11වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
නමස්කාරය සඳහා යොදාගන්න ස්ථාන
119 සිට 126 දක්වා පිටු
දෙවි ගැන ඉගෙනගැනීමටත් එකිනෙකාව දිරිගැන්වීමටත් එකට එක් රැස්වෙන්න කියා යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කරන අයට අණ කර තිබෙනවා. (ද්වි. 31:12; හෙබ්‍රෙ. 10:23-25) දෙවි තෝරාගත් ඊශ්‍රායෙල් සෙනඟ නමස්කාරය කළ මුල්ම ස්ථානය හැඳින්වූයේ “සම්මුඛ වීමේ කූඩාරම” හෙවත් ‘මණ්ඩපය’ කියායි. (නික්. 39:32, 40) පසු කලෙක දාවිත්ගේ පුත් සාලමොන් දෙවිව මහිමයට පත් කිරීම සඳහා දේවමාලිගාවක් සෑදුවා. (1 රාජා. 9:3) එම දේවමාලිගාව ක්‍රි.පූ. 607දී විනාශ වීමෙන් පසුව යුදෙව්වන් දෙවිට නමස්කාර කිරීම සඳහා රැස් වූයේ සිනගෝග කියා හැඳින්වූ කුඩා ගොඩනැඟිලිවලයි. කාලයකට පසු නැවතත් දේවමාලිගාව ගොඩනැඟූ අතර එය සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය වූවා. යේසුස් සිනගෝගවල මෙන්ම දේවමාලිගාවේදීද ජනයාට දෙවි ගැන ඉගැන්වූවා. (ලූක් 4:16; යොහ. 18:20) යේසුස් ඔහු වෙතට පැමිණි විශාල පිරිසකට ඉගැන්වීමට කන්දක් උඩ පවා රැස්වීමක් පැවැත්වූවා.—මතෙ. 5:1–7:29.
සත්‍යය නමස්කාරය හැර දමා ගිය අයගෙන් වෙන් වූ යේසුස්ගේ අනුගාමිකයන් ප්‍රසිද්ධ ස්ථානවල එක්රැස්වීමට පටන්ගත්තා. (ක්‍රියා 19:8, 9) බයිබලය ගැන ඉගෙනගැනීමටත් දෙවිගේ සැබෑ නමස්කාරකයන්ව ඇසුරු කිරීමෙන් දිරිගැන්වීමක් ලැබීමටත් මුල් සියවසේ සිටි සැබෑ ක්‍රිස්තියානීන් නිවෙස්වල රැස්වීම් පැවැත්වූවා. (රෝම 16:3, 5; කොලො. 4:15; ෆිලෙ. 2) ඇතැම් අවස්ථාවලදී ඔවුන් තමන්ට හිංසා පීඩා කරන අයගේ අවධානයට ලක් නොවීම සඳහා කවුරුත් නැති තැන්වල රැස්වුණා. ‘යෙහෝවා දෙවි විසින් උගන්වනු ලබන’ දේවල් දැනගැනීම සඳහා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඔහුට නමස්කාර කරන ස්ථානවලට පැමිණෙන්න මහත් ආශාවක් දැක්වූවා.—යෙසා. 54:13.
මේ කාලයෙත් සැබෑ ක්‍රිස්තියානීන් රැස්වීම් පැවැත්වීම සඳහා නිවෙස් මෙන්ම ප්‍රසිද්ධ ස්ථානද යොදාගන්නවා. සභා පොත් පාඩම් හා ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම බොහෝ අවස්ථාවලදී පවත්වනු ලබන්නේ නිවෙස්වලදීයි. මෙවැනි රැස්වීම් සඳහා තමන්ගේ නිවෙස් පාවිච්චි කිරීමට ඉඩ දීම ඔවුන් සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි. සභා රැස්වීම් පැවැත්වීම සඳහා තම නිවෙස් ලබා දීමෙන් තමන්ද ප්‍රයෝජන ලබා තිබෙන බව ඔවුන් පවසනවා.
