12වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
දේවරාජ්‍යයේ වැඩවලට සහයෝගය දක්වමු
127 සිට 134 දක්වා පිටු
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කර තිබෙනවා. මෙය අන්තිම දවස් සම්බන්ධයෙන් යේසුස් පැවසූ අනාවැකියක ඉටුවීමක්. (ක්‍රියා 1:8; මතෙ. 24:14) ඔවුන් දෙවි පිළිබඳ දැනුම ජනයා සමඟ බෙදාගැනීම සඳහා තම කාලය හා ශ්‍රමය ත්‍යාගශීලී ලෙස ලබා දී තිබෙනවා. යෙහෝවා දෙවිට ඔහුගේ සේවකයන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි බවට දැඩි විශ්වාසයක් තබා තිබෙන ඔවුන් තම ජීවිතයේ මුල් තැන දෙන්නේ දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණාවලටයි. (මතෙ. 6:25-34; 1 කොරි. 3:5-9) ඔවුන්ට ඔහුගේ අනුමැතිය හා ආශීර්වාද ලැබෙන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.
ලොව පුරා දේවරාජ්‍යය හා බැඳි වැඩවලට සහය දැක්වීම
වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කිරීමට යොදාගන්න විවිධ ක්‍රම ගැනත්, ඔවුන් බයිබලය ගැන පහදා දෙන පොත් පත් සඟරා අය කිරීමකින් තොරව බෙදාහරින ප්‍රමාණය ගැනත් සිතන විට සමහරුන් මෙසේ ඇසිය හැකියි. “මේ හැම දෙයක්ම කරන්න සල්ලි කොහෙන්ද?” බයිබල් හා බයිබලය මත පදනම් පොත් පත් හා සඟරා විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරන යන්ත්‍ර සඳහා මුදලක් අවශ්‍යයි. මීට අමතරව එම යන්ත්‍ර ක්‍රියාත්මක කරන, දේශනා සේවය හා සම්බන්ධ කටයුතු සැලසුම් කරන හා ශුභාරංචියේ ව්‍යාප්තිය සඳහා විවිධාකාරවලින් තම කාලය සම්පූර්ණයෙන්ම යොදවන දේවසේවකයන් සේවය කරන බෙතෙල් නිවාස ගොඩනැඟීමට හා ඒවා නඩත්තු කිරීමටද සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එපමණක් නොවෙයි සමහර දේවසේවකයන්ට විශේෂ පුහුණුවක් දී වෙනත් රටවලට යවනු ලබනවා. තවත් අයව විශේෂ පුරෝගාමීන් හැටියට පත් කර දුර ප්‍රදේශවලට හෝ කුඩා සභාවලට යවනු ලබනවා. සංචාරක අවේක්ෂකයන්ට තම සේවය දිගටම කරගෙන යෑමට හැකි වන පරිදි ඔවුන්ගේ ඇතැම් අවශ්‍යතා සපුරාලනු ලබනවා. මෙයින් පෙනී යන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවයි. මේ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද?
අපේ පොත් පත් සඟරා මහජනයාට ඉදිරිපත් කරන්නේ අය කිරීමකින් තොරව වුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන සේවය අගය කරන බොහෝදෙනෙක් අපේ ලෝක ව්‍යාප්ත සේවයට පරිත්‍යාග කිරීමට සතුටු වෙනවා. මේ හැර සාක්ෂිකරුවන්ද තම රටේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ස්වේච්ඡා සම්මාදම් එවනවා. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගොඩනැඟිල්ලක් සෑදීමට අවශ්‍ය දේවල් සිය කැමැත්තෙන්ම පරිත්‍යාග කළ පුරාණයේ විසූ දෙවිගේ සේවකයන් මෙන් අද සිටින සාක්ෂිකරුවන්ද පරිත්‍යාග කිරීමේ අවශ්‍යතාව තේරුම්ගෙන ලෝක ව්‍යාප්ත සේවය සඳහා තමන්ට හැකි අයුරින් දායක වෙනවා. (නික්. 35:20-29; 1 ලේක. 29:9) සමහරුන් අන්තිම කැමති පත්‍රයක් මගින් තමන්ගේ බූදලය පවරමින් විශාල පරිත්‍යාග කරන අතර තවත් අය පෞද්ගලිකවද, සභා හා චාරිකා මට්ටමෙන්ද ශාඛා කාර්යාලයට කුඩා ප්‍රමාණයෙන් සම්මාදම් එවනවා. මේ සියලුම සම්මාදම් එකතු කළ විට ලැබෙන මුදල අපේ සේවය දිගටම කරගෙන යෑමට ප්‍රමාණවත්.
