“පොළොවේ සීමාව දක්වා” යෑමට තවත් මිෂනාරි පිරිසක් ගිලියද් වෙතින්
ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැල දැන් අඩ සියවසක් පුරා මිෂනාරිවරුන්ව දස දෙස යවා තිබෙනවා. වසර 1999 සැප්තැම්බර් 11වන දින එසේ උපාධි ලැබුවේ ගිලියද්හි 107වන පංතියයි. රටවල් 11කින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 48දෙනෙකුගෙන් සමන්විත වූ ඒ පංතිය, විවිධ රටවල් 24ක සේවය කිරීමට පැවරුම් ලැබුවා. දැනටමත් සේවය කරමින් සිටින මිෂනාරිවරුන් දහස් ගණන හා එක්වීමේ අපේක්ෂාවෙනුයි ඔවුන් සිටින්නේ. යේසුස් තම ගෝලයන් ගැන පුරෝකථනය කළේ ඔවුන් “පොළොවේ සීමාව දක්වා [ඔහුගේ] සාක්ෂිකාරයෝ” වන බවටයි. (ක්‍රියා 1:8) ඔහුගේ ස්වර්ගාරෝහණයට කලින් පැවසූ එම අවසන් වදන් ඉටු කිරීමට මේ මිෂනාරිවරුන් බෙහෙවින් දායක වන බව පැවසිය හැකියි.
උපාධි ප්රදානය කිරීමේ වැඩසටහන, නියූ යෝක්හි පැටසන්වල ඉතා රමණීය පරිසරයක පිහිටි මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයෙහි පවත්වනු ලැබුවා. එය මොනතරම් උත්කර්ෂවත් අවස්ථාවක් වූවාද! උපාධි ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ කළේ ඒ අවස්ථාවට ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් සහ වෙනත් අමුත්තන්ගේ පැමිණීමයි. බෘක්ලින් සහ වෝල්කිල් සංකීර්ණවල ශ්‍රව්‍ය සහ වීඩියෝ සම්බන්ධතා ආධාරයෙන් වැඩසටහනට සහභාගි වූ තවත් පිරිසක්ද සිටියා. එමනිසා පැමිණි මුළු සංඛ්‍යාව 4,992ක් වුණා.
යෙහෝවාටත් අසල්වැසියාටත් විශ්වාසවන්ත සේවයක් පිරිනමන්න
“යෙහෝවාගේ පැත්තේ සිටින්නේ කවුද?” පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම උපාධි ප්‍රදාන වැඩසටහනේ සභාපති වශයෙන් කටයුතු කළ කේරි බාබර්ගේ හැඳින්වීමේ කතාවේ තේමාව වූයේ එයයි. මෝසෙස්ගේ කාලයේ සිටි ඉශ්රායෙල්වරුන්ට මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වූ බව ඔහු පැහැදිලි කළා. ඉශ්රායෙල්වරුන් බොහෝදෙනෙකු යෙහෝවාගේ පැත්තෙහි පක්ෂපාතව රැඳී නොසිටි නිසා, පාළුකරයෙහිදී ඔවුන්ගේ දිවි කෙළවර වූ බව උපාධි ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පැමිණ සිටි අයට මතක් කරනු ලැබුවා. රූප නමස්කාරයේ උගුලට හසුවීමෙන් අනතුරුව, ඔවුන් ‘කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැඟිට’ විනාශකාරි ප්‍රතිඵල අද්දුටුවා. (නික්මයාම 32:1-29) එම අන්තරාව ගැනම යේසුස් ක්‍රිස්තියානීන්ටත් අනතුරු ඇඟවීමක් දුන්නා: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.”—ලූක් 21:34-36.
