යෞවනයෙනි, දෙවිගේ වචනය කියවන්න!
1 යෞවනය යනු අභියෝගවලින් පිරි බරපතළ තීරණ ගැනීමට සිදු වන සමයකි. ක්‍රිස්තියානි යෞවනයෙනි, හැසිරීම පිළිබඳව දී ඇති දිව්‍ය ප්‍රමිති කඩ කිරීමට දිනපතාම පාහේ ඔබගෙන් බොහෝදෙනෙකු වෙතට පීඩන එල්ල වෙයි. ඔබේ අධ්‍යාපනය, රැකියාව සහ විවාහය සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ ගැනීමට සිදු වන කාලයට ඔබ එළඹෙන විට, ඔබ ඊට කලින්ම ඔබගේ ආත්මික ඉලක්ක තබාගෙන සිටිය යුතුය. මේ අන්දමින් පමණයි, ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඔබගේ යහපතට හේතු වන ලෙසට වෙනත් තීරණ ගැනීමට ඔබට හැකි වන්නේ. නිශ්චිත ආත්මික ඉලක්ක තබාගැනීමෙන් ඔබට ඥානවන්තව ක්‍රියා කිරීමටත් ඔබේ මාර්ගය සපල කරගැනීමටත් හැකි වෙනවා ඇත. දේවවචනය නිතිපතා කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් එහි ආනුභාවය ලත් උපදෙස්වලට අනුකූලව ජීවත් වීමට ඔබ පෙලඹෙනු ඇති අතර, ඔබ නිසි ලෙස ගන්නා ප්රයත්න සපල වෙනවා ඇත.—යෝෂු. 1:8; ගීතා. 1:2, 3.
2 එය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත්තේ කෙසේද? සාතන්ගේ ලෝකය වනාහි වැරදි ක්‍රියාවල නියැලීමට බොහෝ පෙලඹවීම් ඇති තැනකි. (1 යොහ. 2:15, 16) ඔබගේ පන්තියේ ළමුන් හෝ ඔබගේ වයසේ වෙනත් අය මිතුරන්ගෙන් එල්ල වන පීඩනවලට හසුවීම නිසා බොහෝ විපත් අද්දැක ඇති බව ඔබ සමහරවිට දන්නවා විය හැකියි. බයිබල් උපදෙස්වලට ඇලී සිටීමෙන් ඔබට පාපතර ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට සදාචාරමය හා ආත්මික ශක්තිය ලැබෙනවා ඇත. එපමණක්ද නොව, දේවවචනයේ සඳහන් උපදෙස් ඔබට සාතන්ගේ වඩාත් සූක්ෂ්ම උගුල්වලින් බේරීමට උපකාර කරයි. (2 කොරි. 2:11; හෙබ්‍රෙ. 5:14) දෙවිගේ මාර්ගවල ගමන් කිරීම ඔබට සැබෑ සන්තෝෂය ගෙන දෙන අතර, එය ජීවිත මාර්ගය තුළ පෞද්ගලික වශයෙන් තෘප්තියක්ද ලබා දෙයි.—ගීතා. 119:1, 9, 11.
3 දෙවිගේ වචනයේ ඇති කිසි විටෙකත් වෙනස් නොවන ප්‍රතිපත්ති මිනිස් ප්‍රඥාවට වඩා බොහෝ උසස්ය. (ගීතා. 119:98-100) බයිබල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන හෘදයාංගමව යාච්ඤා කරමින්, යෙහෝවා විසින් හෙළි කරන ලද ඔහුගේ අරමුණු ගැන මෙනෙහි කිරීම වැදගත්ය. එවිට, පූර්ණ ප්‍රඥාවෙන් පිරුණු බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැඟීමට එය ඔබට උපකාරවත් විය හැකියි. ඔහු පොරොන්දු වෙන්නේ මෙසේයි. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”—ගීතා. 32:8.
4 එය කියවීමට කාලය වෙන් කරන්න: එක් ක්‍රිස්තියානි යෞවනියක් මුළු බයිබලයම කියවීමට ඉලක්කයක් තැබූ අතර, ඇය එය වසරක් ඇතුළත නිම කළාය. ඇය ඉන් ප්‍රයෝජන ගත්තේ කෙසේද? ඇය මෙසේ සිහි කරන්නීය. “මම යෙහෝවා ගැන හුඟාක් දේවල් ඉගෙනගත්තා. ඒ ඉගෙනගත් දේවල් මාව ඔහුට තවත් ළං කළා පමණක් නොවේ, මගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඔහුට භයව සිටින්නට මාව පෙලඹුවා.” (යාකො. 4:8) ඔබ මුළු බයිබලයම කියවා තිබෙනවාද? එසේ කර නැත්නම්, එය ඔබේ ඉලක්කය කර නොගන්නේ මන්ද? යෙහෝවා සහතික ලෙසම ඔබගේ ප්‍රයත්නවලට ආශීර්වාද කරනවා ඇත. එමෙන්ම ඔබ මහත් ආශීර්වාද නෙළාගන්නවා ඇත.