8වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
77 සිට 83 දක්වා පිටු
ශුභාරංචියේ දේවසේවකයෝ
යෙහෝවා දෙවි, අප විසින් අනුගමනය කළ යුතු ඉතා කදිම ආදර්ශයක් සැපයුවේය. ඒ සිය පුත්‍රයා වූ යේසුස්ය. (1 පේතෘ. 2:21) යමෙක් සිය අනුගාමිකයා බවට පත් වූ විට, යේසුස් ඔහුට ශුභාරංචිය දේශනා කිරීමට උදව් කරයි. මෙය ඉතා ප්රබෝධජනක අද්දැකීමක් බව විස්තර කරමින් යේසුස් පැවසුවේ මෙසේයි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.” (මතෙ. 11:28, 29) එසේය, යේසුස් තමා වෙතට ආ කිසිවෙකුගේ බලාපොරොත්තු සුන් කර නැත!
දෙවිගේ ප්‍රධාන සේවකයා හැටියට යේසුස් ඇතැම් පුද්ගලයන්ට තමා අනුගමනය කරන්න කියා ආරාධනා කළේය. (මතෙ. 9:9; යොහන් 1:43) ඔහු ඔවුන්ව දේවසේවය තුළ පුහුණු කළ අතර, තමා කළ කාර්යයම කිරීමට ඔවුන්ව පිටත් කර හැරියේය. (මතෙ. 10:1–11:1; 20:28; ලූක් 4:43) පසුව, ඔහු දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිස 70දෙනෙකුව පිටත් කර හැරියේය. (ලූක් 10:1, 8-11) තම ගෝලයන්ව පිටත් කර හරින විට යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ඔබට සවන් දෙන්නා මටද සවන් දෙන්නේය. ඔබව නොසලකාහරින්නා මාවද නොසලකාහරින්නේය. තවද, මාව නොසලකාහරින්නා මාව එවූ තැනැත්තාවද නොසලකාහරින්නේය.” (ලූක් 10:16) මෙසේ, තම ගෝලයන්ට පැවරුණු බැරෑරුම් වගකීම ගැන යේසුස් කාවැද්දීය. ඔවුන් නියෝජනය කළේ අතිශ්‍රේෂ්ඨ දෙවිවයි. එසේ නම්, “මාගේ අනුගාමිකයා වන්න” යයි යේසුස් කළ ඇරයුමට අද දක්වා ප්‍රතිචාර දක්වන හැමෝටම මෙය අදාළයි. (ලූක් 18:22) මේ හැමෝටම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමටත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් බවට පත් වීමට උපකාර කිරීමටත් දෙවිගෙන් පැවරුමක් ලැබී තිබේ.—මතෙව් 24:14; 28:19, 20.
එමනිසා, යේසුස්ව අනුගමනය කරන ලෙසට අපට ලැබුණු ආරාධනය අප පිළිගත් නිසා අපට මහත් ආශීර්වාද ලැබී තිබේ. එය නම් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දැනුම ලැබීමයි! (යොහන් 17:3) අපි යෙහෝවා දෙවිගේ මාර්ග ගැන දැනුවත් වී සිටිමු. දෙවිගේ පිහිටෙන් අපි අපේ කල්පනා රටාවන් වෙනස් කරගෙන, අපගේ ගති ලක්ෂණ වෙනස් කරගෙන, යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අපට හැකි වී තිබේ. (රෝම 12:1, 2; එෆී. 4:22-24; කොලො. 3:9, 10) දෙවි කෙරෙහි ඇති අපේ කෘතඥතාව හේතුවෙන් අපේම කැමැත්තෙන් යෙහෝවා දෙවිට කැප වී වතුරෙන් බව්තීස්මය ලබා සිටින්නෙමු. බව්තීස්මය මගින් අපි දේවසේවකයන් බවට පත් වුණෙමු.