ලේඛන අංශයේ සේවය කරන ඊළඟ කථිකයා වන ජීන් ස්මෝලි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මෙම ප්රශ්නය ඇසුවා: “ඔබ පැරගොරික් එකක් සේ කටයුතු කරනු ඇද්ද?” පැ·ර·ගො·රිʹයා නමැති ග්‍රීක් වචනය ඉංග්‍රීසි භාෂාවේ යොදාගෙන ඇත්තේ ඇඟපත වේදනාව තුනී කිරීමට ගන්නා බෙහෙතක නමක් වශයෙනුයි. කෙසේවෙතත්, ප්‍රේරිත පාවුල් මෙම ප්‍රබල ග්‍රීක් වචනය කොලොස්සි 4:11හි පාවිච්චි කළේ තම හවුල් සේවකයන්ව විස්තර කිරීමටයි. නව ලෝක පරිවර්තනයට අනුව මෙම වචනය පරිවර්තනය කර ඇත්තේ “ශක්තිය සපයන ආධාරකයක්” ලෙසයි.
උපාධි ලබන මිෂනාරිවරුන් තම පැවරුම් ඉටු කරද්දී දේශීය සහෝදර සහෝදරියන්ට ශක්තිය සපයන ආධාරකයක් ලෙස නිහතමානීව සහ යටහත් පහත් ආකාරයකින් කටයුතු කළ යුතුයි. සෙසු මිෂනාරිවරුන් සමඟ ඇසුරු කරද්දීත් සහයෝගී මෙන්ම ප්‍රේමනීය ස්වභාවයක් විදහාපෙන්විය යුතුයි. එසේ කළොත් ඔවුන් නවීන දින ශක්තිය සපයන ආධාරක ගණයෙහිලා සැලකිය හැකි බවට සැකයක් නැහැ.
ඊළඟ කථිකයා වන පාලක මණ්ඩලයේ සාමාජික ඩැනියෙල් සිඩ්ලික්, “අපගේ දිවියට මඟ පෙන්විය යුතු රන් අණ” යන විෂය ගැන කතා කළා. මතෙව් 7:12හි “මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න” යන අගනා ප්‍රතිපත්තියට කුමක් ඇතුළත්ද කියා ඔහු පැහැදිලි කළා. එයට ඇතුළත් වන්නේ අනුන්ට හිරිහැර කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව, නමුත් ඔවුන් උදෙසා ක්‍රියාශීලීව යහපත් දේ කිරීමයි.
මෙය සාර්ථකව කිරීමට නම් දේවල් තුනක් අවශ්‍යයි. එනම් කිසිවක් අවධානයෙන් ගිලිහී නොයන ඇසක්, සානුකම්පිත හදවතක් සහ සහයෝගයෙන් ඔබේ අතහිත දීම යන ඒවායි. සමාලෝචනයක් කරමින් ඔහු මෙම අදහස් දැක්වූවා: “අතහිත දීමට ආශාවක් ඇති වෙනවා නම්, වහාම ගොස් ඔබේ සහයෝගය දෙන්න. අනුන් අපිට යම් හොඳ දෙයක් කරනවාට අපි ආසා වගේම, ඒ දේම ඔවුන් වෙනුවෙන් කරන්න අපි විශේෂ වෑයමක් දැරිය යුතුයි.” සැබෑ ක්‍රිස්තු ධර්මය අනුව ජීවත් වීමට ජනයාට උපකාර කිරීමේ අටියෙන් වෙනත් රටවලට යන මිෂනාරිවරුන්ට මෙම ගතිලක්ෂණ තිබිය යුතුමයි.
