ප්‍රයෝජන රැසක් ඇති “කඳුළු සලන” ගසක්
“තුවාලයට ගුගුල් ගෙනෙන්න” යයි යෙරෙමියා 51:8හි පවසා ඇත. ඉතා සුවදායක මෙන්ම සහනය ගෙන දෙන මෙම ද්‍රව්‍යය පැමිණෙන්නේ කොතැනින්දැයි සොයා බැලීමට අපි ඒජියන් මුහුදේ දිස් වන කියොස් දූපත වෙත ගමන් කරමු.
ගිම්හානය ආරම්භ වෙත්ම කියොස් දූපතේ ගොවියන් අස්වැන්න නෙළීම සඳහා සූදානම් වන්නේ ඉතා නුහුරු නුපුරුදු ක්රමයකටයි. පොළොව අතුගා දැමූ පසු ඔවුහු මැස්ටික් වශයෙන් හඳුන්වනු ලබන කුඩා සදාහරිත ගස් වටේට සුදු මැටි තවරා පොළොව සමතලා කරති. ඉන් අනතුරුව, ඔවුන් එම ගස්වල පිට පොත්ත කපාහරින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගස් “කඳුළු” සලන්න පටන්ගනී. “කඳුළු” වශයෙන් හඳුන්වනු ලබන්නේ ගස්වලින් වෑස්සෙන ලා පැහැති මැලියම් වර්ගයකි. සති දෙක තුනක් ගතවීමෙන් අනතුරුව කඳ මතට හෝ මැටි පොළොව මතට වැටී ඇති වියළි මැලියම් බින්දු ගොවීන් විසින් එකතු කරනු ලබයි. ගුගුල් නමැති සුවඳකාරක ද්‍රව්‍යය සෑදීම සඳහා මැස්ටික් ගම් වශයෙන් හඳුන්වන මෙම “කඳුළු” යොදාගෙන ඇත.
අස්වැන්න නෙළාගැනීමට පෙර ගොවීන්ට වෙහෙස මහන්සි වී, ඉවසිලිවන්තව වැඩ කිරීමට සිදු වේ. මෙම ගස්වල අළු පැහැති ඇඹරුණු කඳ වැඩෙන්නේ ඉතා සෙමිනි. ගස මෝරන්න අවුරුදු 40ක් හෝ 50ක් පමණ ගත වේ. එහි සාමාන්‍ය උස අඩි හයේ සිට දහය දක්වාය.
කඳ කැපීමට හා “කඳුළු” එකතු කරගැනීමට අමතරව කළ යුතු තවත් වැඩ කොටසක් තිබේ. එය නම් මැස්ටික් නම් ද්‍රව්‍යය නිපදවීමයි. මැස්ටික් “කඳුළු” එකතු කරගත් පසු ඒවා හළා, සෝදා, ප්‍රමාණය හා තත්වය අනුව වර්ග කරනු ලබයි. තවදුරටත් පිරිසිදු කළ පසු ඒවා ප්‍රයෝජන රැසකට යොදාගැනේ.
අනර්ඝ ගසක ඉතිහාසය
මැස්ටික් විස්තර කිරීම සඳහා යොදාගන්නා ග්‍රීක් වචනය “දත් මිටි කනවා” යන අර්ථය ඇති යෙදුමකට නෑකම් කියයි. මැස්ටික් මැලියම් පුරාණයේ සිටම මුඛයට නැවුම් සුවඳක් ලබා දීමට චුවිංගම් හා සමානව යොදාගෙන තිබෙන බව මින් ඇඟවේ.
මැස්ටික් සම්බන්ධයෙන් පැරණිතම තොරතුරු සපයන ලද්දේ පො.යු.පෙ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් විසිනි. ඇපොලොඩෝරස්, ඩයස්කොරිඩේස්, තියොෆ්රැස්ටස් සහ හිපොක්‍රටීස් ඇතුළු වෙනත් ඉපැරණි ලේඛකයන් හා වෛද්‍යවරුන්ද ඖෂධයක් වශයෙන් මැස්ටික් භාවිත කළ බව සඳහන් වේ. මැස්ටික් ගස් මධ්‍යධරණී වෙරළ පුරාම වැඩුණත් මැස්ටික් නිෂ්පාදනය පො.යු. 50දී පමණ කියොස් දූපතට සීමා වී තිබේ. කියොස් දූපත ආක්‍රමණය කළ රෝමවරුන්ගේ, ජෙනොවාවරුන්ගේ හා ඔටොමාන්වරුන්ගේ විශේෂ අවධානයට ලක් වූයේද මැස්ටික්ය.