අප දෙවිට සේවය කළ යුත්තේ මුළු හදවතින්ම සහ පිරිසිදු ජීවිතයක් ගත කරමින් බව සෑමවිටම මතකයේ තබාගන්න. (ගීතා. 32:3, 4; යෙසා. 52:11; 2 කොරි. 6:14–7:1) අපි යේසුස් තුළ ඇදහිල්ල තැබීමෙන් පිරිසිදු හෘදය සාක්ෂියක් සහ කතාවේ නිදහසක් ඇති කරගෙන ඇත්තෙමු. (හෙබ්‍රෙ. 10:19-23, 35, 36; එළි. 7:9, 10, 14) පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේ කිසිවෙකුව බාධාවට පත් නොකර සියල්ල දෙවිගේ මහිමය සඳහා කරන ලෙසයි. එමෙන්ම, නොඇදහිලිකාර අයව තම යහපත් හැසිරීම මගින් දිනාගැනීමේ වැදගත්කමද පේතෘස් තම ලිපියේ සඳහන් කළේය. (1 කොරි. 10:31, 33; 1 පේතෘ. 3:1) ශුභාරංචියේ දේවසේවකයෙකු ලෙස සුදුසුකම් ලැබීමට යමෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?
නව ප්‍රචාරකයෝ
ඔබ උනන්දුව දක්වන කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පටන් ගත් වහාම, බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් ගැන අන්‍යයන් සමඟ කතා කරන ලෙස ඔහුට හෝ ඇයට දිරිගන්වන්න. නෑදෑයන්, මිත්‍රයන්, එකට රැකියාවේ යෙදෙන අය සහ වෙනත් අයට කතා කිරීමට ඔහුව උනන්දු කරන්න. ශුභාරංචියේ දේවසේවකයන් වශයෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වීමට නවකයන්ට ඉගැන්වීමෙහිලා මෙය ඉතාවැදගත් පියවරකි. (මතෙ. 9:9; ලූක් 6:40) නවකයෙක් ඇදහිල්ලෙන් වර්ධනය වෙත්ම, අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට හුරුවන විට, සභාව සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට ඔහුද ආශාවක් දක්වන බවට කිසිම සැකයක් නැත.
සුදුසුකම් අත් කරගැනීම
නවකයෙකුට පළමු වතාවට ක්ෂේත්‍ර සේවයේ යෙදීමට ආරාධනා කිරීමට පෙර සහ ඔහු ක්ෂේත්‍ර සේවා වාර්තාවක් සභාවට ඉදිරිපත් කිරීමට පෙර, ඔහු විසින් සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක් තිබේ. යමෙක් අප සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට, ඔහු තමාවම හඳුන්වා දෙන්නේ තමා යෙහෝවා දෙවිගේ ජනයාගෙන් කෙනෙක් බවයි. ඔහු ඒ වන විටත් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වන කෙනෙක් විය යුතුයි. එසේ නම්, සභාවේ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට ඔහුට හැකියි.
ඔබ යම් පුද්ගලයෙකු සමඟ බයිබල් ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරත්ම, ඒ පුද්ගලයා ගැන පුළුල් අවබෝධයක් ඔබට ලැබේ. බයිබලයෙන් ඉගෙනගනිමින් සිටින දේවල්වලට අනුව ජීවත් වෙනවාදැයි ඔබට පෙනේවි. නමුත්, ඔහු ක්ෂේත්‍ර සේවය යෑමට පෙර, සභාවේ වැඩිමහල්ලන් ඔබවද ඔහුවද හමුවී ඔහුගේ ජීවිතයේ සමහරක් පැති ගැන යම් කරුණු සාකච්ඡා කිරීමට කැමති වේවි.
මුලසුන භාර අවේක්ෂක වැඩිමහල්ලන් දෙදෙනකුව (එක් අයෙක් සේවා කමිටුවේ සාමාජිකයෙක්) ඔබ සහ බයිබල් ශිෂ්‍යයා සමඟ මේ කාරණා සාකච්ඡා කිරීමට සැලසුම් කරනු ඇත. ඔවුන් විසින් සලකා බලනු ලබන කාරණා මේවායි.