උපදේශකවරුන්ගෙන් ප්‍රේමනීය සිහිගැන්වීම්
“දිගටම වර්ධනයක් ලබන්න” යන මැයින් උපාධි ලබන මිෂනාරිවරුන්ට දිරිගැන්වීම සපයන්න ඉදිරිපත් වූයේ ගිලියද් උපදේශ කාල් ඇඩම්ස්. වර්ධනය ලැබිය හැක්කේ මොන පැතිවලින්ද? මුලින්ම, දැනුම සහ එය දක්ෂ ලෙස යොදාගැනීමේ හැකියාවෙනුයි. ගිලියද් පාසැලේදී, බයිබල් වාර්තාවල පසුබිම ආදිය දැනගැනීමට ගවේෂණය කරන ආකාරය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනගත්තා. ඒ සෑම වාර්තාවක්ම ඔවුන්ගේ දිවියට බලපෑ යුතු ආකාරය සලකා බැලීමටද ඔවුන් දිරිගැන්වීමක් ලැබුවා. එම ක්‍රියා කලාපය අත් නොහැරීමට ඔවුන්ට උනන්දු කරනු ලැබුවා.
“දෙවන එක තමයි ප්‍රේමයෙන් දිගටම වර්ධනය වීම. ප්‍රේමයට හොඳ පෝෂණයක් ලැබුණොත්, ඒක දිගටම වර්ධනය වෙනවා. ඒක අතපසු කළොත්, ඒක හීන වෙන්න පුළුවන්” කියා සහෝදර ඇඩම්ස් පැවසුවා. (පිලිප්පි 1:11) මිෂනාරිවරුන් ලෙස වෙනස් තත්වයන් යටතේ ප්‍රේමයෙන් වර්ධනයක් ලබාගැනීමට ඔවුන්ට සිදු වෙනවා. තුන්වෙනුව, ‘අපගේ ස්වාමි වූ ගැළවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාවෙහිද ඔහුව දැනගැන්මෙහිද වර්ධනය වීමයි.’ (2 පේතෘස් 3:18) “යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා පෙන්වා ඇති පුදුමාකාර කරුණාව ගැනයි අපි කතා කරන්නේ. ලබන්න නොවටිනා තරම් වූ ඒ කරුණාව සඳහා අපගේ අගය වැඩි වෙද්දී, දෙවිගේ කැමැත්ත කිරීමෙන් සහ අපට පවරා ඇති දේ කිරීමෙන් ලබන සතුට වැඩි වෙනවා” කියා කථිකයා ප්‍රකාශ කළා.
තවත් ගිලියද් උපදේශකයෙක් වන මාර්ක් නූමෑගේ කතාවේ තේමාව වූයේ “ප්‍රේමයෙන් භාරගත්තා නම් එය දරාගැනීමට ඔබට හැක” යන්නයි. ඔහු මෙම අවවාදය ඉදිරිපත් කළා: “මිෂනාරි ජීවිතයේ මුහුණ දෙන්න වෙන අභියෝගයන් ප්‍රේමයෙන් භාරගන්න ඉගෙනගත්තොත් ඒවා දරාගන්නත් පුළුවන් වෙයි. යෙහෝවා හික්මවීමක් දෙන්නේ තමන් ප්‍රේම කරන අයට විතරයි. ඔබට ලැබෙන යම් උපදෙස්, අසාධාරණයි, අනවශ්‍යයි එහෙම නැත්නම් සෑම සුළු සුළු දෙයක්ම හාරා අවුස්සනවා කියා හැඟුණත්, ඒවා දරාගැනීමට ඔබට උපකාර කරන්න යන්නේ යෙහෝවාට තිබෙන ප්‍රේමය සහ ඔහුත් එක්ක ඔබට තිබෙන සම්බන්ධතාවයි.”
