13වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
“දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න”
134 සිට 144 දක්වා පිටු
දෙවිගේ කැපවූ සේවකයන් හැටියට ඔහුගේ නාමය දරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! එහෙත් අපි කරන කියන සෑම දෙයකදීම යෙහෝවා දෙවිව මහිමයට පත් කිරීමේ වගකීමත් අපට තිබෙනවා. මෙහිදී අපිට මඟ පෙන්වීම සපයන ප්‍රතිපත්තිය ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “එබැවින්, ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න.” (1 කොරි. 10:31) මේ සඳහා අපි දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් විය යුතුයි. දෙවිගේ පරිපූර්ණ පෞද්ගලිකත්වය එම ප්රතිපත්තිවලින් පිළිබිඹු වෙනවා. (කොලො. 3:10) ශුද්ධ වූ සෙනඟක් හැටියට අපි දෙවිව අනුකරණය කළ යුතුයි.—එෆී. 5:1, 2.
මෙය ක්‍රිස්තියානීන්ගේ අවධානයට යොමු කරමින් පේතෘස් මෙසේ සඳහන් කළා. “ඔබේ නොදන්නාකම නිසා කලින් ඔබට තිබුණු ආශාවලට අනුව හැඩගැසීමෙන් වැළකී, කීකරු දරුවන් මෙන්, ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තා මෙන් ඔබත් ඔබේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මන්ද, “මා ශුද්ධව සිටින නිසා, ඔබද ශුද්ධව සිටිය යුතුය” යි ලියා තිබේ.” (1 පේතෘ 1:14-16) පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපේක්ෂා කළාක් මෙන් අද දින සිටින දෙවිගේ සේවකයන්ගෙන්ද ශුද්ධව සිටීම අපේක්ෂා කරනවා. ඔවුන් පාපයේ බලපෑම්වලින් මෙන්ම ලෝකයේ බලපෑම්වලින්ද අපවිත්‍ර නොවී සිටිය යුතුයි. මෙසේ ඔවුන් යෙහෝවා දෙවිගේ සේවය සඳහා ශුද්ධ තත්වයක සිටින සෙනඟක් වී සිටිනවා.—නික්. 20:5.
එසේ දිගටම ශුද්ධව සිටීමට නම් දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට එකඟව සැමදා ජීවත් විය යුතුයි. මේවා පැහැදිලිව බයිබලයේ සඳහන් කර තිබෙනවා. (2 තිමෝ. 3:16) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ මාර්ග ගැනත් අපි බයිබලය පාඩම් කිරීමෙන් ඉගෙනගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි තව තවත් ඔහුට ළං වුණා. බයිබලයේ මූලික ඉගැන්වීම් කිහිපයක් පිළිගෙන, බව්තීස්ම වීමෙන් පමණක් ඔහුගේ සාක්ෂිකරුවෙක් විය නොහැකියි. දේවරාජ්‍යයට මුල් තැන දීමේ අවශ්‍යතාවත් අපේ ජීවිතයේ වැදගත්ම දෙය ඔහුගේ කැමැත්ත කිරීම බවත් බයිබලය පාඩම් කරන විට අපි තේරුම්ගත්තා. (මතෙ. 6:33; රෝම 12:2) ඉන්පසු අපි අලුත් පෞද්ගලිකත්වය පැළඳගත්තා.—එෆී. 4:22-24.
නමස්කාරය හා සදාචාරය හා බැඳි පවිත්‍රතාව
යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති රකිමින් දෙවිට වූ කැපවීමට එකඟව ජීවත් වීම සැමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. අපේ ප්‍රධානතම විරුද්ධකාරයා වන සාතන් නිතරම බලන්නේ අපව සත්‍යයේ මාර්ගයෙන් වෙනත් දිශාවකට යොමු කරන්නයි. දුෂ්ට ලෝකයෙන් එල්ල වන බලපෑම් හා අපේ පව්කාර ස්වභාවය නිසා සමහර අවස්ථාවලදී දෙවිගේ කැමැත්ත කිරීම දුෂ්කරයි. එමනිසා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය රැකගැනීම සඳහා අපිට සටනක් කරන්න සිදු වී තිබෙනවා. පීඩා හා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට පුදුම වෙන්න එපා කියා බයිබලයේ අපට පවසා තිබෙනවා. ධර්මිෂ්ඨකම නිසා අපිට දුක් විඳින්න සිදු වෙයි. (2 තිමෝ. 3:12) පීඩාවලට මුහුණ දීමට සිදු වන්නේ අපි දෙවිගේ කැමැත්ත කරන නිසයි. මේ නිසා අපිට ඒ ගැන ප්‍රීති වෙන්න පුළුවන්. —1 පේතෘ 3:14-16; 4:14-16.
