පෙරදිගටත් නත්තල්?
නත්තලට සම්බන්ධ නත්තල් සීයාගෙන් ඉපැරණි පෙරදිග විශ්වාසයක් මතකයට නැඟේ. එය චොවාන්ෂිං කියා කෙනෙකු කෙරෙහි කොරියානු ජාතිකයන් දක්වන විශ්වාසය වන අතර ඇතැම් චීන හා ජපන් අය අතරත් එවැනිම විශ්වාසයක් තිබෙන බව දැකිය හැකියි.
චොවාන්ෂිංව සලකනු ලැබුවේ මුළුතැන්ගෙයට අධිපති දෙවියෙක්, එනම් ගින්න නමස්කාරයේලා සැලකූ ඉපැරණි කොරියානු නමස්කාරයට සම්බන්ධ වූ ගිනි දෙවියෙක් ලෙසයි. (පුරාණ කාලවලදී, කොරියානු ජාතිකයන් ගිනි අඟුරු පරෙස්සමින් ප්‍රවාහණය කළේ ඒවා කොහොමටවත් නිවී යෑමට ඉඩ නොතබමිනුයි.) මේ දෙවියා වසරක් පුරා පවුලේ සාමාජිකයන්ගේ හැසිරීම කෙරෙහි විමසිලිමත්ව සිට, පසුව මුළුතැන්ගෙයි පෝරණුවෙන් හා දුම්කවුළුවෙන් ස්වර්ගයට නැඟී ගිය බවට විශ්වාස කළා.
චන්ද්‍ර මාසයේ දෙසැම්බර් 23වනදා චොවාන්ෂිං ස්වර්ගයේ රජ වෙත ගොස් වාර්තාව දුන් බව කියවේ. බලාපොරොත්තුව වුණේ, එක් එක්කෙනාගේ හැසිරීමට අනුව තෑගි හා දඬුවම් රැගෙන දුම්කවුළුව හා පෝරණුව තුළින් වසර අවසානයේදී ඔහු යළිත් පැමිණෙන බවයි. ඔහු යළි පැමිණෙන දිනයේදී, පවුලේ සාමාජිකයන් මුළුතැන්ගෙයි හා නිවසේ වෙනත් තැන්වල ඉටිපන්දම් දල්වා තැබිය යුතු වුණා. මුළුතැන්ගෙයි දෙවියාගේ පින්තූරුවලින් නත්තල් සීයාට සමාන තවත් දෙයක් දැක්වෙයි; එනම් ඔහුව ඇඳ තිබුණේ රතුපාටිනුයි! එමෙන්ම ලේලිය විසින් කොරියානු සාම්ප්‍රදායික මේස් කුට්ටමක් ගෙතීමත්, සූර්ය නිවර්තනයේදී ඒවා නැන්දම්මාට දීමත් සිරිතක්ව තිබුණා. එම දිනයෙන් පසුව දවස් දීර්ඝ වන බැවින්, නැන්දම්මා දිගු කලක් ජීවත් වේවිය යන ඇගේ ප්‍රාර්ථනය එයින් සංකේතවත් වූවා.
ඉහත සඳහන් කරුණු හා නත්තල අතරේ යම් සමානතාවන් තිබෙන බව ඔබට පෙනෙන්නේ නැද්ද? ඒ දෙකටම පොදු මෙවැනි කතන්දර හා සිරිත් විරිත් තිබේ: දුම්කවුළුව, ඉටිපන්දම්, තෑගි දීම, මේස්, රතු ඇඳුමෙන් සැරසුණු මහලු මනුෂ්‍යයෙක් හා එකම දිනය යන ඒවායි. එහෙත්, කොරියාව මගින් නත්තල පහසුවෙන්ම භාරගැනීමට දායක වී තිබෙන්නේ එවැනි සමානතා පමණක්ම නොවේ. නත්තල මුල් වතාවට කොරියාවට හඳුන්වා දුන් කාලයේදීම චොවාන්ෂිං කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන්ම වගේ වියැකී ගොස් තිබුණා. ඇත්තවශයෙන්ම, අදදින කොරියානුවන්ගෙන් වැඩිදෙනෙක් එවැනි විශ්වාසයක් පැවතුණාද කියාවත් නොදනියි.