රාජ්‍ය ශාලා
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන ප්‍රධාන ස්ථානය හඳුන්වන්නේ රාජ්‍ය ශාලාව කියායි. සමහර ප්‍රදේශවල රාජ්‍ය ශාලාවක් ගොඩනඟනවාට වඩා යම් ස්ථානයක් කුලියට ගැනීම වඩාත් යෝග්‍ය විය හැකියි. කෙසේවෙතත් බොහොමයක් සභා ඉඩමක් මිල දී ගෙන තම අවශ්‍යතාවලට අනුව තමන්ගේම කියා රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට තීරණය කර තිබෙනවා. එසේත් නැත්නම් ඔවුන් ගොඩනැඟිල්ලක් මිල දී ගැනීමට හෝ තිබෙන ගොඩනැඟිල්ලක් අලුත් වැඩියා කර රාජ්‍ය ශාලාවක් ලෙස පාවිච්චි කිරීමට තීරණය කළ හැකියි. මෙවැනි අවස්ථාවලදී එම ශාලාව කැප කිරීම යෝග්‍යයි. දැනට තිබෙන රාජ්‍ය ශාලාවක සුළු වෙනස්කම් හෝ අලුත්වැඩියා කිරීම් කළ පසු එය නැවත කැප කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
රාජ්‍ය ශාලාව චාම් ගොඩනැඟිල්ලක් විය යුතුයි. රටින් රටට ඒවා සාදා තිබෙන ආකාරය වෙනස් වූවත් ඒවා පාවිච්චි කිරීමේ අරමුණ එකයි. (ක්‍රියා 17:24) ප්‍රදේශයේ පවතින තත්වයන්ට අනුව එය ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීම සඳහා යෝග්‍ය හා පැමිණෙන අයට පහසු ස්ථානයක් විය යුතුයි.
සෑම රාජ්‍ය ශාලාවක්ම නඩත්තු කිරීම සඳහා මුදල් සපයන්නේ එය පාවිච්චි කරන සභාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනුයි. ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන අවස්ථාවලදී මුදල් එකතු කරන්නේ නැහැ. එමෙන්ම විවිධ දේවල් සඳහා මුදල් ඉල්ලා සිටින්නේද නැහැ. රාජ්‍ය ශාලාවේ නඩත්තුව සඳහා සම්මාදම් පෙට්ටියක් තබා තිබෙන අතර රැස්වීම්වලට පැමිණෙන අයට එයට සම්මාදම් කරන්න පුළුවන්. සම්මාදම් කරන අය එසේ කරන්නේ තමන්ගේම කැමැත්තෙනුයි. (2 කොරි. 9:7) රාජ්‍ය ශාලාවේ අයිතිය හා එය නඩත්තු කරන ආකාරය ගැන වැඩිමහල්ලන්ට අපගේ රාජ්‍ය සේවාවෙන් හා ශාඛා කාර්යාලය මගින් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා.
රාජ්‍ය ශාලාවට මුදල් අතින් උපකාර කිරීම මෙන්ම එය පවිත්‍රව හා ප්‍රසන්න පෙනුමකින් තබාගැනීම සඳහා අවශ්‍ය වැඩ කිරීමට ලැබීම සභාවේ අය සැලකිය යුත්තේ වරප්‍රසාදයක් ලෙසයි. රාජ්‍ය ශාලාවේ ඇතුළත මෙන්ම පිටත පෙනුම මගින් යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන හොඳ හැඟීමක් දකින අය තුළ ඇති වන ආකාරයට එය තිබිය යුතුයි. සෑම සතියකම කළ යුතු වැඩ පිළිවෙලකට සිදු කරනවාද කියා බැලීම සඳහා වැඩිමහල්ලෙකුව හෝ සභා සේවකයෙකුව සභාවල පත් කරනු ලබනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය ශාලාව පිරිසිදු කරනු ලබන්නේ සභා පොත් පාඩම් කණ්ඩායම් මගිනුයි. මෙහිදී පොත් පාඩම් අවේක්ෂක හා ඔහුගේ සහයක මූලිකත්වය ගනියි.