මින් පෙනී යන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීමෙන් පමණක් සෑහීමට පත් නොවී, එහි වර්ධනය උදෙසා මුදලින් හා තමන් සතු වෙනත් සම්පත්වලින් දායක වන්න ලැබීම වරප්‍රසාදයක් හැටියට සලකන බවයි. යේසුස් සහ ඔහුගේ ගෝලයන් දුප්පත් අයට උපකාර කිරීම සඳහාත්, යම් කාර්යයන් සඳහා වැය වන වියදම් පිරිමසාගැනීම සඳහාත් මුදල් පෙට්ටියක් තබාගෙන සිටියා. (යොහ. 12:6; 13:28, 29) යේසුස් සහ ඔහුගේ ගෝලයන් කළ සේවයට තමන් සතු දේවලින් උපකාර කළ ස්ත්‍රීන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 15:40, 41; ලූක් 8:3) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ වර්ධනය දැකීමට කැමති වූ අයගෙන්ද, තමන් කරගෙන යන සේවයට සහය වීමට කැමති වූ අයගෙන්ද ලැබුණු නොයෙකුත් උපකාර පාවුල් ස්තුතිපූර්වකව පිළිගත්තා. (ෆිලි. 4:14-16; 1 තෙස. 2:9) උද්යෝගයෙන් සේවයේ හවුල් වීම මෙන්ම පරිත්‍යාගයන් කිරීම සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් තැබූ ආදර්ශය අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද අනුගමනය කරනවා. මේ නිසා සත්‍යය සොයන අවංක අයට “ජීවන වතුර නොමිලේ” ලබා දීමට හැකි වී තිබෙනවා.—එළි. 22:17.
තමන් අයත් සභාවේ අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීම
ඔබ අයත් සභාවේ විය හියදම් පියවාගන්නේද සහෝදරයන් ස්වේච්ඡාවෙන් කරන සම්මාදම් යොදාගෙනයි. සභාවේ මුදල් එකතු කිරීමක් කරන්නේ නැහැ. එක් එක්කෙනාට කොපමණ මුදලක් දිය හැකිද කියා ගණන් බලන්නේද නැහැ. එමෙන්ම කිසිවෙකුගෙන් මුදල් ඉල්ලන්නෙත් නැහැ. එනමුත් ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන ස්ථානවල සම්මාදම් පෙට්ටි තබා තිබෙන්නේ එක් එක්කෙනා “තම සිතින් තීරණය කරගත් ලෙස” යම් මුදලක් ඒවාට දැමීමටයි.—2 කොරි. 9:7.
මෙසේ ලැබෙන සම්මාදම් වැය කරන්නේ රාජ්‍ය ශාලාවේ නඩත්තු කටයුතු සඳහායි. මේ සම්මාදම්වලින් කොටසක් ලෝක ව්‍යාප්තව සිදු කරනු ලබන දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවල වර්ධනයට යෙදවීම සඳහා තම රටේ පිහිටි ශාඛා කාර්යාලයට යැවීමට වැඩිමහල් මණ්ඩලය තීරණය කළ හැකියි. මේ සඳහා සභා සම්මුතියක් ගැනීම අවශ්‍යයි. මේ ආකාරයට බොහෝ සභාවන් ලෝක ව්‍යාප්ත සේවයට නොකඩවා සම්මාදම් ලබා දෙනවා. ඉඳ හිට වෙනත් අවශ්‍යතා සඳහාත් අරමුදල් අවශ්‍ය වෙනවා. එවිට ඒ ගැන නිවේදනයක් කළ හැකි වුවත් නිතර නිතර සම්මාදම් ගැන නිවේදනය නොකළ යුතුයි.
