1වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
4 සිට 15 දක්වා පිටු
අපගේ හවුල් සේවකයන් වෙත,
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වූ සෙනඟක් නමැති මේ පොත ලියා තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සඳහාය. දෙවිව සතුටු කිරීම සඳහා කළ යුතු දේවල් හා ඔහුගේ කැමැත්ත කිරීමෙන් ප්‍රීතියක් ලැබිය හැකි අයුරු මේ පොතෙහි පැහැදිලි කර ඇත. දෙවි අපට දී තිබෙන කාර්යය කිරීම සඳහා ක්‍රිස්තියානි සභාව සංවිධානය වී තිබෙන ආකාරය පිළිබඳව මූලික අදහසක්ද මෙම පොතෙන් ලබාගත හැකිය. එමෙන්ම ලොව පුරා සිටින අපගේ සහෝදරයන් සමඟ එක්සත්ව සේවය කිරීම සඳහා උපකාරවත් වන උපදෙස් හා මඟ පෙන්වීම්ද මෙම පොතෙහි සපයා තිබේ. (1 පේතෘ. 2:17; 5:9) දෙවිගේ කැමැත්ත වන්නේ ‘සියලු ආකාර මිනිසුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්නවා’ දැකීමය. (1 තිමෝ. 2:4) දෙවිගේ මෙම කැමැත්ත ඉටු කිරීම සඳහා අපට උපකාර කිරීමේ අරමුණින්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට ප්‍රකාශ කළ හැකි විවිධ ක්‍රම මෙම පොතෙහි පෙන්වා දී තිබේ.—මතෙ. 24:14.
යෙහෝවාගේ සංවිධානය සමඟ එක්ව ඔහුට ප්‍රශංසා කිරීම සඳහා කර තිබෙන ආරාධනාව බොහෝදෙනෙකු පිළිගෙන තිබේ. මේ අයට ඇදහිල්ලෙන් වර්ධනය වීමට උපකාර කිරීම අවශ්‍ය බවත් අපි වටහාගෙන සිටින්නෙමු. (ගීතා. 145:21; එළි. 22:17) නවකයන් යෙහෝවාගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය හොඳින් තේරුම්ගත යුතුය. එමෙන්ම දේශනා සේවය සංවිධානය කර තිබෙන අයුරුද ඔවුන් දැනගත යුතුය. යෙහෝවා දෙවිගේ කැපවූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් වීම සඳහා ශුද්ධ ලියවිල්ලේ සුදුසුකම් කිහිපයක්ම සඳහන්ව ඇත. එම සුදුසුකම් අත් කරගැනීම සඳහා අඛණ්ඩව වෑයම් කිරීමට නවකයන්ව දිරිගැන්වීමට අපි කැමැත්තෙමු.
වැඩිමහල්ලන්ගේ හා සභා සේවකයන්ගේ වගකීම් ගැනත් බරපතළ පාප විනිශ්චය කරන ආකාරය හා සභාවේ වෙනත් කටයුතු සංවිධානය කරන ආකාරය ගැනත් මෙම පොතේ සඳහන් වේ. මෙම කාරණා පිළිබඳ තොරතුරු මුරටැඹ සඟරාව හා අපගේ රාජ්‍ය සේවාව ඇතුළු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙනත් ප්රකාශනවල කලින් කලට පළ වේ.
ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත් මෙම පොත උපකාර වෙයි. එමෙන්ම යෙහෝවාගේ සංවිධානය සමඟ එක්සත්ව ඔහුගේ කැමැත්ත කරමින් ප්‍රීතියක් ලැබීමටද මේ පොත ඔබට උපකාර කරයි. මේ පොතෙන් ඉගෙනගන්න දේවල් ක්‍රියාවට නැඟීමට ඔබට හැකි වන පිණිස අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නෙමු.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය
1වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පිහිටුවා තිබෙන විවිධ සංවිධාන ලොව පුරා දැකිය හැක. මේවා පිහිටුවා තිබෙන්නේ ආගමික, දේශපාලනික, වාණිජමය හා සමාජීය අරමුණු පෙරදැරි කරගෙනය. එකිනෙකට වෙනස් පරමාර්ථ තිබෙන මෙම සංවිධාන ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ අදහස් හා මතිමතාන්තරවලට අනුවය. මේ සෑම සංවිධානයකටම වඩා වෙනස් ලෙස සංවිධානය වූ සෙනඟක් සිටී. මොවුන්ව හඳුන්වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියාය. මෙම කණ්ඩායම සුවිශේෂි සෙනඟක් බව දේවවචනයේ සඳහන් දේවල් හා වෙනත් සාක්ෂි සලකා බලද්දී තහවුරු වේ.
