අපි දේශනා කරන්නේ ශුභාරංචියි
1 ‘යහපත් දේවල් ගැන ශුභාරංචි’ අප සතුව තිබීම මොනතරම් වරප්‍රසාදයක්ද! (රෝම 10:15) බලාපොරොත්තු කඩවීම් හා වියවුල්සහගත තත්වයන්ගෙන් වට වී සිටින මිනිසුන් සමඟ බෙදාගැනීමට, සහනය ගෙන දෙන පණිවිඩයක් අප සතුව තිබෙනවා. එවන් තත්වයන්වලට මුහුණ දෙමින් සිටින ජනයා සමඟ අපි බෙදාගන්නේ ‘වඩාත් යහපත් දේවල් ගැන ශුභාරංචි’ කියා තේරුම්ගැනීමට, ඔවුන්ට උපකාර කරන්න පුළුවන් කොහොමද?—යෙසා. 52:7.
2 ප්‍රයෝජනවත් යමක් සූදානම් කරගන්න: අපි මිනිසුන් සමඟ ශුභාරංචි ගැන කතා කරද්දී, යහපත් දේවලට මූලික අවධානය යොමු කරනවා නම්, හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න පුළුවන්. එනිසා, අපේ ඉදිරිපත් කිරීම් සූදානම් වන විටත්, බෙදාහරින ප්රකාශනවල තොරතුරු කලින් සලකා බලන විටත්, අපේ පණිවිඩයෙහි ඇතුළත් මිනිසුන්ට ප්‍රයෝජන ගෙන දෙන දේවල් සටහන් කරගත යුතුයි. බයිබලය මත පදනම් අපේ බලාපොරොත්තුව ස්ථිර විශ්වාසයකින් හා උද්යෝගයකින් ඉදිරිපත් කරනවා නම්, දිරිගන්වනසුලු ප්‍රතිඵල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.—හිතෝ. 25:11.
3 ලෝකයේ පවතින නපුරු දේවලින් තමන් පීඩා විඳින ආකාරය ගැන ජනයා අපට පවසන විට අපි ඔවුන් දෙස අනුකම්පාසහගතව බැලිය යුතු වූවත්, මනුෂ්‍යවර්ගයාගේ ගැටලු සඳහා තිබෙන සැබෑ විසඳුම දෙවිගේ රාජ්‍යය බව අපි ඔවුන්ට පෙන්වා දීමට අමතක නොකළ යුතුයි. යෙහෝවාගේ පැමිණෙන “පළිගැනීමේ දවස” ගැන කතා කරන විට පවා අපි වෑයම් කළ යුත්තේ, එම දවස “නිහතමානි අයට ශුභාරංචියක් [NW]” වන ආකාරය ජනයාට පැහැදිලි කර දීමටයි. (යෙසා. 61:1, 2) යෙහෝවා කරන සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය අපේ සැබෑ සන්තෝෂයට හා උපරිම යහපතට හේතු වෙයි. ඒ බව අපේ පණිවිඩයට සවන් දෙන අයට පෙන්වා දීමෙන් ඔවුන්ගේ බිය සැක දුරු කරන්න අපිට පුළුවන්.
4 අව්‍යාජ ප්‍රීතියකින් සත්‍යය ගැන කතා කරන්න: ප්‍රීතිමත් ස්වභාවයක් අපේ මුහුණින් දිස් වන විට හා කතා කරන පණිවිඩය ගැන අපට ස්ථිර විශ්වාසයක් තිබෙන බව අපේ කටහඬේ ස්වභාවයෙන් දකින විට ජනයා සවන් දීමට වැඩි කැමැත්තක් දක්වනවා. අනාගතය ගැන නිසැකකමක් අප තුළ දකින්න තිබෙනවා නම්, අපි ‘බලාපොරොත්තුවෙහි ප්‍රීති වන’ බව අපිට සවන් දෙන අය තේරුම්ගන්න යනවා. (රෝම 12:12) මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අපේ ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දැක්විය හැකියි. ඇත්තෙන්ම, අපේ දේවසේවයේ සෑම අංගයකදීම නිතරම යහපත් මෙන්ම ප්‍රීතිමත් ස්වභාවයක් විදහාපෙන්වීමට අපිට හොඳ හේතු තිබෙනවා.
5 ශුභාරංචිය ජනයා වෙතට ගෙන යන දේවසේවකයන් හැටියට අපි නිකම්ම තොරතුරු දැනුම් දීමට වඩා වැඩි යමක් කරනවා. දැනුත් අනාගතයේදීත් ලබන යහපත් ජීවිතයක් පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක් අපේ පණිවිඩය මගින් ඉදිරිපත් කරනවා. (1 තිමෝ. 4:8) අපි විවිධ පුද්ගලයන් වෙත එළඹෙන විට අප තුළ තිබෙන ඒකාන්ත ස්වභාවය අපි පවසන දෙයින්ද දිස් වෙයි. මෙවන් තත්වයක් පවතින විට ජනයා ශුභාරංචිය පිළිගැනීමට වැඩි නැඹුරුවාවක් දක්වනවා. අපි කියන්න යන දෙය හා එය කියන ආකාරය ගැන සැලකිලිමත් වීමෙන් අපේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් ලබාගත හැකියි. මෙසේ කිරීමෙන් බලාපොරොත්තු ඇති කරවන ශුභාරංචි සතුටින් පිළිගැනීමට අවංක හදවත් තිබෙන අය තුළ පෙලඹවීමක් ඇති කරමු.