කෙසේනමුත්, සිසිර සූර්ය නිවෘත්තිය හා වසරේ නිමාවට සම්බන්ධ වී තිබෙන සිරිත් විරිත් විවිධ මාර්ගවලින් ලොව පුරා පැතිර ගිය ආකාරය මෙයින් නිදර්ශනය කෙරේ. පොදු යුගයේ හතරවන සියවසේදී, රෝමානු අධිරාජ්‍යයේ පල්ලිය විසින් ඉරු දෙවිගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ මිථ්‍යාදෘෂ්ටික රෝම උත්සවය වන සැටනේලියා උත්සවයේ නම වෙනස් කර එය නත්තල හැටියට නම් කළා. මෙලෙස, සැඟවී ගිය ප්‍රාදේශීය සිරිත් විරිත් නත්තල් උත්සවය යන අලුත් නමකින් එළිදැක්කා. මෙය සිදු වූයේ කෙසේද?
තෑගි දීමේ සිරිත
තෑගි-දීම කවදාවත් වියැකී නොගිය එක් සිරිතක්. බොහෝ කලක් පුරා, තෑගි දීමෙන් හා ලැබීමෙන් කොරියානු ජාතිකයන් මහත් ආස්වාදයක් ලබාගෙන තිබෙනවා. මෙය කොරියාවේ නත්තල් උත්සවය ජනප්‍රිය වීමට එක හේතුවක් වී තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ජනයා සමඟ තම බැඳීම් ශක්තිමත් කරගැනීමට වුවමනා වූ, කොරියාවේ නැවතී සිටි එ.ජ. සොල්දාදුවන් තෑගි හා සහනාධාර බෙදා දීමට පල්ලි උපයෝගි කරගත්තා. විශේෂයෙන්ම මෙය සිදු වුණේ නත්තල් දිනයේදීයි. බොහෝ දරුවන් කුතුහලයෙන් යුතුව පල්ලිවලට ඇතුල් වූ අතර, එහිදී ඔවුන්ට ප්‍රථම වරට තෑගි වශයෙන් චොකලට් ලැබුණා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ඊළඟ නත්තල එන තෙක් දෑස් අයාගෙන සිටි බවට සැකයක් නැහැ.
එවැනි දරුවන් නත්තල් සීයාව දැක්කේ රතු හිම තොප්පියක් පැළඳගෙන සිටි අමෙරිකානු සොල්දාදුවෙක් හැටියටයි. හිතෝපදේශ 19:6 මෙසේ පවසයි: “තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය.” ඔව්, තෑගි දීම බෙහෙවින් ප්‍රයෝජනදායක බව ඔප්පු වුණා. නමුත් එවැනි තෑගි සදාකාල මිත්‍රත්වයක් සහතික නොකරන බව එම පදයෙන්ම ඔබට නිගමනය කළ හැකියි. කොරියාවේ පවා, තමන්ගේ කුඩා කාලයේදී චොකලට්වල රස බැලූ අද්දැකීමට වඩා වැඩි අද්දැකීමක් පල්ලියෙන් ලැබී නැති බොහෝදෙනෙක් සිටිනවා. එහෙත්, නත්තල අමතක වී නැහැ. කොරියාවේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයත් සමඟම වෙළඳ ව්‍යාපාරය වැඩිදියුණු වූ අතර, නත්තල් තෑගි දීම පාරිභෝගිකයන්ගේ මුදල් වියදම් කරවීම සඳහා පහසුම ක්‍රමයක් වුණා. ව්‍යාපාරයන් තම ලාභ වැඩි කරගැනීමට නත්තලෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.
එය ඔබට අදදින පෙරදිගෙහි පැවැත්වෙන නත්තල ගැන අවබෝධයක් ලබා දෙයි. නත්තල් සමයේදී වැළ නොකැඩී එන ජනයාව ඉලක්ක කරගනිමින්, අලුත් නිෂ්පාදන බිහි කෙරේ. නත්තලට මාස කීපයකට පෙර වෙළඳ දැන්වීම් සඳහා සැලසුම් යෙදීමට පටන්ගනියි. නත්තල් තෑගි, කාඩ් පත් හා සංගීත පටි අලෙවි වීම හේතුවෙන් වසර අවසානයේදී විකුණුම් ප්‍රමාණය ඉහළ යයි. ඇත්තෙන්ම, සාමාන්‍ය යෞවනයෙකුට නත්තලට තෑග්ගක් නොලැබී නිවසේ සිටින්න සිදු වුණොත් වෙළඳ දැන්වීම් මගින් දුක හිතෙන්න සලස්වන්නේ නැද්ද!
