යෙහෝවාට අපේ හොඳම දේ පූජා කිරීම
1 ඊශ්‍රායෙල්වරුන්ට දුන් යෙහෝවාගේ නීතිය තුළ පැහැදිලිව පෙන්වා තිබුණේ යෙහෝවාට පූජා කළ යුතු සතුන් “කැළලක් නැති” සතුන් විය යුතු බවයි. කැළැල් සහිත සතුන් පිළිගත්තේ නැත. (ලෙවී. 22:18-20; මලා. 1:6-9) එපමණක්ද නොව, පූජාවක් ඔප්පු කරන කල, සියලුම මේද කොටස් එනම් හොඳම කොටස යෙහෝවාට අයිතිව තිබුණි. (ලෙවී. 3:14-16) ඊශ්‍රායෙලයේ පියාණන් සහ උතුම්ම ස්වාමියාණන් හැටියට යෙහෝවාට උපරිම හොඳම දේ ලැබිය යුතු විය.
2 ඉපැරණි කාලවලදී මෙන්, අද දිනද දෙවි අපගේ පූජාවල ගුණාත්මකභාවය ගැන උනන්දු වෙයි. යෙහෝවාට අප කරන සේවය තුළ ඔහු උදෙසා නිසි ගරුබියක් පිළිබිඹු විය යුතුය. ඇත්තෙන්ම, තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එහෙත්, අප යෙහෝවාට අපගේ හොඳම දේ දෙමින් සිටිනවාද යන්න ගැන අප අපවම පරීක්ෂා කර බැලීමට හොඳ හේතු තිබේ.—එපී. 5:10.
3 මුළු සිතින් කරන සේවය: අපගේ සේවයෙන් යෙහෝවාට ගෞරවය ගෙන දීමට හා අපට සවන් දෙන අයගේ හදවත් ස්පර්ශ කිරීමට නම් එය යාන්ත්‍රික එකක් නොවිය යුතුය. අපගේ දෙවි සහ ඔහුගේ උදාර අරමුණු ගැන අප කියන දේවල් පැමිණිය යුත්තේ අගය කිරීම මුසු වූ උතුරා යන හදවතකිනි. (ගීතා. 145:7) මින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ පෞද්ගලිකව බයිබලය කියවීම සහ අධ්‍යයනය කිරීම සඳහා හොඳ වැඩසටහනක් පවත්වාගැනීමේ ඇති වැදගත්කමයි.—හිතෝ. 15:28.
4 යෙහෝවාට අපගේ හොඳම දේ දීමට ඇතුළත් වන තවත් දෙයක් නම්, ජනයා කෙරෙහි ඔහු දක්වන ප්‍රේමය අනුකරණය කිරීමය. (එපී. 5:1, 2) අපට හැකි තරමින් වැඩිදෙනෙකුට ජීවනය ගෙන දෙන සත්‍යතාවේ පණිවුඩය ගෙන යෑමට අපව පොලඹවනු ඇත්තේ ජනයා කෙරෙහි අපට තිබෙන ප්‍රේමයයි. (මාර්ක් 6:34) අප කතා කරන අය කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වීමට එය අපව පොලඹවයි. අප පළමු වතාවට හමු වී ආ පසු ඔවුන් ගැන කල්පනා කරමින් සිට නැවත ගොස් ඔවුන්ව බැලීමට එය අපව පොලඹවයි. ඔවුන්ට ආත්මිකව ප්‍රගතියක් අත් කරගැනීම සඳහා අපට හැකි උපරිම උපකාර දීමටද එය අපව පොලඹවයි.—ක්‍රියා 20:24; 26:28, 29.
5 “ප්‍රශංසාව නමැති පූජාවක්”: යෙහෝවාට අපේ හොඳම දේ දිය හැකි තවත් ක්‍රමයක් නම්, දේවසේවය තුළ උද්යෝගයෙන් වැඩ කිරීමය. අප මැනවින් සංවිධානය වී, අපට කරන්නට තිබෙන වැඩය කෙරෙහි අපේ අවධානය යොමු කරන විට, අපට තිබෙන කාලය තුළ වැඩි යහපතක් ඉටු කිරීමට අපට හැකි වේ. (1 තිමෝ. 4:10) හොඳින් සූදානම් වූ විට, අපට පැහැදිලිව සහ ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කිරීමට හැකි වන අතර, එවිට හොඳ ප්‍රතිචාරයක් ලැබීමේ ඉඩ කඩද වැඩි වේ. (හිතෝ. 16:21) අප ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදාගනිත්ම, අපගේ මුළු හදින්ම කියන දේවල් ‘ප්‍රශංසාව නමැති පූජාවක්’ බව කීම නිවැරදියි.—හෙබ්‍රෙ. 13:15.