මිෂනාරි සේවයට බොහෝ වැඩ කටයුතු ඇතුළත් වන බව සහෝදර නූමෑ පෙන්වා දුන්නා. “හැබැයි ප්‍රේමයක් නැතුව ඒ වැඩ කටයුතු කරන්න ගියොත් ඔබට තෘප්තියක් ලැබෙන එකක් නැහැ. ප්‍රේමයක් නැත්නම් කෑම පිළියෙළ කිරීම, සාප්පු යෑම, පලතුරු ශුද්ධ පවිත්‍ර කිරීම, වතුර උණු කිරීම වැනි වැඩ කටයුතු ලොකු බරක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා ‘මම මේ දේවල් කරන්නේ ඇයි’ කියලා ඔබෙන්ම ඇසීම වැදගත්. ‘මගේ උත්සාහය මගේ සෙසු මිෂනාරිවරුන්ගේ සුවයට සහ සතුටට දායක වෙනවා’ කියා හිතුවොත්, ඒවා දරාගන්න එක එතරම් අමාරු වෙන එකක් නැහැ.” ඔහුගේ අවසන් වදන් වශයෙන් මෙම දිරිගැන්වීම ඇතුළත් කළා. “හික්මවීමක් පිළිගැනීමට, මිෂනාරි සේවයේ ඔබට තිබෙන යුතුකම් ඉටු කිරීමට සහ එකඟ නොවීම් නිරවුල් කරගැනීමට සිදු වුණත්, ඒ සියල්ල ප්‍රේමයෙන් භාරගන්නා තරමට ඔබේ පැවරුමෙහි විඳදරාගන්න එක පහසු වෙයි. ‘ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.’”—1 කොරින්ති 13:8.
ඊළඟට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවට සභාවන් සමඟ සේවය කරද්දී ලැබූ හොඳ අද්දැකීම් කිහිපයක් නිරූපණය කිරීම සඳහා, ගිලියද් උපදේශ වොලස් ලිවරන්ස්ගේ මෙහෙයවීම යටතේ කොටසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගේ සේවය ගෙයින් ගෙට සේවයට පමණක් සීමා වුණේ නැහැ. ඔවුන් ගරාජවල, රෙදි සෝදන ප්‍රසිද්ධ ස්ථානවල, දුම්රිය පොළවල්වල සහ වෙනත් ස්ථානවල ජනයාව සෙවීමට තම මිෂනාරි පුහුණුව යොදාගත්තා.
පළපුරුදු මිෂනාරිවරුන්ගෙන් දිරියක්
අලුත් මිෂනාරිවරුන් විදෙස් රටකට ගොඩ බසිද්දී යම් බියක් සැකයක් දැනීමට හේතු තිබෙනවාද? විදේශ පැවරුමකට සම්බන්ධ අභියෝගයන්වලට මුහුණ දෙන්න ඔවුන්ට පුළුවන් වෙයිද? මෙම නවක මිෂනාරිවරුන්ට සාර්ථක ප්‍රතිඵල නෙළාගන්න ශාඛා කාර්යාලවලින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? මේ හා සම්බන්ධ විවිධ ප්‍රශ්නවලට උත්තර ලබා දීමේ අටියෙන් මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයෙහි ශාඛා කාර්යාල පාසැලට සහභාගි වෙමින් සිටින සහෝදරයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවනු ලැබුවා. සම්මුඛ සාකච්ඡා මෙහෙයවනු ලැබුවේ සේවා අංශයේ ස්ටීවන් ලෙට් සහ ලේඛන අංශයේ ඩේවිඩ් ස්ප්ලේන් යන දෙදෙනා විසිනුයි. සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ සහෝදරයන්, ස්පාඤ්ඤය, හොං කොං, ලයිබීරියාව, බෙනින්, මැඩගැස්කරය, බ්‍රසීලය සහ ජපානයෙහි ශාඛා කමිටුවලයි සේවය කරන්නේ.
