ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 9වන කොටස:
අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ශිෂ්‍යයන්ව පුහුණු කිරීම
1 පොරොන්දු වූ මෙසියස් යේසුස් බව අන්දෘ සහ ෆිලිප් තේරුම්ගත් විට එම ප්‍රීතිමත් ආරංචිය අන් අයට නොපවසා සිටිය නොහැකි වුණා. (යොහ. 1:40-45) එයාකාරයෙන්ම අද දින බයිබල් ශිෂ්‍යයන් තමන් ඉගෙනගන්නා දේ කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගන්නා විට ඒ ගැන අන්‍යයන්ට පැවසීමට ඔවුන් පෙලඹෙනවා. (2 කොරි. 4:13) අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ශිෂ්‍යයන්ව දිරිගන්වන්නත්, දක්ෂ ලෙස එය කිරීමට ඔවුන්ව පුහුණු කරන්නත් අපට හැක්කේ කෙසේද?
2 බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේ ගැන අන් අයට පවසා තිබෙනවාද කියා ශිෂ්‍යයාගෙන් අසන්න ඔබට පුළුවන්. ඔහුගේ මිතුරන්ට හා පවුලේ සාමාජිකයන්ට පාඩමට හවුල් වෙන්න කියා ආරාධනා කරන්න ඔහුට හැකියි. ඔහුගේ සෙසු සේවකයන්, පාසැල් මිතුරන් හෝ දන්නා හඳුනන වෙනත් අය ශුභාරංචිය ගැන උනන්දුවක් දක්වනවාද කියා ඔහුගෙන් අසන්න. මෙලෙස ඔහුට පුළුවන් සාක්ෂියක් දැරීමට පටන්ගන්න. යෙහෝවා දෙවි හා ඔහුගේ අරමුණු ගැන අන්‍යයන් සමඟ කතා කරන විට විචාර බුද්ධිය ඇතුව සිටීමේ මෙන්ම ගෞරවනීය හා කාරුණික වීමේ අවශ්‍යතාව තේරුම්ගැනීමට ඔහුට උපකාර කරන්න.—කොලො. 4:6; 2 තිමෝ. 2:24, 25.
3 තමන්ගේ විශ්වාසයන් ගැන අන් අයට පැහැදිලි කිරීම: තමන්ගේ විශ්වාසයන් ගැන පැහැදිලි කිරීම සඳහා දේවවචනය භාවිත කිරීමට බයිබල් ශිෂ්‍යයන්ව පුහුණු කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්. පාඩම පවත්වන විට යම් විශේෂ කරුණු තෝරාගෙන ශිෂ්‍යයාගෙන් මෙසේ ඇසිය හැකියි. “මෙම කාරණය ඔයාගේ පවුලේ අයට ඔයා බයිබලයෙන් පැහැදිලි කරන්නේ කොහොමද?” එහෙම නැත්නම් “මිත්රයෙකුට මේ කාරණය ඔප්පු කරන්න ඔයා පාවිච්චි කරන්නේ මොන බයිබල් පදයද?” ශිෂ්‍යයා ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේදැයි බලන්න. ඒවගේම ඔහු උගන්වන දේට ශුද්ධ ලියවිල්ල පදනම් කරගන්නා ආකාරය ඔහුට පෙන්වා දෙන්න. (2 තිමෝ. 2:15) එසේ කිරීමෙන් ඔබ ශිෂ්‍යයාව අවිධිමත් ලෙස සාක්ෂි දැරීමටත්, ඔහු සුදුසුකම් ලැබූ විට සභාවේ විධිමත් දේශනා සේවයට හවුල් වීමටත් සූදානම් කරනවා.
4 විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට බයිබල් ශිෂ්‍යයන්ව සූදානම් කිරීම නැණවත් දෙයක්. (මතෙ. 10:36; ලූක් 8:13; 2 තිමෝ. 3:12) අන් අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ප්‍රශ්න කරන විට හෝ ඔවුන් ගැන යම් දේවල් පවසන විට සාක්ෂියක් දැරීමට ශිෂ්‍යයන්ට අවස්ථාවක් උදාවිය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව මගින් ශිෂ්‍යයාව ‘උත්තර දීමට සූදානම්’ කළ හැකියි. (1 පේතෘ. 3:15) නවකයන්ට පුළුවන් එහි තිබෙන නිවැරදි තොරතුරු යොදාගනිමින් හිතවත් මිතුරන්ට හා පවුලේ සාමාජිකයන්ට බයිබලය මත පදනම් වූ අපේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් තේරුම්ගැනීමට උපකාර කරන්න.