යක්ෂයා අපව රෝගාතුර කරනවාද?
දෙවි අපව මැව්වේ පරිපූර්ණ ශරීර සෞඛ්‍යයක් ඇතුව සදාකාලයටම ජීවත් වීමට නිසා අසනීප කවදාවත් ඇති නොවිය යුතුව තිබුණා. මනුෂ්‍ය පවුලට හිංසා කිරීම සඳහා අසනීප, වේදනාව සහ මරණය ගෙනා සාතන් නමැති ආත්ම මැවිල්ලක් සිටියා. ඔහු මෙය කළේ අපේ පළමු දෙමාපියන් වන ආදම් සහ ඒවව පාපයට වැටීමට සැලැස්වූ විටයි.—උත්පත්ති 3:1-5, 17-19; රෝම 5:12.
ආත්ම ලෝකයේ මැදිහත් වීමෙන් ඇති වන ඍජු ප්‍රතිඵලයක් හැටියට අසනීප වැළඳෙන බව මෙයින් අදහස් වෙනවාද? කලින් ලිපියේ සඳහන් කළ ආකාරයට, අදදින බොහෝදෙනෙක් එසේ සිතනවා. සිඟිති ඔමාජිගේ ආච්චිත් එසේ සිතුවා. නමුත් ඇතැම් අවස්ථාවලදී, නිවර්තන කලාපවල වෙසෙන දරුවන්ට මාරාන්තික රෝගයක් වන ඔමාජිට වැළඳුණු පාචනය ඇත්තටම ඇතිවීමට සැලැස්වූයේ අදෘශ්‍යමාන ආත්ම විසින්ද?
සාතන්ගේ කාර්ය භාරය
බයිබලය මෙම ප්‍රශ්නයට ඉතාමත් පැහැදිලිව පිළිතුරු සපයනවා. ජීවත් වන අයට කිසිදු බලපෑමක් කිරීමට අපේ මුතුන් මිත්තන්ගේ ආත්මවලට නොහැකි බව පළමුවෙන්ම එය පෙන්වනවා. මනුෂ්‍යයන් මියයන විට, ‘ඔවුන් කිසිවක් නොදනියි.’ ඔවුන්ට මරණයේදී නැති නොවන ආත්ම නැහැ. ඔවුන් “වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් [නැති]” මිනිවළක නිදාගෙනයි සිටින්නේ. (දේශනාකාරයා 9:5, 10) මියගිය කෙනෙකුට, කිසිම ආකාරයකින් ජීවත්ව සිටින කෙනෙකුව අසනීප කරවන්න බැහැ!
කොහොමවුණත්, දුෂ්ට ආත්ම පවතින බව බයිබලය හෙළි කරනවා. මුළු විශ්වයෙන්ම පළමු කැරලිගසන්නා වූයේ දැන් සාතන් ලෙස හඳුන්වන ආත්ම මැවිල්ලයි. තවත් අය ඔහුට හවුල් වූ අතර, ඔවුන්ව භූතයන් ලෙස හැඳින්වූවා. සාතන් සහ භූතයන් මනුෂ්‍යයන්ට ලෙඩ රෝග ඇති කරයිද? ඔවුන් එසේ කර තිබෙනවා. යේසුස් ප්‍රාතිහාර්යමය ලෙස සිදු කළ ඇතැම් සුව කිරීම්වලට යක්ෂයන් දුරු කිරීමත් ඇතුළත් වුණා. (ලූක් 9:37-43; 13:10-16) ඒ වුණත්, යේසු සිදු කළ සුව කිරීම් බොහොමයක් ඍජුවම භූතයන් විසින් ඇති කළ ලෙඩ රෝග නෙවෙයි. (මතෙව් 12:15; 14:14; 19:2) ඒ හා සමානව අදදින, ලෙඩ රෝග වැළඳෙන්නේ ස්වාභාවික හේතූන් නිසා මිස, අද්භූත දේවල් නිසා නොවෙයි.
