අන්ත දුගීබවේ සිට උතුම්ම ධනවත්කම දක්වා
මැනුවෙල් ඩි සෙසූෂ් ආල්මේඩගේ කතාව
දරුවන් 17දෙනෙකුගෙන් බාලයා වූ මම ඉපදුණේ 1916 ඔක්තෝබර්වලදීයි. මගේ අක්කලා අයියලා නවදෙනෙක් අසනීපවලින් හා මන්දපෝෂණය නිසා මියගිහින් තිබුණා; එනිසා මම කවදාවත් ඔවුන්ව දැකලා නැහැ. ඉතිරි අපි අටදෙනා පෘතුගාලයේ පෝර්ටෝ අසල කුඩා ගමක අපේ දෙමාපියන් සමඟයි ජීවත් වුණේ.
අපේ පුංචි නිවහනට තිබුණේ කුඩා විසිත්ත කාමරයක් හා නිදන කාමරයක් විතරයි. බොන වතුර ලබාගත්තේ කිලෝමීටර් භාගයක් පමණ ඈතකින් පිහිටි ළිඳකිනුයි. ඉවුම් පිහුම් සඳහා අපට තිබූ පහසුකම් නොදියුණු තත්වයකයි තිබුණේ.
මගේ අයියලා වැඩක් පළක් කරන්න පුළුවන් වයසකට ආවාම, ඉරිඟු කෙත්වල වැඩ කරන්න පටන්ගත්තා. ඔවුන් උපයන දේ පවුලේ අයට ආහාර ටිකක් ගන්න උපකාරවත් වුණා. ඔවුන්ගේ උපකාරයෙන් මට විතරක් ටික කාලයක් පාසැලක ඉගෙනගන්න පුළුවන් වුණා. අපේ ජීවිතය දුෂ්කර එකක්ව තිබුණත්, අපේ ජීවිතවලට යම් යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි කතෝලික පල්ලියට හුඟක් ලැදිව හිටියා.
මැයි මාසයේදී, පල්ලියේ නුවානය තිබුණා. දවස් නවයක් පිට පිටම අපි හිමිදිරි පාන්දර කළුවර ජාමයේදීම පල්ලියට ඇවිද්දා. යාච්ඤා කිරීමෙන් දෙවිගෙන් ආශීර්වාදයක් ලැබෙයි කියා විශ්වාස කළ නිසා එහිදී අපි යාච්ඤා කළා. පූජකයා ශුද්ධ මනුෂ්‍යයෙක්, දෙවිගේ නියෝජිතයෙක් කියලත් අපි සිතුවා. නමුත්, කාලයාගේ ඇවෑමෙන්, අපි සිතුව දේ වෙනස් වුණා.
වඩාත් හොඳ දෙයක් සොයමින්
පල්ලියේ බද්ද ගෙවන්න අපිට බැරි වුණහම, අපි මුදල් අතින් අන්ත කරදරයකට පත් වෙලා සිටියත් පූජකයා කිසිම අනුකම්පාවක් දැක්වුවේ නැහැ. මේ නිසා අපි කලකිරීමට පත් වුණා. පල්ලිය ගැන තිබුණු මගේ හොඳ හැඟීම ඉක්මනින්ම නැති වුණා; අවුරුදු 18දී මම ගේ අත්හැරලා යන්න තීරණය කළා. එහෙම කළේ කෙතේ වැඩ කරන එකයි, පල්ලිය එක්ක වාද කරන එකයි ඇරුණාම ජීවිතයේ වෙන මොකුත් නැද්ද කියලා මට බලාගන්න ඕන වුණ නිසයි. වර්ෂ 1936දී, මම පෘතුගාලයේ අගනුවර වන ලිස්බන්වලට ගියා.
එහිදී මට එඩ්මින්යා මුණගැසුණා. ආගමෙන් මුළා වෙලා කියලා මට හැඟුණත්, අපි චාරිත්‍ර අනුගමනය කරමින් කතෝලික පල්ලියේදී විවාහ වුණා. ඉන්පසු 1939දී, IIවන ලෝක යුද්ධය ආරම්භ වුණ අතර, පෘතුගාලය මිත්රපාක්ෂික පැත්තෙහි සටන් කළා. යුද්ධය පැවති සමයේදී, මම යුධ ගබඩා 18ක් භාරව කටයුතු කළ අතර, එක දවසකට අපි යුද්ධෝපකරණ පිරෙවූ ට්‍රක් රථ 125ක් දක්වා යවනු ලැබුවා.
