සභාවේ වගකීම් දැරීමට ඔබ උත්සාහ කරමින් සිටිනවාද?
1 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවා. “යමෙක් අවේක්ෂකයෙකුගේ කාර්යභාරය අත්කරගැනීමට වෑයම් කරන්නේ නම් ඔහු යහපත් වැඩක් කිරීමට කැමති වන්නේය.” (1 තිමෝ. 3:1) මුල් සියවසේ සභාවන් දිගටම ගණනින් වැඩි වර්ධනය වෙත්ම, ඒ සභාවල සහෝදරයන්ට බොහෝ වගකීම් දරන සහෝදරයන්ගේ අවශ්‍යතාවක් ඇති වුණා.
2 අදත් යෙහෝවාගේ සංවිධානය තුළ සභා වගකීම් දැරීම සඳහා බොහෝ සහෝදරයන් අවශ්‍යයි. සමහරක් සභාවල වැඩිමහල්ලන් පස්දෙනෙක් හෝ හයදෙනෙක්ද සභා සේවකයන් කිහිපදෙනෙක්ද සිටින අතරේදී, තවත් සමහරක් සභාවල මුළු වගකීම් සියල්ලටම උර දෙන්නේ එක් සභා සේවකයෙකු පමණයි. ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම්, මෙම වගකීම් සමහරක් දැරීමට ඉදිරිපත් වීමට ඔබට පුළුවන්ද? යම් සහෝදරයෙක්, අනුන්ට සේවය කිරීමට තිබෙන අවංක ආශාව නිසා අවේක්ෂකයෙකු වීමට නිහතමානි ලෙස උත්සාහ කරන්නේ නම්, ඔහු අවංක චේතනාවකින් කරන ඒ සේවය නිසා බොහෝදෙනෙකුට ආශීර්වාද ලැබෙනවා ඇති. කෙසේවෙතත්, ඔහු මතක තබාගත යුතු දෙයක් නම් ඔහු තම සිත ආරක්ෂා කරගත යුතුය යන්නයි.—හිතෝ. 4:23.
3 අවංක චේතනාවකින් යුතුව තම වගකීම් උසුලන ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට ආත්මාර්ථකාමී අභිලාෂයන් නැහැ. ඔහු මෙම යහපත් සේවය සලකන්නේ තමන්ට දෙවි දී තිබෙන වරප්‍රසාදයක් හැටියටයි. ඒ නිසා ඔහු “කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්ද, දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් ” දෙවිගේ සෙනඟව රැක බලාගන්නවා.—1 පේතෘ. 5:2, 3.
4 අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට කෙනෙක් පෙලඹෙන්නේ ඇයි? දෙවිට මේ පරිශුද්ධ සේවය කිරීමට අවශ්‍ය පෙලඹීම, ධෛර්යය හා ශක්තිය සපයන්නේ යෙහෝවාගේම බලයයි. නිදසුනක් වශයෙන්, යේසුස්ගේ ගෝලයන් පීඩා වින්ද පසු දේශනා කිරීමට නිර්භීතකම ඉල්ලා යාච්ඤා කළ විට සිදු වුණේ කුමක්ද? “ඔවුන් එකට රැස් වී සිටි ස්ථානය සෙලවෙන්නට විය. එවිට ඒ හැමදෙනාම ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවිගේ වචනය නිර්භීතව කතා කළහ.” (ක්‍රියා 4:27-31) දෙවිගේ බලයෙන් නිර්භීතව කතා කිරීමට යේසුස්ගේ ගෝලයන්ට හැකි වුණා නම්, සභා වගකීම් දැරීම පිණිස යම් කෙනෙකුව පෙලඹවීමටද එයට හැකියි.
5 සභා වගකීම් දැරීම ගැන යම් සහෝදරයෙකුට යම් භයක් සැකක් තිබේ නම්, තමා ඊට සුදුසු නැහැ කියා සිතේ නම් හෝ ඒ සඳහා පෙලඹීමක් නැත්නම් දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීම සුදුසුයි. යේසුස් මෙසේ කිව්වා. “ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙනු ඇද්ද!” (ලූක් 11:13) සමාදානය සහ ආත්ම දමනය දෙවිගේ බලය නිසා ඇති වන පල බැවින්, බියෙන් සැකෙන්ද තමන් සුදුසු නැහැ කියන හැඟීමෙන්ද ඔබව මුදවාලීමට මෙම බලයට හැකියි.—ගලා. 5:22, 23.