යේසුස් පරිපූර්ණ වුණත් ඔහු වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්තා. ඔහු කවදාවත් සාතන්ගේ පරීක්ෂාවලට මෙන්ම ධනය හා බලය අත් කරගැනීමේ උගුලට හසු වුණේ නැහැ. (මතෙ. 4:1-11; යොහ. 6:15) යේසුස් කිසිවිටක ප්‍රතිපත්ති කඩ කිරීම ගැන සිතුවේවත් නැහැ. ඔහු සැමවිටම දෙවිට වූ පක්ෂපාතකම රැකගත් නිසා ලෝකයේ වෛරයට පාත්‍ර වුණා. ඒ වුණත් ඔහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති කිසිවිටකත් කඩ කළේ නැහැ. තමන් ලෝකයේ කොටසක් නොවූ නිසා ලෝකය තමන්ට වෛර කළාක් මෙන් තම ගෝලයන්ද ලෝකයේ කොටසක් නොවන නිසා ලෝකය ඔවුන්ටද වෛර කරන බව යේසුස් ඔහුගේ මරණයට ටික දවසකට කලින් ගෝලයන්ට පැවසුවා. ඒ කාලයේ පටන් යේසුස්ගේ අනුගාමිකයන් විවිධ පීඩා අත් විඳ තිබෙනවා. එහෙත් දෙවිගේ පුත්‍රයා ලෝකයෙන් ජය ගනිමින් ගෝලයන්ට ආදර්ශයක් තැබූ නිසා ධෛර්යයෙන් යුතුව ඒවාට මුහුණ දීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.—යොහ. 15:19; 16:33; 17:16.
ලෝකයෙන් ජය ගැනීමට නම් අපිත් අපේ ස්වාමියා මෙන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට දැඩි සේ ඇලී සිටිය යුතුයි. මේ ලෝකයේ දේශපාලනික කටයුතුවලින් පමණක් නොවෙයි, පහත වැටී තිබෙන සදාචාරයේ හානිකර බලපෑම්වලින්ද වැළකී සිටිය යුතුයි. මෙහිදී අපි යාකොබ් 1:21හි සඳහන් මේ උපදේශය හොඳින් සිතට ගැනීම වැදගත්. “සියලු කිලුටුකම්ද සියලු ආකාර දුෂ්ටකමද ඉවතලා, ඔබේ ජීවිත ගැලවිය හැකි, ඔබ තුළ පැලපදියම් කරන්නාවූ වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.” පීඩා හා පරීක්ෂාවලට මුහුණ දෙන විට අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට නම් අපි සත්‍යයේ වචනය අපේ මනසේ සහ සිතේ හොඳින් තැන්පත් කර තබාගත යුතුයි. මේ සඳහා අධ්‍යයනය කිරීම හා නිතිපතා රැස්වීම්වලට පැමිණීම අවශ්‍යයි. මේ ලෝකය මගින් අපිට ඇති කරන බලපෑම් කොතරම් ප්‍රබල වුණත් අපි කිසිවිටකත් ඒවාට යට නොවිය යුතුයි. ඊට හේතුව යාකොබ් දුන් මේ අනතුරු ඇඟවීමෙන් පෙනී යනවා. “පරදාර සේවනයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙකු ලෝකයේ මිතුරෙකු වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.” (යාකො. 4:4) යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට තදින් ඇලී සිටින්න කියාත් ලෝකයෙන් වෙන් වී සිටින්න කියාත් බයිබලයේ අපිට අවවාද කර තිබෙන්නේ ඇයි කියා ඔබට දැන් තේරෙනවාද?
