වචනයක් නොපවසා සාක්ෂි දැරීම
1 යෙහෝවා මවා තිබෙන දේවල් කිසිම වචනයක් නොපවසා ඔහුගේ අදෘෂ්‍යමාන ගුණාංග ගැන අපමණ දේවල් නිහඬව කියාපානවා. (ගීතා. 19:1-3; රෝම 1:20) ඒ හා සමානව අපේ යහපත් හැසිරීමෙන්, ක්‍රිස්තියානි ගුණාංගවලින් හා විනීත පෙනුමෙන් කිසිම වචනයක් නොපවසා සාක්ෂි දැරිය හැකියි. (1 පේතෘ. 2:12; 3:1-4) අප හැසිරෙන ආකාරයෙන් අපි “සියල්ලෙහිදී අපේ ගැලවුම්කරු වන දෙවිගේ ඉගැන්වීම අලංකාර” කිරීම අපේ ආශාව විය යුතුයි.—තීත. 2:10.
2 බයිබලයේ සඳහන් ඉගැන්වීම් අලංකාර කිරීමට අසම්පූර්ණ මිනිසුන්ට හැක්කේ කොහොමද? මෙය කළ හැක්කේ දෙවිගේ වචනයේ මඟ පෙන්වීමෙන් සහ ඔහුගේ බලයෙන් පමණයි. (ගීතා. 119:105; 143:10) දෙවිගේ වචනය “ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.” (හෙබ්‍රෙ. 4:12) එය අපේ සිත් පසාරු කරගෙන ගොස් අලුත් පෞද්ගලිකත්වයක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමට උදව් කරනවා. (කොලො. 3:9, 10) ඒ වගේම ඔහුගේ බලයෙන් අපට කරුණාව, යහපත්කම, මෘදුකම සහ ආත්ම දමනය වැනි ප්‍රියමනාප ගුණාංග පිළිබිඹු කළ හැකියි. (ගලා. 5:22, 23) අප එක් එක් කෙනා අපේ ජීවිතවල දෙවිගේ වචනයට හා ඔහුගේ බලයට ක්‍රියාත්මක වීමට ඉඩහරිනවාද?—එෆී. 4:30; 1 තෙස. 2:13.
3 වෙනත් අය අපිව දකිනවා: අපි යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වී ඔහුගේ ගුණාංග පිළිබිඹු කිරීමට උත්සාහ කරන විට, වෙනත් අය එය දකිනවා. උදාහරණයක් ගනිමු. එක්තරා තැනැත්තෙක් ඔහුගේ කාර්යාලයේ වෙනත් අයගේ උසුළු විසුළුවලට ලක් වුණා. ඒ ඔහු මිටි පුද්ගලයෙක් නිසා. නමුත් ඒ කාර්යාලයේ වැඩ කරන අපගේ සහෝදරියක් ඔහුට සැලකුවේ ඉතාමත් ගෞරවයෙන් සහ සැලකිල්ලෙන්. ඒ නිසා ඔහු ඇසුවා ඇයි ඇය විතරක් ඔහුට වෙනස් විදිහකට සලකන්නේ කියලා. ඊට හේතුව තමා විසින් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම කියා ඇය කීවා. ඒ වගේම රාජ්‍යය පිළිබඳ දීප්තිමත් බලාපොරොත්තුව ගැනද ඇය ඔහුට පැවසුවා. මේ තැනැත්තා බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා විතරක් නොවෙයි, අන්තිමේදී බව්තීස්මය දක්වා දියුණු වුණා. ඔහු සිය මව් රටට පැමිණි විට, ඔහුගේ නෑදෑයන් ඔහුගේ යහපත් හැසිරීම ගැන පැහැදී ඔවුන්ගෙන් කිහිපදෙනෙක්ම පසුව සත්‍යය වැළඳගත්තා.
4 අප රැකියාවේදී වේවා, පාසැලේදී වේවා නැත්නම් අපේ නෑදෑයන් සහ අසල්වාසීන් සමඟ කටයුතු කරන විට වේවා අපගේ සාක්ෂි දැරීම සමඟ අප පෙන්වන යහපත් හැසිරීම මගින් දෙවිට මහිමය ගෙන ඒමට අන්‍යයන්ව පොලඹවමු.—මතෙ. 5:16.