යෙහෝවාගේ මෙම සේවකයන්ට බොහෝ අද්දැකීම් තිබුණා. කිහිපදෙනෙකුම දශක කිහිපයක් පුරා මිෂනාරිවරුන් ලෙස සේවය කර තිබෙනවා. උපාධි ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම පැමිණ සිටි ඔවුන්ගේ දෙමාපියන් සහ නෑදෑයන්ගේ බිය සැක දුරු කිරීමට ඔවුන් සමත් වුණා. ඔවුන්ගේ මෙන්ම සෙසු මිෂනාරිවරුන්ගේ අද්දැකීම් පාවිච්චි කරමින්, ගැටලු සහ කනස්සලු වීම්වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියා ඔවුන් හොඳ හැටි පෙන්නුම් කළා. ලොකු ගැටලුවක් තිබුණත්, “එය විසඳාගන්න පුළුවන්. සමිතියත් අපිට උපකාර කරනවා” කියා මැඩගස්කරයේ මිෂනාරිවරයෙක් වන රයිමෝ ක්වෝකනෙන් පැවසුවා. දැන් බ්‍රසීලයේ සේවය කරන ඕස්ටන් ගස්ටාව්සෝන් කිව්වේ “අපි අපේ පැවරුම තෝරාගත්තේ නැහැ. ඒක අපිට ලැබුණා. ඒ හින්දා ඒ පැවරුමෙහි නොකඩවා රැඳී සිටින්න අපි තීරණය කළා” කියායි. ජපානයෙහි සේවය කරමින් සිටින ජේම්ස් ලින්ටන්ගේ අදහස වූයේ “මිෂනාරි පැවරුමක සෑහෙන කාලයක් සේවය කරමින් සිටි සහෝදරයන් සිටීම” තමාට උපකාරයක් වූ බවයි. ඇත්තෙන්ම මිෂනාරි සේවය කියන්නේ යෙහෝවාට සේවය කරන්න සහ ඔහුගේ බැටළුවන් බලා කියාගන්න තිබෙන සතුට සහ තෘප්තිය ගෙන දෙන මාර්ගයක්.
ආත්මිකත්වය නැති කර දමන වසංගතය මඟහැරීම
අවසන් කතාවේ තේමාව වුණේ “ආත්මිකව අවදියෙන් සිටීමේ අභියෝගය” යන්නයි. එය ඉදිරිපත් කළේ 1946දී පැවැත්වූ 7වන ගිලියද් පංතියෙන් උපාධි ලැබූ පාලක මණ්ඩලයේ සාමාජික තියඩෝ ජැරැස් විසිනුයි. ලෝකයේ නොයෙක් තැන්වල ඉතා භයානක දේවල් සිදු වුණත්, මනුෂ්‍යවර්ගයා ඊටත් වඩා දරුණු විපත්තිවලට හසු වන බව ඔහු ගෙනහැරපෑවා.
අනූඑක්වන ගීතිකාවට යොමු දක්වමින්, අප වටා සිටින දශලක්ෂ ගණනකට ආත්මික අර්ථයකින් පහර දී මරා ඇති “වසංගත” සහ “විනාශ” මොනවාද කියා සහෝදර ජැරැස් පැහැදිලි කළා. යක්ෂයා සහ ඔහුගේ දුෂ්ට පිළිවෙළ ලෞකික ප්‍රඥාව සහ ද්‍රව්‍යවාදය මත පදනම් වසංගතයක් බඳු වහසි බස් යොදාගෙන ඇත්තේ ආත්මික වශයෙන් ජනයාව බෙලහීන කර මරා දැමීමටයි. එනමුත් ‘මහෝත්තමයාගේ [සුරක්ෂිත] ස්ථානයෙහි වසන තැනැත්තා’ මෙම වසංගතයෙන් පහර නොලබන බව යෙහෝවා අපට සහතිකවම පොරොන්දු වෙයි.—ගීතාවලිය 91:1-7.