යුද්ධයෙන් සිදු වුණ භයානක දේවල් මෙන්ම කතෝලික පල්ලිය එයට දුන් සහයෝගය දැකීමෙන් එය මට හුඟක් බලපෑවා. ‘දෙවි ඇත්තෙන්ම මනුෂ්‍යවර්ගයා ගැන සැලකිල්ලක් දක්වනවාද? අපි ඔහුට නමස්කාර කළ යුත්තේ කොහොමද?’ කියා මම කල්පනා කළා. වසර ගණනකට පසු 1954දී, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන වයසක මහත්මයෙක් මට තිබුණ ප්‍රශ්න ගැන මාත් එක්ක කතා කළා. මේ සාකච්ඡාව මගේ මුළු ජීවිතයම වෙනස් කළා.
බයිබලයේ ඇති බලාපොරොත්තුවෙන් අසීමිත ප්‍රීතියක්
ලෝකයේ ගැටලුවලට එකම විසඳුම දේවරාජ්‍යය බවත්, සාමය හා සුරක්ෂිතභාවය පැමිණෙනු ඇත්තේ රාජ්‍යයේ පාලනය තුළින් පමණක් බවත් යෝෂුවා නම් මේ කරුණාවන්ත තැනැත්තා මට පැහැදිලි කළා. (මතෙව් 6:9, 10; 24:14) ඔහු කිව්ව දෙයින් මට ලොකු ප්‍රීතියක් ඇති වුණත්, ආගම සම්බන්ධයෙන් මට කලින් තිබුණු අද්දැකීම නිසා ඔහුගේ පැහැදිලි කිරීම් පිළිගන්න මම අදි මදි කළා. මාත් එක්ක බයිබලය පාඩම් කරන්න ඔහු ඉදිරිපත් වුණ විට, මම එය පිළිගත්තේ ඔහුට මගෙන් සල්ලි ඉල්ලන්නවත්, දේශපාලනය ගැන මා සමඟ කතා කරන්නවත් බැහැ යන කොන්දේසිය පිටයි. ඔහු පාඩම කරන්නේ නොමිලේ බවට සහතික වෙමින් ඊට එකඟ වුණා.—එළිදරව් 22:17.
යෝෂුවා කෙරෙහි මගේ විශ්වාසය ඉක්මනටම වැඩිවර්ධනය වුණා. එනිසා මගේ යෞවන කාලයේ සිටම මම ආශා කර තිබූ දේ මම ඔහුගෙන් ඉල්ලුවා. “මට පුද්ගලිකව බයිබල් පිටපතක් ලබාගන්න පුළුවන් වෙයිද?” ඒක ලැබුණට පස්සේ, අපේ මැවුම්කරුගේ වචනවලින්ම මට, ‘දෙවිම [මනුෂ්‍යවර්ගයා] සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය’ වැනි පොරොන්දු මුල් වතාවට කියවන්න ලැබීම මොනතරම් ප්‍රීතියක් වුණාද!—එළිදරව් 21:3, 4.
විශේෂයෙන්ම, දුගීබව සහ අසනීප තුරන් කිරීම සම්බන්ධයෙන් වූ බයිබල් පොරොන්දු මට සහනයක් වුණා. ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් වූ එලීහු දෙවි ගැන මෙසේ පැවසුවා: ‘ඔහු ආහාර බොහෝ සෙයින් දෙන්නේය.’ (යෝබ් 36:31) එමෙන්ම දේවරාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය යටතේ, “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා බයිබලය පවසනවා. (යෙසායා 33:24) මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මොනතරම් ප්‍රේමනීය උනන්දුවක් දක්වනවාද! ඔහුගේ පොරොන්දු කෙරෙහි මගේ උනන්දුව කොච්චර වැඩි වුණාද!