නත්තල් දින ළඟා වෙත්ම, තෑගි මිල දී ගැනීමට පැමිණෙන අයගෙන් සියොල්හි වෙළඳ සැල් හා සාප්පු සංකීර්ණ පිරී ඉතිරී යන අතර, වෙනත් පෙරදිග නගරවල තත්වය සම්බන්ධයෙන් කතන්දරයත් එසේමයි. වාහන තදබදය නිසා මාර්ග අවහිරතා ඇති වෙයි. හෝටල්, ව්‍යාපාරික ප්‍රදේශ, අවන්හල් හා රාත්‍රි සමාජශාලා අතුරු සිදුරු නැතුව සෙනඟගෙන් පිරී යයි. ඝෝෂාකාරි උත්සව හඬ හා ශබ්ද නඟා ගී ගැයෙන හඬ ඇසිය හැකියි. නත්තලට පෙර සැඳෑවේ, කුණු රොඩු පිරී තිබෙන පාරවල් පුරා බීමත් වූ ස්ත්‍රීන් හා පුරුෂයන් ඇවිදිමින් සිටිනවා දක්නට ලැබේ.
නත්තල කියන්නේ මේකටයි. පෙරදිගෙහි නත්තල තවදුරටත් නාමික ක්‍රිස්තියානීන් පමණක් පවත්වන නිවාඩු දිනයක් නොවෙයි. නිසැකවම, වෙනත් තැන්වල මෙන්ම කොරියාවෙත් ක්‍රිස්තියානි ලෝකයේ මෙම නිවාඩු දිනයෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ලබන්නේ වෙළඳ ව්‍යාපාරයයි. එසේනම්, ක්‍රිස්තුස්ට කොහෙත්ම සම්බන්ධයක් නැති නත්තලක් බිහිවීම සම්බන්ධයෙන් දොස් පැවරිය යුත්තේ වෙළඳ ව්‍යාපාරයට පමණක්මද? සැබෑ ක්‍රිස්තියානීන්, මීට සම්බන්ධව තිබෙන බරපතළ ප්‍රශ්නය ගැඹුරට ගවේෂණය කළ යුතුයි.
නත්තලේ මූලාරම්භය
සත්වෝද්‍යානයක සිටින කුරිරු සතෙක් කූඩු කළ පළියටම උගේ මෘග ගති පහ වී නොයයි. එලෙස ඌ යම් කලකට කූඩුවක, උගේ පැටවුන් සමඟ ප්‍රීතියෙන් සිටින නිසා ඌ හීලෑ වී ඇතැයි සිතීම ලොකු වැරදීමක්. සත්වෝද්‍යානයේ සේවකයන්ව හපා කෑම පිළිබඳ වාර්තා සමහරවිට ඔබ අසා තිබිය හැකියි.
