5වන පරිච්ඡේදය
යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට සංවිධානය වූ සෙනඟක්
දෙවිගේ රැළ රැකබලා ගන්නා අවේක්ෂකයෝ
යේසුස් “උතුම් එඬේරා” බව මිහිපිට සේවය කරද්දී පැහැදිලිව ඔප්පු කළේය. (යොහ. 10:11) තමා පසුපස උනන්දුවෙන් පැමිණි සමූහයන් දුටු යේසුස් “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින්” ඔවුන් සඳහා ඔහුට ඇති වුණේ මහත් ‘අනුකම්පාවකි.’ (මතෙ. 9:36) යේසුස් ජනයා සඳහා දැක්වූ මෙම ගැඹුරු සැලකිල්ල පේතෘස් සහ අනිකුත් ගෝලයන්ගේ සිත්වලට තදින් කාවැදිණ. ඊශ්‍රායෙල් සෙනඟ අතර සිටි බොරු එඬේරුන්ට වඩා යේසුස් කොතරම් වෙනස් කෙනෙක් වීද! ඒ බොරු එඬේරුන්ගේ නොසැලකිල්ල නිසා දෙවිගේ බැටළුවෝ විසිර ගොස් හාමතෙන් පෙළී සිටියෝය. (එසකි. 34:7, 8) යේසුස්ගේ ගෝලයෝ ඔහුගේ ආදර්ශයෙන් බොහෝ දේ ඉගෙනගත්හ. යේසුස් ඉගැන්වූ ආකාරය, තම රැකවරණය යටතේ සිටි අයට සැලකිල්ල දැක්වූ ආකාරය, ඔවුන් වෙනුවෙන් තම ජීවිතය වුණත් පුද කළ ආකාරය ඔවුන් කිසිදාක අමතක කළේ නැත. එමනිසා ‘තම ජීවිතවල එඬේරාද අවේක්ෂකද’ වන යෙහෝවා දෙවි වෙතට ඇදහිල්ලක් ඇති අයට හැරී එන්න අවශ්‍ය උපකාර ලබා දෙන්නේ කෙසේද යන්න ඔවුහු යේසුස්ගෙන් ඉගෙනගත්තෝය.—1 පේතෘ. 2:25.
දෙවිගේ බැටළුවන් රැකබලා ගැනීම තම ගෝලයන්ට භාර දී ඇති ඉතා බැරෑරුම් වගකීමක් බව යේසුස් තම ඉගැන්වීමෙන් හා ආදර්ශයෙන් අවධාරණය කළේය. එක් අවස්ථාවකදී පේතෘස්ට කතා කරද්දී බැටළුවන්ව පෝෂණය කිරීම හා රැකබලා ගැනීම කොතරම් වැදගත් කාර්යයක්ද යන්න යේසුස් තම ගෝලයන්ගේ සිත්වලට කාවැද්දුවේ ඉතා ප්‍රබල ආකාරයකිනුයි. (යොහ. 21:15-17) පේතෘස්ට ඒ අවවාද තදින් කාවැදිණ. වසර කිහිපයකට පසු වැඩිමහල්ලන් අමතමින් ඔහු තම මුල් ලිපියේ මෙසේ පැවසීය. “ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්ද, දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.”—1 පේතෘ. 5:1-3.
පේතෘස්ගේ මෙම වදන් අදදින සභාවල සේවය කරන අවේක්ෂකයන්ටත් එලෙසම අදාළ වේ. මුල් සියවසේ සිටි අවේක්ෂකයන් මෙන් අද දිනත් අවේක්ෂකයන්ගේ වගකීම වන්නේ දෙවිගේ රැළ රැකබලා ගැනීමයි. පේතෘස් තම ලිපිය තුළින් අවේක්ෂකයන්ට අවධාරණය කළේ එම වගකීම ඉසිලීමේදී ඔවුන්ට තිබිය යුතු ආකල්පය ගැනයි. ඔවුන් යේසුස්ව ආදර්ශයට ගත යුතුයි. ඔවුන් සේවය කළ යුත්තේ යෙහෝවා දෙවිගේ සේවයේ පෙරමුණ ගන්නා අය ලෙස හා රැළට ආදර්ශයක් වෙමින් කැමැත්තෙන් හා උනන්දුවෙනි.
දෙවිගේ මඟ පෙන්වීම ඇතුව පත් කරනු ලබන අවේක්ෂකයන් සභාවේ සේවය කිරීම ගැන අප සැමෝටම සතුටු විය හැකියි. ඔවුන්ගෙන් අපට දිරිගැන්වීමක් ලැබේ. සභාවේ සිටින සහෝදරයන්ට පෞද්ගලිකව යම් උපකාරද ලබාගත හැකියි. සතිපතා පවත්වන රැස්වීම්වලදී ඔවුහු මහත් උනන්දුවෙන් පෙරමුණ ගනිති. ඒ නිසා සියලුදෙනාට හොඳ පෝෂණයක් හා දිරිගැන්වීමක් ලැබේ. (රෝම 12:8) දුෂ්ට මිනිසුන්ගේ බලපෑම් ඇතුළු හානිකර බලපෑම්වලින් සභාව ආරක්ෂා කිරීමට ඔවුන් දරන වෑයම නිසා අපට සුරක්ෂිතභාවයක් දැනේ. (යෙසා. 32:2; තීත. 1:9-11) ශුභාරංචිය දේශනා කිරීමේ කටයුත්තේ සෑම මාසයකම නිතිපතා හවුල් වීමට අපට ඉමහත් දිරිගැන්වීමක් වන්නේ ඔවුන් කදිම ආදර්ශයක් තබන නිසා හා දේවසේවයේ ඔවුන් පෙරමුණ ගන්නා නිසාය. (ෆිලි. 3:16, 17; හෙබ්‍රෙ. 13:15-17) මෙම පුරුෂයන් ඇත්තෙන්ම අපට දෙන ලද ‘තෑගිය.’ ඔවුන් තුළින් යෙහෝවා දෙවි සභාවේ වර්ධනය සඳහා කදිම සැලැස්මක් පිහිටුවා ඇත.—එෆී. 4:8, 11, 12.