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මුල්ම රැස්වීමට මම සහභාගි වුණේ 1954 අප්‍රියෙල් 17වෙනිදායි. එය ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ විශේෂ රැස්වීමක් වුණා. ඒ කාලයේ පටන්, මම නිතිපතා රැස්වීම්වලට ගියා. වැඩි කල් නොගොස් මම ඉගෙනගනිමින් සිටි දේවල් අන්‍යයන් සමඟ කතා කරන්න පටන්ගත්තා. ඒ කාලයේ පෘතුගාලයේදී, සෑම මාසයකම අපි කෑම බීම අරගෙන මුහුදු වෙරළ අසලට ගිය අතර, එහිදී අපි බව්තීස්මයත් සිදු කළා. යෝෂුවා මා සමඟ කතා කළායින් මාස හතකට පස්සේ, මම යෙහෝවා දෙවිට මගේ කැපවීම සිදු කළ අතර, මුහුදේ වතුර බව්තීස්මය මගින් එය සංකේතවත් කළා.
වර්ෂ 1954 මුල් කාලයේදී මුළු පෘතුගාලයේම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියේ සීයක් වගේ ප්‍රමාණයක් විතරයි. මේ නිසා, දේශනා වැඩයෙහි පෙරමුණ ගැනීමට සහෝදරයන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබුණා. මම ශීඝ්‍ර ආත්මික ප්‍රගතියක් ලැබුව අතර මට වැඩි කල් නොගොස් සභාවේ වගකීම් දුන්නා. වර්ෂ 1956දී, මාව ලිස්බන්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දෙවන සභාවෙහි, සභා සේවකයා හැටියට පත් කළා; ඒ කාලයේ මුලසුන භාර අවේක්ෂකව හැඳින්නුවේ ඒ නමින්. අදදින, මේ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල සභා සීයකටත් වඩා තිබෙනවා.
ආගන්තුක සත්කාරශීලීත්වය පෙන්වීමෙන් ප්‍රයෝජන ලබා
එඩ්මින්යාටයි, මටයි එච්චර මුදලක් තිබුණේ නැති වුණත්, අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ට අපේ දොර හැමවිටම විවෘතව තිබුණා. වර්ෂ 1955දී ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර “ජයග්‍රාහක රාජ්‍යය” එක්රැස්වීමට යන අතරතුරේදී, බ්‍රසීලයේ සිට පැමිණි පුරෝගාමියෙක් පෘතුගාලයේ නැවතුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන්ව හඳුන්වන්නේ එලෙසයි. ප්‍රවාහණ ගැටලු නිසා ඔහු අපේ නිවසේ මාසයක් නැවතුණ අතර ඔහුගේ පැමිණීමෙන් අපි මොනතරම් ආත්මික ප්‍රගතියක් ලැබුවාද!
ඒ කාලයේදී අපේ නිවසට පැමිණි වෙනත් ආගන්තුකයන්ට, නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සාමාජිකයන් වූ හූගෝ රයිම හා ඔහුගේ කාමර සහකරු වූ චාල්ස් අයික වැනි අය ඇතුළත් වුණා. ඔවුන් අප සමඟ රාත්‍රි ආහාරය ගත් අතර පෘතුගීසි සහෝදරයන් සඳහා කතා දුන්නා. අලුත කටුවෙන් එළියට ආ විට හොටවල් ඇරගෙන ඉන්න කුකුල් පැටවුන් මෙන් අපි එවැනි අය දෙන රසවත් ආත්මික තොරතුරු ලැබෙන තෙක් බලාගෙන සිටියා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයනුත් ඔවුන්ගේ බැහැදැකීම්වලදී නැවතුණේ අපේ නිවසෙයි. සහෝදරයන්ව දිරිගැන්වීම සඳහා පෘතුගාලයට යෑමට පත් කර සිටි, 1957දී පැමිණි, මොරොක්කෝහි ශාඛා අවේක්ෂක ආල්වරූ බේරෙකෝචෙයා අමතක කළ නොහැකි අමුත්තෙක්. ඔහු අපේ නිවසේ පොත් පාඩමට පැමිණි අතර, ඔහු පෘතුගාලයේ සිටින ඉතිරි කාලයේදී අප සමඟ නවතින්න කියා අපි ඔහුට බල කළා. මාසයක් පුරා ඔහු සිටි කාලයේදී අපි බොහෝ සෙයින් ආශීර්වාද ලබා, ආත්මිකව තර වුණා විතරක් නොවෙයි, මගේ දයාබර එඩ්මින්යාගේ රසවත් කෑමවල ප්‍රතිඵලයක් වශයෙන් ආල්වරූගේ බරත් වැඩි වුණා.