● මෙම ශිෂ්‍යයා කියන දෙයින්, බයිබලය දෙවිගේ බලයෙන් ලියවුණු වචනය බවට විශ්වාස කරන බවක් පෙන්වනවාද? (2 තිමෝ. 3:16)
● බයිබලයේ මූලික ඉගැන්වීම් ඔහු දන්නවාද? ඒවා විශ්වාස කරනවාද? කෙනෙක් ඔහුගෙන් ප්‍රශ්න අසන විට තමාගේම අදහස් හෝ බොරු ආගමික අදහස්වලට අනුව නොව බයිබලයට එකඟව පිළිතුරු දීමට ඔහුට පුළුවන්ද? (මතෙ. 7:21-23; 2 තිමෝ. 2:15)
● ඔහු හොඳ සෞඛ්‍යයකින් සිටී නම් හා ඔහුට හැකියාව තිබේ නම්, යෙහෝවා දෙවිගේ ජනයා සමඟ සභා රැස්වීම්වල ඇසුරු කිරීමට බයිබලයේ දී තිබෙන නියෝගයට ඔහු කීකරු වෙමින් සිටිනවාද? (ගීතා. 122:1; හෙබ්‍රෙ. 10:24, 25)
● වේශ්‍යාකම, පරදාර සේවනය, බහුභාර්යා සේවනය, සම ලිංගික සේවනය ගැන බයිබලයේ උගන්වන දේ ඔහු දන්නවාද? ඊට අනුකූලව ඔහු ජීවත් වෙනවාද? එම පුද්ගලයා විරුද්ධ ලිංගයේ කෙනෙක් සමඟ ජීවත් වෙනවා නම්, ඔවුන් නිත්‍යනුකූලව විවාහ වී සිටීද? (මතෙ. 19:9; 1 කොරි. 6:9, 10; 1 තිමෝ. 3:2, 12; හෙබ්‍රෙ. 13:4)
● බේබදුකම තහනම් බවට බයිබලයේ දී ඇති නියෝගයට ඔහු කීකරුද? (එෆී. 5:18; 1 පේතෘ. 4:3, 4) දුම්කොළ, බුලත් විට සහ ශරීර කෙළෙසන වෙනත් දේවලින් ඔහු වැළකී සිටිනවාද? ඖෂධ නොවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ඔහු වැළකී සිටිනවාද? (2 කොරි. 7:1)
● නුසුදුසු ආශ්රයෙන් වැළකීමේ වටිනාකම ඔහුට වැටහෙනවාද? (1 කොරි. 15:33)
● ඔහු මීට කලින් සම්බන්ධ වී සිටියා විය හැකි බොරු ආගමික සංවිධානවල සාමාජිකත්වයෙන් ඔහු මුළුමනින්ම ඉවත් වී සිටිනවාද? ඔවුන්ගේ රැස්වීම්වලට සහභාගි වීම මෙන්ම වෙනත් ක්‍රියාකාරකම්වලට හවුල් වීම නතර කර තිබෙනවාද? (2 කොරි. 6:14-18, එළි. 18:4)
● සියලුම දේශපාලන කටයුතුවලින් ඔහු ඉවත් වී සිටීද? (යොහන් 6:15; 15:19; යාකො. 1:27)
● යෙසායා 2:4හි සඳහන් දේ ඔහු විශ්වාස කරනවාද සහ ඊට අනුකූලව ජීවත් වෙනවාද?
● මෙම ශිෂ්‍යයාට සැබවින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමට වුවමනාද? (ගීතා. 110:3)
මෙම සමහරක් කාරණා සම්බන්ධව ශිෂ්‍යයාට හැඟෙන ආකාරය ගැන වැඩිමහල්ලන්ට ස්ථිර නැත්නම්, මෙහි සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවායේ අර්ථය පැහැදිලි කරන්න කියා වැඩිමහල්ලන් ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ දේශනා සේවයේ හවුල් වන අය, ශුද්ධ ලියවිලිමය ප්‍රමිතිවලට අනුව ජීවත් විය යුතු බව ශිෂ්‍යයා විසින් වටහාගැනීම ඉතාවැදගත්ය. ඔහුගෙන් අපේක්ෂා කෙරෙන දේ ඔහු දන්නා බවටත් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම ආරම්භ කිරීමට සාධාරණ මට්ටමක සුදුසුකමක් ඔහුට තිබෙන බවටත් ශිෂ්‍යයා පවසන දෙයින් වටහාගැනීමට වැඩිමහල්ලන්ට හැකි වනු ඇත.