ඔබ යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකු හැටියට ඔහුගේ සංවිධානය සමඟ සේවය කරමින් සිටීම ඇත්තෙන්ම සන්තෝෂයට හේතුවකි. දෙවිගේ කැමැත්ත කුමක්දැයි ඒත්තුගෙන සිටින ඔබ දැන් එය කරමින් සිටියි. (ගීතා. 143:10; රෝම 12:2) ඔබ ක්‍රියාශීලීව දෙවිට සේවය කරමින් සිටින්නේ ලෝක ව්‍යාප්ත ප්‍රේමණීය සහෝදර සංගමයක් සමඟය. (2 කොරි. 6:4; 1 පේතෘ. 2:17; 5:9) මෙහි ප්‍රතිඵලයක් හැටියට, යේසුස් පොරොන්දු වූ ලෙස ඔබ දැන් පවා බොහෝ ආශීර්වාද භුක්ති විඳිමින් සිටියි. (හිතෝ. 10:22; මාක් 10:30) යෙහෝවාගේ සංවිධානයට පක්ෂපාත වෙමින් එක්සත්ව සේවය කිරීමෙන් ඔබ කරන්නේ ප්‍රීතියෙන් පිරි සදාකාලික අනාගතයක් සඳහාද හොඳ අත්තිවාරමක් දමමින් සිටීමය.—1 තිමෝ. 6:18, 19; 1 යොහ. 2:17.
සියලුම දේවල ප්‍රධානියා වන යෙහෝවා දෙවි ලොව පුරා ව්‍යාප්තව තිබෙන සුවිශේෂි සංවිධානයක් පිහිටුවා තිබේ. එහි පාලකයා වන්නේ ඔහුම මිස වෙන කිසිවෙකු නොවේ. මෙය දැන සිටීමෙන් අපේ ඇදහිල්ල ඉමහත් සේ ශක්තිමත් වන අතර අපට බොහෝ ප්‍රයෝජනද අත් කරගත හැක. යෙහෝවා අපේ විනිශ්චයකාරයාය. අපේ ව්යවස්ථාදායකයාය. අපේ රජ්ජුරුවෝය. එමනිසා අපට ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබේ. (යෙසා. 33:22) ඔහු දේවල් පිළිවෙළකට කරන දෙවි කෙනෙකු නිසා ඔහු මනා සංවිධානයකින් යුත් විධිවිධානයක් ක්‍රියාත්මක කරමින් සිටියි. යෙහෝවා සිය අරමුණ ඉටු කිරීමට යොදාගන්න මෙම විධිවිධානය ඔහු සමඟ එක්ව වැඩ කිරීමට අපට උපකාරවත් වේ.—2 කොරි. 6:1, 2.
සමාජ ක්රමයේ අවසානය වඩ වඩා ළං වෙමින් තිබෙන මේ කාලයේදී අපි පක්ෂපාතව හා කීකරුව දෙවිගේ කැමැත්ත කරමින් ඉදිරියටම ඇදී යන්නෙමු. අප මෙසේ කරන්නේ දෙවි පත් කර තිබෙන පාලක හා රජු වන ක්‍රිස්තුස් යේසුස්ගේ නායකත්වයට යටත් වෙමිනි. (යෙසා. 55:4; එළි. 6:2; 11:5) යේසුස් මේ පොළොව මත සිටි කාලයේදී රාජ්‍යය පිළිබඳව දේශනා කරමින් හා ගෝලයන් කරමින් කළ සේවයට වඩා වැඩි සේවයක් ඔහුගේ අනුගාමිකයන් කරනු ඇති බව ඔහු පැවසුවේය. (යොහ. 14:12) යේසුස්ගේ අනුගාමිකයන් ඔහුට වඩා දිගු කාලයක් පුරා සේවය කරනු ඇත. එමෙන්ම කාලය ගෙවී යද්දී ඔවුන්ගේ ගණනද වැඩි වනු ඇත. මේ නිසා පොළොවේ සෑම ප්‍රදේශයක් පුරාම ශුභාරංචිය ප්‍රකාශ කරමින් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.—මතෙ. 24:14; 28:19, 20; ක්‍රියා 1:8.
මෙය දැනටමත් සැබෑවක් වී තිබෙන බව 20වන සියවසේ මුල් කාලයේ සිට ප්‍රකාශයට පත් කර තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත් (සිංහලෙන් නැත) පරීක්ෂා කර බැලීමෙන් තහවුරු වේ. කෙසේවෙතත්, යේසුස් පැහැදිලිව සඳහන් කළ පරිදි දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීම යෙහෝවාගේ නියමිත කාලයේදී අවසන් වනු ඇත. දේවවචනයේ සඳහන් අනාවැකිවලින් පැහැදිලිව පෙනී යන්නේ යෙහෝවාගේ මහත් දවස ළං වී තිබෙන බවය.—ශෙප. 1:14-18; 2:2, 3; 1 පේතෘ. 4:7.
යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මේ අන්තිම දවස්වල අවසාන භාගයේදී ඔහුගේ කැමැත්ත හදිසිතාවකින් යුතුව ඉටු කිරීමය. මෙය ඔහුගේ සංවිධානය හොඳින් අවබෝධ කරගෙන තිබේ. මේ නිසා අප ඔහුගේ කැමැත්ත ඉටු කිරීමේදී දරන වෑයම දෙගුණ තෙගුණ කිරීම අවශ්‍යය. මේ සඳහා අප දෙවිගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැන හොඳින් දැනුවත් විය යුතු අතර ඊට පූර්ණ සහයෝගයද ලබා දිය යුතුය. සංවිධානයේ වැඩකටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්ති මතය. එමෙන්ම මෙහිදී එහි සඳහන් නීති, අණ පනත්, ආඥාද සැලකිල්ලට ගනු ලැබේ.—ගීතා. 19:7-9.
යෙහෝවාගේ සෙනඟ බයිබලයේ සඳහන් නීති හා ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන නිසා ඔවුහු සාමයෙන් එකට එකමුතුව සේවය කරති. (ගීතා. 133:1; යෙසා. 60:17; රෝම 14:9) අපි වස්ත්‍රයක් මෙන් ප්‍රේමය පැළඳගෙන සිටින්නෙමු. අපිව පොලඹවන බලය වන්නේද ප්‍රේමයයි. මේ හේතුව නිසා ලොව පුරා සිටින අපගේ සහෝදර සංගමයේ බැඳීම් ශක්තිමත්ව තිබේ. (යොහ. 13:34, 35; කොලො. 3:14) මෙසේ දෙවිගේ අනුමැතිය ලබමින් අපි යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය සමඟ එක්ව ඉදිරියට ගමන් කරන්නෙමු.
යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය
යෙසායා, දානියෙල් හා එසකියෙල් වැනි පුරාණයේ විසූ අනාගතවක්තෘවරු යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය දර්ශනවලින් දුටූහ. (යෙසා. 6වන පරි.; එස. 1වන පරි.; දානි. 7:9, 10) ඒ හා සමානව යොහන්ද ස්වර්ගයේ ක්‍රියාත්මක වන විධිවිධානය පිළිබඳව දර්ශනයක් දුටුවේය. ඔහු මේ පිළිබඳ විස්තරයක් එළිදරව් පොතෙහි වාර්තා කර තිබේ. යෙහෝවා සිංහාසනයක සිටිනවා ඔහු දුටුවේය. යෙහෝවා සමඟ සිටි දේවදූතයෝ මෙසේ ප්‍රකාශ කළහ. “සිටියාවූ, සිටින්නාවූ, මතු එන්නාවූ සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” (එළි. 4:8) මේ දේවදූතයන් සමඟ ‘බැටළු පැටවෙක්ද’ ඒ සිංහාසනය අසල සිටිනවා යොහන් දුටුවේය. මේ බැටළු පැටවා වන්නේ යේසුස් ක්‍රිස්තුස්ය.—එළි. 5:6, 13, 14; යොහ. 1:29.
මේ දර්ශනයෙන් කියාපාන්නේ කුමක්ද? යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයේ හිසව සිටින්නේ සිංහාසනාරූඪව සිටින යෙහෝවා දෙවිය. ඔහුගේ උත්තරීතරභාවය ගැන 1 ලේකම් 29:11, 12 වගන්තිවල මෙසේ සඳහන් වේ. “යෙහෝවා, උතුම්කමද බලයද මහිමයද ජයද මහන්තත්වයද ඔබගේය; මක්නිසාද ස්වර්ගයෙහිද පොළොවෙහිද ඇති සියල්ල ඔබගේය; යෙහෝවා, රාජ්‍යය ඔබගේය; ඔබ සියල්ලට උසස්ව හිසක් මෙන් සිටින්නේය; වස්තුවද ගෞරවයද ඔබගෙන්ය; ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරන්නේය; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; උසස් කිරීමද සියල්ලට ශක්තිය දීමද තිබෙන්නේ ඔබ අතේය.”
යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ හවුල් සේවකයෙකි. යේසුස්ට ස්වර්ගයේ උසස් තත්වයක් හිමි වී තිබෙන අතර මහත් බලතලද ඔහුට ලබා දී තිබේ. යෙහෝවා “ඔහුගේ පාදවලට සියල්ල යටත් කර, සභාවේ සියලු දේ කෙරෙහි ඔහුව හිස ලෙස පත් කළේය.” (එෆී. 1:22) පාවුල්ද යේසුස් ගැන මෙසේ පැවසුවේය. “දෙවි ඔහුව වඩා උසස් තත්වයකට පත් කළ අතර, අන් සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට කරුණාවන්තව දුන්නේය. ඔහු එසේ කළේ, ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යටද සිටින සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමන පිණිසත්, පියාණන් වන දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලු දිව්වලින් ප්‍රසිද්ධියේ පිළිගන්නා පිණිසත්ය.” (ෆිලි. 2:9-11) මේ සියල්ල සලකා බලද්දී යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ නායකත්වය ධර්මිෂ්ඨ ලෙස හොබවන බවට පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමට අපට හැක.
යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් සමඟ මහත් දේවදූත සේනාවක්ද සිටී. මේ දේවදූතයන් ඉටු කරන කාර්යය කුමක්ද? පුරාතන දවස්වල පටන් සිටින්නාවූ තැනැත්තා සිංහාසනයේ අසුන්ගෙන සිටින අයුරු අනාගතවක්තෘ දානියෙල් දර්ශනයකින් දුටුවේය. එමෙන්ම දේවදූතයන් ‘දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින්’ සිටි අයුරුත් ‘දහසක් වර දසදහසක් ඔහු ඉදිරියේ සිටි’ අයුරුත් දානියෙල් දුටුවේය. (දානි. 7:10) මේ දේවදූත සේනාව “ගැලවීම උරුම වීමට යන අය උදෙසා සේවය කිරීම පිණිස එවන ලද, මහජන සේවය සඳහා වූ ආත්ම [හෙවත් ස්වර්ගික] ජීවීන්” බව බයිබලයේ සඳහන් කර ඇත. (හෙබ්‍රෙ. 1:14) මේ සියලුම දේවදූතයන්ව ඔවුනොවුන්ට පැවරී තිබෙන කාර්යයන් අනුව සංවිධානය කර තිබේ. ඔවුන්ව ‘සිංහාසන, ස්වාමිකම්, ආණ්ඩු හා අධිකාර’ වශයෙන් වෙන් කර තිබෙනවායයි පවසන්නේ එනිසාය.—කොලො. 1:16.
යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයේ තිබෙන එම අංග ලක්ෂණ ගැන ගැඹුරින් සිතා බැලීමට ඔබ කාලය ගන්නවාද? ඔබ මෙසේ කරද්දී ඔබට හැඟෙන්නේ කෙසේද? ‘යෙහෝවා උස් වූ උසස් කළ සිංහාසනයක හිඳින බවත් ඔහුට උඩින් සෙරාප්වරුන් සිටින’ බවත් යෙසායා දර්ශනයකින් දුටු විට ඔහුට ඇති වූ හැඟීම කුමක්ද? මේ ගැන ඔහු මෙසේ සඳහන් කළේය. “අහෝ, මට දුක් වන්නේය; මම නැති වෙමි; මක්නිසාද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයන් අතරේ වසන්නාවූ මම මාගේ ඇස්වලින් රජ වූ සේනාවන්ගේ යෙහෝවා දුටුවෙමි.” යෙහෝවාගේ සංවිධානය කොතරම් ප්‍රබලද කියා යෙසායා තේරුම්ගත් විට ඔහු තුළ මහත් ගෞරවයක් මෙන්ම බියක්ද ඇති විය. එමෙන්ම තමන් මොන තරම් නොවැදගත් කෙනෙකුද කියාත් ඔහුට වැටහුණි. මෙම අද්දැකීම ඔහුට කොතරම් තදින් බලපෑවාද කියනවා නම්, යෙහෝවාගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමේ විශේෂ කාර්යය සඳහා ඔහුට ස්වර්ගයෙන් ආරාධනයක් ලැබුණු අවස්ථාවේදී ඔහු ඊට මෙසේ ප්‍රතිචාරය දැක්වුවේය. “මම මෙහිය; මා යැව්ව මැනව.”—යෙසා. 6:1-5, 8.
යෙහෝවාගේ සංවිධානය ගැන දැනුවත් වන විට අපත් ඒ හා සමාන ප්‍රතිචාරයක් දක්වනවාද? යෙහෝවාගේ සංවිධානය ඉදිරියට ඇදී යද්දී ඔබ කැමැත්තෙන්ම මහත් උද්යෝගයකින් එය සමඟම ගමන් කරනවාද? යෙහෝවාගේ සංවිධානය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඔබට තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?
යෙහෝවාගේ සංවිධානය ඉදිරියටම ඇදී යයි
යෙහෝවා ස්වර්ගයේ විශාල රථයක ගමන් කරන අයුරු එසකියෙල්ගේ අනාවැකියේ පළමුවන පරිච්ඡේදයේ සඳහන් වේ. මෙම තේජාන්විත රථයෙන් සංකේතවත් කරන්නේ යෙහෝවාගේ අදෘශ්‍යමාන ස්වර්ගික සංවිධානයයි. යෙහෝවා මෙම රථය පැදවීමෙන් අදහස් කරන්නේ ඔහු සිය සංවිධානයට මඟ පෙන්වමින් සිය අරමුණ ඉටු කිරීමට එය යොදාගන්න බවය.—ගීතා. 103:20.