ලැජ්ජාසහගතව හැසිරෙන්න හා නරක ජීවිතයක් ගත කරන්න එපා කියා දේවවචනයේ අනතුරු අඟවනවා. “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම හෝ ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.” අසභ්‍ය, ලැජ්ජාසහගත හා පහත් දේවල් කෙරෙහි සිත ඇදී යෑමට අපි කිසිවිටකත් ඉඩ නොදිය යුතුයි. අන් අය එවැනි දේවල් ගැන කතා කරන විට අපි ඒවාට සම්බන්ධ නොවිය යුතුයි. දුරාචාරයට අනුබල දෙන ලැජ්ජාසහගත දේවල් නැරඹීමෙන් වැළකී සිටිය යුතුයි. (එෆී. 5:3-5) මෙලෙස කටයුතු කිරීමෙන් අපි පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපැදීමට අපිට අවංක ආශාවක් තිබෙන බවයි.
ශාරීරික පවිත්‍රතාව
ශාරීරිකව පවිත්‍රව සිටීමේ වැදගත්කමද ක්‍රිස්තියානීන් වටහාගෙන සිටිනවා. පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුර නිතර පවිත්‍රව තබාගත යුතුයි කියා ශුද්ධ වූ දෙවි ඔවුන්ට පවසා තිබුණා. (ද්වි. 23:14) එදා පැවති ජීවිත රටාව පවිත්‍රකම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි නියම කළ ප්‍රමිතිවලට අනුකූල විය යුතු වුණා. දෙවි ‘අප තුළ අපවිත්‍ර දෙයක් නොදකින පිණිස’ අපේ සිරුරත් අපේ වටපිටාවත් පවිත්‍රව තබාගත යුතුයි.
ශුද්ධකම හා ශාරීරික පවිත්‍රකම අතර කිට්ටු සබඳතාවක් තිබෙන බව බයිබලයේ ඒ ගැන සඳහන් වී තිබෙන ආකාරයෙන් පෙනී යනවා. උදාහරණයක් හැටියට පාවුල් පැවසූ මේ වචන සලකා බලන්න. “ප්‍රේමණීය තැනැත්තෙනි, . . . මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු. එමගින්, දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කරමු.” (2 කොරි. 7:1) මේ නිසා සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ ඇඳුම් පැළඳුම් සෝදාගැනීමෙන් හා දිය නෑමෙන් තම සිරුර පවිත්‍රව තබාගත යුතුයි. පවතින තත්වයන් රටින් රටට වෙනස් වුණත්, ක්‍රිස්තියානි පුරුෂයන්ට සහ ස්ත්රීන්ට තමන්ගේ සිරුර පවිත්‍රව තබාගැනීම සඳහා අවශ්‍ය තරම් සබන් හා ජලය බොහෝදුරට සොයාගත හැකියි. දෙමාපියන් තම දරුවන්වද පවිත්‍රව තබාගත යුතුයි.
අපි ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හවුල් වන නිසා අපි ජීවත් වන ප්‍රදේශයේ සිටින ජනයා අපිව හොඳින් දන්නවා. අපේ නිවස පිටතින් මෙන්ම ඇතුළතින්ද පිළිවෙළකට තබාගැනීමම අසල්වැසියන්ට සාක්ෂියක් වෙනවා. මෙලෙස නිවස තබාගැනීම සඳහා පවුලේ සෑම කෙනෙකුටම දායක විය හැකියි. තම නිවස හා වටපිටාව ප්‍රසන්නව හා පිළිවෙළකට තබාගැනීම අන් අයට කදිම සාක්ෂියක් වන නිසා ස්වාමිපුරුෂයන් හා පියවරුන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ දේ වගේම පවුලේ අය සමඟ දෙවිගේ නමස්කාරයේ නිතිපතා හවුල් වීමෙන්ද පෙනී යන්නේ පවුල්වල සිටින එවැනි පුරුෂයන් තම නිවසේ සිටින අයව හොඳින් හසුරුවාගන්න බවයි. (1 තිමෝ. 3:4, 12) එමෙන්ම නිවසේ කටයුතු බලාගැනීම සම්බන්ධයෙන් භාර්යාවන්ට හා මව්වරුන්ටද වගකීමක් තිබෙනවා. (තීත. 2:4, 5) දරුවන්ව හොඳින් පුහුණු කර තිබෙනවා නම් ඔවුන් තමන්වත් තම නිවසත් පවිත්‍රව හා පිළිවෙළකට තබාගනියි. මෙසේ පවුලේ සියලුදෙනාම එකතු වී යහපත් පුරුදු වර්ධනය කරගන්නවා නම් පවිත්‍රකම රැකගත හැකියි. පාරාදීස පොළොවේ ජීවත් වන කාලයේදී එම පුරුදු බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවයේ යෑමට විවිධ ආකාරයේ වාහන පාවිච්චි කරනවා. සමහර ප්‍රදේශවල සේවයේ යෑමට වාහනයක් තිබෙනවා නම් පහසුයි. අපි පාවිච්චි කරන වාහනය කුමක් වුණත් එය පිරිසිදුව තබාගැනීම හා හොඳින් නඩත්තු කිරීම වැදගත්. අපි යෙහෝවා දෙවිගේ පවිත්‍ර හා ශුද්ධ සෙනඟට අයත් පිරිසක් බව අපේ නිවස හා වාහනය මගින් ජනයාට දැකිය හැකි විය යුතුයි.
අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තිබිය යුතුයි. අපි වැදගත් නිලධාරියෙකුව හමුවීමට යනවා නම් අපිළිවෙළකට යන්නේ නැහැ. අපේ පෙනුම හා ඇඳුම් ගැන අපි හුඟාක් සැලකිලිමත් වෙනවා. දේවසේවයේදී හා සභාවේ කතා ඉදිරිපත් කරන විට අපි යෙහෝවා දෙවිව නියෝජනය කරන නිසා අපි ඇඳ පැළඳ සිටින ආකාරය හා අපේ පෙනුම ගැන අපි ඊටත් වඩා කොමපණ වැඩියෙන් සැලකිලිමත් විය යුතුද! අපි ඇඳ පැළඳ සිටින ආකාරය හා හිසකෙස් සකස් කර තිබෙන ආකාරය යෙහෝවා දෙවිගේ නමස්කාරය ගැන අන් අයගේ ආකල්පයට බලපානවා. අන් අය ගැන කිසිම තැකීමක් නැතිව අවිනීතව ඇඳ පැළඳ සිටීම සුදුසු නැහැ. (මීකා 6:8; 1 කොරි. 10:31-33; 1 තිමෝ. 2:9, 10) මේ නිසා අපි ක්ෂේත්‍ර සේවයේ යෑමට හෝ සභාවේ රැස්වීම්වලට, චාරිකා එක්රැස්වීම්වලට හා දිස්ත්‍රික් සමුළුවලට යෑමට සූදානම් වන විට අපේ ශාරීරික පවිත්‍රකම හා විනීත පෙනුම ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද කියා හොඳින් සිතට ගත යුතුයි. මෙසේ කිරීමෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්.
සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් බැහැදැකීමට යන විටත් එම ප්‍රතිපත්ති අදාළ වෙනවා. බෙතෙල් යන නමේ අර්ථය “දෙවිගේ ගෘහය” බව මතක තබාගන්න. එනිසා එහි යන විට අපි ඇඳ පැළඳ සිටිය යුත්තේ රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට යන ආකාරයටයි. එමෙන්ම අපේ හැසිරීම ගැනද සැලකිලිමත් විය යුතුයි.
විනෝදාස්වාදය
ටිකක් විවේක ගැනීම හා විනෝද වීම කාටත් අවශ්‍යයි. එක් අවස්ථාවකදී යේසුස් හුදකලා ස්ථානයකට ගොස් “මද විවේකයක් ගන්න” තමන් සමඟ එන්න කියා ගෝලයන්ට ආරාධනා කළා. (මාක් 6:31) විවේකීව කාලය ටිකක් ගත කිරීමෙන් හෝ විනෝද වීමෙන් වෙහෙසකර ජීවිතයට යම් ප්රබෝධයක් ලබාගන්න පුළුවන්. එදිනෙදා වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය ප්රාණවත්භාවයක්ද එයින් ලැබෙනවා.