සම්මාදම් ගිණුම්ගත කිරීම
සෑම රැස්වීමකටම පසු වැඩිමහල් මණ්ඩලය විසින් පත් කර තිබෙන වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් දෙදෙනෙක් සම්මාදම් පෙට්ටිවල තිබෙන මුදල් රැගෙන ඒ ගැන ලිඛිත වාර්තාවක් තබාගන්නවා. (2 කොරි. 8:20) මේ මුදල් ශාඛා කාර්යාලයට යවන තෙක් හෝ සභාවේ අවශ්‍යතා සඳහා වැය කරන තෙක් ආරක්ෂිතව තබාගැනීමට වැඩිමහල් මණ්ඩලය විසින් සුදුසු ක්‍රමයක් යොදනවා. මේ සඳහා සභාව නමින් බැංකු ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය විය හැකියි. සභාවේ ගිණුම් භාර සහෝදරයා සෑම මාසයකම ගිණුම් වාර්තාවක් සකස් කර එය සභාවට ඉදිරිපත් කරයි. එමෙන්ම මුලසුනභාර අවේක්ෂක සෑම මාස තුනකටම වරක් ගිණුම් විගණනය කිරීම සඳහා සැලසුම් යොදනවා. මේ ගැන සිහිගැන්වීමක් අපගේ රාජ්‍යය සේවාවේ පළ වෙයි.
චාරිකා එක්රැස්වීම් සහ විශේෂ එක්රැස්වීම් අරමුදල්
එක්රැස්වීම් සඳහා දරන වියදම් සපුරාගනු ලබන්නේ චාරිකාවේ සිටින සියලුම සාක්ෂිකරුවන් කරන සම්මාදම්වලින්. සභා රැස්වීම් පත්වන ස්ථානවලදී මෙන්ම එක්රැස්වීම්වලදීද සම්මාදම් පෙට්ටි තබා තිබෙනවා. මේ ආකාරයට චාරිකාව සඳහා ස්වේච්ඡාවෙන් සම්මාදම් කළ හැකියි. චාරිකා අවේක්ෂක විසින් පත් කරන ලද සහෝදරයෙකු චාරිකාවේ ගිණුම් පවත්වාගෙන යයි. චාරිකා අවේක්ෂක අනුමත කරන බිල් ගෙවන්නේ එම සහෝදරයායි.
සෑම එක්රැස්වීමකදීම ලැබෙන සම්මාදම් එහි වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් විය යුතු අතර වැඩිපුර මුදලක් තිබේ නම් එය චාරිකාවට අයත් ගිණුමේ තැන්පත් කරනු ලබයි. එක්රැස්වීමක අවසානයේදී යම් හිඟයක් තිබේ නම් චාරිකාවේ ගිණුමෙන් එය පියවිය හැකියි. හිඟය ගැන සභාවලට දැනුම් දීම අවශ්‍ය නැහැ. කෙසේවෙතත් අවසන් වතාවට පැවැත්වූ එක්රැස්වීමේ වියදම් පියවාගැනීම සඳහා හෝ යම් ස්ථානයක් කුලියට ගන්නේ නම් ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම වැනි ඊළඟ එක්රැස්වීමේ ආරම්භක වියදම් දැරීමට චාරිකාවේ ගිණුමේ මුදල් නැත්නම් සභාවලට සම්මාදම් කිරීමේ අවස්ථාව තිබෙන බව දැනුම් දීමට චාරිකා අවේක්ෂකට හැකියි. මේ ගැන සෑම වැඩිමහල් මණ්ඩලයක්ම සලකා බලා චාරිකාවේ අරමුදලට තමන්ට සම්මාදම් කළ හැකි මුදල තීරණය කරයි. මේ සඳහා සභාවේ සම්මුතියක් ගැනීම අවශ්‍යයි.