යකැදුරන් ගැන කුමක් කියන්න පුළුවන්ද? හිතෝපදේශ 18:10හි අපට මෙසේ සහතික කරනවා: “[යෙහෝවාගේ] නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” යාකොබ් 4:7හි මෙසේ පවසනවා: “යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.” ඇත්තෙන්ම, දෙවිට තම ඇදහිලිවන්තයන්ව යකැදුරන්ගෙන් සහ වෙනත් අද්භූත බලවේගයන්ගෙන් ආරක්ෂා කළ හැකියි. එය යේසුගේ මෙම වදන්වල ඇති එක් ඇඟවීමක් වෙනවා. එනම්: “සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.”—යොහන් 8:32.
‘යෝබ් ගැන කුමක් කියන්න පුළුවන්ද’ කියා ඇතමෙක් අසන්ට ඉඩ තිබෙනවා. ‘ඔහුව අසනීප කළේ දුෂ්ට ආත්මයක් නොවෙයිද?’ ඔව්, යෝබ්ගේ රෝගයට හේතු වූයේ සාතන් බව බයිබලය පවසනවා. නමුත් යෝබ්ගේ තත්වය සාමාන්‍ය එකක් වූයේ නැහැ. යෝබ්ට දිගු කාලයක් පුරා ඍජු ලෙස එල්ල වූ භූත ප්‍රහාරවලට එරෙහිව දිව්‍ය ආරක්ෂාව තිබුණා. ඉන්පසු සාතන් යෙහෝවාට අභියෝග කළේ යෝබ්ට පහර දෙන ලෙසයි. මෙයට බරපතළ වාද විෂයන් සම්බන්ධව තිබුණා. එනිසා, මේ සිද්ධියේදී, යෙහෝවා තම නමස්කාරකයාගෙන් තමා සැපයූ ආරක්ෂාව යම් තාක් දුරකට ඉවත් කරගත්තා.
කොහොමවුණත්, දෙවි සීමාවන් තැබුවා. යෝබ්ට පීඩා කිරීම සඳහා දෙවි සාතන්ට ඉඩ දුන් විට, යම් කාලයකට යෝබ්ව රෝගාතුර කිරීමට සාතන්ට හැකි වුණත්, ඔහුව මරණයට පත් කිරීමට හැකි වුණේ නැහැ. (යෝබ් 2:5, 6) අවසානයේදී, යෝබ්ගේ දුක් විඳීම නිමා වූ අතර, ඔහුගේ අඛණ්ඩතාව වෙනුවෙන් යෙහෝවා ඔහුට මහත් සේ ආශීර්වාද කළා. (යෝබ් 42:10-17) යෝබ්ගේ අඛණ්ඩතාව තුළින් ඔප්පු වූ සත්‍යයන් සියලුදෙනාටම සාක්ෂියක් පිණිස, බොහෝ කලකට පෙර බයිබලයේ වාර්තා කර තිබුණා. එනිසා, එවැනි පරීක්ෂණයක් තවත් අවශ්‍ය වන්නේ නැහැ.
සාතන් ක්‍රියා කරන්නේ කොහොමද?
සෑම සිද්ධියකදීම වගේ, සාතන් සහ මනුෂ්‍ය ලෙඩ රෝග අතර තිබෙන එකම සම්බන්ධතාව වන්නේ, සාතන් පළමු මනුෂ්‍ය යුවළව පෙලඹවූ බව සහ ඔවුන් පාපයට වැටුණා යන කාරණයයි. සාතන් සහ ඔහුගේ භූතයන් සිදු වන සෑම විපතකටම කෙළින්ම දායක වන්නේ නැහැ. කොහොමවුණත්, අපේ සෞඛ්‍යය හානිවීමට දායක විය හැකි අඥාන තීරණ ගැනීමට සහ අපේ ඇදහිල්ල පාවා දීමට අපව පොලඹවන්න සාතන් උත්සාහ නොකර සිටී කියා සිතන්න බැහැ. ඔහු ආදම් සහ ඒවව ආවේශ කළේවත්, මරණයට පත් කළේවත්, එසේ නැතිනම් ඔවුන්ට අසනීපවලින් පහර දුන්නේවත් නැහැ. දෙවිට අකීකරු වීමට ඔහු ඒවව පෙලෙඹවූ අතර, ඇගේ අකීකරුකමට ආදම්ද හවුල් වුණා. ලෙඩ රෝග සහ මරණය එහි ප්‍රතිඵලයක් බවට පත් වුණා.—රෝම 5:19.