ප්‍රයෝජන රැසක්
පාචනය හා ආතරයිටිස් ඇතුළු රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා ඉපැරණි මිසර වෛද්‍යවරු මැස්ටික් භාවිතා කළහ. එය සුවඳ දුම් පිළියෙළ කිරීමේදීද මමි (මළ මිනි) සකස් කිරීමේදීද යොදාගනු ලැබීය. ඖෂධයක් හා රූපලාවන්‍ය ද්‍රව්‍යයක් වශයෙන්ද එම්බාම් කිරීම සඳහාද භාවිත කළායයි බයිබලයේ සඳහන් වන “ගිලියද්හි ගුගුල්” සාදනු ලැබුවේද මැස්ටික් ගස්වලින් වන්නට ඇත. (යෙරෙමියා 8:22; 46:11) නමස්කාරය සඳහා පමණක් යොදාගත් ශුද්ධ සුවඳ දුම් සෑදීමට යොදාගත් නාතාප්ද මැස්ටික් කුලයට අයත් ගස් විශේෂයකින් ගනු ලැබූ බවට විශ්වාසයක් පවතී.—නික්මයාම 30:34, 35.
තෙල් සායම් පින්තාරු, ලී බඩු, සංගීත භාණ්ඩ ආදිය ආරක්ෂා කිරීම සඳහා ආලේප කරන වානිෂ් සෑදීමට අදදින මැස්ටික් භාවිත කෙරේ. පරිවාරකයක් වශයෙන්ද ජල රෝධකයක් වශයෙන්ද එය යොදාගැනේ. තවද රෙදි වර්ණවත් කරන ඩයිවල හා පින්තාරු සායම්වල නියම වර්ණය රැකගැනීම සඳහා යෙදිය හැකි හොඳම ද්‍රව්‍යය එයයි කියාද පිළිගැනීමක් තිබේ. ගම් සෑදීමේදී හා හම් පදම් කිරීමේදී මැස්ටික් භාවිත කරයි. එහි ප්‍රියමනාප සුවඳ හා ඊට ආවේණික වෙනත් ලක්ෂණ නිසා සබන්, රූපලාවණ්‍යය හා සුවඳ විලවුන් සෑදීමේදීද එය ප්‍රයෝජනයට ගනී.
ලෝ පුරා ඇති නිල වශයෙන් පිළිගැනෙන ඖෂධ ලැයිස්තු 25කම මැස්ටික් යන නාමයද ඇතුළත් වේ. එය තවමත් අරාබි ලෝකයේ සම්ප්‍රදායික ප්‍රතිකාරවලදී භාවිත වේ. දන්ත බදාම සෑදීම සඳහා මෙන්ම බෙහෙත් කරල්වල අභ්‍යන්තරයේ ඇති ආවරණය සෑදීම සඳහාද එය යොදාගනී.
ගුගුල් සෑදීම ඇතුළුව ප්‍රයෝජන රැසක් ඇති මෙම කඳුළු සලන ගස සියවස් ගණනාවක් පුරාම මිනිසාට සහනයක් මෙන්ම සුවයක් ගෙන දී ඇත. එසේ නම් “තුවාලයට ගුගුල් ගෙනෙන්න” යයි යෙරෙමියා පැවසුවේ හොඳ හේතු ඇතුවයි.
[31වන පිටුවේ පින්තූර]
කියොස්
මැස්ටික් නෙළාගැනීම
මැස්ටික් “කඳුළු” පරෙස්සමින් එකතු කරනු ලබයි
[හිමිකම් විස්තර]
කියොස් දූපත හා අස්වැන්න නෙළීම දක්වන චිත්‍ර: Korais Library අනුග්රහයෙනි; අනිත් පින්තූරු: Kostas Stamoulis