“නිරෝගී ඇදහිල්ලක් තබාගන්න එකත්, සුරක්ෂිත ස්ථානයෙහි රැඳී සිටින එකත් අභියෝගයක්” කියා සහෝදර ජැරැස් පැවසුවා. “‘ආත්මිකත්වයක් නැති’ සරදම්කරන්නන් මෙන් වීමට අපට බැහැ. මෙය නම් අදදින තිබෙන ගැටලුවක්. සංවිධානයේ සිටින අපි සියලුදෙනාටම ඒකට මුහුණ දෙන්න වෙනවා. ඔබත් ඔබේ මිෂනාරි පැවරුමේදී එවැනි දෙයකට මුහුණ දෙන්න පුළුවන්. (යූද් 18, 19, NW) කෙසේවෙතත්, ඔවුන්ගේ පැවරුම් තුළ ආත්මිකත්වය සාර්ථකව පවත්වාගෙන යෑමට පුළුවන් කියා උපාධි ලබන මිෂනාරිවරුන්ට කියනු ලැබුවා. නිදසුනකට, රුසියාවේ, ආසියාවේ සහ අප්‍රිකානු රටවල තහනම්, දැඩි පීඩා, සරදම්, අදේවවාදයට පක්ෂව දොඩන වහසි බස් සහ බොරු චෝදනා මැද විඳදරාගනිමින් සිටින අපගේ සහෝදරයන් ගැන සලකා බැලීමට ඔවුන්ට උනන්දු කළා. තවද වාර්ගික ගැටුම් සහ ආහාර හිඟකම් නිසා ද්‍රව්‍යමය ගැටලුද බොහෝ අවස්ථාවලදී පැනනඟිනවා.
ආත්මිකත්වය දුර්වල වන අවස්ථාවන්හිදී, “ගැටලුවට හේතුව මොකක්ද කියා හඳුනාගෙන, දෙවිගේ වචනයෙහි උපදෙස් පාවිච්චි කරමින් ඒක හරිගසන්න උත්සාහ කරන්න අවශ්‍යයි.” බයිබල් ආදර්ශ කිහිපයක්ද සඳහන් කළා. යෝෂුවාට දිරිගන්වනු ලැබුවේ ව්‍යවස්ථාවේ තම පිටපතෙන් දිනපතා හීන් හඬින් කියවන්නයි. (යෝෂුවා 1:8) ව්‍යවස්ථා පොත යොෂියාගේ කාලයේ සොයාගත් විට, එහි උපදෙස් විශ්වාසවන්තව අදාළ කිරීමට දැරූ වෑයමට යෙහෝවා ඔහුගේ ආශීර්වාද වැගිරෙව්වා. (2 රාජාවලිය 23:2, 3) තිමෝති ශුද්ධ ලියවිලි බිළිඳු වයසේ පටන් දැන සිටියා. (2 තිමෝති 3:14, 15) බෙරීයවරුන් හොඳින් සවන් දුන්නා පමණක් නොව, ශුද්ධ ලියවිලි දිනපතා පරීක්ෂා කළ නිසා වඩාත් “උතුම්” අය ලෙස සලකනු ලැබුවා. (ක්‍රියා 17:10, 11) තවද දෙවිගේ වචනය දැන භාවිත කළ ආදර්ශවත් අයගෙන් ඉදිරියෙන්ම සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්.—මතෙව් 4:1-11.
අවසන් වශයෙන් සහෝදර ජැරැස් අලුත් මිෂනාරිවරුන්ට මෙම අවවාද දුන්නා: “ඔබේ මිෂනාරි පැවරුම ඉටු කරන්න දැන් ඔබ සූදානම්. දැන් ඔබ රටවල් කිහිපයකට යනවා. හරියට බයිබලයෙහි සඳහන් ආකාරයට පොළොවේ සීමා දක්වා. ආත්මිකව අවදිව සිටීමේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දුන්නොත්, කරන්න අධිෂ්ඨාන කරගෙන තිබෙන දෙයින් නොමඟ යවන්න අපි කිසිම දෙයකට ඉඩ දෙන්න යන්නේ නැහැ. ජ්වලිතව දේශනා කරන්න. ඔබේ ඇදහිල්ල අනුකරණය කරන්න අන්‍යයන් තුළ පෙලඹීමක් ඇති කරන්න. එහෙම කළොත්, අපට සිද්ධ වී ඇත්තාක් මෙන්, යෙහෝවාගේ උපකාරයෙන් ඔබ උගන්වන අයටත් සත්‍යය තුළින් නව ජීවයක් ලැබෙයි. ඒ අප සැමගේ යාච්ඤාව වනවාට සැකයක් නැහැ. මෙයාකාරයෙන් තවත් බොහෝදෙනෙක් ලොව පුරා පැතිර ඇති ආත්මික විපත්තියෙන් ගැළවෙන්න යනවා. යෙහෝවාගේ කැමැත්ත කිරීමට ඔවුන් අපිට තව තවත් එකතු වෙයි. ඒ අරමුණ ඉටු කිරීමට යෙහෝවාගේ ආශීර්වාද ඔබ සැමට ලැබේවා!”