නත්තල පැවැත්වීම සම්බන්ධයෙන් බැලුවොත්, යම් පැතිවලින් බොහෝදුරට එවැනිම දෙයක් තමයි සිදු වන්නේ. මුලදී එය ක්‍රිස්තු ධර්මයෙන් පිට ජීවත් වෙමින් සිටි “මෘගයෙක්.” ක්‍රිස්තියානි විශ්වකෝෂය (කොරියන් භාෂාවෙන්)a තුළ “රෝමානු සැටනේලියාවේ නෑයෙක්” යන උපමාතෘකාව යටතේ නත්තල සම්බන්ධයෙන් මෙවැන්නක් පවසයි:
“මිථ්‍යාදෘෂ්ටික සැටනේලියා හා බෘමේලියා උත්සව පැවැත්වීම මොනතරම් ගැඹුරට පැළපදියම් වූ ජනප්‍රිය සිරිතක්ව තිබුණාද කිවහොත්, ක්‍රිස්තියානි බලපෑමට ඒවා නතු කර නොගෙන සිටීමට හැකිකමක් තිබුණේ නැහැ. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා විසින් ඉරු දින (ඇපොලෝ සහ මිත්‍රාස්ගේ දිනය මෙන්ම ස්වාමීන්ගේ දිනය) පිළිගැනීම, . . . හතරවන සියවසේ ක්‍රිස්තියානීන්ට දේවපුත්‍රයාගේ උපන් දිනය භෞතික හිරු සමඟ සම්බන්ධ කිරීම යෝග්‍ය බව සිතීමට මඟ පෑදුවා වෙන්න පුළුවන්. ඝෝෂාකාර මෙන්ම විනෝද වන මෙම මිථ්‍යාදෘෂ්ටික උත්සවය මොනතරම් ජනප්‍රියව තිබුණාද යත්, මනසේ ආකල්පය හෝ චාරිත්‍රය සුළුවෙන් වෙනස් කර දිගටම එය පවත්වාගෙන යෑමට ක්‍රිස්තියානීන් සතුටු වුණා.”
කිසිම විරුද්ධත්වයක් නොමැතිව එවැනි දෙයක් සිදු විය හැකියි කියා ඔබ සිතනවාද? එම විශ්වකෝෂයේම මෙසේ පැවසේ: “අසීමිත හා නොහික්මුණු විනෝද වීම් ඇතුළත් කරගනිමින් ක්‍රිස්තුස්ගේ උපන් දිනය පැවැත්වූ ක්‍රමයට එරෙහිව අපරදිගෙහි හා මෑත පෙරදිගෙහි ක්‍රිස්තියානි දේශනාකරුවන් නැඟී සිටියා. මේ අතරතුර මෙසපොතේමියාවේ ක්‍රිස්තියානීන්, ඔවුන්ගේ අපරදිග සහෝදරයන් මෙම මිථ්‍යා උත්සවය ක්‍රිස්තියානි එකක් කරගැනීමෙන් රූපවන්දනාවට හා ඉරු දෙවි නමස්කාරයට වැටීම සම්බන්ධයෙන් චෝදනා කළා.” ඇත්තෙන්ම, පටන්ගැන්මේ සිටම යමක් වැරදී තිබුණා. “එහෙත් උත්සවයට ඉතා ඉක්මනින්ම පිළිගැනීමක් ලැබුණා. එය අන්තිමේදී මොනතරම් දැඩිව ස්ථාපිත වී තිබුණාදයත් හයවන සියවසේ රෙපරමාදු විප්ලවයට පවා එය ඉවත් කිරීමට නොහැකි වුණා” යයි විශ්වකෝෂය පවසයි.
ඔව්, සැබෑ ක්‍රිස්තු ධර්මයෙන් පිටත වූ ඉරු දෙවිගේ උත්සවයක් එවකට තිබූ පල්ලිය මගින් ඈඳගත්තා. එයට වෙනත් නමක් තිබුණත්, එහි මිථ්‍යා ස්වභාවය පහ වුණේ නැහැ. එමෙන්ම එය නාමික ක්‍රිස්තියානි සභාවලට මිථ්‍යාදෘෂ්ටික අදහස් කාවැද්දීමට හා පුද්ගලයන්ගේ ආත්මිකත්වය දූෂණය කිරීමට ඉවහල් වුණා. ක්‍රිස්තියානි ලෝකය වර්ධනය වෙද්දී, “සතුරාට ප්‍රේම කරන්න” යන මුල් ආකල්පය දරුණු යුද්ධවලට හා සදාචාරත්වය පිරිහීමට මාර්ගය විවෘත කළා.