අවේක්ෂකයන්ට තිබිය යුතු සුදුසුකම්
අවේක්ෂකයන් ලෙස පත් කරනු ලබන පුරුෂයන් දේවවචනයේ දක්වා ඇති සුදුසුකම්වලට අනුව ජීවත් විය යුතුය. එම අවේක්ෂකයන් ශුද්ධාත්මයෙන් හෙවත් දෙවිගේ මඟ පෙන්වීම ඇතුව පත් කර ඇති බවට පැවසිය හැක්කේ ඔවුන් ඒ සුදුසුකම්වලට එකඟව සිටියොත් පමණි. මෙය සභාවේ ශුභසිද්ධියට බොහෝ සෙයින් දායක වේ. (ක්‍රියා 20:28) ක්‍රිස්තියානි අවේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රමිතිය උසස් එකකි. මන්ද දෙවිට කරන නමස්කාරයේදී පෙරමුණ ගැනීමේ බැරෑරුම් වගකීම ඔවුන් සතු වන නිසාය. මීට අමතරව ක්‍රිස්තියානීන් හැටියට ජීවත් වීමේදීත් ඔවුන් ඉතා ආදර්ශවත් විය යුතුයි (1 කොරි. 11:1; හෙබ්‍රෙ. 13:7; 1 පේතෘ. 5:3) නමුත් ඒ ප්‍රමිතිය යෙහෝවා දෙවිට සැබෑ ප්‍රේමයක් දක්වන, ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති අයට ළඟාවෙන්න බැරි තරම් උසස් ප්‍රමිතියක් නොවේ. කෙසේවෙතත් සභාවේ සියල්ලන් ඉදිරියේ ඔවුන් ආදර්ශවත් විය යුතුයි. මෙම අවේක්ෂකයන් තම ජීවිතයේ සියලු පැතිවලදී බයිබලයේ සඳහන් උපදෙස් පිළිපදින අය බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.
පාවුල් තිමෝතිට ලියූ මුල් ලිපියේ හා තීතස්ට ලියූ ලිපියේ අවේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන මූලික සුදුසුකම් සඳහන් කළේය. පළමු තිමෝති 3:1-7 දක්වා සඳහන් වන්නේ මෙසේය. “යමෙක් අවේක්ෂකයෙකුගේ කාර්යභාරය අත් කරගැනීමට වෑයම් කරන්නේ නම් ඔහු යහපත් වැඩක් කිරීමට කැමති වන්නේය. එහෙයින් අවේක්ෂකයා නිදොස්ව, එක් භාර්යාවකට ස්වාමිපුරුෂයෙකුව, පමණ දැන ක්‍රියා කරන, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, පිළිවෙළකින් යුක්තව කටයුතු කරන, ආගන්තුක සත්කාරය දක්වන, උගන්වන්න සුදුසුකම් ලත් කෙනෙකු විය යුතුය. ඔහු බීමත්ව දබර කරන්නෙකු නොවන, ගහගන්නෙකු නොවන, සාධාරණ, රණ්ඩුවට බර නොවන, මුදලට ප්‍රේම නොකරන, තමාගේ ගෙදර සිටින අයව හොඳින් හසුරුවන මිනිසෙකු විය යුතුය. ඔහුගේ දරුවන් යටහත්ව හා ගෞරවණීයව හැසිරෙන අය විය යුතුය. (ඇත්තටම, යමෙකු තමාගේම ගෙදර සිටින අයව හසුරුවන්නේ කෙසේදැයි දන්නේ නැත්නම්, ඔහු දෙවිගේ සභාව බලාගන්නේ කෙසේද?) අහංකාරයෙන් ඉදිමී යක්ෂයාට පැමිණි විනිශ්චයට නොවැටෙන පිණිස, ඔහු අලුත් ඇදහිලිවන්තයෙකු නොවිය යුතුය. තවද, ඔහු නින්දාවට ලක් නොවන පිණිසද, යක්ෂයාගේ උගුලකට හසු නොවන පිණිසද, ඔහු පිටත සිටින අයගෙන් යහපත් සාක්ෂියක් ලබා තිබිය යුතුය.”
තීතස්ට ලියද්දී පාවුල් පැවසුවේ මෙසේය. “මා ඔබව ක්‍රීට්හි නවත්වා ආවේ, මා ඔබට උපදෙස් දුන් පරිදි ඔබ විසින් අඩු පාඩු සකස් කරන පිණිසත්, සෑම නගරයකම වැඩිමහල්ලන්ව පත් කරන පිණිසත්ය. එසේ පත් කළ යුත්තේ තමාට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල නොවූ, එක් භාර්යාවකට ස්වාමිපුරුෂයෙකුව සිටින, අශිෂ්ට ක්‍රියා ගැන චෝදනා නොලැබූ, හික්මුණු, ඇදහිල්ලෙහි සිටින දරුවන් ඇති පුරුෂයෙකුවය. මන්ද, දෙවිගේ සේවකයා වශයෙන් කටයුතු කරන අවේක්ෂකයා තමාට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල නොවූ, හිතු මතේ කටයුතු නොකරන, නොකිපෙනසුලු, බීමත්ව දබර කරන්නෙකු නොවන, ගහගන්නෙකු නොවන, වංක ලෙස ලාභ ලැබීමට ලොල් නොවූ තැනැත්තෙකු විය යුතුය. ඒ වෙනුවට ඔහු ආගන්තුක සත්කාරය දක්වන, යහපතට ප්‍රේම කරන, හොඳ සිහිකල්පනාවෙන් යුක්තව කටයුතු කරන, ධර්මිෂ්ඨ, පක්ෂපාත, ආත්ම දමනයෙන් යුත් පුද්ගලයෙකු විය යුතුය. තවද ඔහු සුවදායී වූ ඉගැන්වීමෙන් උනන්දු කිරීමටත්, ඊට විරුද්ධව කතා කරන අයට අවවාද කිරීමටත් හැකි වන පිණිස තම ඉගැන්වීමේ කලාව යොදාගන්නා විට විශ්වසනීය වචනයට තදින් ඇලී සිටින තැනැත්තෙකු විය යුතුය.” (තීත. 1:5-9) පාවුල් ලබා දුන් මෙම උපදෙස්වලින් පැහැදිලි වන්නේ අවේක්ෂකයන් තම වගකීම් උසුලන විට ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දෙයයි. ක්‍රිස්තියානි සභාවේ සිටින එඬේරුන්ගෙන් හෙවත් අවේක්ෂකයන් ලෙස පත් කර ඇති අයගෙන් බලාපොරොත්තු වන තවත් ක්‍රිස්තියානි ගුණාංග ගැන වෙනත් බයිබල් ලේඛකයන්ගේ පොත්වලද සඳහන් වේ.—යාකො. 3:13, 17, 18.