මේ රථයේ රෝද සාදා තිබෙන්නේ ‘ගමන් කරන විට සතර පැත්තටම යා හැකි’ වන සේය. මෙහි රෝද සාදා තිබෙන්නේ එකම වට ප්‍රමාණයෙන් යුත් රෝද දෙකක් හරහට සවි කිරීමෙනි. (එස. 1:17) මේ නිසා මේ රථයේ රෝදවලට ක්ෂණිකව ගමන් මඟ වෙනස් කළ හැක. කෙසේවෙතත්, මෙය ගමන් කරන්නේ පාලනයකින් තොරව නොවේ. මේ රථයට රිසි සේ ඕනෑම දිශාවකට ගමන් කිරීමට යෙහෝවා ඉඩහරින්නේ නැත. ඔහු එහි ගමන් මඟ හොඳින් අධීක්ෂණය කරයි. එසකියෙල් 1:20හි පවසන්නේ “ආත්මය [එනම්, දෙවිගේ බලය] යම් දෙසකට යන්ට සිටියේද ඔවුහු එහි ගියෝය” කියාය. මින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ බලයේ මඟ පෙන්වීමට අනුව ඔහුගේ සංවිධානය ඉදිරියට යන බවය. මෙහිදී අප අපෙන්ම අසාගත යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, ‘මම යෙහෝවාගේ සංවිධානය සමඟම ඉදිරියට ගමන් කරනවාද?’ යන්නයි.
යෙහෝවාගේ සංවිධානය සමඟ ගමන් කිරීමෙන් අදහස් කරන්නේ අප ඇදහිල්ලෙන් වඩ වඩා වර්ධනය වෙමින් සිටින බවයි. මෙය නිකම්ම රැස්වීම්වලට පැමිණීමට හා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට වඩා වැඩි යමකි. ‘වඩා වැදගත් දේවල් සහතික කරගැනීමත්’ අපට දෙවි සංවිධානයෙන් නිසි වේලාවට ලැබෙන පෝෂණය ඒ වේලාවටම ලබාගැනීමත් ඊට ඇතුළත් වේ. (ෆිලි. 1:10; 4:8, 9; යොහ. 17:3) සංවිධානයක් ලෙස කටයුතු කිරීමේදී නිසි පිළිවෙළකට අනුව සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍ය බව අප මතක තබාගත යුතුය. යෙහෝවා අපට බාර දී තිබෙන කාර්යය ඉටු කිරීම සඳහා අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සපයන දේ හා සපයන වෙනත් ප්‍රායෝගික උපකාර අප හොඳින් යොදාගත යුතුය. අප යෙහෝවාගේ ස්වර්ගික රථය සමඟම ගමන් කරනවා නම් අප ජීවත් වන්නේ අපි දේශනා කරන පණිවිඩයට එකඟවයි.
යෙහෝවාගේ සංවිධානයේ උපකාරය ඇතුව අපි සියලුදෙනාම දෙවිගේ කැමැත්ත කරමින් ඉදිරියටම ඇදී යන්නෙමු. මෙම ස්වර්ගික රථය පදවන්නේ යෙහෝවා දෙවි බව මතක තබාගන්න. එනිසා ස්වර්ගික රථය සමඟම ගමන් කිරීමෙන් අප පෙන්වන්නේ අපේ “පර්වතය” වන යෙහෝවා කෙරෙහි ගෞරවයක් හා විශ්වාසයක් අපට තිබෙන බවය. (ගීතා. 18:31) බයිබලයේ මෙසේ පොරොන්දු කර තිබේ. “යෙහෝවා ස්වකීය සෙනඟට සවිය දෙන්නේය; යෙහෝවා ස්වකීය සෙනඟට සමාදානයේ ආශීර්වාදය දෙන්නේය.” (ගීතා. 29:11) යෙහෝවාගේ සංවිධානයේ සාමාජිකයන් වන අපට ඔහුගේ ශක්තිය ලැබේ. එමෙන්ම ඔහු සිය සෙනඟට ලබා දෙන සමාදානයේ ආශීර්වාදය භුක්ති විඳීමටද අපට හැක. අප දැනුත් සදහටමත් දෙවිගේ කැමැත්ත කරනවා නම් මහඟු ආශීර්වාද අද්දකිනවා නිසැකය.