එක්රැස්වීමකදී චාරිකාවේ වැඩිමහල්ලන් රැස්වීමක් පවත්වන විටක චාරිකාව සතු අරමුදල් සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන තීරණයකට එළඹීමට ඔවුන්ට හැකියි. එක්රැස්වීමක් පවත්වන විට වැය වන වියදම්, චාරිකාවට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම හා චාරිකාවට අයත් සංචාරක අවේක්ෂකයන්ගේ වියදම් වැනි දේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු වෙයි. එමෙන්ම ලෝක ව්‍යාප්ත සේවය, රාජ්‍ය ශාලා අරමුදල, එක්රැස්වීම් ශාලාවක් සඳහා හෝ වෙනත් වැදගත් අවශ්‍යතා සඳහා යම් මුදලක් පරිත්‍යාග කිරීම ගැනත් සලකා බැලිය හැකියි.
එක්රැස්වීම් පැවැත්වීම සඳහා යන වියදම් හැර වෙනත් වැය කිරීම් සම්බන්ධයෙන් චාරිකාවේ වැඩිමහල්ලන් ලිඛිත සම්මුතියක් ගත යුතුයි. නිශ්චිත මුදල් ප්‍රමාණය එම සම්මුතිවල සඳහන් විය යුතු අතර චාරිකාවේ අරමුදල් විවිධ අරමුණු සඳහා යොදවන සෑම අවස්ථාවකම එම සම්මුති අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි. එක වරක් අනුමැතිය ලබාගත් සම්මුතියක් සැමදාම පවත්වාගෙන යෑමත් නිශ්චිත මුදල් ප්‍රමාණයන් සඳහන් කර නැති සම්මුති ගැනීමත් වැරදියි. චාරිකාව සතු මුදල් චාරිකාවේ අවශ්‍යතා සඳහා වැය කරන තෙක් සුරක්ෂිතව තබාගැනීම සඳහා ශාඛා කාර්යාලයට ලබා දිය හැකියි.
සෑම එක්රැස්වීමකටම පසුව චාරිකාවේ ගිණුම් විගණනය කිරීම සඳහා චාරිකා අවේක්ෂක කටයුතු පිළියෙල කරයි.
දිලිඳු අයට උපකාර කිරීම
යේසුස් සහ ඔහුගේ ගෝලයන් මුදල් පෙට්ටියක් පවත්වාගෙන යෑමට එක් හේතුවක් වුණේ දිලිඳුන්ට උපකාර කිරීමයි. (මාක් 14:3-5; යොහ. 13:29) මෙම වගකීම මේ කාලයේ සිටින සැබෑ ක්‍රිස්තියානීන්ටද තිබෙන බව යේසුස් පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති.” (මාක් 14:7) අදදින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ වගකීම ඉටු කරන්නේ කෙසේද?
සමහර අවස්ථාවලදී සභාවේ සිටින විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ට මහලු වයස, දුර්වල සෞඛ්‍යය හෝ යම් විපතක් නිසා උපකාර අවශ්‍ය විය හැකියි. මේ ගැන සභාවේ සිටින අය දැනගත් විට යොහන් සඳහන් කළ මේ වචනවලට එකඟව ක්‍රියා කිරීමට පෙලඹිය හැකියි. “තම ජීවිකාව ගෙන යෑමට අවශ්‍ය ද්‍රව්‍යමය දේ ඇති තැනැත්තා, තම සහෝදරයාට අග හිඟකම් තිබෙන බව දැක දැකත්, ඔහුගේ දයානුකම්පාව ඔහු තුළම සිර කරගන්නේ නම්, දෙවි කෙරෙහි වූ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? කුඩා දරුවෙනි, අපි වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත් ප්‍රේම කරමු.” (1 යොහ. 3:17, 18; 2 තෙස. 3:6-12) යම් ආකාරවලින් උපකාර අවශ්‍ය කරන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට උපකාර වීම සැබෑ නමස්කාරයට අයත් දෙයක්. —යාකො. 1:27; 2:14-17.