කල් යත්ම, මෙම උත්සවය නත්තල යන ව්‍යාජ නමෙන් සැඟ වුණත් ඝෝෂාකාර උත්සව හඬ, අධික බීමත්කම, විනෝද වීම, නැටීම, තෑගි දීම හා සදාහරිත ගස්වලින් ගෙවල් සැරසීම ආදිය මගින් එහි මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භය පිළිබිඹු කළා. වෙළඳ ව්‍යාපාරයේ අවසාන ඉලක්කය වන වෙළඳාම් වැඩි කරගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම නත්තලෙන් ප්‍රයෝජන ලබාගෙන තිබේ. ජන මාධ්‍යයන් මගින් එය පැසසීමට ලක් වෙයි; මහජනයාට හුදු විනෝදයක් ලබා දෙයි. සියොල් නගරයෙහි, විශේෂයෙන් යට ඇඳුම් විකුණන වෙළඳ සැලක, වීදුරු තුළින් දිස් වෙන පරිදි යට ඇඳුම්වලින් පමණක් සරසා තිබුණු නත්තල් ගහක් සාදා තිබෙන අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලට ඉදිරිපත් කෙරුණා. එහි නත්තලේ ස්වභාවයක් දකින්න තිබුණත් ක්‍රිස්තුස්ව පිළිගැනීමේ” පෙනුමක් දකින්න තිබුණේ නැහැ.
නත්තල පිළිබඳ ශුද්ධ ලියවිලිමය අවබෝධය
නත්තලෙහි ඓතිහාසික පසුබිම හා එය වර්ධනය වී තිබෙන ආකාරය තුළින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? කමිසයක හෝ හැට්ටයක බොත්තම් මුල සිටම වැරදියට දමා තිබේ නම්, එය නිවැරදිව සකස් කිරීමට තිබෙන එකම ක්‍රමය වන්නේ නැවතත් මුල සිටම හරියට ඒවා දැමීමයි. එය සැබෑවක් නොවේද? එම සත්‍යය තිබියදීත් සමහරු තර්ක කරන්නේ, ඉරුට නමස්කාර කිරීමේ මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයන් තිබුණත්, ක්‍රිස්තියානි ලෝකය මගින් නත්තල පිළිගෙන තිබෙන බවයි. එබැවින් නිවාඩුව ක්‍රිස්තුස්ගේ උපන් දිනය වශයෙන් සලකමින් එය ශුද්ධ එකක් කර තිබෙන අතර අලුත් අර්ථයක් ඊට ගැබ් කර ඇති බව ඔවුන්ට හැඟෙයි.
පුරාණ යූදාහි සිදු වූ ඓතිහාසික සිද්ධියකින් අපට වටිනා පාඩමක් උගත හැකියි. යූදාවරුන් පො.යු.පෙ. 612දී යෙරුසලමේ දේවමාළිගාව තුළට මිථ්‍යා හිරු නමස්කාරය හඳුන්වා දෙනු ලැබුවා. එම මිථ්‍යා නමස්කාරය යෙහෝවා දෙවිගේ පිරිසිදු නමස්කාරය සඳහා කැප කර තිබෙන ස්ථානයෙහි සිදු වූ පළියට එය ශුද්ධත්වයෙහිලා ගැනේද? යෙරුසලමේ දේවමාළිගාවේ කෙරුණු හිරු නමස්කාරය පිළිබඳව බයිබල් ලේඛක එසකියෙල් මෙලෙස ලිව්වා: ‘මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ යෙහෝවාගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ යෙහෝවාගේ මාළිගාවට තමුන්ගේ පිටද නැඟෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැඟෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝය. එවිට ඔහු: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම් කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝප කරති. බලව, ඔව්හු අත්ත [මාගේ, NW] නාසයට අල්ලතියි. . . . මට කීවේය.’—එසකියෙල් 8:16, 17, 18ඇ.
ඇත්තෙන්ම, ඒ ආකාරයේ මිථ්‍යා නමස්කාරයක් ශුද්ධ තත්වයක් ඇති කරනවා වෙනුවට මුළු දේවමාළිගාවම අනතුරෙහි හෙළුවා. එවැනි ඇදහිලි ක්‍රම යූදා පුරා පැතිර ගොස් තිබුණ අතර, එම දේශයෙහි ප්‍රචණ්ඩත්වය පැවතීමටත්, සදාචාරය බිඳවැටීමටත් දායක වුණා. ක්‍රිස්තියානි ලෝකයෙත් එවැනිම දෙයක් සිදු වෙයි; එහි හිරුට නමස්කාර කිරීම හා බැඳි සැටනේලියා උත්සවයේ මුල් බැසගත් ඇදහිලි ක්‍රම නත්තලේදී එළිදකී. එසකියෙල් එම දර්ශනය දැක වසර කීපයක් ගත වූ පසු යෙරුසලමට දෙවිගේ විනිශ්චය පැමිණ, එය බබිලෝනිවරුන් අතින් විනාශයට පත්වීම සැලකිය යුතු කරුණක්.—2 ලේකම් 36:15-20.