2වන පරිච්ඡේදය
දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ක්‍රිස්තුස්ට හිමි කාර්යය වටහාගනිමු
‘පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය. ඔහු සෑදූ සියල්ල ඉතා යහපත් විය.’ (උත්. 1:1, 31) යෙහෝවා මිනිසාව මැවුවේ අනාගතය පිළිබඳ ප්‍රීතිමත් අපේක්ෂාවන් ඇතුවය. කෙසේවෙතත් ඒදන් උයනේදී සිදු වූ කැරැල්ල නිසා මනුෂ්‍යවර්ගයාට සන්තෝෂයෙන් ජීවත් වීමට තිබූ ප්‍රස්තාව තාවකාලිකව නැති විය. එහෙත් පොළොව හා මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවා දෙවි අරමුණු කළ දේ වෙනස් වී නැත. ආදම්ගෙන් පැවත එන අය ඔවුන්ට උරුම වූ දුක් වේදනාවලින් නිදහස ලබන බවද, සැබෑ නමස්කාරය යළි පිහිටවනු ලබන බවද, සාතන්ව හා ඔහුගේ සියලු දුෂ්ට ක්‍රියා නැති කර දමනු ලබන බවද දෙවි පෙන්වා දුන්නේය. ඔහු මෙසේ කළේ සිය පාලනයට විරුද්ධව කැරලි ගැසූ අයට තම තීන්දුව ප්‍රකාශ කළ අවස්ථාවේදීය. (උත්. 3:15) නැවත වතාවක් සියලු දේවල් “ඉතා යහපත්” වනු ඇත. දෙවි මෙය කිරීමට යොදාගන්නේ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වය. එනිසා දෙවි තම අරමුණ ඉටු කිරීමට යොදා තිබෙන සැලැස්ම තුළ ක්‍රිස්තුස්ට පවරා තිබෙන කාර්යභාරය අප වටහාගැනීම අත්‍යවශ්‍ය දෙයකි.—ක්‍රියා 4:12; ෆිලි. 2:9, 11.
ක්‍රිස්තුස්ට හිමි කාර්යභාරය
දෙවිගේ විධිවිධානය තුළ ක්‍රිස්තුස්ට කාර්යයන් කිහිපයක් හිමි වී තිබෙන බව අප වටහාගත යුතුය. යේසුස් මිනිසාගේ ගැලවුම්කරු, උත්තම පූජකයා, ක්‍රිස්තියානි සභාවේ නායක හා දේවරාජ්‍යයේ රජු ලෙස කටයුතු කරයි. යේසුස් ඉටු කරන මෙම කාර්යයන් ගැන ගැඹුරින් සිතා බලන විට දෙවි සෑම දෙයක්ම පිළියෙල කර තිබෙන අන්දම පිළිබඳව අපේ අගය තව තවත් වැඩි වනු ඇත. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තිබෙන අපේ ප්‍රේමයද තව වැඩි වනු ඇත. එසේනම් යේසුස් ඉටු කරන කාර්යයන් ගැන ගැඹුරින් සිතා බැලීමට ඔබ කාලය ගන්නවාද? ඔහු ඉටු කරන විවිධ කාර්යයන් බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද?
කීකරු මිනිසුන්ව දෙවි සමඟ සමඟි කරවන්නේ යේසුස් මාර්ගයෙන් බව ඔහු මේ පොළොව මත සිටියදී කළ සේවයෙන් පැහැදිලි විය. (යොහ. 14:6) මිනිසාගේ ගැලවුම්කරු වශයෙන්ද ඔහු බොහෝදෙනෙකුව මිදීමට ඔහුගේ ජීවිතය පූජා කළේය. (මතෙ. 20:28) මින් පැහැදිලි වන්නේ දේවප්‍රතිපත්ති අනුව ජීවත් වීම පිළිබඳව ආදර්ශයක් සැපයීමට වඩා වැඩි යමක් යේසුස් කළ බවය. මනුෂ්‍යවර්ගයා සඳහා වූ සිය අරමුණ ඉටු කිරීමේදී යෙහෝවා යොදාගන්න ප්‍රධාන තැනැත්තා වන්නේ යේසුස්ය. දෙවිගේ අනුමැතිය අපට නැවත ලබා ගත හැක්කේ ඔහු මාර්ගයෙන් පමණි. (ක්‍රියා 5:31; 2 කොරි. 5:18, 19) යේසුස්ගේ ජීවිත පූජාව හා නැවත නැඟිටීම නිසා කීකරු මිනිසුන්ට සදාකාලික ආශීර්වාද භුක්ති විඳීමට හැකි වනු ඇත. ඔවුන් මෙම ආශීර්වාද භුක්ති විඳින්නේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදීය.
යේසුස් ස්වර්ගයේ සිට පොළොව මත සිටින ඔහුගේ අනුගාමිකයන් උදෙසා උත්තම පූජකයෙකු ලෙසද සේවය කරයි. මෙසේ උත්තම පූජකයෙකු ලෙස සේවය කරන ඔහුට “අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක්” දැනෙයි. එමෙන්ම ඔවුන්ගේ පාප වෙනුවෙන් සමඟිකමක් කිරීමටද ඔහුට හැක. මේ පිළිබඳව පාවුල් මෙසේ පැහැදිලි කළේය. “අපට සිටින්නේ අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන තැනැත්තෙකු නොව, අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ, පාප රහිත උත්තම පූජකයෙකි.” යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තබා තිබෙන අයට දෙවි සමඟ සමඟි වීම සඳහා පිළියෙල කර තිබෙන මෙම විධිවිධානයෙන් ප්‍රයෝජන ගන්නා ලෙස දිරිගන්වමින් පාවුල් මෙසේ පවසයි. “එබැවින්, අපට උපකාරය අවශ්‍ය වේලාවේදී . . . අපි කතා කිරීමේ නිදහසින් යුක්තව, මහත් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.”—හෙබ්‍රෙ. 4:14-16; 1 යොහ. 2:2.