සභා කිහිපයක් එක ශාලාවක රැස්වීම් පවත්වන විටක ඒ සභාවල වැඩිමහල්ලන් එකතු වී රාජ්‍ය ශාලා නඩත්තු කමිටුවක් පිහිටුවා ගනියි. රාජ්‍ය ශාලාවේ සහ ඉඩමේ නඩත්තු කටයුතු බලාගැනීම එම කමිටුවේ වගකීමයි. වැඩිමහල් මණ්ඩල විසින් එම කමිටුවේ සභාපතිව පත් කරනු ලබයි. වැඩිමහල් මණ්ඩලවල අධීක්ෂණය යටතේ සිටින එම කමිටුව ශාලාව පිරිසිදු කිරීමේ කටයුතු නිසි ලෙස සිදු වෙනවාද කියා පරීක්ෂා කර බලයි. එමෙන්ම ශාලාව හොඳ තත්වයෙන් පවත්වාගෙන යනවාද කියා ඔවුන් නිතර සොයා බලා ඒ සඳහා පියවර ගනියි. නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය දේවල් ශාලාවේ තිබෙන බවටද ඔවුන් වගබලා ගනියි. එක සභාවක් පමණක් රාජ්‍ය ශාලාවක් භාවිත කරන විටකදී වැඩිමහල්ලෙක් හෝ සභා සේවකයෙක් ශාලාවේ නඩත්තු හා පිරිසිදු කිරීමේ කටයුතු බලා ගනියි. එම කමිටුවෙන් මූලිකව කෙරෙන්නෙත් ඒ හා සමාන කාර්යයක්. මෙහිදී මීට සම්බන්ධ සියලුදෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබීම අවශ්‍යයි.
සභා කිහිපයක් එක රාජ්‍ය ශාලාවක රැස්වීම් පවත්වන විටක ඒ ඒ සභාවල වැඩිමහල්ලන් එකතු වී රැස්වීම් පවත්වනු ලබන වේලාවන් තීරණය කරනු ලබයි. මෙහිදී එකිනෙකා ගැන සැලකිලිමත් වීමත් සහෝදර ප්‍රේමයෙන් ක්‍රියා කිරීමත් වැදගත්. (ෆිලි. 2:2-4; 1 පේතෘ 3:8) රැස්වීම් පවත්වන වේලාවන් මාරු කර ගන්නේ අවුරුදු පතාද නැත්නම් අවුරුදු කිහිපයකට වතාවක්ද කියා තීරණය කරන්නේ රාජ්‍ය ශාලාව පාවිච්චි කරන සභා විසිනුයි. අනිත් සභා වෙනුවෙන් එවැනි තීරණයක් ගැනීමට එක් සභාවකට අයිති නැහැ. මෙසේ රැස්වීම් පවත්වන වේලාවන් මාරු කරගැනීම පටන්ගත යුත්තේ අවුරුද්ද පටන් ගන්න මුල් සතියේ සිටයි. මෙවැනි රාජ්‍ය ශාලාවක රැස්වීම් පත්වන සභා බැහැදැකීමට චාරිකා අවේක්ෂක පැමිණෙන විට අනිත් සභා(ව) ඔවුන්ගේ රැස්වීම් පවත්වන වේලාවන් ඒ සතියේදී වෙනස් කරගනියි.
සභා සේවා කමිටුවේ අවසරය ඇතිව රාජ්‍ය ශාලාව විවාහයන් හා අවමංගල්‍යයන් පැවැත්වීමට යොදාගත හැකියි. එවැනි ඉල්ලීම් කරන විට එම කමිටුවේ වැඩිමහල්ලන් ඊට අවසර දීමට කලින් හොඳින් සිතා බැලිය යුතු අතර ඒ සම්බන්ධයෙන් ශාඛා කාර්යාලය දී තිබෙන මඟ පෙන්වීම් සලකා බැලිය යුතුයි.