තර්ජනාත්මක ආකාරයකට මෝවබ්වරුන්ගේ මායිමේ කඳවුරු බැඳ සිටි ඉශ්‍රායෙල් ජාතියට ශාප කිරීම සඳහා මෝවබ්හි රජු වරක්, නොඇදහිලිවන්ත අනාගතවක්තෘ කෙනෙක් වූ බාලාම්ව සේවයට ගත්තා. බාලාම් ඉශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමට උත්සාහ කළත්, ජාතිය යෙහෝවාගේ ආරක්ෂාව යටතේ සිටි බැවින් ඔහුට එය කිරීමට හැකි වූයේ නැහැ. එවිට රූප නමස්කාරයේ සහ ලිංගික දුරාචාරයේ නියැලීමට මෝවබ්වරුන් විසින් ඉශ්‍රායෙල්වරුන්ව පෙලඹෙව්වා. මෙම උපාය සාර්ථක වූ අතර, යෙහෝවාගේ ආරක්ෂාව ඉශ්‍රායෙල්වරුන්ට අහිමි වුණා.—ගණන් කථාව 22:5, 6, 12, 35; 24:10; 25:1-9; එළිදරව් 2:14.
එම ඓතිහාසික සිද්ධියෙන් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. දුෂ්ට ආත්මවලින් ඍජුව එල්ල වන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ට දිව්‍ය උපකාරය ලැබෙනවා. කොහොමවුණත්, තම ඇදහිල්ල පාවා දීමට සාතන් පුද්ගලයන්ව පොලඹවනවා. ඔවුන්ව දුරාචාරයට පොලඹවන්න ඔහු උත්සාහ දරන්න පුළුවන්. එසේ නැතිනම් ඔහු ගොරවන සිංහයෙකු මෙන්, ඔවුන්ට දෙවිගේ ආරක්ෂාව අහිමි කිරීම සඳහා බියගැන්වීමට වෙර දැරිය හැකියි. (1 පේතෘස් 5:8) එනිසයි ප්‍රේරිත පාවුල් සාතන්ව “මරණය කෙරෙහි බලය ඇත්තා” ලෙස හඳුන්වන්නේ.—හෙබ්‍රෙව් 2:14.
රෝගයට එරෙහිව ආරක්ෂාවක් වශයෙන් යන්තර මන්තර යොදාගැනීමට ඔමාජිගේ ආච්චි හාවව පොලඹවන්න උත්සාහ කළා. හාව තම ස්ථාවරය අතහැර තිබුණා නම් කුමක් වෙන්න තිබුණාද? යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන පූර්ණ විශ්වාසයේ ඌනතාවක් ඇය විදහාපෙන්වන්න යන අතර, ඇයට තවදුරටත් ඔහුගේ ආරක්ෂාව කෙරෙහි බලාපොරොත්තු තබන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.—නික්මයාම 20:5; මතෙව් 4:10; 1 කොරින්ති 10:21.