යේසුස් ක්‍රිස්තියානි සභාවේ හිස නොහොත් නායක වශයෙන්ද ප්‍රේමණීය ලෙස සේවය කරයි. පළමුවන සියවසේ විසූ ඔහුගේ අනුගාමිකයන් අතර කිසිවෙක් නායකයෙකු ලෙස කටයුතු කළේ නැත. අද දිනත් ඔහුගේ අනුගාමිකයන් අතර සිටින කිසිවෙක් නායකයෙකු ලෙස කටයුතු කරන්නේ නැත. අපට “ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.” (මතෙ. 23:10) දෙවිගේ බලය හා ශුද්ධ ලියවිල්ල මෙන්ම තමන් යටතේ සේවය කරන සුදුසුකම් ලත් එඬේරුන්ව යොදා ගනිමින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වීම සපයයි. මෙම එඬේරුන් දෙවිගේ රැළ රැක බලාගන්න ආකාරය ගැන ඔහුටත් ඔහුගේ ස්වර්ගික පියාටත් ගණන් දිය යුතුය. (හෙබ්‍රෙ. 13:17; 1 පේතෘ. 5:2, 3) යේසුස් ගැන පුරෝකථනය කරමින් යෙහෝවා මෙසේ පැවසුවේය. “බලව, මම ඔහුව වර්ගයන්ට සාක්ෂියක් කොටද වර්ගයන්ට නායකයෙකු සහ විධානකරන්නෙකු කොටද දුනිමි. “ (යෙසා. 55:4) මෙම අනාවැකිය ඉටු කරමින් යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවේය. “‘නායකයන්’ කියා කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.”—මතෙ. 23:10.
යේසුස් ජනයාට මෙම ඇරයුමද ඉදිරිපත් කළේය. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.” (මතෙ. 11:28-30) යේසුස්ට අප ගැන හැඟෙන ආකාරයත් ඔහු අපට උපකාර කිරීමට සූදානමින් සිටින ආකාරයත් ඒ වදන්වලින් පැහැදිලි වේ. යේසුස් මෘදුකමින් හා අපේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙන අයුරින් ක්‍රිස්තියානි සභාව මෙහෙයවීමෙන් ඔප්පු කර තිබෙන්නේ ඔහු “උතුම් එඬේරා” බවය. යේසුස් උතුම් එඬේරා ලෙස කටයුතු කිරීමේදී සිය ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිගේ ආදර්ශය අනුකරණය කරයි.—යොහ. 10:11; යෙසා. 40:11.
යේසුස් ඉටු කරන තවත් කාර්යයක් ගැන පාවුල් කොරින්තිවරුන්ට ලියූ ඔහුගේ පළමුවන ලිපියේදී මෙසේ සඳහන් කළේය. “දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුය. සියල්ල ඔහුට යටත් කළ පසු පුත්‍රයාද, තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාට යටත් වන්නේය. එසේ කරන්නේ දෙවි සියල්ලන්ට සියල්ල වන පිණිසය.” (1 කොරි. 15:25, 28) දෙවිගේ මුල්ම මැවිල්ල වූයේ යේසුස්ය. පොළොවට පැමිණීමට කලින් යේසුස් දෙවිගේ ‘කර්මාන්තවල මුලාදෑනියා’ ලෙස ස්වර්ගයෙහි සේවය කළේය. (හිතෝ. 8:22-31) දෙවි යේසුස්ව මේ පොළොවට එවීමෙන් පසුද ඔහු සැමවිටම කළේ දෙවිගේ කැමැත්තය. ඔහුට මුහුණ දීමට සිදු වූ දරුණුතම පරීක්ෂණය හමුවෙහි විඳදරා ගනිමින් මිය යන තෙක්ම සිය පියාට විශ්වාසවන්තව සිටියේය. (යොහ. 4:34; 15:10) මරණය දක්වාම දෙවිට පක්ෂපාතව සිටීම නිසා යේසුස්ට විපාකයක් ලැබිණ. දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවා, ස්වර්ගික රාජ්‍යයේ රජු වීමේ අයිතිය ඔහුට දුන්නේය. (ක්‍රියා 2:32-36) දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් බලසම්පන්න දේවදූත සේනාවන් යොදාගනිමින් මිනිස් පාලන නැති කර දමනු ඇත. එමෙන්ම සියලු දුෂ්ටකම්ද අතුගා දමනු ඇත. (හිතෝ. 2:21, 22; 2 තෙස. 1:6-9; එළි. 19:11-21; 20:1-3) ඉන්පසු මුළු පොළොවේම පාලනය දෙවිගේ ස්වර්ගික ආණ්ඩුවට හිමි වේ.—එළි. 11:15.