විනෝද වීම සඳහා අද බොහෝ දේවල් තිබෙනවා. එහෙත් ක්‍රිස්තියානීන් තමන්ට සුදුසු විනෝදාස්වාදයන් තෝරාගත යුතුයි. මෙහිදී ප්‍රඥාවන්තව තීරණ ගැනීම අවශ්‍යයි. විනෝද වීමෙන් යම් ප්‍රයෝජන ලැබුණත් එය ජීවිතයේ අතිවැදගත් දෙයක් නොවෙයි. මේ “අන්තිම දවස්වල” ජීවත් වන මිනිස්සු “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන” බව බයිබලයේ අපිට අනතුරු අඟවා තිබෙනවා. (2 තිමෝ. 3:1, 4) අද වැඩියෙන්ම තිබෙන්නේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ආශාවක් තිබෙන අයට හවුල් විය නොහැකි විනෝදාස්වාදයන්.
මුල් ක්‍රිස්තියානීන් ජීවත් වුණේ වැඩිදෙනෙක් විනෝද වීමට ලොල්කමක් දැක්වූ සමාජයකයි. එහි බලපෑම්වලට හසු නොවී සිටීම සඳහා මහත් වෑයමක් දරන්න ඔවුන්ට සිදු වුණා. රෝම සැණකෙළිවලට ගිය නරඹන්නන් අන් අයට සැහැසික ලෙස සලකන දර්ශන දැකීමෙන් විනෝද වුණා. බොහෝදෙනෙක් ගිය එම සැණකෙළිවල ප්‍රධාන අංගයක් වූයේ සැහැසිකකම් හා අනාචාර ක්‍රියාවනුයි. නමුත් මුල් ක්‍රිස්තියානීන් එවැනි ක්‍රියාවලින් වැළකී සිටියා. අදත් ලෝකයේ තිබෙන විනෝදාස්වාද බොහොමයක දකින්න තිබෙන්නේ මිනිසුන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කරන එවැනි දේවල්. අපි ‘ගමන් කරන ආකාරය ගැන සැලකිලිමත්’ වෙමින් එවැනි දේවලින් ඉවත් වී සිටිය යුතුයි. (එෆී. 5:15, 16; ගීතා. 11:5) ඇතැම්විට යම් විනෝදාස්වාදයක වරදක් නැති වුණත් ඊට හවුල් වන මිනිසුන්ගේ අහිතකර බලපෑම්වලට අපි ලක් විය හැකියි.—1 පේතෘ 4:1-4.
දෛනික වැඩවලින් ටිකක් විවේක ගෙන ගතට මෙන්ම සිතටද ප්රබෝධයක් ලබාගත හැකි හිතකර විනෝදාස්වාදයන් නැතුවා නොවෙයි. බයිබලයේ උපදෙස් හා අපගේ ප්රකාශනවල සඳහන් සමබර යෝජනා පිළිපැදීමෙන් හුඟදෙනෙක් ප්‍රයෝජන ලබා තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී සහෝදර ඇසුරක් භුක්ති විඳීම සඳහා පවුල් දෙක තුනකට ආරාධනා කරන්න පුළුවන්. තවත් අවස්ථාවලදී විවාහ උත්සවයකට හෝ වෙනත් ප්‍රිය සාදයකට සහෝදර සහෝදරියන්ට ආරාධනා කරන්න පුළුවන්. (යොහ. 2:2) මෙවැනි ඇසුරකදී සිදු වන දේවල් සම්බන්ධයෙන් සත්කාර කරන්නා වගකීම භාරගත යුතුයි. මේ නිසා වගකීමේ හැඟීමෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානීන් එවැනි අවස්ථාවලට ආරාධනා කරන අයගේ ගණන හා ඇසුරු කරන කාලය සීමා කිරීම ප්‍රඥාවන්ත බව තේරුම්ගෙන තිබෙනවා. මද්‍යසාර අඩංගු බීම සංග්‍රහ කරනවා නම් එය ප්‍රමාණය ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුයි. (ෆිලි. 4:5) ක්‍රිස්තියානීන් ඇසුරුක් සැලසුම් කරන විට එයින් කිසිවෙකුටවත් හානියක් නොවන බවටත් සියලුදෙනාම දිරිගැන්වීමක් ලබන බවටත් සහතික වීමට හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි. වැදගත්ම දෙය කෑම බීම නොවන බව මතක තබාගන්න.
විශාල පිරිසක් එකට එකතු වන විට සිදු වන සෑම දෙයක් ගැනම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. සන්සුන් ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට නම් සෑම දෙයකම සීමාව තේරුම්ගැනීමත් හැසිරීම ක්‍රිස්තියානීන්ට ඔබින ලෙස තිබීමත් වැදගත්. මෙසේ නොවුණු අවස්ථාවල සීමාව ඉක්මවා කෑම බීම ගෙන සමහරු බරපතළ වැරදි පවා සිදු කර තිබෙනවා.