6 මේ සඳහා පෙලඹීමක් නැත්නම්, කුමක් කරන්නට පුළුවන්ද? අප බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් වශයෙන්, දේවකැමැත්ත කිරීමට අප තුළ ආශාවක් ඇති කරන්න කියා දෙවිට යාච්ඤා කළ යුතුයි. දාවිත් මෙසේ ආයාචනා කළා. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව. . . . ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව.” (ගීතා. 25:4, 5) මේ විදිහට කරන යාච්ඤාවකින් අපට වැරදි මාවතක යෑමෙන් වැළකී සිටිය හැකියි. සභා වගකීම් ඉසිලීමට හොඳ පෙලඹීමක් නැත්නම් අපටත් ඒ වගේම යාච්ඤා කළ හැකියි. සේවා වරප්‍රසාද ලබාගැනීමට අප තුළ ආශාවක් ඇති කරන්න කියා යෙහෝවාට යාච්ඤා කිරීමට අපට පුළුවන්. ඇත්තවශයෙන්ම, අප දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කර එහි මඟ පෙන්වීමට යටත් වෙනවා නම්, අපට ලැබෙන සේවා වරප්‍රසාද සතුටින් භාරගැනීමට අපි පෙලඹෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම දෙවිට සේවය කරන කිසිම සේවකයෙක් දෙවිගේ බලයට එරෙහි නොවිය යුතු බවද මතක තබාගත යුතුයි.—එෆී. 4:30.
7 “ක්‍රිස්තුස්ගේ මනස” තිබෙන අපි දේවකැමැත්ත කිරීමට මහත් සතුටක් දක්වමු. (1 කොරි. 2:16) දාවිත් යාච්ඤා කළේ මෙසේයි. “මාගේ දෙවි, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි. එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිතෙහි තිබේ.” (ගීතා. 40:8) ක්‍රිස්තුස්ටද ඒ ආකල්පයම තිබුණු නිසා ඔහු මෙසේ කීවා. “බලන්න! ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි.” ඒ වගේම වධ කණුවේ මරණය දක්වාම ඔහු කළේ දෙවිගේ කැමැත්තයි. (හෙබ්‍රෙ. 10:9, 10) යෙහෝවාගේ සේවය තුළ කළ හැකි උපරිමය කිරීමට ආශාවක් තිබෙනවා නම්, සභා වගකීම් දැරීමට අප තුළ පෙලඹීමක්ද ඇති වෙනවා.
8 ඔබ දැන් සභා වගකීම් දැරීමට උත්සාහ කරමින් සිටිනවා නම්, එම සේවා වරප්‍රසාද ලැබීමට සමහරවිට ඔබට කාලයක් බලා සිටීමට සිදු වේවි. ඉක්මන් වෙන්න එපා. ඉවසන්න. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගැනීම පිණිස දෙවි විසින් මෝසෙස්ව යොදාගැනීමට පෙර ඔහු වසර 40ක් බලා සිටියා. (ක්‍රියා 7:23-36) මෝසෙස්ගෙන් පසුව වගකීම් භාරගැනීමට තමන්ව පත් කිරීමට පෙර යෝෂුවා ඔහුගේ සහයක වශයෙන් දිගු කලක් සේවය කළා. (නික්. 33:11; ගණ. 27:15-23) ඊශ්‍රායෙල්හි රජ වීමට පෙර දාවිත් බොහෝ කාලයක් බලා සිටියා. (2 සාමු. 2:7; 5:3) පේතෘස්ව සහ යොහන් මාක්ව යම් කාලයක් පුරා උපදෙස් දී ඔවුන්ගේ මනස් නිසි ලෙස සකස් කරනු ලැබුවා. (මතෙ. 26:69-75; යොහ. 21:15-19; ක්‍රියා 13:13; 15:36-41; කොලො. 4:10) ඉතින් ඔබට යම් සභා වගකීම් ලැබී නැත්නම්, තවත් අද්දැකීම් ලැබීම සඳහා යෙහෝවා ඔබව පුහුණු කරනවා වෙන්න පුළුවන්. තත්වය කුමක් වුවත්, ඔබ උත්සාහ කරන ගමන්ම දෙවිගේ උපකාරය ඉල්ලන්න. එවිට තවත් වරප්‍රසාද ලැබීම සඳහා යෙහෝවා ඔබට ආශීර්වාද කරනවා ඇති. මේ අතර, සභා වගකීම්වලට සුදුසුකම් ලැබීම සඳහා කඩිසරව ක්‍රියා කරන්න. ඒ සමඟම මෙසේ කී දාවිත්ගේ ආකල්පය ඔබත් තබාගන්න. “මාගේ මුඛය යෙහෝවාගේ ප්‍රශංසාව ගැන කතා කරන්නේය. මාංසමය වූ සියල්ලෝ සදාකාලේටම ඔහුගේ ශුද්ධ නාමයට ආශීර්වාද [ප්‍රශංසා] කරත්වා.”—ගීතා. 145:21.