එවැනි දේවල් සඳහා රාජ්‍ය ශාලාව පාවිච්චි කිරීමට අවසර ලැබුණු අය රාජ්‍ය ශාලාව කියන්නේ සැබෑ නමස්කාරය සඳහා යොදාගන්න ස්ථානයක් බව මතක තබාගනිමින් එවන් ස්ථානයකට උචිත පරිදි හැසිරිය යුතුයි. සභාවේ අයව බාධාවට පත් කරන හෝ යෙහෝවා දෙවිගේ නාමයට හා සභාවට අපකීර්තියක් ඇති කළ හැකි කිසිම දෙයක් සිදු නොකිරීමට ඒ කටයුතුවලට සම්බන්ධ වන සියලුදෙනාම වගබලා ගත යුතුයි. (ෆිලි. 2:14, 15) සමහර අවස්ථාවලදී ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම් යටතේ වැඩිමහල්ලන් හා සභා සේවකයන් සඳහා පවත්වන රාජ්‍ය සේවා පාසැල සහ පුරෝගාමී සේවා පාසැල පැවැත්වීමට රාජ්‍ය ශාලාව යොදා ගනු ලබනවා.
නමස්කාරය සඳහා තමන් එක්රැස් වන ස්ථානය සභාවේ සෑම කෙනෙක්ම නිතරම ගෞරවනීයව සැලකිය යුතුයි. රැස්වීම්වලට පැමිණෙන අයගේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම මෙන්ම ඔවුන්ගේ හැසිරීම මගින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් විය යුතුයි. (දේශ. 5:1; 1 තිමෝ. 2:9, 10) මේ සම්බන්ධයෙන් දෙනු ලබන උපදෙස් අදාළ කරගැනීම අපේ ක්‍රිස්තියානි රැස්වීම් අපි අගය කරන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් වෙයි.
රාජ්‍ය ශාලාවේ රැස්වීම් පත්වන අවස්ථාවලදී සුදුසුකම් ලත් සහෝදරයන් පරිවාරකයන් හැටියට කටයුතු කරනවා. ඔවුන් නිතර සෝදිසියෙන් සිටිය යුතු අතර කාරුණික හා මිත්‍රශීලී අය විය යුතුයි. එමෙන්ම හොඳින් කාරණා හැසිරවීමේ හැකියාව තිබිය යුතුයි. ඔවුන්ගේ වගකීම්වලට අයත් වන්නේ අලුතින් පැමිණෙන අයව සාදරයෙන් පිළිගැනීම, ප්‍රමාද වී පැමිණෙන අයට ආසන සොයාගැනීමට උපකාර කිරීම, පැමිණෙන සංඛ්‍යාව වාර්තා කිරීම හා ශාලාවට ප්‍රමාණවත් වාතාශ්‍රයක් ලැබෙනවාද කියා බැලීම යනාදියයි. රැස්වීම් වේලාවේදී නිසි පිළිවෙළකට හා ක්‍රමවත්ව සෑම දෙයක්ම තිබීම වැදගත්. දරුවන් දෙමාපියන් ළඟ වාඩි වී සිටිනවා නම් හොඳයි. කුඩා දරුවෙක් අන් අයගේ අවධානයට බාධාව වන ආකාරයෙන් දඟලනවා නම් ඒ දරුවාව ශාලාවෙන් පිටතට රැගෙන යෑම සුදුසුයි කියා කාරුණිකව පැවසීමට පරිවාරකයෙකුට හැකියි. අන් අයගේ අවධානයට එතරම් බාධාවක් නොවන තැනක ආසනයක් තෝරාගැනීමට කුඩා ළමුන් සිටින දෙමාපියන්ව දිරිමත් කළ හැකියි. එවැනි තැනක වාඩි වී සිටීමෙන් දරුවාව හික්මවීමට හෝ දරුවාගේ වෙනත් අවශ්‍යතා ඉටු කර දීම සඳහා අන් අයගේ අවධානයට එතරම් බාධාවක් නොවන ආකාරයට දරුවාව පිටතට රැගෙන යෑම පහසුයි.