ඔහුට සුදුසුකම් තිබේ නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ක්‍රියාශීලී ලෙස ඇසුරු කිරීමට ආශාවක් දක්වන පුද්ගලයෙකු හැටියට වැඩිමහල්ලන්ට ඔහුව සාදරයෙන් පිළිගත හැකියි. (රෝම 15:7) ඔහුට හැකි ඉක්මනින් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමටත්, මාසය අවසානයේදී ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමටත් දිරිගැන්විය යුතුයි. බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් බවට සුදුසුකම් ලැබ පළමු වතාවට ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කරන විට, ඔහුගේ නමින් සභා ප්රචාරක කාඩ්පතක් විවෘත කරනු ලබන බවත් එය සභා ලිපි ගොනුවට ඇතුළත් කරන බවත් කියා සිටීමටත් වැඩිමහල්ලන්ට හැකියි. මාස්පතා ලැබෙන ක්ෂේත්‍ර සේවා වාර්තාවන් ගැන සියලුම වැඩිමහල්ලන් උනන්දුවක් දක්වන බව ඔහුට පවසන්න.
නව ප්‍රචාරකයා ගැන සහ ඔහුගේ සේවය ගැන හරි අවබෝධයක් ලබාගෙන ඔහු කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වීම ඔහුට ලොකු දිරිගැන්වීමක් වේවි. යෙහෝවා දෙවිට තව තවත් වැඩියෙන් සේවය කිරීමටද සෑම මසකම ක්ෂේත්‍ර සේවය වාර්තා කිරීමටද මේ මගින් ඔහු පෙලඹෙනවා ඇත.—ෆිලි. 2:4; හෙබ්‍රෙ. 13:2.
බයිබල් ශිෂ්‍යයා ක්ෂේත්‍ර සේවයේ යෙදීමට සුදුසුකම් ලබා ඇති බව වැඩිමහල්ලන් තීරණය කරන අවස්ථාව වන විට, ඔහුට යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතක් ලබා ගත හැකියි. ඔහු පළමු වතාවට ක්ෂේත්‍ර සේවය වාර්තා කළ පසුව, ඔහු දැන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු බවට කෙටි නිවේදනයක් කළ යුතුයි.
දරුවන්ට උපකාර කිරීම
ළමා වියේ සිටින දරුවන්ට පවා ශුභාරංචියේ ප්‍රචාරකයන් වීමට සුදුසුකම් තිබිය හැකියි. යේසුස් දරුවන්ව පිළිගෙන ඔවුන්ට ආශීර්වාද කළේය. (මතෙ. 19:13-15; 21:15, 16) මූලික වශයෙන් දරුවන් ගැන වගකීම දරන්නේ දෙමාපියනුයි. නමුත් දේශනා සේවයේ හවුල් වීමට මුළු හදින් පෙලඹෙන දරුවන්ට උපකාර කිරීමට සභාවේ වෙනත් අයටද හැකියි. ඔබ දෙමාපියෙකු නම්, ඔබ ක්ෂේත්‍ර සේවයේදී දක්වන කදිම ආදර්ශය, දෙවිට උද්යෝගයෙන් සේවය කිරීමට ඔබේ දරුවන්ට මහත් දිරිගැන්වීමක් වනු ඇත. ආදර්ශවත් හැසිරීමක් ඇති දරුවෙක් තම ඇදහිල්ල ගැන මුළු හදින්ම අන්‍යයන්ට ශුභාරංචිය ගැන කියද්දී ඔහුට තවත් කුමන උපකාර දිය හැකිද?