ක්‍රිස්තුස්ට හිමි කාර්යය වටහාගන්න
යේසුස් ක්‍රිස්තුස් අපට පරිපූර්ණ ආදර්ශයක් සපයයි. අපව බලාගැනීමට පත් කර තිබෙන්නේ ඔහුවයි. මේ කාලයේ සිටින දෙවිගේ සෙනඟගේ නායකයා හා අධිපති ලෙස කටයුතු කිරීමේ බැරැරුම් වගකීම යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස්ට පවරා තිබේ. එනිසා අප දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ක්‍රිස්තුස්ට පවරා තිබෙන කාර්යය වටහාගන්නවා නම් අපි සැම විටම යෙහෝවාට පක්ෂපාත වන්නෙමු. එමෙන්ම ඉදිරියට ඇදී යන ඔහුගේ සංවිධානය සමඟම ගමන් කරන්නෙමු.
පළමුවන සියවසේ විසූ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෝ දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ක්‍රිස්තුස්ට හිමි කාර්යය හොඳින් වටහාගත්හ. ඔවුන් ඒ බව පෙන්වූයේ කෙසේද? ක්‍රිස්තුස්ගේ මූලිකත්වය යටතේ එකට එක්සත්ව සේවය කිරීමෙන් සහ දෙවිගේ බලය මගින්ද දිව්‍ය මඟ පෙන්වීමෙන් ලියන ලද ශුද්ධ ලියවිලි මගින්ද දෙන ලද උපදෙස්වලට යටත් වීමෙනි. (ක්‍රියා 15:12-21; එළි. 1:1) පාවුල් ක්‍රිස්තියානීන් අතර පවතින එකමුතුකම ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවේය. “අපි සත්‍යය කතා කරමින්, හිසව සිටින ක්‍රිස්තුස් යටතේ සියලු කාරණාවලදී ප්‍රේමයෙන් වැඩෙමු. ඔහු මාර්ගයෙන් මුළු ශරීරයම ඒකාබද්ධ කරනු ලැබ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සලස්වා තිබේ. එසේ වන්නේ සෑම සන්ධියක්ම අවශ්‍ය කාර්යය ඉටු කිරීමෙනුත් එක් එක් අවයවය යුතු ලෙස ක්‍රියා කිරීමෙනුත්ය. මෙසේ ශරීරය ප්‍රේමයෙන් යුක්තව ගොඩනැඟෙන පිණිස මුළු ශරීරයම එහි වර්ධනය උදෙසා ක්‍රියා කරන්නේය.”—එෆී. 4:15, 16.
මිනිස් සිරුර විවිධ අවයවයන්ගෙන් සමන්විත වන්නාක් මෙන් සභාවද විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත වේ. සභාවේ සෑම සාමාජිකයෙක්ම සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ සිදු කෙරෙන සියලුම කාර්යයන්ට අත හිත දෙන විට එහි ප්‍රතිඵලයක් හැටියට සභාව වර්ධනය වේ. එමෙන්ම “එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්” වන ප්‍රේමයද සභාව තුළ දැකිය හැකි වනු ඇත.—කොලො. 3:14; 1 කොරි. 12:14-26.
බයිබල් අනාවැකිවලින් පැහැදිලි වන්නේ 1914දී ස්වර්ගයේ පිහිටවනු ලැබූ දෙවිගේ රාජ්‍යයේ බලතල එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්ට ලබා දී තිබෙන බවය. යේසුස් දැන් තම සතුරන් මැද ආණ්ඩු කරමින් සිටියි. (ගීතා. 2:1-12; 110:1, 2) මේ කාලයේ ජීවත් වෙන අය එය සැලකිල්ලට ගැනීම වැදගත් වන්නේ මන්ද? රජවරුන්ගේ රජු හා ස්වාමිවරුන්ගේ ස්වාමියා වශයෙන් යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ මහත් බලය යොදාගනිමින් සිය සතුරන්ට එරෙහිව දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරනු ඇත. (එළි. 11:15; 12:10; 19:16) මිනිසා දෙවිට විරුද්ධව කැරලි ගැසූ මුල් කාලයේදීම යෙහෝවා දෙවි පොරොන්දු වූ ගැලවීම ඔහුගේ අනුමැතිය ලැබෙන සියලුදෙනාම වැඩි කල් නොගොස් අද්දකිනු ඇත. (රෝම 16:20) දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ක්‍රිස්තුස්ට හිමි කාර්යය වටහාගැනීමට ලැබීම ගැන අපට මොන තරම් සතුටු විය හැකිද! මේ අන්තිම දවස්වලදී යේසුස්ගේ නායකත්වය යටතේ ලොව පුරා යෙහෝවා දෙවිට කරන සේවයේ හවුල් වීමට ලැබීමත් මොන තරම් සතුටක්ද!