රාජ්‍ය ශාලාවේ ඇතුළත මෙන්ම පිටත දරුවන් හැසිරෙන ආකාරය සභාවට හිතකර හෝ අහිතකර ලෙස බලපෑ හැකි නිසා අවශ්‍ය අවස්ථාවලදී දරුවන් කෙරෙහි හොඳ අවධානයක් දෙන්න කියා දෙමාපියන්ට මතක් කිරීමට පරිවාරකයන් හැකියි. මෙසේ කිරීමෙන් දරුවන් රැස්වීම්වලට කලින් හා පසුව ශාලාවේ හා වත්තේ දුව පැනීම වළක්වාගත හැකියි. රැස්වීම්වලට පැමිණෙන සෑම කෙනෙකුටම ඒවායින් හොඳින් ප්‍රයෝජන ගැනීමට පරිවාරකයන් ඉටු කරන සේවය අනිවාර්යෙන්ම දායක වෙනවා. මේ වගකීම සඳහා සභා සේවකයන් පත් කළ හැකියි. විශේෂයෙන්ම පවුලේ මතු වන තත්වයන් හොඳින් හැසිරීම ගැන අද්දැකීම් තිබෙන අයව ඒ සඳහා පත් කරනවා නම් වඩාත් හොඳයි.—1 තිමෝ. 3:12.
රාජ්‍ය ශාලා ගොඩනැඟීම
රාජ්‍ය ශාලා අරමුදල කියා නම් කර තිබෙන සම්මාදම් පෙට්ටියක් බොහෝ රටවල තිබෙන රාජ්‍ය ශාලාවල තබා තිබෙනවා. මෙම අරමුදල යොදා ගන්නේ අලුත් රාජ්‍ය ශාලා සෑදීමට හා දැනට තිබෙන අලුත් වැඩියා කළ යුතු ඒවා නැවත අලුතින් සෑදීම සඳහායි. එවැනි අරමුදලක් නොතිබුණා නම් බොහෝ සභාවලට රාජ්‍ය ශාලාවක් සාදාගැනීමට හැකියාවක් නැහැ.
පළමු සියවසේදී ඇතැම් ක්‍රිස්තියානීන්ට තවත් අයට වඩා හුඟාක් මුදල් තිබුණා. මේ නිසා පාවුල් මෙසේ සඳහන් කළා. “ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසී සමානකමක් ඇති වන්නේය. එසේම ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකම පිරිමැසී සමානකමක් ඇති වන්නේය.” (2 කොරි. 8:14) අදත් එවැනි “සමානකමක්” රාජ්‍ය ශාලා අරමුදල මගින් ඇති කර තිබෙනවා. රාජ්‍ය ශාලාවක් සාදාගැනීමට වත්කමක් නැති දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන රටවල තිබෙන සභාවලට රාජ්‍ය ශාලා සෑදීමට මුදලින් උපකාර කිරීමට හැකි වී තිබෙන්නේ එම අරමුදල නිසයි. ලොව පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන් සපයන ත්‍යාගශීලී සම්මාදම් යෙහෝවා දෙවිගේ සංවිධානය හුඟාක් අගය කරනවා. එමෙන්ම එම සම්මාදම්වලින් ප්‍රයෝජන ලබන සභාද එම පරිත්‍යාග හුඟාක් අගය කරන බව නිසැකයි.
අලුතින් රාජ්‍ය ශාලා ගොඩනැඟීම හෝ ඒවායේ විශාල අලුත්වැඩියා කිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටු බොහෝ රටවල පිහිටුවා තිබෙනවා. යම් ප්‍රදේශයක රාජ්‍ය ශාලා ගොඩනඟන විට ඒවාට උපකාර කිරීමට ඒ එක් කමිටුවකට පවරනවා. මෙම කමිටුවලට පත් කර තිබෙන්නේ ගොඩනැඟිලි, ඉඩම්, ව්‍යාපාරික, ගිණුම් හා වෙනත් අදාළ ක්ෂේත්රවල අද්දැකීම් තිබෙන වැඩිමහල්ලන්වයි. මේ නිසා රාජ්‍ය ශාලාවක් ගොඩ නැඟීමේදී මුල පටන් අවසන් කිරීම දක්වා හොඳ මඟ පෙන්වීම් ලබා දීමට එම කමිටුවලට හැකි වී තිබෙනවා.
