“ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න”
1 සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් යේසුස් කළ සුවිශේෂ වූ පුරෝකථනයේදී ලෞකික දේවල සම්පූර්ණයෙන්ම ඇලී ගැලී සිටීමට එරෙහිව අනතුරු ඇඟෙව්වේය. (මතෙ. 24:36-39; ලූක් 21:34, 35) මහත් පීඩාව ඕනෑම වේලාවක පැමිණිය හැකි නිසා යේසුස් දුන් මෙම උපදේශයට අප අවනත වීම අත්‍යවශ්‍යයි. “ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.” (මතෙ. 24:44, NW) එසේ සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?
2 කරදර හා සිත වෙනතකට යොමු කරවන දේවලට එරෙහිව සිටීම: ‘ජීවිතයේ කරදරවලින්’ සිත බර කරගැනීම අප ආරක්ෂා විය යුතු එක් ආත්මික උගුලකි. (ලූක් 21:34, NW) සමහර රටවල පවතින දුප්පත්කම, රැකියා නොමැතිකම හා ජීවන වියදම ඉහළ යෑම නිසා ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීම දුෂ්කර දෙයක් වී ඇත. වෙනත් රටවල නම් ද්‍රව්‍යමය දේවල් ලබාගැනීම එතරම් දුෂ්කර නැත. අප ද්‍රව්‍යමය දේවල් ගැන ඕනෑවට වඩා සිතනවා නම්, රාජ්‍යය මගින් ඉටු කරනු ලබන දේවල් කෙරෙහි අපේ අවධානය යොමු කිරීමට නොහැකි වීමේ අවදානමට මුහුණ දීමට අපට සිදු වේ. (මතෙ. 6:19-24, 31-33) රාජ්‍යය කෙරෙහි අපේ සිත යොමු කර තබාගැනීමට ක්‍රිස්තියානි රැස්වීම් අපට උපකාර කරයි. සෑම රැස්වීමකටම පැමිණීමට ඔබ ඉලක්ක කරගෙන සිටිනවාද?—හෙබ්‍රෙ. 10:24, 25.
3 අපේ සිත් ඇදගනු ලබන දේවලින් අද ලෝකය පිරී තිබේ. අපේ අනර්ඝ කාලය පහසුවෙන්ම සොරාගැනීමට ඒවාට හැකියි. යම් කෙනෙක් අන්තර්ජාලය බැලීමට, ඊ-මේල් කියවීමට හා යැවීමට හෝ පරිගණක ක්‍රීඩාවල නිරත වීමට විශාල කාලයක් වැය කරනවා නම්, පරිගණකය ඔහුට උගුලක් විය හැකියි. රූපවාහිනිය හා චිත්‍රපට බැලීමට, විනෝදාංශවල නියැලීමට ලෞකික පොත් පත් කියවීමට හා ක්‍රීඩා කිරීමට අසීමිත කාලයක් වැය විය හැකියි. මේ නිසා ආත්මික ක්‍රියාකාරකම්වල නියැලීමට අපට තිබෙන්නේ සුළු කාලයක් හා ශක්තියක් පමණි. විනෝද වීමෙන් හා විවේක සුවයෙන් සිටීමෙන් තාවකාලිකව ප්රබෝධයක් දැනුණත්, අපට සදාකාලික ප්‍රයෝජන ලබා දෙන්නේ පෞද්ගලික පාඩම හා පවුලේ පාඩමයි. (1 තිමෝ. 4:7, 8) සෑම දවසකම දේවවචනය මෙනෙහි කිරීමට ඔබ සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවාද?—එෆී. 5:15-17, NW.
4 “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද” අපට උපකාර කිරීමේ අරමුණින් ආත්මික කාරණා ඉගැන්වීමේ වැඩසටහනක් යෙහෝවාගේ සංවිධානය මගින් පිළියෙළ කර තිබීම ගැන අප මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! (ලූක් 21:36, NW) අපේ ඇදහිල්ල “යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වීමේදී ප්‍රශංසාවටත් මහිමයටත් ගෞරවයටත් කාරණයක්” විය හැකි වන පිණිස මේ ආත්මික වැඩසටහනින් පූර්ණ ප්‍රයෝජන ගනිමින් ‘අපි සූදානමින් සිටින බව පෙන්වමු.’—1 පේතෘ. 1:7, NW.