දේවසේවය තුළ “දැඩි වෑයමක් දරමින්” සිටින්න
1 ප්‍රේරිත පාවුල් කොරින්තියේ සිටියදී කූඩාරම් තැනීමේ වැඩෙහි නිරත වී සිටි නිසා අන්‍යයන්ට දේශනා කිරීමට ඔහුට ලැබුණු ප්‍රස්තා අඩු වුණායයි අපට සිතිය හැකියි. කෙසේවෙතත්, ක්‍රියා 18:5හි අපට මෙසේ පවසයි. ‘යේසුස් ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂි දෙමින් [දැඩි වෑයමක් දරමින්, NW] වචනය දේශනා කිරීමේ වැඩේම යෙදී සිටියේය.’ පාවුල් දේශනා කිරීමේ වැඩේ සම්බන්ධයෙන් මෙතරම් දැඩි වෑයමක් දැරුවේ ඇයි? කොරින්තියේ බොහෝදෙනෙක් සත්‍යය පිළිගෙන තිබුණ බව ඇත්තයි. ඒත් එම නගරයේ තමන්ගේ ගෝලයන් වීමට කැමති වූ තවත් විශාල සෙනඟක් සිටින බව යේසුස් දැනුම් දුන්නා. (ක්‍රියා 18:8-11) අපේ සේවය තුළදීත් දැඩි වෑයමක් දැරීමට ඊට සමාන හේතු තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්. සත්‍යය ඉගෙනීමට කැමති තවත් බොහෝදෙනෙක් අපේ ක්ෂේත්රයේ සිටිනවා.
2 අප්‍රියෙල් මාසය තුළදී වැඩියෙන් සේවයේ නිරත වෙන්න: ඔබ සෑම මාසයකදීම ශුභාරංචිය දේශනා කිරීම සඳහා මහත් උනන්දුවක් දක්වන බව නිසැකයි. ඒත්, වඩාත් ‘දැඩි වෑයමක් දැරිය’ යුතු අවස්ථාද තිබෙනවා. සිහි කිරීමේ දිනය පවත්වන අප්‍රියෙල් මාසය විශේෂයෙන්ම සැලකිය යුතු කාලයක් වෙයි. මේ වසරේ උපකාරික පුරෝගාමී සේවයේ ඔබ දැනටමත් නිරත වී ඇද්ද? එසේත් නැත්නම්, සේවය උදෙසා වැඩිපුර කාලයක් යෙදවීමට අවස්ථාවක් ලැබී තිබෙනවාද? මෙසේ කිරීමට හැකි වී තිබෙන බොහෝ ප්‍රචාරකයන් මහඟු ආශීර්වාද භුක්ති විඳිනවා. (2 කොරි. 9:6) ඔබ දැනටමත් ඔබේ උපරිමය කරමින් සිටිනවා නම් යෙහෝවා ඔබේ ආත්ම පූර්ණ සේවය අගය කරන බව මතක තබාගන්න. (ලූක් 21:2-4) ඔබේ තත්වය කුමක් හෝ වේවා අප්‍රියෙල් මාසය තුළදී “දැඩි වෑයමක් දරමින්” සේවයේ නිරත වීමට ඉලක්ක කරගන්න. ඒ වගේම මාසය අන්තිමේදී ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමටද අමතක නොකරන්න. එසේ කිරීමෙන් යෙහෝවාගේ සේවකයන්ගේ සාමූහික ප්රයත්නයට ඔබටත් දායක විය හැකියි.
3 සිහි කිරීමේ දිනයට සහභාගි වූ නවකයන්ව බැහැදැකීමට යන්නඊ: ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේ සිහි කිරීමේ දිනයට පැමිණි සංඛ්‍යාව 9,113යි. මෙම වසරේදී පැමිණි අයගේ මුළු සංඛ්‍යාව අපට තවමත් ලැබී නැහැ. ලැබී තිබෙන වාර්තාවලට අනුව නම් ‘ගොයම බොහෝයි’ කියා අපට සිතාගත හැකියි. (මතෙ. 9:37, 38) ඒ නිසා හැකි තාක් ඉක්මනට සිහි කිරීමේ දිනයට පැමිණි සියලුදෙනාවම නැවත හමුවීමට ගොස් ඔවුන්ට ආත්මික උපකාරය සපයන්න. අප ඔවුන්ව බැහැදැකීම කල් දමනවා නම් ‘ඔවුන්ගේ සිත්වල වපුරා ඇති රාජ්‍යයේ වචනය නපුරා ඇවිත් උදුරාගන්න’ පුළුවන්. (මතෙ. 13:19) ඔබ ඉක්මනටම ඔවුන්ව බැහැදැකීමට යෑමෙන් ඔප්පු වන්නේ ඔබ සේවය උදෙසා ‘දැඩි වෑයමක් දරන’ බවයි.