තමන් සිටින ප්‍රදේශයේ එවැනි කමිටුවක් තිබෙනවා නම් රාජ්‍ය ශාලාවක් සෑදීමට කලින් වැඩිමහල්ලන් ඒ කමිටුවෙන් තොරතුරු විමසිය යුතුයි. සුදුසු ඉඩමක් තෝරාගැනීම හා ගොඩනැඟීම සඳහා භාවිත කළ හැකි ක්‍රම ගැන හොඳ මඟ පෙන්වීම් සැපයීමට එම කමිටුවට හැකියි. ගොඩනැඟීමේ වැඩවලට උපකාර කිරීමට ඉදිරිපත් වන ස්වේච්ඡා සේවකයන්ව සූදානම් කරන්නත් ඔවුන්ට හැකියි. රාජ්‍ය ශාලා ගොඩනැඟීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මෙම සැලැස්මට සහය වන්න කැමති සුදුසුකම් ලත් අයට ඒ සඳහා අයදුම් පතක් පුරවා තම සභාවේ සේවා කමිටුවට බාර දිය හැකියි.
ස්වාභාවික විපත් නිසා හානියට පත් රාජ්‍ය ශාලා හා ඇතැම් විට සහෝදරයන්ගේ නිවෙස් අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටුවේ උපකාරය ඉල්ලා සිටිය හැකියි. වෙනත් රටවල එවැනි කාර්යයන්වලට උපකාර කිරීම හා සහෝදරයන්ව පුහුණු කිරීම එම කමිටුවෙන් කරන තවත් සේවයක්. ඇතැම් අවස්ථාවලදී ඔවුන් එක් රැස්වීම් ශාලා හා ශාඛා කාර්යාවල ගොඩනැඟීමේ කටයුතුවලට හවුල් වෙයි. මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙන්නේ දෙවිගේ සෙනඟ වෙනත් කටයුතු පසෙක දමා ඔහුගේ කැමැත්ත කිරීමට ඉදිරිපත් වන නිසයි.—කොලො. 3:23, 24.
බොහෝ රටවල, විශේෂයෙන් මුදල් හා පළපුරුදු සහෝදරයන් හිඟ රටවල තව රාජ්‍ය ශාලා බොහොමයක් අවශ්‍ය නිසා එම රටවල රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ කණ්ඩායම් පිහිටුවා තිබෙනවා. මෙම කණ්ඩායම්වල සිටින සහෝදරයන් විවිධ ප්‍රදේශවල තිබෙන සභාවලට ගොස් රාජ්‍ය ශාලා සෑදීමේ වැඩවල පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. මේ නිසා ගොඩනැඟීමේ වැඩ වේගවත් වී තිබෙන අතර ඒ සභාවල සිටින සහෝදරයන්ට හොඳ පුහුණුවක්ද ලැබී තිබෙනවා.
එක්රැස්වීම් ශාලා
බොහෝ අවස්ථාවලදී මුල් ක්‍රිස්තියානීන් එක්රැස් වුණේ කුඩා කණ්ඩායම් හැටියටයි. නමුත් සමහර අවස්ථාවලදී ‘විශාල සමූහයක්’ ලෙසද ඔවුන් එක්රැස් වුණා. (ක්‍රියා 11:26) ඒ හා සමානව මේ කාලයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද චාරිකා එක්රැස්වීම් හා විශේෂ එක්රැස්වීම් දිනයන් සඳහා විශාල සමූහයක් ලෙස එකට රැස් වෙනවා. මෙලෙස එක්රැස්වීම සඳහා ඒ ඒ ප්‍රදේශවල තිබෙන සුදුසු ස්ථාන කුලියට ගනු ලබනවා. එවැනි ස්ථාන නොමැති විට නමස්කාරය සඳහා සුදුසු ස්ථානයක් සෑදිය හැකියි. එම ස්ථාන හඳුන්වන්නේ එක්රැස්වීම් ශාලාව කියායි.
සමහර අවස්ථාවලදී පාවිච්චි කළ ගොඩනැඟිල්ලක් මිල දී ගෙන එය අලුත්වැඩියා කිරීමෙන් පසු එක්රැස්වීම් ශාලාවක් ලෙස යොදාගන්නවා. නමුත් බොහෝ අවස්ථාවලදී කරන්නේ ඉඩමක් මිල දී ගෙන අලුත් ශාලාවක් සෑදීමයි. ඒ ඒ ප්‍රදේශයේ අවශ්‍යතාවලට අනුව එක්රැස්වීම් ශාලාවල ප්‍රමාණයද වෙනස් වෙනවා. එක්රැස්වීම් ශාලාවක් සෑදීමට තීරණය කරනු ලබන්නේ ශාඛා කාර්යාලය විසින් එයට වැය වන වියදම හොඳින් ගණන් බැලීමෙන් හා එහි අවුරුදු පතා එක් රැස්වීම් පවත්වන වාර ගණන සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.