ආගන්තුක සත්කාරය පෙන්වීම යහපත් දෙයක්. (1 පේතෘ. 4:9) කෑම වේලක් හෝ තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳිමින් විවේකීව කාලය ගත කිරීමට අන් අයව අපේ නිවසට ආරාධනා කරන විට සභාවේ සිටින දිලිඳු අයවද අමතක කරන්න එපා. (ලූක් 14:12-14) එවැනි ඇසුරකට අපට ආරාධනා කර තිබෙනවා නම් මාක් 12:31හි සඳහන් උපදේශයට අනුව අපේ හැසිරීම පවත්වාගත යුතුයි. අන් අය අපට පෙන්වන කරුණාව අගය කරන බව පෙන්වීමද වැදගත්.
දෙවි බහුල ලෙස සපයා තිබෙන විවිධ දේවලින් ක්‍රිස්තියානීන් ප්‍රීතිය භුක්ති විඳියි. එමෙන්ම ‘කා බී තමන් දරන මුළු වෙහෙසින් යහපත භුක්ති විඳීමට’ හැකි බව ඔවුන් දන්නවා. (දේශ. 3:12, 13) සහෝදර ඇසුරක් භුක්ති විඳීමේදී තමන් කරන සෑම දෙයකින්ම දෙවිව මහිමයට පත් කිරීමට සත්කාර කරන්නා මෙන්ම සත්කාර ලබන්නන්ද වගබලා ගත යුතුයි. තමන් භුක්ති විඳි ඇසුරෙන් පසු කිසිවෙකුගේ හෘදය සාක්ෂිය පලුදු නොවිය යුතුයි. තමන් දිරිගැන්වීමක් ලැබූ බවට වූ හැඟීම නිසා කා තුළත් තෘප්තියක් ඇති විය යුතුයි.
පාසැලේ ක්‍රියාකාරකම්
සාක්ෂිකරුවන්ගේ දරුවන් මූලික පාසැල් අධ්‍යාපනයක් ලැබීමෙන් ප්‍රයෝජන ලබනවා. පාසැල් යන කාලයේදී හොඳින් කියවීමට හා ලිවීමට ඉගෙනගන්න ඔවුන් මහත් උනන්දුවක් දක්වනවා. පහළ හා ඉහළ පන්තිවලදී ඉගෙනගන්න විෂයන් දේවසේවය සම්බන්ධයෙන් ඔවුන් තබා තිබෙන ඉලක්ක අත් කරගැනීමේදී ප්‍රයෝජනවත් වෙනවා. පාසැල් අධ්‍යාපනය ලබන කාලයේදී පවා නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දීමෙන් ‘තමන්ගේ මැවුම්කාරයාණන්ව සිහිකරන්න’ ඔවුන් මහත් වෑයමක් දරනවා.—දේශ. 12:1.
ඔබ පාසැල් යන දරුවෙක් නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන යෞවනයන් නොහික්මුණු ලෙස හැසිරෙන අවස්ථාවලදී ඔබ ඔවුන් සමඟ හවුල් නොවිය යුතුයි. (2 තිමෝ. 3:1, 2) එවැනි අවස්ථාවලදී ලෝකයෙන් එල්ල වන බලපෑම්වලට යට නොවීම සඳහා ඔබට බොහෝ දේ කළ හැකියි. යෙහෝවා දෙවි අනතුරු මැද අපිව තනි කර නැහැ. අවශ්‍ය ආරක්ෂාව සපයනවා. (ගීතා. 23:4; 91:1, 2) එහෙත් අපිට ආරක්ෂාව සැලසීම සඳහා ඔහු ලබා දෙන සැපයුම්වලින් අපි ප්‍රයෝජන ගත යුතුයි. එසේ කිරීමෙන් පමණයි අපිට ආරක්ෂා විය හැක්කේ.—ගීතා. 23:5.