සාතන්, යෝබ්වත් නම්මවාගැනීමට උත්සාහ කළා. ඔහුගේ පවුල, ඔහුගේ ධනය සහ ඔහුගේ සෞඛ්‍යය සොරාගැනීමෙන් පමණක් ඔහු සෑහීමට පත් වූයේ නැහැ. තම භාර්යාව විසින් යෝබ්ට ඉතාමත් නරක උපදෙසක් දෙනු ලැබුවා. ඇය මෙසේ පැවසුවා: “දෙවිට ශාප කර මැරෙන්න!” (යෝබ් 2:9, NW) ඊළඟට, ඔහුගේ රෝගයට ඔහු වගකිව යුතු බව ඒත්තුගැන්වීමට සාමුහික ප්‍රයත්නයක් දැරූ “යහළුවන්” තිදෙනෙක් ඔහුව බැහැදැක්කා. (යෝබ් 19:1-3) මේ ආකාරයෙන් යෝබ්ගේ දුර්වල තත්වය ප්‍රයෝජනයට ගනිමින්, සාතන් ඔහුව අධෛර්යයට පත් කිරීමටත් යෙහෝවාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි තිබුණ ඔහුගේ විශ්වාසය සෙලවීමටත් උත්සාහ කළා. නමුත්, යෝබ් තම එකම බලාපොරොත්තුව ලෙස යෙහෝවා කෙරෙහි දිගටම රඳාපැවතුණා.—ගීතාවලිය 55:22, සසඳන්න.
අප අසනීප වී සිටින විට, අපත් කලකිරීමේ තත්වයකට පත් විය හැකියි. එවැනි අවස්ථාවකදී, මොනයම් හෝ ආකාරයකින් අපේ ඇදහිල්ල පාවා දෙන තත්වයකට අපව පත් කරවීම සඳහා සාතන් ඉක්මනින්ම ක්‍රියා කරනවා. එනිසා, අසනීපවලින් පහර ලබන විට, අපේ දුක් විඳීමට ප්‍රධාන හේතුව උරුම වූ අසම්පූර්ණකම මිස යම් භූත බලපෑමක් නොවන බව මනසේ තබාගැනීම වැදගත් වෙනවා. ඇදහිලිවන්ත ඊසාක්, තම මරණයට පෙර අවුරුදු ගණනාවක් පුරා අන්ධ තත්වයක සිටි බව මතක තබාගන්න. (උත්පත්ති 27:1) ඊට හේතුව වූයේ, මහලු විය මිස දුෂ්ට ආත්ම නොවෙයි. රාඛෙල් දරු ප්‍රසූතියේදී මියගියේ මනුෂ්‍ය දුර්වලකම නිසා මිස සාතන් නිසා නොවෙයි. (උත්පත්ති 35:17-19) අවසානයේදී, මහලු වියේ සිටි සියලුම ඇදහිලිවන්තයන් මරණයට පත් වුණා. එසේ වූයේ මායා බන්ධන හෝ ශාපයන් නිසා නොවෙයි, නමුත් උරුම වූ අසම්පූර්ණකම නිසයි.
අපට වැළඳෙන සෑම රෝගයක් කෙරෙහිම අදෘශ්‍යමාන ආත්මවල ඍජු බලපෑමක් ඇති බව සිතීම උගුලකට හසුවීමක්. එය දුෂ්ට ආත්ම සම්බන්ධයෙන් අසාමාන්‍ය බියක් ජනිත කළ හැකියි. එවිට, අප අසනීප වන විට භූතයන්ගෙන් බොහෝ සෙයින් ඈත් වී සිටිනවා වෙනුවට, ඔවුන්ගේ කෝපය සන්සිඳුවීමට උත්සාහ කරන්න අපට පෙලඹීමක් ඇති විය හැකියි. ආත්ම බන්ධන ක්‍රියාවලින් පිහිට ලබාගැනීම සඳහා අපව බියගැන්වීමට සාතන්ට හැකි වුණොත්, එය සැබෑ දෙවි වන යෙහෝවාට ද්‍රෝහිවීමක් වෙන්න යනවා. (2 කොරින්ති 6:15) අපව මඟ පෙන්විය යුත්තේ දෙවිට තිබෙන ගෞරවාන්විත බිය මගින් මිස, ඔහුගේ එදිරිවාදියා කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් මත පදනම් වූ බියක් මගින් නොවෙයි.—එළිදරව් 14:7.
