ප්‍රශංසාව ප්‍රාණවත්බවක් ඇති කරවයි
1 “අද මම හොඳ ළමයෙක් වගේ හිටියේ නැද්ද?” යයි කියමින් කුඩා ගැහැනු ළමයා නිදි යහනේ ඉකි බිඳිමින් හැඬුවාය. මෙයට හේතුව දැනගත් පසු මව ඒ ගැන මවිත විය. එදා දවසේ මේ කුඩා ගැහැනු දරුවා හොඳින් හැසිරීමට දැරූ වෑයම මව දුටුවත්, ඒ ගැන එක වචනයකින්වත් ඇය එම දරුවාට ප්‍රශංසා කළේ නැත. ඒ කුඩා ගැහැනු දරුවාගේ දෙනෙත්වලින් ගලා ආ කඳුළු අපට සිහිගන්වන්නේ ප්‍රශංසාව ලොකු කුඩා අප සැමටම අවශ්‍ය කරන දෙයක් බවයි. අප සමඟ ඇසුරු කරන අය කරන හොඳ දේවල් සඳහා අපේ අගය ප්‍රකාශ කිරීමෙන් අප ඔවුන් තුළ ප්‍රාණවත්බවක් ඇති කරනවාද?—හිතෝ. 25:11.
2 සෙසු ක්‍රිස්තියානීන්ව පැසසුමට ලක් කිරීම සඳහා හොඳ හේතු බොහොමයක් ඔවුන් තුළ දැකිය හැකියි. වැඩිමහල්ලෝ, සභා සේවකයෝ හා පුරෝගාමිහු ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට වෙහෙස මහන්සි නොබලා සේවය කරති. (1 තිමෝ. 4:10; 5:17) දේවබියැති දෙමාපියෝ තමන්ගේ දරුවන්ව යෙහෝවාගේ මඟ පෙන්වීම්වලට අනුව ඇති දැඩි කිරීමට ඔවුන්ගේ උපරිමය කරති. (එෆී. 6:4) “ලෝකයේ ආත්මයට” එරෙහිව සිටීම සඳහා ක්‍රිස්තියානි යෞවනයන් නිරත වන්නේ දැඩි සටනකය. (1 කොරි. 2:12; එෆී. 2:1-3, NW) තවත් අය මහලු විය, අසනීප හා වෙනත් පීඩාකාරී දේවල් මැද විශ්වාසවන්තව යෙහෝවාට සේවය කරති. (2 කොරි. 12:7) මේ සියලුදෙනාම අපේ ප්‍රශංසාව ලැබීමට වටී. ඔවුන් දරමින් සිටින වෑයම් ප්‍රශංසාවට ලක් කිරීමට වටින බව අප පිළිගන්නවාද?
3 පෞද්ගලික සහ විශේෂිත: වේදිකාවෙන් අපේ සවනට වැටෙන ප්රශංසාත්මක වදන් අප ඇත්තෙන්ම අගය කරන්නෙමු. කෙසේවෙතත්, පෞද්ගලිකව අපට කෙළින්ම ප්රශංසාත්මක වදන් පවසන විට ඊටත් වඩා ප්‍රාණවත්බවක් අපි ලබන්නෙමු. උදාහරණයක් හැටියට, පාවුල් රෝම වාසීන්ට ලියූ ඔහුගේ ලිපියේ 16වන පරිච්ඡේදයේ ෆීබි, ප්‍රිසිලා හා අකිලා, ත්‍රිෆේනා, ත්රිෆෝසා හා පර්සිස් යන අයව විශේෂයෙන් සඳහන් කරමින් ප්‍රශංසාවට ලක් කළේය. (රෝම 16:1-4, 12, NW) පාවුල්ගේ ප්රශංසාත්මක වදන් එම විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට මොන තරම් ප්‍රාණවත්බවක් ගෙන දුන්නා විය යුතුද! එවන් ප්රශංසාවන් මගින් අපේ සහෝදර සහෝදරියන් තුළ ඔවුන්ව අවශ්‍ය කරන බවට වූ නිසැකකමක් ඇති කරවයි. එමෙන්ම එමගින් අප එකිනෙකාව තව තවත් ළං කරවයි. ළඟකදී ඔබ පෞද්ගලිකව යම් කෙනෙකුව ප්‍රශංසාවට ලක් කළාද?—එෆී. 4:29.
4 හදවතින්ම: ප්‍රශංසාවකින් ඇත්තටම ප්‍රාණවත්බවක් ලබන්න නම් එය අව්‍යාජ විය යුතුයි. අප කතා කරන්නේ හදවතින්මද නැත්නම් අප ‘ඉච්චා බස් කියනවාද’ කියා අනිත් අයට හඳුනාගත හැකියි. (හිතෝ. 28:23) අනිත් අයගේ යහපත් ගුණාංග දකින්න අප අපවම පුහුණු කරගන්න විට ප්රශංසාත්මක වදන් අපේ මුවින් පිට කරන්න අප පෙලඹෙනු ඇත. “කලට සුදුසු වචනය කොපමණ හොඳද” කියා අපි දැන සිටින නිසා හද පත්ලෙන්ම අන් අයව ප්‍රශංසාවට ලක් කිරීමට නිතරම සෑදී පැහැදී සිටීමට අදිටන් කරගනිමු.—හිතෝ. 15:23.