ලෝකයෙන් වෙන්ව සිටීම සඳහා සාක්ෂිකාර දරුවන් පාසැලෙන් පසු තිබෙන බාහිර ක්‍රියාකාරකම්වල තිබෙන අනතුරු ගැන සැලකිලිමත් විය යුතුයි. ඒවාට හවුල් නොවීමට ඔබ ගන්න තීරණය ඔබේ පන්තියේ සිසුන් හා ගුරුවරුන් තේරුම් නොගන්න පුළුවන්. එහෙත් වැදගත්ම දෙය වන්නේ යෙහෝවා දෙවිව සතුටු කිරීමයි. මේ සඳහා ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේවලට අනුව ඔබේ හෘදය සාක්ෂිය හැඩගස්වා ගත යුතුයි. එමෙන්ම ලෝකයේ තරඟවලට හා දේශානුරාගී උත්සව හා ඒ හා බැඳි දේවලට සම්බන්ධ නොවීමට අදිටන් කරගැනීමත් අවශ්‍යයි. ඒවාට හවුල් වීමෙන් බයිබල් ප්‍රතිපත්ති කඩ වෙයි. (ගලා. 5:19, 26) දෙවිට ලැදි ඔබේ දෙමාපියන් බයිබලයෙන් දෙන උපදෙස් සිතට ගැනීමෙන් හා සභාවේ අය සමඟ කරන යහපත් ඇසුරෙන් හා රැස්වීම්වලදී ඔබ ඉගෙනගන්න දේවලින් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඔබට මහත් ශක්තියක් ලැබෙයි.
රැකියාව සහ ආශ්‍රිතයන්
තම පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලීමේ වගකීම තිබෙන්නේ පවුලේ මූලිකයන්ටයි. (1 තිමෝ. 5:8) කෙසේවෙතත් තම රැකියාවට දිය යුත්තේ දෙවැනි තැන බවත් මුල් තැන හිමි විය යුත්තේ රාජ්‍යය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට බවත් ඔවුන් තේරුම්ගෙන සිටිනවා. (මතෙ. 6:33; රෝම 11:13) දේවභක්තික ජීවිතයක් ගත කරමින් තමන්ට තිබෙන දෙයින් සෑහීමට පත්ව සිටින ඔවුන් තම අවශ්‍යතා ගැන කනස්සලු වෙන්නේ නැහැ. එමෙන්ම ඔවුන් අද ලෝකයේ බහුතරයක් හඹා යන සැපසම්පත් ලබාගැනීමේ උගුලට හසු වන්නේද නැහැ.—1 තිමෝ. 6:6-10.
පවුල්වල මූලිකයන් පමණක් නොව රැකියා කරන දෙවිට කැප වී සිටින සියලුම ක්‍රිස්තියානීන් නිතරම බයිබල් ප්‍රතිපත්ති මනසේ තබාගත යුතුයි. අවංකව රැකියාවක් කර අවශ්‍යතා සපුරාගන්න සැබෑ ක්‍රිස්තියානීන් දෙවිගේ නීති හා රටේ නීති කඩ කරන කිසිම දෙයක් කරන්නේ නැහැ. (රෝම 13:1, 2; 1 කොරි. 6:9, 10) රැකියා ස්ථානයේ තිබෙන තවත් අනතුරක් නම් නරක ආශ්‍රිතයන්. එමනිසා මේ ගැන නිතර කල්පනාකාරීව සිටිය යුතුයි. ක්‍රිස්තුස්ගේ හේවායන් හැටියට අපි ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කඩ වන හෝ දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය පලුදු වීමට හේතු වන ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන්නේ නැහැ. (2 තිමෝ. 2:4) සැබෑ දෙවිගේ සතුරෙක් ලෙස සලකනු ලබන “මහ බැබිලෝනිය” හෙවත් අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධයක් තිබෙන කිසිම දෙයකට ඔවුන් හවුල් වන්නේ නැහැ.—එළි. 18:2, 4; 2 කොරි. 6:14-17.
අපි සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කරන්නේ අපට ලාභ ප්‍රයෝජන ලැබෙන දේවලට හෝ ව්‍යාපාරික කටයුතුවලට ඔවුන්ව සම්බන්ධ කරගැනීමේ අරමුණින් නොවෙයි. එය දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනියි. සතිපතා රැස්වීම්වලදී, චාරිකා එක්රැස්වීම්වලදී හා සමුළුවලදී අපි සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමේ එකම අරමුණ වන්නේ දෙවිට නමස්කාර කිරීම හා ඔහු සපයන පෝෂණය ලබමින් “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ලැබීමයි. (රෝම 1:11, 12; හෙබ්‍රෙ. 10:24, 25) එවැනි අවස්ථාවලදී අපේ අවධානය යොමු කළ යුත්තේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට පමණයි.