දරුවෙකුට ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් තිබේ කියා දෙමාපියෙකුට හැඟේ නම්, ඔහු හෝ ඇය සේවා කමිටුවේ සාමාජිකයෙකු සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි. එවිට, මුලසුන භාර අවේක්ෂක විසින් වැඩිමහල්ලන් දෙදෙනෙකුව (එක්කෙනෙක් සභා සේවා කමිටුවේ සාමාජිකයෙක්) දරුවා සහ ඔහුගේ දෙමාපියා(පියන්) සමඟ හමුවීමට කටයුතු පිළියෙළ කරනවා ඇත. එම දරුවාට බයිබල් සත්‍යයන් ගැන මූලික දැනුමක් තිබේ නම්, දේශනා සේවයේ හවුල් වීමට ඔහුට වුවමනා බව පැහැදිලිව පෙනෙන්නට තිබේ නම්, මින් අඟවන්නේ ඔහු හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි. මෙම කාරණා සහ ප්‍රචාරකයෙන් වීමට අවශ්‍ය සාමාන්‍ය සුදුසුකම්වලට සමාන කාරණා සලකා බැලුවායින් පසුව, දරුවාව බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස පිළිගැනීමට හැකිද නැද්ද කියා වැඩිමහල්ලන් දෙදෙනාට තීරණය කළ හැකියි.—ලූක් 6:45, රෝම 10:10.
කැපවීම සහ බව්තීස්මය
ඔබ නිවැරදි දැනුම ලබාගෙන දෙවිට ප්‍රේම කොට ඔබේ ජීවිතය දෙවිගේ කැමැත්තට අනුකූලව හැඩගස්වා ගෙන තිබෙනවා නම්, දේවසේවයේ යෙදෙන අතරම, දෙවි සමඟ තිබෙන ඔබේ පෞද්ගලික මිත්‍රත්වය ශක්තිමත් කිරීමටත් අවශ්‍යයි. ඒ කෙසේද? යාච්ඤාවෙන් ඔබවම දෙවිට කැපකිරීමෙන් සහ වතුර බව්තීස්මය මඟින් එය සංකේතවත් කිරීමෙන්ය.—මතෙ. 28:19, 20.
කැපවීම යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් හෝ යමක් පරිශුද්ධ අරමුණකට වෙන් කර තැබීමයි. මේ අනුව, දෙවිට කැපවීම යනු ඔබේ මුළු ජීවිතයෙන්ම දෙවිට සේවය කිරීමටත් ඔහුගේ මාර්ගවල විශ්වාසවන්තව ගමන් කිරීමටත් සදාකාලයටම ඔහුට පමණක් තනි භක්තිය දීමට පොරොන්දු වෙන බව යාච්ඤාවෙන් කියා සිටීමයි. (ද්වී. 5:9) මේ අයුරිනුයි ඔබ දෙවිට කැපවෙන්නේ. මෙය තනිකරම පෞද්ගලික කාරණයකි. මෙය වෙන කිසිවෙකුට ඔබ වෙනුවෙන් කළ නොහැකියි.
කෙසේවෙතත්, ඔබ දෙවිට කැපවීමට කැමතියි කියා යෙහෝවා දෙවිට පෞද්ගලිකව යාච්ඤාවෙන් කියනවාට වඩා යමක් ඊට ඇතුළත් වේ. ඔබ දෙවිට කැප වී සිටින බව අන්‍යයන්ටද පෙන්වීම අවශ්‍යයි. ඔබ එසේ කරන්නේ, යේසුස් කළාක් මෙන් වතුරෙන් බව්තීස්ම වීමෙනි. (1 පේතෘ. 2:21; 3:21) යෙහෝවා දෙවිට සේවය කිරීමට කැපවී, වතුරෙන් බව්තීස්ම වීමට ඔබට වුවමනා නම්, ඔබ කුමක් කළ යුතුද? ඔබ ඇසුරු කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ මුලසුන භාර අවේක්ෂකට ඔබ ඒ බව දැනුම් දිය යුතුයි. එවිට, ඔබට බව්තීස්ම වීම සඳහා සුදුසුකම් තිබෙනවාදැයි කියා බැලීමට ඔබ සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔහු වැඩිමහල්ලන් කිහිපදෙනෙකුව සූදානම් කරනවා ඇත. මේ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා, කරුණාකර ‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න, ඔවුන්ව බව්තීස්ම කරන්න’ නමැති පොත් පිංචයේ 4 සිට 7 දක්වා ඇති පිටුවල “බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වන ඔබටයි” යන කොටස සහ 8 සිට 57 දක්වා පිටුවල “බව්තීස්ම වීමට ආශාවෙන් සිටින අය සඳහා ප්‍රශ්න” යන කොටස බලන්න.