මෙම සුදුසුකම් සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ අවේක්ෂකයෙකු වීම ඉතා බැරෑරුම් දෙයක් බවය. එනමුත් අවේක්ෂකයෙකුගේ කාර්යභාරය තුළින් කදිම සේවයක් ඉටු වන නිසා ක්‍රිස්තියානි පුරුෂයන් ඔවුන්ගේ ආශාව යටපත් කර නොගත යුතුයි. අවේක්ෂකයන් යහපත් ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්වීමට උත්සුක වන විට එවැනිම ගුණාංග පෙන්වීමට සභාවේ අනිකුත් සාමාජිකයන් තුළද පෙලඹීමක් ඇති වේ. ‘තෑගි වශයෙන් දී ඇති පුරුෂයන්’ සභාවට ලබා දීමේ මෙම අරමුණ පැහැදිලි කරමින් පාවුල් පැවසුවේ මෙසේය. “ඔවුන්ව දී ඇත්තේ ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහාත්, සේවය සඳහාත්, ක්‍රිස්තුස්ගේ ශරීරය වර්ධනය කිරීම සඳහාත්ය. එමෙන්ම අප සියල්ලන් ඇදහිල්ලේ සහ දෙවිගේ පුත්‍රයා පිළිබඳ නිවැරදි දැනුමේ එක්සත්කමටත්, වැඩිහිටිභාවයටත්, ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් උස මහතේ ප්‍රමාණයටත් පැමිණෙන පිණිසත්ය.” (එෆී. 4:8, 12, 13) සියලුම ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ අද්දැකීම් ලබා ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගැනීමටයි. ඒ නිසා පත් කළ අවේක්ෂකයන් ලෙස සභාවට උපදෙස් හා මඟ පෙන්වීම් දෙන අය ආදර්ශවත්ව කටයුතු කිරීමේ වැදගත්කම අපට පැහැදිලි වේ.
අවේක්ෂකයන් ලෙස සේවය කිරීම සඳහා සභාවේ සුදුසුකම් ඇති පුරුෂයන්ව පත් කිරීමට පාවුල් තිමෝතිට හා තීතස්ට උපදෙස් දුන්නේය. (1 තිමෝ. 3:1-7; තීත. 1:5-9) පත් කළ යුත්තේ යෞවන දරුවන්වත් ළඟදී සත්‍යයට පැමිණි පුරුෂයන්වත් නොවේ. ඒ වෙනුවට ඔවුන් ක්‍රිස්තියානීන් හැටියට ජීවත් වන ආකාරය ගැන අද්දැකීම් ඇති, බයිබලය ගැන ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ඇති හා සභාවට සැබෑ ප්‍රේමයක් ඇති පුරුෂයන් විය යුතුයි. එම අවේක්ෂකයන් යම් වැරදි දෙයක් සිදු වූ විට බියක් සැකක් නොමැතිව කතා කර, වරද නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අය විය යුතුයි. එතුළින් සහෝදරයන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කරන අයගෙන් සභාව ආරක්ෂා කරගත හැකි වේ. (යෙසා. 32:2) මේ අනුව සභාවේ සියලුදෙනාම මෙම පුරුෂයන්ව සලකන්නේ දෙවිගේ රැළ ගැන සැබෑ සැලකිල්ලක් දක්වන, ඇදහිල්ලෙන් ශක්තිමත් අය හැටියටයි. මේ බව ඔවුන් සිය ජීවිතය ගත කරන අයුරින් සභාවට පැහැදිලි විය යුතුයි.
රැළේ අවේක්ෂකයන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබන අයගෙන් දෙවි බලාපොරොත්තු වන තවත් දෙයක් වන්නේ ඔවුන්ගේ දෛනික ජීවිතය ඥානවන්තව හසුරුවන බවට සාක්ෂි තිබීමය. ඔවුන් විවාහක නම් ක්‍රිස්තියානීන් සඳහා තිබෙන ප්‍රමිතියට එකඟව ඔවුන් ජීවත් විය යුතුය. එනම් ඔහු එක භාර්යාවකට ස්වාමිපුරුෂයෙකු මෙන්ම ගෙදර සිටින අයව හොඳින් හසුරුවන කෙනෙකි. අවේක්ෂකයෙක් අශිෂ්ට ක්‍රියා ගැන චෝදනා නොලැබූ, හික්මුණු, ඇදහිල්ලෙහි දරුවන් සිටිනවා නම්, එම දරුවන් යටහත්ව හා ගෞරවණීයව හැසිරෙනවා නම්, පවුල් ජීවිතය හා ක්‍රිස්තියානීන් හැටියට ජීවත් වීම වැනි නොයෙකුත් පෞද්ගලික කාරණා ගැන උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීමට සභාවේ සාමාජිකයන් ඔහු වෙතට එනවා නොඅනුමානයි. අවේක්ෂකයන් පවුල තුළ හා පොදුවේ සමාජය තුළ ශිෂ්ටසම්පන්නව හැසිරෙන නිසා එවැනි පුරුෂයන් නිදොස් මෙන්ම තමාට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල නොවූ, පිටත සිටින අයගෙන් යහපත් සාක්ෂියක් ලබා තිබෙන කෙනෙක්ද විය යුතුය. ඔහුට විරුද්ධව කිසිම වලංගු චෝදනාවක් නොතිබිය යුතුයි. මන්ද එයින් සභාවේ හොඳ නමට හානියක් එල්ල විය හැකි නිසාය. එවැනි කෙනෙක් බරපතළ වරදක් කළ නිසා සභාවේ විනිශ්චය කමිටුවක් මගින් අවවාද ලැබූ කෙනෙකුද නොවේ. ඔවුන්ගේ යහපත් ආදර්ශය අනුකරණය කරන්නත් ඔවුන් කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තබන්නත් සභාවේ සාමාජිකයන් පෙලඹිය යුතුයි.—1 කොරි. 11:1; 16:15, 16; ෆිලි. 2:25, 29; හෙබ්‍රෙ. 13:7, 17.
