යහපත් ක්‍රියා මගින් දෙවිට ගෞරවය!
සැබෑ ක්‍රිස්තියානීහු තම යහපත් හැසිරීම හා ආදර්ශවත් ක්‍රියා මගින් දෙවිට ගෞරවය ගෙනෙති. (1 පේතෘස් 2:12) මෑතකදී ඉතාලියේ සිදු වූ දෙයකින් මෙය දැකගත හැක.
වර්ෂ 1997 සැප්තැම්බර්වලදී, මාෂ් සහ අම්බ්‍රියා යන ප්‍රදේශයන්හි විවිධ කොටස්වල දරුණු භූමිකම්පාවක් ඇතිවීම හේතුවෙන් නිවාස 90,000කට පමණ හානි සිදු විය. ඒ මොහොතේම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමක් සෙසු ඇදහිලිවන්තයන්ට හා වෙනත් අයට උපකාර කිරීමට ඉදිරිපත් වූහ. ට්‍රේලර් රථ, නිදන මලු, උදුන්, ජෙනරේටර සහ අනෙකුත් අවශ්‍ය දෑ සපයන ලදි. මෙම සහන සේවාවන් නොදුටු කෙනෙකු නොමැති තරම්ය.
“ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවලට සහනාධාර රැගෙන මුලින්ම පැමිණියේ [ටෙරාමෝ පළාතේ] රොසෙටෝහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ය. . . . යෙහෝවාට විශ්වාසවන්ත අය විටින් විට එකතු වී යාච්ඤා කරනවාට අමතරව වේදනා විඳින්නන්ගේ ආගම දහම නොතකා ඔවුන්ට ප්‍රායෝගික උපකාර පිරිනැමූ” බව ඉල් සෙන්ට්‍රෝ පුවත්පතේ වාර්තා විය.
දරුණු ලෙස හානියට ලක් වූ නගරයක් වන නොචේරා අම්බ්රාහි නගරාධිපති සාක්ෂිකරුවන්ට මෙසේ ලිවීය. “නොචේරාහි ජනතාව වෙනුවෙන් ඔබ එවූ ආධාර සඳහා මම පෞද්ගලිකව මුළු හදින් ඔබට තුති පුදමි. එහි හැම වැසියෙකු තුළම තිබෙන හැඟීම එය බව මට සහතිකයි.” ඊට අමතරව, දේශීය කටයුතු අමාත්‍යාංශය මගින් කොන්ග්රෙගාට්සියෝනේ ක්‍රිස්ටියානා ඩේ ටෙස්ටිමෝනි ඩී ෂෙඕවා (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව) “ඉටු කළ සේවය හා අම්බ්‍රියා සහ මාෂ් ප්‍රදේශවල පැනනැඟි හදිසි තත්වයේදී උද්යෝගයෙන් කළ වැඩ සඳහා” කුසලතා සම්මානයක් හා පදක්කමක් පිරිනැමීය.
වර්ෂ 2000 ඔක්තෝබර් මාසයේදී, උතුරු ඉතාලියේ ඇති වූ ගංවතුර මගින් පියේමොන්තේ ප්‍රදේශය කුරිරු ලෙස යට කර දැමීය. නැවතත් සාක්ෂිකරුවෝ විගස ක්‍රියාත්මක වෙමින් සහන සේවා සැපයූහ. මෙම යහපත් ක්‍රියාද අන්‍යයන්ගේ දෙනෙතින් ගිලිහී නොයන ලදි. “ගංවතුරෙන් පීඩා විඳි පියේමොන්තේ ජනයාට අත හිත දෙමින් කළ අගනා ස්වේච්ඡා සේවය” වෙනුවෙන් ඔවුන්ට පියේමොන්තේ පළාතේ අධිකාරීහු ඵලකයක් පිරිනැමුවෝය.
යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාණන්ට] ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:16) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම අසල්වැසියන්ට ආත්මිකව හා වෙනත් ක්‍රමවලින් උදව් කරමින් සිදු කරන “යහපත් ක්‍රියා” මගින් තමන්ට නොව නමුත් දෙවිට ගෞරවය ලබා දෙති.