ප්‍රශ්න පෙට්ටිය
◼ සභා රැස්වීම්වල සෑම කොටසක්ම නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට අපට හැක්කේ කෙසේද?
අපේ මිතුරන් සමඟ හොඳ දෙයක් ගැන කතා කරද්දී අප නොදැනුවත්වම පාහේ කාලය වේගයෙන් ගෙවී යයි. මේ හේතුව නිසා රැස්වීම්වල කොටස් නියමිත වේලාවට ඉදිරිපත් කිරීම අමාරු දෙයක් විය හැකියි. මේ සඳහා අපට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?
නියමිත වේලාවට පටන්ගන්න. මුළු සභාවම එකට එක් රැස් වන අවස්ථාවලදී, විනාඩියකට හෝ දෙකකට කලින් තමන්ගේ ආසනවලට පැමිණෙන්න කියා සබයට ආරාධනා කළ හැකියි. මෙසේ කිරීමෙන් පිළිවෙළකින් යුතුව නියමිත වේලාවට රැස්වීම පටන්ගත හැකියි. (දේශ. 3:1) ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම වැනි කුඩා කණ්ඩායම් හැටියට පවත්වනු ලබන රැස්වීම් තවත් අය පැමිණෙන තෙක් ප්‍රමාද නොකළ යුතුයි.
හොඳින් සූදානම් වන්න. නියමිත වේලාවට කොටස් නිම කිරීමට අවශ්‍ය කරන දෙයක් වන්නේ සූදානම් කිරීමයි. පවරා තිබෙන කොටසේ අරමුණ පැහැදිලිව මනසේ තබාගන්න. ප්‍රධාන කරුණු හඳුනාගෙන, ඒවා අවධාරණය කරන්න. සුළු විස්තර කෙරෙහි වැඩි අවධානයක් දීම නිසා ප්‍රධාන කරුණුවලින් වෙනතකට යොමු විය හැකි බැවින් ඉන් වළකින්න. ඔබේ කොටස සරලව ඉදිරිපත් කරන්න. ඔබේ කොටසට නිරූපණ හෝ සම්මුඛ සාකච්ඡා ඇතුළත් නම් ඒවා කල් ඇතුව පෙරහුරු කරන්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබේ ඉදිරිපත් කිරීම හඬ නඟා පුහුණු වෙමින් කාලය මැන බලන්න.
ඔබේ කරුණු කොටස්වලට වෙන් කරන්න. ඔබේ පැවරුම කතාවක් හෝ වේවා සබය සමඟ කරන සාකච්ඡාවක් හෝ වේවා ඔබේ කොටසේ කරුණු කාණ්ඩවලට වෙන් කරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. එක් එක් කාණ්ඩයට කොපමණ කාලයක් ගත වේද කියා තීරණය කර, එය ඔබේ සටහන්වල අයිනේ ලියාගන්න. ඔබේ කොටස ඉදිරිපත් කරන අතරතුරේදී ඔබ ලියාගත් නියමිත වේලාව ඔබ පවත්වාගනිමින් සිටිනවාද කියා බලන්න. සබය සමඟ සාකච්ඡාවකදී හැඳින්වීමේ කොටසට අදාළව බොහෝ අදහස් දැක්වීම් සලකා බලා, පසුව තිබෙන වඩාත් වැදගත් කරුණු ඉක්මනින් පියවීමේ උගුලට වැටෙන්න එපා. මුරටැඹ පාඩම මෙහෙයවන්නන් පාඩම අවසානයේ තිබෙන පුනරීක්ෂණ කොටුව සලකා බැලීම සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කළ යුතුයි. අවසාන ගීතිකාවට හා යාච්ඤාවට වෙන් කර තිබෙන කාලය ඒ සඳහා යොදා නොගැනීමට ඔවුන් වගබලා ගත යුතුයි.
නියමිත වේලාවට අවසන් කරන්න. සේවා රැස්වීම වැනි කොටස් කිහිපයක් තිබෙන රැස්වීමකදී සෑම කථිකයෙක්ම තමාගේ කොටස ආරම්භ කරන හා අවසන් කරන වේලාව ගැන හොඳින් සිතේ තබාගත යුතුයි. රැස්වීම කාලය ඉක්මවා යනවා නම් කුමක් කළ හැකිද? මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් හා සෙසු කරුණු ගැන ඕනෑවට වඩා කතා නොකිරීමෙන් තමන්ගේ කොටසේ කාලය අඩු කිරීමට ඊළඟ කොටස මෙහෙයවන සහෝදරයාට හෝ කොටස් මෙහෙයවන සහෝදරයන්ට හැකියි. මෙවැනි දෙයක් කිරීමට තිබෙන හැකියාව දක්ෂ ගුරුවරයෙකුගේ ලක්ෂණයකි.
රැස්වීමට පැමිණ සිටින අය වශයෙන් අපට හැකියි, කරුණට අදාළව අපගේ අදහස් දැක්වීම් කෙටි කිරීමෙන් මෙහෙයවන සහෝදරයාට සහයෝගය දීමට. මෙසේ රැස්වීම් “විනීතවද පිළිවෙළකටද” මෙහෙයවීම සඳහා දායක වීමට අප සියලුදෙනාටම හැකියි.—1 කොරි. 14:40, NW.