ක්‍රිස්තියානි සභාවේ මෙලෙස සේවය කිරීමට සුදුසුකම් ලබන පුරුෂයෝ පුරාණ ඊශ්‍රායෙල් සෙනඟ අතර සේවය කළ “ප්‍රඥාවන්ත වූ බුද්ධිමත් වූ” වැඩිමහල්ලන්ට සමාන සේවයක් ඉටු කරති.(ද්වි. 1:13) ඔවුන් පව් නොකරන අය නම් නොවේ. (රෝම 3:23) නමුත් ඔවුන් යම් සාධාරණ කාලයක් පුරා තම මුළු ජීවිතය බයිබල් ප්‍රතිපත්ති මත පදනම් කරගෙන ගත කරන බව ඔප්පු කර ඇති දේව ගරුබියෙන් ක්‍රියා කරන, හොඳ සදාචාර ගතිපැවතුම් ඇති අය බවට සභාවේ හා සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන අය විය යුතුයි. ඔවුන් නිදොස් පුද්ගලයන් වන නිසා සභාව ඉදිරියේ කිසිම බාධාවක් නැතිව කතා කරන්න ඔවුන්ට හැකියාවක් තිබිය යුතුයි.
අවේක්ෂකයන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ඇති පුරුෂයන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ ගතිපැවතුම් සම්බන්ධයෙන් හා අනුන් සමඟ කටයුතු කරද්දී පමණ දැන ක්‍රියා කළ යුතුයි. ඔවුන් අන්තයට යන අය ලෙස ක්‍රියා කරන අය නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිත තුළ සමබරතාව, මනා පිළිවෙළ හා ආත්ම දමනය යන ලක්ෂණ පිළිබිඹු විය යුතුයි. පමණ දැන ක්‍රියා කිරීම අවශ්‍ය වන්නේ කෑමේදී, බීමේදී, විවේක ගනිද්දී, විනෝද වෙද්දී හා විනෝදාංශවල යෙදෙද්දීය. ඔවුන් බොහෝ වයින් බීමට ඇබ්බැහි නොවූ අය වන අතර, වයින්, බියර් ඇතුළු මත්පැන් පානයේදී පමණ දැන ක්‍රියා කරන අය වනු ඇත. මෙලෙස ඔවුන් බීමත්ව දබර කරන අය බවට හෝ බේබද්දන් බවට වූ චෝදනාව ලබා සිටින අය නොවේ. මත්පැන් පානයෙන් තම හොඳ සිහිය නැති කරගන්නා කෙනෙකු පහසුවෙන්ම ආත්ම දමනය නැති කරගන්නා අතර, සභාවේ ශුභසිද්ධිය ගැන අවධානයෙන් සිටින්න ඔහු සුදුසුයි කියා පැවසිය නොහැක.
අවේක්ෂකයෙකුට සභාවේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට සිදු වන නිසා ඔහුගේ ජීවිතය, පුරුදු හා වැඩ කටයුතු තුළ යම් පිළිවෙළක් බලාපොරොත්තු වීම සාධාරණය. මීට ඔහුගේ පෞද්ගලික පෙනුම, ඔහුගේ නිවස හා පෞද්ගලික වැඩ කටයුතු ඇතුළත් වේ. එවැනි පුරුෂයෙක් දේවල් කල් දැමීමෙන් වැළකී සිටියි. කළ යුතු දේ කුමක්ද කියා තේරුම්ගන්නා ඔහු ඊට එකඟව සැලසුම් යොදයි. එසේ කරද්දී ඔහු දිව්‍ය ප්‍රමිතිවලට එකඟව ක්‍රියා කරයි. පමණ දැන ක්‍රියා කරන ආත්ම දමනයෙන් යුත් කෙනෙක් වීමට මෙම සියලුම පැති ඇතුළත් වේ.
අවේක්ෂකයෙක් සාධාරණ කෙනෙක්ද විය යුතුය. මින් අදහස් වන්නේ ඔහු සභාව රැකබලා ගැනීමේ වගකීම සතු අනිකුත් වැඩිමහල්ලන් සමඟ සමඟියෙන් හා සහයෝගයෙන් වැඩ කිරීමට හැකියාවක් ඇති කෙනෙක් විය යුතු බවයි. සභාව තුළ හා පිටත සිටින අය සමඟ කටයුතු කරද්දී ඔහු තමා ගැන සමබර ආකල්පයක්ද දැරිය යුතුයි. අවේක්ෂකයෙක් සාධාරණව ක්‍රියා කරන කෙනෙක් නිසා ඔහු තම මතයෙහි එල්බගෙන සිටින කෙනෙක් නොවේ. ඔහු තමා සමඟ සේවය කරන වැඩිමහල්ලන්ට වඩා තමාගේ අදහස් වැදගත් යයි සිතන කෙනෙක් වන්නේද නැත. ඔහු තුළ වැඩියෙන් දකින්න නැති ගුණාංග හෝ හැකියාවන් වෙනත් අය තුළ තිබිය හැක. කෙනෙක් සාධාරණව ක්‍රියා කරන්නේ කෙසේද? යම් දේවල් සම්බන්ධයෙන් තමන් ගන්නා නිගමන ශුද්ධ ලියවිල්ල මත විශ්වාසවන්තව පදනම් කිරීමෙන් හා යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට වෑයම් කිරීමෙනි. (ෆිලි. 2:2-8) අන් අයට නිසි ගෞරවය පෙන්වීමෙන්ද, තමාට වඩා අන් අයව උසස් කොට සැලකීමෙන්ද වැඩිමහල්ලෙක් චවනයෙන් හෝ අතින් හෝ ගහගන්නෙක් වීමෙන් හා රණ්ඩුවට බර කෙනෙක් වීමෙන් වැළකී සිටියි. ඔහු නිතරම තමා ඉදිරිපත් කරන අදහස් හෝ මත භාරගන්නා මෙන් අන් අයට බල කරන හිතු මතේ කටයුතු කරන කෙනෙක් නොවන්නේය. මීට අමතරව ඔහු නොකිපෙනසුලු කෙනෙක් වන අතර, අන් අය සමඟ කටයුතු කරද්දී සමාදානයෙන් ක්‍රියා කරන කෙනෙක්ද වේ.