උපකාර ලැබීමට වටින අයට උපකාර කළ හැකි ආකාරය ගැන පාවුල් තිමෝතිට ලියූ පළමු ලිපියේදී සඳහන් කළා. මේ ගැන 1 තිමෝති 5:3-21හි සඳහන් වන අතර එය ඔබට කියවා බැලිය හැකියි. තම නිවසේ සිටින අයගේ අවශ්‍යතා සපුරාලීම සෑම ක්රිස්තියානියෙකුගේම වගකීමයි. පවුලක වයසක හා අසනීප අය සිටී නම් ඔවුන්ගේ දරුවන්, මුණුපුරන් හා වෙනත් කිට්ටු ඥාතීන් ඔවුන්ට උපකාර කළ යුතුයි. සමහර ප්‍රදේශවල එවැනි අයට රජය මගින් හෝ වෙනත් සුභසාධන ආයතන මගින් මුදලින් හා වෙනත් ආකාරවලින් උපකාර සපයයි. මෙම උපකාර ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළියෙල කර දීමෙන් එවැනි අයට සහය වෙන්න ඥාතීන්ට හා වෙනත් අයට හැකියි. අවුරුදු ගණනාවක් දෙවිට විශ්වාසවන්තව සේවය කර තිබෙන උපකාර අවශ්‍ය කරන සමහර සහෝදර සහෝදරියන්ට සභාවේ සියලුදෙනාගේම උපකාරය අවශ්‍ය වන අවස්ථා මතු විය හැකියි. එවැනි අයට උපකාර කිරීම සඳහා පවුලේ අය හෝ ඥාතීන් නැත්නම්, රජයෙන් හෝ වෙනත් සුභසාධන ආයතනයකින්ද උපකාර ලැබෙන්නේ නැත්නම්, එවන් අවස්ථාවකදී යම් උපකාරයක් කිරීම සඳහා වැඩිමහල් මණ්ඩලයට යෝග්‍යය සැලැස්මක් සකස් කළ හැකියි. තමන් සතු මිල මුදල් හා වෙනත් දේවල් අවශ්‍යතා තිබෙන අය සමඟ බෙදාගැනීම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් සලකන්නේ අන් අයට ප්‍රේමය පෙන්වීමට ලැබෙන කදිම ප්‍රස්තාවක් ලෙසයි.
විවිධ ප්‍රදේශවල ජීවත් වන අපේ සහෝදරයන් බොහෝදෙනෙකුට හිංසා පීඩා, යුද්ධ, භූමිකම්පා, ජලගැලීම්, ආහාර හිඟකම් හෝ වෙනත් විපත්තිවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මොවුන්ට උපකාර අවශ්‍යයි. (මතෙ. 24:7-9) එවැනි අවස්ථාවලදී එම ප්‍රදේශවල තිබෙන සභාවලට අන් අය සමඟ බෙදාගැනීම සඳහා කිසිවක් නොමැති විය හැකියි. මේ නිසා වෙනත් රටවල සිටින සහෝදරයන්ගේ උපකාර එවැනි අයට ලබා දීමට පාලක මණ්ඩලය සැලසුම් සකස් කරයි. මේ හා සමාන සැලැස්මක් මුල් සියවසේදීත් ක්‍රියාත්මක වුණා. යුදයේ සහෝදරයන් සාගතයක් නිසා පීඩා විඳින විට කුඩා ආසියාවේ විසූ ක්‍රිස්තියානීන් ඔවුන්ට ආහාර ලබා දුන්නා. (1 කොරි. 16:1-4; 2 කොරි. 9:1-5) ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරමින් අපිත් අපේ ප්‍රේමය පෙන්වනවා. එමගින් අපි යේසුස්ගේ සැබෑ ගෝලයන් බව පෙන්වමු.—යොහ. 13:35.