4 අක්‍රියාශීලී අයට දිගටම උපකාර කරන්න: පෙබරවාරි මාසය තුළදී අක්‍රියාශීලී අයට උපකාර කරන්න විශේෂ ප්රයත්නයක් දරත්න කියා උනන්දු කරනු ලැබුවා. වැඩිමහල්ලන්, අප්‍රියෙල් මාසය අවසාන වෙද්දී සෑම අක්‍රියාශීලී කෙනෙක්වම බැහැදැකීමට උත්සාහ කළ යුතුයි. ඔවුන් අක්‍රියාශීලී වීමට ප්‍රධාන හේතුව කුමක්ද කියා තේරුම්ගැනීමට උත්සාහ කළ යුතු අතර, ඔවුන්ට නැවතත් යෙහෝවාගේ ක්‍රියාශීලී සේවකයන් වීමට උපකාර කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද කියා වැඩිමහල්ලන් තීරණය කළ යුතුයි. වැඩිමහල්ලන් මෙසේ ප්‍රේමනීයව බැටළුවන්ට උපකාර කරද්දී, ‘දෙවිගේ රැළේ’ එඬේරුන් වශයෙන් දරන වගකීම ඉතා බැරෑරුම්ව සලකන බව ඔවුන් ඔප්පු කරයි. (1 පේතෘ. 5:2; ක්‍රියා 20:28) වර්ෂ 1993 මුරටැඹ සඟරාවේ, සැප්තැම්බර් 15 කලාපයේ 22-23 පිටුවල, ප්‍රචාරකයෙක් අක්‍රියාශීලී වීමට හේතු පහක් සාකච්ඡා කරන අතර, ඒ එක් එක් අවස්ථාවලදී වැඩිමහල්ලන්ට උපකාරය සැපයිය හැක්කේ කෙසේද කියා හොඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. අක්‍රියාශීලී අයට උපකාර කරද්දී වැඩිමහල්ලන්ට පුළුවන් මෙම සඟරාවේ තොරතුරු ප්‍රයෝජනයට ගන්න. අප්‍රියෙල් මාසයේදී අක්‍රියාශීලී ප්‍රචාරකයන් නැවතත් අප සමඟ සේවයේ හවුල් වෙනවා නම් කොතරම් සතුටට කාරණයක් වේවිද!
5 බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වෙන්න තවත් අයට උපකාර කරන්න: ඔබේ දරුවන් සහ බයිබල් ශිෂ්‍යයන් දැන් ශුභාරංචියේ ප්‍රචාරකයන් වීමට සුදුසු තත්වයක සිටිනවාද? ඔවුන් සුදුසු තත්වයක සිටින බව වැඩිමහල්ලන් තීරණය කළොත් අප්‍රියෙල් මාසයේ සිට ප්‍රචාරකයන් වීමට ඉලක්ක කරගැනීමට ඔවුන්ව උනන්දු කිරීම හොඳ අදහසක් නොවේද? ඕනෑ කරන්නේ විවරණිකාවයි දැනුම පොතයි අධ්‍යයනය කර ඇති නමුත් තවමත් ප්‍රචාරකයෙක් නොවූ බයිබල් ශිෂ්‍යයෙකුට උපකාර කළ හැක්කේ කෙසේද? ඔහුගේ යම් වර්ධනයක් පෙනෙන්න තිබෙනවා නම්, දෙවිගේ වචනය (සිංහලෙන් නොමැත), සැබෑ සාමය, එක්සත් නමස්කාරය යන ප්‍රකාශනවලින් එකක් භාවිත කරමින් ඔහු සමඟ දිගටම පාඩමක් පවත්වන්න ඔබට පුළුවන්. ඔබගේ ඉලක්කය විය යුත්තේ ශිෂ්‍යයාට සත්‍යය ගැන වඩාත් පුළුල් අවබෝධයක් ලබා දෙමින් ඔහුට බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වීමට හා පසුව යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වීමට උපකාර කිරීමයි.—එපී. 3:17-19; 1 තිමෝ. 1:12; 1 පේතෘ. 3:21.
6 ඔබ දිගටම ඔබේ බයිබල් ශිෂ්‍යයන් කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දක්වනවා නම් ඔවුන් සමහරවිට සත්‍යය ඔවුන්ගේම වස්තුවක් කරගන්න පුළුවන්. එක් සාක්ෂිකරුවෙකුට, බයිබලය අධ්‍යයනය කිරීමට මහත් උනන්දුවක් දැක්වූ වයසක යුවළක් හමු වුණා. ඒත් ඔවුන් සති තුනක් යනකම්ම පාඩමක් කරන්න කැමති වුණේ නැහැ. කොහොමහරි ඔවුන් සමඟ පාඩමක් පටන්ගත්තා. හැබැයි ටික කාලයක් යද්දී නැවතත් ඔවුන් තුළ පසුබැසීමක් දක්නට තිබුණා. ඔවුන් සතියක් ඇර සතියක් වගේ තමයි පාඩම කළේ. සතුටට කරුණක් වන්නේ, අවසානයේදී භාර්යාව බව්තීස්මය කරා වර්ධනය වීමයි. “බව්තීස්ම වුණාට පස්සේ ඇයට කොච්චර සතුටක් දැනුණද කිව්වොත් ඇගේ ඇස් දෙකේ කඳුළු පිරුණා! ඒක දැකලා අපේ ඇස්වලටත් කඳුළු ආවා. එදා මටයි මගේ භාර්යාවටයි දැනුණ සතුට කියා නිම කරන්න බැහැ” කියා ඇයත් සමඟ පාඩම පැවැත්වූ සහෝදරයා විස්තර කරනවා. ඔව්, ශුභාරංචිය දේශනා කිරීමේදී ‘දැඩි වෑයමක් දැරීමෙන්’ කියා නිම කරන්න බැරි සතුටක් ලබාගත හැකියි.
7 බයිබල් අනාවැකිවලින් හා ලෝක සිදුවීම් දෙස බැලීමෙන් අපට පෙනී යන්නේ අපි අන්තිම කාලයේ අවසාන අදියරේ සිටින බවයි. එමනිසා දැන් වෙන කවරදාටත් වැඩියෙන් අපි අන්‍යයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ‘දැඩි වෑයමක් දැරිය’ යුතුයි. ප්‍රේරිත පාවුල් පැවසූ ලෙස, ‘ස්වාමීන්ගේ මෙහෙයේදී’ අපි දරන උත්සාහය කෙදිනකවත් “නිෂ්ඵල නොවන” බව අපට නිසැක විය හැකියි.—1 කොරි. 15:58.