සභාවේ අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලබන කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙකුද විය යුතුයි. මින් අදහස් වන්නේ දෙවිගේ ප්‍රමිති හා ඒවා අදාළ වන අන්දම ගැන ඔහුට හොඳ වැටහීමක් තිබිය යුතු බවයි. එවැනි කෙනෙක් හදිස්සියෙන්ම යම් නිගමනවලට එළඹෙන කෙනෙක් නොව නමුත් සන්සුන්ව පැහැදිලිව සිතා බලන කෙනෙකි. උපදෙස් මඟ පෙන්වීම් ලැබෙද්දී ඒවාට හොඳ ප්රතිචාරයක්ද දැක්විය යුතුයි. ඔහු දෙගිඩියාවෙන් ක්‍රියා කරන කෙනෙකුවත්, කුහක හෝ අන්තයට ගොස් ක්‍රියා කරන්නෙක්ද නොවේ.
අවේක්ෂකයෙකු යහපතට ප්‍රේම කරන කෙනෙක් විය යුතු බවත් පාවුල් තීතස්ට මතක් කළේය. ඔහු ධර්මිෂ්ඨ, පක්ෂපාත කෙනෙක්ද වේ. අන් අය සමඟ කටයුතු කරද්දී හා හරි දේ හා යහපත් දේ වෙනුවෙන් ස්ථිරව සිටීමෙන් මෙම ගුණාංග දැකගත හැකි වනු ඇත. යෙහෝවා දෙවිට ඔහු දක්වන්නේ නොසැලෙන භක්තියකි. මීට අමතරව ඔහු යම් නිගමනවලට එළඹෙන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට විශ්වාසවන්තව ඇලී සිටිමිනුයි. තමාට විශ්වාසයෙන් පවසන දෙයක් හෝ යම් රහසිගත කාරණයක් රහසිගතව තබාගැනීමටත් ඔහු සමත් වෙයි.
හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක් අන් අයගෙන් බලාපොරොත්තු විය නොහැකි දේවල් අසාධාරණව අපේක්ෂා කරන්නේ නැත. මීට අමතරව වංක ලෙස ලාභ ලැබීමට ලොල් නොවූ, මුදලට ප්‍රේම නොකරන කෙනෙක් වන ඔහු යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාවෙන් ක්‍රියා නොකරයි. තමා වැඩිමහල්ලෙකු යන කාරණය යොදාගෙන තමන් රැකබලා ගන්නා අයගෙන් යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමට ඔහු උත්සාහ කරන්නේ නැත. මීට අමතරව සභා අවශ්‍යතා හැසිරවීමට ඔහුගේ කාලය හා ශ්‍රමය කැප කරන්න සිදු වුණත් යම් පරිත්‍යාගයන් කිරීමට ඔහු කැමැත්තක් දක්වයි. ඔහු සහෝදරයන් සඳහා, නාඳුනන අය සඳහා සැබෑ ප්‍රේමයක් දක්වමින් ඔවුන් සමඟ පරිත්‍යාගශීලීව කටයුතු කරන නිසා ඔහු සැබවින්ම ආගන්තුක සත්කාරය දක්වන කෙනෙක් ලෙස නම් දරයි. තමාගේ ශ්‍රමය හා වස්තුව පවා වෙනත් අයගේ ප්‍රයෝජන සඳහා පරිත්‍යාග කරයි.—ක්‍රියා 20:33-35.
තමාට පැවරී ඇති වගකීම් සාර්ථකව ඉටු කිරීමට නම් සභාවේ සේවය කරන අවේක්ෂකයෙක් හෙවත් එඬේරෙක් උගන්වන්න සුදුසුකම් ලත් කෙනෙක් විය යුතුයි. පාවුල් තීතස්ට පැහැදිලි කළ ආකාරයට අවේක්ෂකයෙක් “සුවදායී වූ ඉගැන්වීමෙන් උනන්දු කිරීමටත්, ඊට විරුද්ධව කතා කරන අයට අවවාද කිරීමටත් හැකි වන පිණිස තම ඉගැන්වීමේ කලාව යොදාගන්නා විට විශ්වසනීය වචනයට තදින් ඇලී සිටින තැනැත්තෙකු විය යුතුය.” (තීත. 1:9) තම ඉගැන්වීමේ කලාව යොදාගනිමින් අන් අයට යම් කාරණා තර්කානුකූලව ඒත්තුගැන්වීමට, යම් දේවල් පිළිබඳව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට, යම් වැරදි තර්කයක් බිඳ හෙළීමට හා අන් අය තුළ පැහැදීමක් ඇති කරමින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවන ආකාරයකින් ශුද්ධ ලියවිල්ල පහදා දීමට හැකියාව අවේක්ෂකයෙකුට තිබේ. ඔහු එම ඉගැන්වීමේ කලාව යොදාගන්නේ පහසු හා අසීරු යන අවස්ථා දෙකෙහිමය. (2 තිමෝ. 4:2) වැරදි දෙයක් කර ඇති හෝ වැරදි ආකල්ප දරන කෙනෙකුට මෘදුකමින් අවවාද කිරීමට ඔහු තුළ ඉවසීමක් තිබිය යුතුයි. එමෙන්ම යම් කෙනෙකු තුළ සැක ඇත්නම් ඇදහිල්ල පදනම් කරගෙන යහපත් ක්‍රියා කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති කරන්නද ඔහු සමත් වෙයි. සබයක් ඉදිරියෙහි හෝ පෞද්ගලික මට්ටමින් හෝ මෙලෙස ඉගැන්වීමට සුදුසුකම් ඇති බව ඔප්පු කිරීම අවේක්ෂකයෙකු සඳහා ඉතා වැදගත් වේ.
