යුතුයි. එවැනි වැරදිවලින් සභාවේ සදාචාර පවිත්‍රතාවට හා නමස්කාරයේ නිර්මලභාවයට හානියක් විය හැකි නිසා එවැනි වැරදි ගැන වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. ඒවා හසුරුවන්නේ ඔවුන් විසිනුයි.—1 කොරි. 5:6; යාකො. 5:14, 15.
ඔබ ‘තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දී’ ඔහුව දිනාගැනීමට නොහැකි වුණොත් යේසුස් පැවසූ ලෙස තව කෙනෙකුව හෝ දෙදෙනෙකුව කැඳවාගෙන ගොස් ඔබේ සහෝදරයා සමඟ නැවත අදාළ කාරණය ගැන කතා කළ හැකියි. ඔබ කැඳවාගෙන යන අයගේ පරමාර්ථය විය යුත්තේද ඔබේ සහෝදරයාව දිනාගැනීමයි. ඔබ කැඳවාගෙන යන්නේ සිදු වී තිබෙනවා කියා සිතන වරද ගැන දන්න අය නම් වඩාත් හොඳයි. එහෙත් ඒ ගැන දන්න කිසිවෙක් නැති වුණත් ඔබ ඔබේ සහෝදරයා සමඟ කරන සාකච්ඡාවට සාක්ෂි වශයෙන් සහෝදරයන්ව කැඳවාගෙන යන්න ඔබට පුළුවන්. ආදළ ගැටලුව විසඳීම සඳහා ඔවුන්ට අද්දැකීම් තිබෙන්න පුළුවන්. එමෙන්ම ඇත්තටම වරදක් සිදු වී තිබෙනවාද කියා තහවුරු කරගැනීමටත් ඔවුන්ට හැකියි. සාක්ෂිකරුවන් ලෙස වැඩිමහල්ලන්ව කැඳවාගෙන ගියත් ඔවුන් මැදිහත් වන්නේ සභාව වෙනුවෙන් නොවෙයි. ඊට හේතුව ඒ කාරණය සොයාබැලීමට සභාවේ වැඩිමහල් මණ්ඩලය විසින් එම වැඩිමහල්ලන්ව පත් කර නොතිබීමයි.
ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව බරපතළ වරදක් කර තිබෙන බව ඔබ තරයේ විශ්වාස කරනවාද? එය ඔප්පු කිරීමට ඔබට සාක්ෂි තිබෙනවාද? ගැටලුව විසඳාගැනීමට ඔහු සමඟ තනිව කීප වතාවක් කතා කර තිබෙනවාද? ඉන්පසු ඔබ තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ගොස් කතා කර තිබෙනවාද? මේ වන විටත් එම ගැටලුව අමතක කර දමන්න ඔබට නොහැකි වී ඇද්ද? ඔබේ පිළිතුර ඔව් නම් ඒ ගැටලුව ගැන සභාවේ වැඩිමහල්ලන්ට දන්වන්න. වැඩිමහල්ලන්ද උත්සාහ කරන්නේ සභාවේ සමඟිය හා පවිත්‍රකම රැකගැනීමට බව මතක තබාගන්න. ඔබට ගත හැකි අවසන් පියවර නම් වැඩිමහල්ලන්ට කාරණය ගැන දැන්වීමයි. ඉන්පසු කාරණය හසුරුවන්නේ ඔවුනුයි. ගැටලුව විසඳෙයි කියා යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. යම් කෙනෙක් කළ දෙයක් නිසා කිසිවිටකත් බාධාවට පත් වන්න එපා. යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් ඔබ ලබන ප්‍රීතිය අහිමි වී යෑමට තව කෙනෙක් කරන දෙයකට ඉඩ දෙන්නත් එපා.—ගීතා. 119:165.
ඔබ සමඟ ගැටලුවක් ඇති කරගත් සහෝදරයා ඇත්තෙන්ම ඔබට විරුද්ධව බරපතළ පාපයක් කර තිබෙන බව කරුණු සොයා බැලීමෙන් පසු වැඩිමහල්ලන්ට පැහැදිලිව පෙනී යනවා නම් හා එම සහෝදරයා පසුතැවිලි වීමට අකමැති නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට වැඩිමහල්ලන් පියවර ගත හැකියි. එඬේරුන් ලෙස ඔවුන් එවැනි පියවරක් ගන්නේ සභාවේ බැටළුවන්ව ආරක්ෂා කිරීමට හා සභාව පවිත්‍රව තබාගැනීමටයි.—මතෙ. 18:17.