ක්‍රිස්තියානි එකමුතුකම රැකගනිමු
දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන ඔහුගේ සෙනඟ “සමාදානය නමැති එක්සත් කරවන බැඳීම තුළ ආත්මයේ එකමුතුකම පවත්වාගැනීම” අවශ්‍යයි. (එෆී. 4:1-3) තමා ගැනම සිතන්නේ නැතිව අන් අයගේ යහපත ගැන සැලකිලිමත් වීමත් අවශ්‍යයි. සභාවේ අය අතර එවැනි ආකල්පයක් තිබෙන බව ඔවුන් සමඟ ඇසුරු කිරීමේදී ඔබ දැක ඇති. ජනවර්ගය, ජාතිය, සමාජ හා ආර්ථික මට්ටම හා අධ්‍යාපනික පසුබිම කුමක් වුණත්, අපි සියලුදෙනාම සෑම දෙයක්ම කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟවයි. යෙහෝවා දෙවිගේ සෙනඟ අතර තිබෙන මේ කැපීපෙනෙන ලක්ෂණය අන් අයගේ අවධානයටද ලක් වී තිබෙනවා.—1 පේතෘ. 2:12.
ක්‍රිස්තියානීන්ගේ එකමුතුකමට හේතු වන තවත් දෙයක් අවධාරණය කරමින් පාවුල් මෙසේ සඳහන් කළා. “ඔබව කැඳවනු ලැබූ කල එක බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ශරීරයක්ය. එක ආත්මයක්ය. එක ස්වාමියෙක්ය. එක ඇදහිල්ලක්ය. එක බව්තීස්මයක්ය. සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ සිටින්නාවූ එක දෙවි කෙනෙක් සහ පියෙක් සියල්ලන්ටම ඇත්තේය.” (එෆී. 4:4-6) මූලික බයිබල් ඉගැන්වීම් මෙන්ම තවදුරටත් පැහැදිලි කරනු ලබන බයිබල් ඉගැන්වීම් වටහාගැනීමේදීද එකමුතුකම දිස් විය යුතුයි. යෙහෝවා දෙවිගේ උතුම් කැමැත්ත හා බලතල සියලුදෙනාම එක හා සමානව පිළිගත යුතුයි. මෙය එකමුතුකමට දායක වෙයි. දෙවි ඔහුගේ සෙනඟට සත්‍යය නමැති පවිත්‍ර භාෂාව දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් එක්සත්ව දෙවිට සේවය කරනවා.—ශෙප. 3:9.
ක්‍රිස්තියානි සභාවේ පවතින එකමුතුකම හා සාමය යෙහෝවා දෙවිට නමස්කාර කරන සියලුදෙනාටම මහත් දිරිගැන්වීමක්. “එකම ගාලක සිටින බැටළු රැළක් මෙන් ඔවුන්ට එකමුතුව විසීමට මම සලස්වන්නෙමි” කියා යෙහෝවා දෙවි දුන් පොරොන්දුවේ ඉටුවීම අද අපි අද්දකිනවා. (මීකා 2:12, නව ලොව පරිවර්තය) අපි සැමගේ ආශාව වන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් ශුද්ධ සෙනඟක් හැටියට සැමදාම එකමුතුව සාමයෙන් කල් ගෙවීමයි.
අපිව යෙහෝවා දෙවිගේ පවිත්‍ර සභාවට පිළිගෙන තිබීමෙන් අපි ලබන්නේ මොන තරම් ප්‍රීතියක්ද! දෙවිගේ නාමයෙන් අපිව අමතනු ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! ඒ සඳහා අපි කර තිබෙන ඕනෑම කැප කිරීමක් ඇත්තටම වටිනවා. මේ නිසා යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ අනගි මිත්‍රත්වය සැමදා පවත්වාගනිමු. ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමටත්, අන් අයටද ඒවා කියා දීමටත් වෑයම් කරමු.—2 කොරි. 3:18.