සභාවේ සේවය කරන වැඩිමහල්ලන් බල කිරීම නිසා හෝ අකමැත්තෙන් නිසා නොව කැමැත්තෙන් හා උනන්දුවෙන් සේවය කළ යුතු බව පාවුල් සඳහන් කළේය. ඔවුන් සේවය කළ යුත්තේ උද්යෝගයෙනි. ඔවුන් රැළට ආදර්ශයක් වෙමින් පෙරමුණ ගෙන කටයුතු කළ යුතුයි.—හෙබ්‍රෙ. 13:17; 1 පේතෘ. 5:3.
අවේක්ෂකයෙකු ලෙස සේවය කරන කෙනෙකුගෙන් සෑහෙන දේවල් බලාපොරොත්තු වන බව මෙයින් පෙනී යයි. නමුත් කිසිවෙකු බයිබලයේ සඳහන් උසස් ප්‍රමිතිවලට සියයට සියයක් අනුකූල වෙයි කියා සිතාගැනීම අමාරුය. ඒ වුණත් සභාවේ සේවය කිරීමට පත් කර ඇති වැඩිමහල්ලෙක් ඉහත සඳහන් ඕනෑම සුදුසුකමක් සම්බන්ධයෙන් බරපතළ ලෙස පහත වැටෙනවා නම් ඔහු සේවය කිරීමට සුදුස්සෙකු නොවේ. ඇතැම් වැඩිමහල්ලන්ට යම් පැතිවලින් කැපීපෙනෙන ගුණාංග තිබෙන අතර, ඒ මණ්ඩලයේම වෙනත් වැඩිමහල්ලන්ට වෙන පැතිවලින් කදිම ගුණාංග තිබිය හැකියි. ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සභාව නිසි ලෙස අධීක්ෂණය කිරීමට අවශ්‍ය කදිම ගුණාංග සියල්ල සමස්තයක් ලෙස මුළු වැඩිමහල් මණ්ඩලය සතු වේ.
පුරුෂයන්ව අවේක්ෂකයන් ලෙස නිර්දේශ කරද්දී වැඩිමහල් මණ්ඩලය මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබේ. එනම් යෙහෝවා දෙවි ඉදිරියේ තමන් කොතරම් කුඩා අයද කියාත් තමන් සෙසු ක්‍රිස්තියානීන්ට කෙසේ සැලකිය යුතුද කියාත්ය. රෝම 12:3හි සඳහන් උපදෙසට අනුව කිසිවෙකු “තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතා, දෙවි එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය අනුව, හොඳ සිහිකල්පනාවෙන් සිටීමට හැකි වන පරිද්දෙන් සිතන්න” අවශ්‍යයි. සෑම කෙනෙකු තුළ නිහතමානී ආකල්පයක් තිබිය යුතුයි. වෙනත් අයගේ සුදුසුකම් පරීක්ෂා කර බලද්දී “පමණට වඩා ධර්මිෂ්ඨ නොවන්න” වගබලා ගත යුතුයි (දේශ. 7:16) වැඩිමහල්ලෙකු ලෙස පත්වීම සඳහා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් ගැන පැහැදිලි අවබෝධයක් ඇති මණ්ඩලය බලන්නේ ඔවුන් සලකා බලන සහෝදරයා එම ප්‍රමිතිවලට එකඟව සාධාරණ මට්ටමකින් සුදුසුකම් ලබනවාද යන්නයි. එසේ නැතහොත් සඳහන් සුදුසුකම්වලින් එකක් හෝ ඊට වැඩිය සම්බන්ධයෙන් ඔහු තුළ බරපතළ අඩුවක් දකින්න ලැබේ නම් වැඩිමහල්ලෙකු ලෙස ඔහුට සේවය කළ නොහැකි බව තීරණය කළ යුතුයි. කිසි කෙනෙකු දෙවිගේ ප්‍රමිතිවලට සියයට සියයක් අනුකූල නොවන බව දන්නා වැඩිමහල්ලන් මෙම නිර්දේශයන් කළ යුත්තේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට නිසි ගෞරවයක් පෙන්වමින් හා සභාවේ යහපත සැලකිල්ලට ගෙනය. එබැවින් යම් අයගේ සුදුසුකම් සලකා බලද්දී ඔවුහු තමා කැමති අයට විශේෂ අනුග්‍රහයක් දැක්වීමෙන් වැළකින අතර කුහකකමින් ක්‍රියා නොකිරීමටද වගබලා ගනිති. තිමෝති හා තීතස් කළාක් මෙන් නිර්දේශ කරන සෑම කෙනෙකු ගැන යාච්ඤාපූර්වකව සිතා දේවබලයෙන් ලැබෙන මඟ පෙන්වීම් අනුගමනය කළ යුතුයි. මෙය වැඩිමහල්ලන් වශයෙන් ඔවුන්ට තිබෙන එක් බැරෑරුම් වගකීමකි. එමනිසා “ඉක්මන් වී කිසිවෙකු පිට අත් නොතබන්න” කියා පාවුල් දුන් අවවාදය සිතට ගැනීම වැදගත්ය.—1 තිමෝ. 5:21, 22.