පොත් පත් බෙදාහැරීම
බයිබල් සහ බයිබලයේ තොරතුරු පහදා දෙන පොත් පත් මහජනයාට බෙදාහැරීම රාජ්‍යය ශුභාරංචිය පතුරුවාහැරීමේ වැදගත් අංගයක් වෙනවා. සභාවට ලැබෙන පොත්, පොත් පිංච, විවරණිකා වැනි දේවල් බලාගැනීම සඳහා පොත් අංශයට සභා සේවකයෙකුවත්, සඟරා අංශය සඳහා තවත් සභා සේවකයෙකුවත් වැඩිමහල් මණ්ඩලය විසින් පත් කරනු ලබනවා. මේ පොත් පත් හා සඟරා ප්‍රචාරකයන් සභාව මාර්ගයෙන් ලබාගෙන උනන්දුව දක්වන අයට බෙදාහරිනවා.
මේ අංශ දෙක භාර සහෝදරයන් තමන්ගේ වගකීම බැරෑරුම් ලෙස සැලකිය යුතුයි. සභාවට ලැබෙන පොත් පත් හා සඟරා ප්‍රමාණයත්, ප්‍රචාරකයන් ලබාගන්න ප්‍රමාණයත් ඔවුන් සටහන් කරගත යුතුයි. සභාව සතුව තිබෙන ප්‍රකාශන මොනවාද කියා දැන සිටීමද ක්ෂේත්රයේ බහුලව බෙදාහරින ප්‍රකාශන ගැන දැන සිටීමද වැදගත්. මෙමගින් සභාවට අවශ්‍යය පොත් පත් සඟරා නියමිත ප්‍රමාණයෙන් තබාගැනීමට ඔවුන්ට හැකියි. ශුභාරංචිය ජනයාට දැනුම් දීමේදී බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් මහත් කාර්යයක් ඉටු වෙන නිසා ඒවා දේවසේවයේදී බෙදාහැරීමට ප්‍රචාරකයන්ව දිරිමත් කරනු ලබනවා. සෑම මාසයකම ඉදිරිපත් කරන ප්‍රකාශන ගැන අපගේ රාජ්‍ය සේවාවේ නිවේදන යටතේ සඳහන් වෙනවා. මෙමගින් අපේ බලප්‍රදේශය පුරා ශුභාරංචිය විධිමත් සැලැස්මකට අනුව හොඳින් ඉදිරිපත් කළ හැකියි.
යෙහෝවා දෙවිට කැප වී සිටින අය හැටියට අපේ කාලය, හැකියාවන්, ශක්තිය, අප සතු දේවල් මෙන්ම අපේ ජීවිතයද අපි සලකන්නේ දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාග මෙන්ම ඔහුගේ සේවය සඳහා යොදාගත යුතු ඒවා ලෙසයි. (ලූක් 17:10; 1 කොරි. 4:7) අප සතු සෑම දෙයක්ම නිසි ලෙස යෙදවීමෙන් අපි පෙන්වන්නේ යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය හා භක්තිය කොතරම්ද කියායි. අපේ ආශාව වන්නේ අප සතු වටිනා දේවල් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා යෙදවීමයි. මුළු සිතින්ම දෙවිට ප්‍රේම කරන බව පෙන්වමින් අපි දෙන ඕනෑම ත්‍යාගයක් දෙවි භාරගන්නේ මහත් සතුටින්. (හිතෝ. 3:9; මාක් 14:3-9; ලූක් 21:1-4; කොලො. 3:23, 24) අප සතු දේවල් සම්බන්ධයෙන් නිසි දෘෂ්ටියක් තබාගැනීමෙන් හා පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වීමෙන් යේසුස් පැවසූ මෙම වදන්වල සත්‍යතාව අපිට අද්දකින්න පුළුවන්. “ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න.” මෙසේ කිරීමෙන් අපි මහත් ප්‍රීතියක් ලබනවාට සැකයක් නැහැ.—මතෙ. 10:8ආ; ක්‍රියා 20:35.