සිඟිති ඔමාජිට දුෂ්ට ආත්මවලට එරෙහිව තිබෙන හොඳම ආරක්ෂාව දැනටමත් තිබෙනවා. ප්‍රේරිත පාවුල්ට අනුව, දෙවි ඇයව “ශුද්ධ” කෙනෙක් ලෙස සලකනවා. මන්දයත්, ඇයට ඇදහිලිවන්ත මවක් සිටින අතර, ශුද්ධාත්මය මාර්ගයෙන් තම දියණියට ආරක්ෂාව සලසන මෙන් දෙවිට යාච්ඤා කිරීමට ඇගේ මවට හැකි නිසයි. (1 කොරින්ති 7:14) එවැනි නිවැරදි දැනුමක් අත් කරගැනීමට ලැබුණු ආශීර්වාදය නිසා, යන්ත්‍ර කෙරෙහි රඳාපවතිනවා වෙනුවට, ඔමාජිගේ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගන්න හාවට හැකි වුණා.
අසනීප වීමට විවිධ හේතු
බොහෝ ජනයා දුෂ්ට ආත්ම ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අසනීප වූ විට, යන වියදම ඔවුන්ට දැරිය හැකි නම් ඔවුන් වෛද්‍යවරයෙක් වෙත යනවා. රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙත ගියත්, එය සුව නොවෙන්ට ඉඩ ඇති බව ඇත්තයි. වෛද්‍යවරුන්ට ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට හැකියාවක් නැහැ. නමුත් මිථ්‍යා විශ්වාසයන් පිළිපදින සුව කරගැනීමට හැකියාවක් තිබුණු බොහෝදෙනෙක්, වෛද්‍යවරයෙක් වෙත යන විට ප්‍රමාද වැඩියි. ඔවුන් ප්‍රථමයෙන්ම මිථ්‍යාදෘෂ්ටික සුව කිරීමේ ක්‍රම අත්හදා බලන අතර, මේවා අසාර්ථක වූ විට අවසාන තුරුම්පුව වශයෙන් වෛද්‍යවරයෙක් වෙත යනවා. එනිසා, අනවශ්‍ය ආකාරයකට බොහෝදෙනෙක් මියයනවා.
වෙනත් අය නොදැනුවත්කම නිසා අකල් මරණවලට ගොදුරු වෙනවා. ඔවුන්ට රෝග ලක්ෂණ සම්බන්ධව අවබෝධයක් නැති අතර, ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ගත යුතු ප්‍රායෝගික පියවරවල් මොනවාද කියා දන්නේ නැහැ. අනවශ්‍ය දුක් විඳීම්වලින් ආරක්ෂා වීමට දැනුම උපකාරවත් වෙනවා. ලෙඩ රෝග හේතුවෙන්, නූගත් මව්වරුන්ට අහිමි වන දරුවන් ප්‍රමාණයට වඩා, යම් දැනුමක් ඇති මව්වරුන්ට අහිමි වන දරුවන් සංඛ්‍යාව අඩු බව සැලකිල්ලට ගැනීම වටිනවා. ඇත්තෙන්ම, නොදැනුවත්කම මාරාන්තික දෙයක් විය හැකියි.
ලෙඩ රෝග වැළඳීමට තවත් හේතුවක් වන්නේ නොසැලකිලිමත්කමයි. උදාහරණයක් වශයෙන්, බොහෝදෙනෙකුට ලෙඩ රෝග වැළඳෙන්නේ, ආහාරයට ගැනීමට ප්‍රථමයෙන් කෘමීන්ට ආහාර මත වහන්න ඉඩහැරීම නිසා හෝ ආහාර පිළියෙළ කරන අය, ඊට ප්‍රථමයෙන් තම දෑත් නොසෝදන නිසයි. මැලේරියා ආසාදනය පැතිරී තිබෙන ප්‍රදේශවල මදුරු දැලක් නොමැතිව නිදාගැනීමත් භයානකයි.a සෞඛ්‍යය සම්බන්ධ කාරණාවලදී, “සුව කරගැනීමට වඩා එය වළක්වාගැනීම යෙහෙකි” යන කියමන බොහෝවිට සත්‍යයක් වෙනවා.