අවේක්ෂකයන් සඳහා තිබෙන උසස් ක්‍රිස්තියානි ප්‍රමිතිවලට එකඟව ජීවත් වන පුරුෂයන් සභාව බොහෝ අනතුරුවලින් ආරක්ෂා කිරීමට සමත් පුරුෂයන් වන අතර, ඔවුහු සියලුදෙනා සඳහා ක්‍රිස්තියානි ජීවිතය සම්බන්ධයෙන් ඉතා කදිම ආදර්ශයක් තබති. ඔවුන්ට කතා කරන්න නිදහසද ඇත. එමෙනිසා සභාව තුළ අවශ්‍යතාව පැනනඟින විට උපදෙස් දෙන්නත්, දේවසේවයේ ශුභාරංචිය උද්යෝගයෙන් ප්‍රකාශ කරන්නත් අවශ්‍ය නිර්භීතකම ඔවුන්ට තිබේ.—ක්‍රියා 4:29; 1 තිමෝ. 3:13; හෙබ්‍රෙ. 10:19-23, 35.
දිව්‍ය ගුණාංග පිළිබිඹු කරන පුරුෂයෝ
ශුද්ධ ලියවිල්ලේ ප්‍රමිතිවලට අනුව සුදුසුකම් ලබන පුරුෂයන් දෙවිගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීමට අනුව ජීවත් වන බවට සාක්ෂි සැපයිය යුතුයි. ගලාති 5.22, 23හි පෙන්නුම් කරන ආකාරයට ඔවුන් තුළ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස “ප්‍රේමය, ප්‍රීතිය සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනනය යන” ගුණාංග ඔවුන් තුළ දැකගත හැකි වේ. ඔවුන් යටතේ සිටින සහෝදරයන්ට මහත් ප්රබෝධයක් දැනෙන අතර, එතුළින් දෙවිට සේවය කරද්දී මනා සමඟියක් දැනීමට ඔවුන්ට හැකි වේ. ඔවුන් දේවබලයේ මඟ පෙන්වීමට එකඟව පත් වී ඇති බව ඔවුන් හැසිරෙන ආකාරයෙන්, ඔවුන්ගේ වෙහෙසෙන් ලැබෙන ප්‍රතිඵලවලින් සනාථ විය යුතුයි. (ක්‍රියා 20:28) අවේක්ෂකයන් හා එඬේරුන් සඳහා ඇති සුදුසුකම් ශුද්ධ ලියවිල්ලේ ඉතා පැහැදිලිව දක්වා ඇති නිසා අදදින සභාව රැකබලා ගැනීමට සුදුසුකම් ඇති පුරුෂයන්ව පත් කරගැනීම පහසු කාර්යයක් බවට පත්ව ඇත.
එක්සත්කමට දායක වන පුරුෂයෝ
වැඩිමහල්ලන් සභාවේ අය අතර එක්සත්කමක් ඇති කිරීමට දායක වන අයුරින් ක්‍රියා කිරීම වැදගත්ය. ඔවුන්ට විවිධ පෞද්ගලිකත්වයන් තිබුණත්, සාකච්ඡා කරන සෑම දෙයක් සම්බන්ධයෙන් එකඟ නොවුණත් ඔවුහු එකිනෙකාට ගෞරවයක් දෙමින් සවන් දෙති. වැඩිමහල් මණ්ඩලයක් යම් කාරණයක් සම්බන්ධයෙන් ගන්නා අවසන් තීරණය බයිබල් ප්‍රමිතිවලට එකඟව තිබෙන තාක්කල්, එම මණ්ඩලයේ සෑම පුද්ගලයෙකුම ඊට එකඟ වෙමින් සහයෝගය දැක්විය යුතුයි. එලෙස එකඟ වන පුද්ගලයෙක් ‘සාධාරණ’ මෙන්ම ‘කීකරු වීමට සූදානම් ඉහළින් පැමිණෙන ප්‍රඥාවට’ එකඟව ක්‍රියා කරන කෙනෙක් බව පෙන්වයි. (යාකො. 3:17, 18) වැඩිමහල් මණ්ඩලයට වඩා තමාට වැඩි බලතල ඇති බව සිතන්න කිසි වැඩිමහල්ලෙකු නොසිතිය යුතුයි. වෙනත් අය මත අනිසි බලපෑම් කිරීමටත් කිසිම වැඩිමහල්ලෙක් උත්සාහ නොකළ යුතුයි. වැඩිමහල්ලන් මණ්ඩලයක් ලෙස එකට සහයෝගයෙන් වැඩ කරන විට ඔවුන් ඇත්තටම සහයෝගය දක්වන්නේ යෙහෝවා දෙවිටයි.—1 කොරි., 12 පරි.; කොලො. 2:19.
වැඩි සේවයක් කිරීමට ඉදිරිපත් වීම
අවේක්ෂකයෙකුගේ කාර්යභාරය ඉටු කිරීමට සියලුම අද්දැකීම් ලත් ක්‍රිස්තියානි පුරුෂයන් ආශා විය යුතුයි. (1 තිමෝ. 3:1) නමුත් එලෙස පත් වන කෙනාගෙන් සෑහෙන වැඩ කොටසක් සහ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් බලාපොරොත්තු වේ. ඉන් අදහස් වන්නේ එවන් කෙනෙක් සහෝදරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටීමයි. මෙම කාර්යභාරය අත් කරගැනීමට වෑයම් කිරීමෙන් අදහස් වන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් ලබාගැනීමට උත්සාහ කිරීමය. තම භාරය යටතේ සිටින අය රැකබලා ගැනීම සභාවේ අවේක්ෂකයන්ගේ වගකීම වනවා පමණක් නොව ඔවුන් සම්බන්ධයෙන් දෙවිට ගණන් දෙන්න සිදු වන බවත් මතක තබාගත යුතුයි.