කොරියානු ප්‍රවීණයෙක්, කුඩා යේසුස් සම්බන්ධයෙන් කලින් ලිපියේ කළ විස්තරය හාස්‍යජනක එකක් ලෙස ඔබට පෙනිය හැකියි. නමුත් සත්‍යය එයයි; ක්‍රිස්තුස් ගැන හරි දැනුමක් නැති පුද්ගලයෙකුගෙන් ලැබුණු එම ප්‍රතිචාරයෙහි සෑහෙන වලංගුතාවක් තිබේ. එය නත්තල පවත්වන ජනයාව බැරෑරුම් ලෙස කල්පනා කිරීමට සැලැස්විය හැකියි. මන්ද? නත්තල නිවැරදි ලෙස ක්‍රිස්තුස්ව නියෝජනය කිරීමට අසමත් වන නිසායි. ඇත්තවශයෙන්ම, එය ඔහු දැන් සිටින සැබෑ තත්වය පිළිබඳව දෙන්නේ වැරදි පින්තූරයක්. යේසුස් දැන් ගවඔරුවක සිටින බිළින්දෙක් නොවේ.
යේසුස් දැන් මෙසියස් බවත්, දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ බලවත් රජ බවත් බයිබලයේ යළි යළිත් හුවා දක්වා ඇත. (එළිදරව් 11:15) නත්තල් සමයේදී දිළිඳුන්ට හා දුකෙන් පෙළෙන්නන්ට සංග්‍රහ කිරීමට සමහරු අමතක කර නැහැ; නමුත් දිළිඳුකම හා දුක්ඛිතකම නැති කිරීමට යේසුස් සූදානමින් සිටී.
අවංකවම කියනවා නම්, නත්තල ක්‍රිස්තියානි ලෝකයේ දේශවලට හෝ පෙරදිග රටවල් ඇතුළු වෙනත් රටවලට හෝ කිසිම ප්‍රයෝජනයක් ලබා දී නැහැ. ඒ වෙනුවට එය, දේවරාජ්‍යය පිළිබඳ සැබෑ ක්‍රිස්තියානි පණිවිඩයෙන් හා වත්මන් දුෂ්ට පිළිවෙළේ අවසානයෙන් වෙනතකට යොමු කරවා ඇත. (මතෙව් 24:14) එම අවසානය පැමිණෙන ආකාරය ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. එපමණක්ද නොව, එවිට දේවරාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ හා පාලනය කරන රජු වන යේසුස් ක්‍රිස්තුස් යටතේ පොළොවෙහි තිබෙන්න යන සදාකාලික ආශීර්වාද ගැනත් ඔබට ඔවුන්ගෙන් ඉගෙනගත හැකියි.—එළිදරව් 21:3, 4.
[පාදසටහන]
a ආගමික දැනුම පිළිබඳ නව ෂාෆ්-හ’සෝක් විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මත පදනම්ය.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ක්‍රිස්තියානි සභාවලට නාමමාත්‍රිකව මිථ්‍යාදෘෂ්ටික අදහස් කාවැද්දීමට නත්තල ඉවහල් වුණා
[5වන පිටුවේ පින්තූරය]
බොහෝ දරුවන් කුතුහලයෙන් යුතුව පල්ලිවලට ඇතුල් වූ අතර ඔවුන්ට තෑගි වශයෙන් චොකලට් ලැබුණා. ඉන්පසු ඔවුන් ඊළඟ නත්තල එන තෙක් දෑස් අයාගෙන සිටියා
[7වන පිටුවේ පින්තූරය]
නත්තලට පෙර සැන්දෑවේ කොරියාවේ සියොල් නගරය
[8වන පිටුවේ පින්තූරය]
යේසුස් දැන් ගවඔරුවක සිටින බිළින්දෙක් නොවෙයි, දේවරාජ්‍යයේ බලවත් රජයි