මිලියන ගණනකට ලෙඩ රෝග වැළඳීමට සහ අකාලයේ මරණයට පත්වීමට අඥාන ජීවන රටාවක් හේතු වී තිබෙනවා. බීමත්කම, ලිංගික දුරාචාරය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ දුම්කොළ භාවිතය බොහෝදෙනෙකුගේ සෞඛ්‍යය දුර්වල කර තිබෙනවා. කෙනෙක් මෙම දූෂිත ක්‍රියාවලට ඇබ්බැහි වී රෝගී වූවොත්, ඊට හේතුව කිසියම් කෙනෙක් ඔහුට හූනියමක් කිරීමද? එසේ නැතහොත් දුෂ්ට ආත්මයක් ඔහුට පහර දීමද? නැහැ. ඔහුගේ අසනීපයට ඔහු වගකිව යුතුයි. දුෂ්ට ආත්මවලට දොස් පැවරීම, අඥාන ජීවන රටාවක් සම්බන්ධයෙන් තම වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා.
ඇතැම් දේවල් අපට පාලනය කළ නොහැකි බව ඇත්තයි. උදාහරණයකට, ලෙඩ රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ට හෝ පරිසර දූෂණයට අප නිරාවරණය විය හැකියි. ඔමාජිට සිදු වූයේත් මෙයයි. ඇගේ මව පාචනය වැළඳීමට හේතු වූයේ කුමක්ද කියා දැන සිටියේ නැහැ. ඇය තම නිවස සහ ගෙවත්ත පිරිසිදුව තබාගෙන සිටින නිසාත්, ආහාර පිළියෙළ කිරීමට ප්‍රථමයෙන් නිතරම තම දෑත් සෝදන නිසාත්, ඇගේ දරුවන්, අනිත් ළමයින් මෙන් නිතර නිතරම ලෙඩ වන්නේ නැහැ. නමුත් ඉඳ හිට සෑම ළමයෙක්ම ලෙඩ වෙනවා. විවිධ ශාරීරික ආසාදන 25ක් පමණ පාචනය වැළඳීමට හේතු විය හැකියි. ඔමාජිගේ රෝගය ඇතිවීමට හේතු වූයේ මේ අතුරින් කුමන ආසාදනයද කියා, බොහෝවිට කිසිවෙක් කිසිදාක හොයාගන්න එකක් නැහැ.
දිගු කාලීන විසඳුම
ලෙඩ රෝගවලට දෙවි වගකිව යුතු නැහැ. ‘දෙවිට නපුරෙන් පරීක්ෂා කරනු ලබන්න නුපුළුවන. ඔහු කිසිවෙකු පරීක්ෂා නොකරන්නේය.’ (යාකොබ් 1:13) තම නමස්කාරකයන්ගෙන් කෙනෙක් අසනීප වුණොත්, යෙහෝවා ඔහුව ආත්මික වශයෙන් උසුලනවා. ‘යෙහෝවා ඔහුව ගිලන්ව ඔත් යහනේදී උසුලන්නේය. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස් කරන්නේය.’ (ගීතාවලිය 41:3) ඔව්, දෙවි දයානුකම්පිතයි. දෙවිට අවශ්‍ය කරන්නේ අපට උපකාර කරන්න මිස, අපට රිදවන්න නොවෙයි.
ඇත්තෙන්ම, ලෙඩ රෝග සඳහා දිගු කාලීන විසඳුමක් යෙහෝවාට තිබෙනවා. එය නම්, යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීමයි. යේසුස්ගේ මිදීමේ මිලය නිසා, අවංක හෘද ඇති අයව ඔවුන්ගේ පව්කාර තත්වයෙන් මුදනු ලබන අතර, අවසානයේදී ඔවුන්ට පරිපූර්ණ සෞඛ්‍යයට සහ පාරාදීස පොළොවක සදාකාල ජීවිතයට ඇතුල් වීමට ලැබෙනවා. (මතෙව් 5:5; යොහන් 3:16) යේසුගේ ප්‍රාතිහාර්යයන් දෙවිගේ රාජ්‍යය තුළින් ගෙනෙන්න යන සැබෑ සුව කිරීම්වල පෙරඡායාවක් වුණා. සාතන්ව සහ ඔහුගේ දූතයන්වත් දෙවි ඉවත් කරන්න යනවා. (රෝම 16:20) ඇත්තවශයෙන්ම, තමා කෙරෙහි ඇදහිල්ල දක්වන අය සඳහා යෙහෝවාට මවිතකර දේවල් රැසක් තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ ඉවසිල්ලෙන් සිටීම සහ විඳදරාගැනීම පමණයි.