හෙබ්‍රෙව් 13:17හි සඳහන් ආකාරයට අවේක්ෂකයන් ‘පෙරමුණ ගන්නා අය’ ලෙසත්, සහෝදරයන්ව ‘රැකබලා ගන්නා’ අය ලෙසත්, ඔවුන් ගැන “ගණන් දිය යුතු අය” ලෙසත් හඳුන්වා ඇති අතර, මෙම වචනවල බැරෑරුම්කම අවේක්ෂකයන්ට හොඳින් තේරෙයි. දෙවිගේ රැළ කෙරෙහි ‘අනිසි ලෙස බලය නොපැවැත්වීමට,’ තම පත්වීම තම වාසියට යොදා නොගැනීමට හා අකමැත්තෙන් සේවය නොකිරීමට අවේක්ෂකයන් විශේෂයෙන්ම වගබලා ගත යුතුයි. අවේක්ෂකයන් කටයුතු කළ යුත්තේ දෙවිගේ රැළ රැකබලා ගන්නා ප්‍රේමණීය එඬේරුන් ලෙසයි.—1 පේතෘ. 5:2, 3; හිතෝ. 27:23.
සභාවේ සාමාජිකයන් වැඩිමහල්ලන් සම්බන්ධයෙන් දැරිය යුතු ආකල්පය ගැන හෙබ්‍රෙව් 13:17හි මෙම මඟ පෙන්වීම් ලබා දෙයි. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” අවේක්ෂකයන් කියන්නේ දුර්වලකම් නැති පුරුෂයන් නම් නොවේ. එනමුත් ඔවුන්ට යටත් නොවිය යුතු බව ඉන් අදහස් නොකෙරේ. සභාව තුළ අවේක්ෂකයන් පත් කර තිබෙන්නේ දෙවිගේ සැලැස්මට එකඟවයි. එමනිසා ඔවුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දෙවිට ගණන් දෙන්න වැඩිමහල්ලන්ට සිදු වේ. ඔවුහු යෙහෝවා දෙවිවත් ඔහුගේ පාලනයත් නියෝජනය කරති. එවන් පුරුෂයෙකු පත් කිරීමට දෙවි තම බලය යොදාගන්නා සේම, දිව්‍ය ගුණාංග විදහාපෙන්වීමට අසමත් වෙමින් ශුද්ධ ලියවිල්ලේ සුදුසුකම්වලට අනුව ජීවත් වෙන්න අපොහොසත් වන අය ඔවුන්ගේ වගකීම්වලින් ඉවත් කිරීමට දෙවි පියවර ගනී.
සභා අවේක්ෂකයන්ගේ කදිම ආදර්ශය හා ඔවුන් වෙහෙස මහන්සිය නොබලා කරන සේවය අප ඇත්තටම අගය කළ යුතුයි. තෙසලෝනිකයේ පිහිටි සභාවට ලියූ විට පාවුල් සහෝදරයන්ට මෙසේ අවවාද කළේය. “සහෝදරයෙනි, ඔබ අතරේ වෙහෙසී වැඩ කරන, ස්වාමීන් තුළ ඔබ කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දැනමුතුකම් දෙන අයට සැලකිල්ල දක්වන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, ඔවුන්ගේ සේවය නිසා ඔවුන්ට ප්‍රේමණීයව බොහෝ සෙයින් සැලකිල්ල දක්වන මෙන් ඉල්ලා සිටිමු.” (1 තෙස. 5:12, 13) සභා අවේක්ෂකයන් වෙහෙස මහන්සි වී කරන සේවය නිසා අපට වඩාත් පහසුවෙන් හා ප්‍රීතියෙන් දෙවිට සේවය කළ හැකිය. අවේක්ෂකයන් සම්බන්ධයෙන් අප දැරිය යුතු ආකල්පය ගැන පාවුල් තිමෝතිට ලියූ මුල් ලිපියේ පැහැදිලි කළේ මෙසේය. “හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන, විශේෂයෙන්ම කතා කිරීමෙහිත් ඉගැන්වීමෙහිත් වෙහෙස වී වැඩ කරන වැඩිමහල්ලන් දෙගුණයක් ගෞරවය ලැබීමට වටින බව සැලකිල්ලට ගන්න.”—1 තිමෝ. 5:17.
යම් වෙනස්කම්වලට මුහුණ දෙන්න සිදු වන විට
ඇතැම් අවස්ථාවලදී අවුරුදු ගණනාවක් විශ්වාසවන්තව හොඳ සේවයක් කර ඇති සහෝදරයෙකුට යම් අසනීපයක් ඇති විය හැකියි. එසේ නැතහොත් මහලු වීම නිසා දුබල විය හැකියි. මේ හේතු නිසා කලින් තම වගකීම් ඉටු කළ ආකාරයට හෝ වෙනත් අවේක්ෂකයන් තම වගකීම් ඉටු කරන ආකාරයට තම වගකීම් ඉටු කිරීම ඔහුට අසීරු විය හැකිය. ඔහුට මෙවැනි සීමාවන් තිබුණත් ඔහුට අඩුවෙන් ගෞරව කළ යුතු බව අදහස් වන්නේ නැත. තම වගකීම්වලින් ඉවත් වෙන්නත් එය හේතුවක් නොවේ. වෙහෙස මහන්සිය නොබලා තම උපරිමයෙන් දෙවිගේ රැළ රැකබලා ගන්නා සියලු වැඩිමහල්ලන්ට හිමි වන දෙගුණයක් ගෞරවය ඔහුටද හිමි වීම කොතරම් උචිතද!
නමුත් යම් හේතු නිසා තමාට කැමති ආකාරයෙන් සේවය කරන්න බැරි බව සහෝදරයෙකුට හැඟේ නම්, තම වගකීම්වලින් ඉවත් වෙන්න ඔහුට තීරණය කළ හැකිය. (1 පේතෘ. 5:2) සියලුදෙනාම දිගටම ඔහුට ගෞරවය කළ යුතු අතර, වැඩිමහල්ලන්ට ලබාදෙන පැවරුම් හා වගකීම් ඔහුට නොතිබුණත් ඔහුගෙන් සභාවට තවමත් හොඳ සේවයක් ඉටු විය හැකියි.
(මතු සම්බන්ධයි)