එක්රැස්වීම් ශාලාවේ නඩත්තු කටයුතු ඇතුළු එහි ක්‍රියාකාරිත්වය ගැන සොයාබැලීමට ශාඛා කාර්යාලය විසින් එක්රැස්වීම් ශාලා කමිටුවක් පත් කරනු ලබනවා. නමස්කාරය සඳහා රැස්වන මෙම ස්ථාන විශාල නිසා ඒවා නඩත්තු වැඩ ඇතුළුව වෙනත් වැඩ පූර්ණ කාලීනව කිරීම සඳහා ශාඛා කාර්යාලය විසින් සහෝදරයන්ව පත් කරනු ලබනවා. එක්රැස්වීම් ශාලාව පිරිසිදු කිරීම කරන්නේ විවිධ චාරිකාවලට අයත් සභා මගිනුයි. අවුරුද්දකට දෙවරක් විශේෂ පිරිසිදු කිරීමක් හා නඩත්තු කිරීම් සඳහා කටයුතු පිළියෙළ කරනු ලබනවා. මේ වැඩ සඳහා මුදල් දී පිට අයගේ සේවය ලබා ගන්නවා වෙනුවට ස්වෙච්ඡා සේවකයන්ගේ සහය ලබාගැනීම හොඳයි. මේ නිසා මෙහි වැඩවලට මුළු සිතින් සහය දක්වන්න කියා සියලුම සභා දිරිගන්වනු ලබනවා.—ගීතා. 110:3; මලා. 1:10.
සමහර අවස්ථාවලදී එක්රැස්වීම් ශාලාව දේවසේවා පුහුණු පාසැල හා සංචාරක අවේක්ෂකයන් සඳහා පවත්වන විශේෂ රැස්වීම් සඳහා යොදා ගනියි. රාජ්‍ය ශාලාව වගේම එක්රැස්වීම් ශාලාවද දෙවිට නමස්කාර කිරීම සඳහා කැපකර තිබෙන ස්ථානයක්. අපි එක්රැස්වීම් ශාලාවේ රැස්වන විට අපේ හැසිරීමෙන්, ඇඳුම් පැළඳුම්වලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් විය යුතුයි.—දේශ. 5:1; 1 තිමෝ. 2:9, 10.
මේ අන්තිම දවස්වල අවසන් භාගයේ දෙවිගේ සංවිධානයට සිය දහස් ගණනක් පැමිණීමෙන් පෙනී යන්නේ යෙහෝවා එයට ආශීර්වාද කරන බවයි. (යෙසා. 60:8, 10, 11, 22) මේ නිසා දෙවිට නමස්කාර කිරීම සඳහා අපිට රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා සාදා දීමටත් ඒවා හොඳ තත්වයෙන් පවත්වාගෙන යෑමටත් පිළියෙල කර තිබෙන සැලසුම්වලට අපි මුළු සිතින්ම සහයෝගය දිය යුතුයි. අපි එම නමස්කාර ස්ථානවලට එක්රැස් වන්නේ යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමටයි. එමෙන්ම එකිනෙකාව දිරිමත් කිරීමටත් යෙහෝවා දෙවිගේ දවස ළඟ බව අපිට පෙනෙද්දී වඩ වඩා එසේ කිරීමටත් එවැනි ස්ථානවලදී අපිට ප්‍රස්තා උදා වෙනවා. මේ නිසා දෙවිට නමස්කාර කිරීම සඳහා යොදාගන්න ස්ථාන අපි අගය කරන බව ඒවා පිරිසිදුව හා හොඳ තත්වයේ තබාගැනීමට කරන වැඩවලට අපේ පූර්ණ සහය දීමෙන් පෙන්වමු.