ඒ වන තෙක්, දෙවි බයිබලය තුළින් සහ ඇදහිලිවන්ත නමස්කාරකයන්ගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළින් ප්‍රායෝගික ප්‍රඥාව සහ ආත්මික මඟ පෙන්වීම ලබා දෙනවා. සෞඛ්‍ය ගැටලුවලට මඟ පාදන දූෂිත දේවල්වලින් වැළකෙන්නේ කෙසේද කියා ඔහු අපට පෙන්වනවා. එමෙන්ම ගැටලු මතු වන විට උපකාර කරන්න ඉදිරිපත් වන සැබෑ මිත්‍රයන්ව ඔහු අපට සපයා දෙනවා.
නැවත වරක් යෝබ් ගැන සිතන්න. යකැදුරෙකු වෙත යෑම, ඔහුට කරන්න තිබුණු භයානකම දේ වෙන්න තිබුණා! එමගින් ඔහුට දෙවිගේ ආරක්ෂාව අහිමි වෙන්න ඉඩ තිබුණු අතර, ඔහු අත් දුටු ඉතා අසීරු පරීක්ෂාවන්ගෙන් පසු ලැබෙන්න තිබුණු සියලුම ආශීර්වාද ඔහුට අහිමි වෙන්න ඉඩ තිබුණා. දෙවි යෝබ්ව අමතක කළේ නැහැ. එමෙන්ම ඔහු අපවත් අමතක කරන්නේ නැහැ. ශ්‍රාවක යාකොබ් මෙලෙස පවසනවා: “යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, [යෙහෝවාගේ] තීරණයද නුඹලා දුටුවහුය.” (යාකොබ් 5:11) අප කිසිවිටක අපේ වෑයම අත් නොහැර සිටියොත්, දෙවිගේ නියමිත කාලයේදී අපටත් මවිතකර ආශීර්වාද ලැබෙන්න යනවා.
සිඟිති ඔමාජිට කුමක්ද සිදු වුණේ? මුරටැඹ සඟරාවේ සහකාර සඟරාව වන පිබිදෙව්!හි, මුඛයෙන් ලබා දෙන, යළි සජල කිරීමේ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් පළ වූ ලිපිය ඇගේ මවට මතක් වුණා.b ඇය එහි තිබුණු උපදෙස් අනුගමනය කර ඔමාජිට පානය කිරීම සඳහා ද්‍රාවනය පිළියෙළ කර දුන්නා. දැන් සිඟිති දැරියට සනීපයි. ඇය හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටිනවා.
[පාදසටහන්වල]
a ආසන්න වශයෙන් පුද්ගලයන් බිලියන භාගයකට පමණ මැලේරියා රෝගය වැළඳී තිබෙනවා. අවුරුද්දකට මිලියන දෙකක් පමණ මෙම රෝගය නිසා මරු දකිනවා. මෙයින් බහුතරයක් අප්‍රිකාවේ සිටින අයයි.
b වර්ෂ 1985 සැප්තැම්බර් 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 24-5 පිටුවල ඇති “ජීවිත ගළවන ලුණු ද්‍රාවනයක්!” නමැති ලිපිය බලන්න.
[7වන පිටුවේ පින්තූර]
අසනීප වීමේ ගැටලුවට සදාතනික විසඳුමක් යෙහෝවා ඇති කර තිබෙනවා