සභාපති ලෝකයේ රටවල් කිහිපයකින් ලැබූ ශුභපැතුම් කියෙව්වායින් පසු, උපාධි ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ උපාධි ප්රදානය කිරීමේ අවස්ථාව පැමිණුණා. අනතුරුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් සකස් කළ උණුසුම් අගය ප්‍රකාශ කරන ලිපියක් කියවනු ලැබුවා. ලැබූ විශේෂ පුහුණුව සම්බන්ධයෙනුත්, “පොළොවේ සීමාව දක්වා” මිෂනාරිවරුන් වශයෙන් සේවය කිරීමට ලැබූ පැවරුම් සම්බන්ධයෙනුත් යෙහෝවා සහ ඔහුගේ සංවිධානයට ඔවුන්ගේ හදවත් තුළ නැඟුණේ මොනතරම් කෘතඥතාවක්ද!—ක්‍රියා 1:8.
[29වන පිටුවේ කොටුව]
පංති සංඛ්‍යා ලේඛන
නියෝජිත රටවල් සංඛ්‍යාව: 11
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 24
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
විවාහක යුවළයන් සංඛ්‍යාව: 24
වයස් සාමාන්‍යය: 34
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 17
පූර්ණ-කාලීන සේවයෙහි සිටි අවුරුදු සාමාන්‍යය: 12
[26වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 107වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
1. පෙරාල්ටා, සී.; හොලන්බෙක්, බි.; ෂෝ, ආර්.; හසාන්, එන්.; මාටින්, ඩී.; හචින්සන්, ඒ. 2. එඩ්වඩ්ස්, එල්.; වීසර්, ටී.; සෙරූටි, කියූ.; එන්ට්ස්මිංගර්, ජී.; ඩැලෝඉස්, එල්.; බග්ලියේරි, එල්. 3. නයිට්, පී.; ක්‍රවුස, ඒ.; කසුස්කි, ඩී.; රෝස්, එම්.; ෆ්රීඩ්ල්, කේ.; නියෙටෝ, ආර්.; 4. රෝස්, ඊ.; බැකස්, ටී.; ටැලි, එස්.; හම්බර්ට්, ඩී.; බේර්න්හාර්ඩ්ට්, ඒ.; පෙරාල්ටා, එම්. 5. ඩැලෝඉස්, ඒ.; හම්බර්ට්, ඩී.; ඩන්, එච්.; ගැට්ලිං, ජී.; ෂෝ, ජේ.; සෙරූටි, එම්. 6. බග්ලියේරි, එස්.; ක්‍රවුස, ජේ.; හොලන්බෙක්, ටී.; මාටින්, එම්.; බේර්න්හාර්ඩ්ට්, ජේ.; හචින්සන්, එම්. 7. බැකස්, ඒ.; ඩන්, ඕ.; ගැට්ලිං, ටී.; වීසර්, ආර්.; නයිට්, පී.; හසාන්, ඕ. 8. නියෙටෝ, සී.; ටැලි, එම්.; ෆ්රීඩ්ල්, ඩී.; කසුස්කි, ඒ.; එඩ්වඩ්ස්, ජේ.; එන්ට්ස්මිංගර්, එම්.