මම ළමා කාලේදී අද්දැක්ක අන්ත දුගීබව වැනි දේවල් පුද්ගලයෙක් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළ හැකියි. එහෙත්, අපි යෙහෝවාට හා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට වැඩියෙන් දෙන තරමට, ඔහුත් අපිට වැඩියෙන් ආශීර්වාද කරන බව මම තේරුම්ගත්තා. අපට හැකි හැමෝටම අපි ආගන්තුක සත්කාරශීලීත්වය පෙන්වද්දී, මේ සත්‍යය මගේ සිතෙහි කාවැදුණා.
වර්ෂ 1955, පෝර්ටෝහි පැවැත්වූ අපේ සමුළුවේදී, 1958දී නියූ යෝක් නගරයේ යැංකි ක්‍රීඩාංගණයෙහි පැවැත්වීමට නියමිත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුව ගැන නිවේදනයක් ඉදිරිපත් කළා. පෘතුගීසි නියෝජිතයන්ව සමුළුවට යැවීම සඳහා මුදල් අතින් උපකාර කිරීමට ඒ කාලයේදී රට තුළ තිබුණු හැම රාජ්‍ය ශාලාවකම සම්මාදම් පෙට්ටියක් තිබ්බා. හැබැයි තිබුණේ රාජ්‍ය ශාලා කීපයක් විතරයි. මගේ භාර්යාව හා මාව මේ නියෝජිතයන් අතරට තෝරාගත් විට අපට ඇති වුණ ප්‍රීතිය ඔබට හිතාගන්න පුළුවන්ද? අපි සමුළුව සඳහා එක්සත් ජනපදයට ගිහින් ඉන්න කොට බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න යන්න ලැබීම මොනතරම් ප්‍රීතියක් වුණාද!
පීඩා විඳදරාගැනීම
වර්ෂ 1962දී පෘතුගාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩය තහනම් කළ අතර, එරික් බ්‍රිටන්, ඩොමනික් පිකෝනී, එරික් බෙව්රිජ් හා ඔවුන්ගේ භාර්යාවන්ව රටින් පිටුවහල් කළා. ඉන්පසු, අපට රාජ්‍ය ශාලාවල රැස්වීම් පැවැත්වීමට අවසර ලැබුණේ නැහැ; එමනිසා අපි පෞද්ගලික නිවාසවල රහසින් ඒවා පැවැත්තුවා; පෘතුගාලයේ විශාල සමුළු පවත්වන්නත් තවදුරටත් හැකියාවක් ලැබුණේ නැහැ. එබැවින් වෙනත් රටවල පැවැත්වෙන එවැනි සමුළුවලට ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට යෑමට ප්‍රවාහණ පහසුකම් පිළියෙළ කිරීමේ වගකීම මට ලැබුණා.
සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවකට වෙනත් රටවලට ගමන් කිරීමට පිළියෙළ කිරීම පහසු දෙයක් වුණේ නැහැ. එහෙත්, පෘතුගීසි සහෝදරයන් ලැබුව චමත්කාරජනක ආත්මික ප්‍රයෝජන ගැන සලකා බලද්දී එය ඉතා වටිනා එකක් වුණා. ස්විට්සර්ලන්තයේ, එංගලන්තයේ, ඉතාලියේ හා ප්‍රංශයේ පැවැත්වූ සමුළුවලට ඔවුන්ට සහභාගි වීමට ලැබීම මොනතරම් ගොඩනංවනසුලු අද්දැකීමක් වුණාද! ඒ වගේම රට තුළට පොත් පත් ගෙන ඒමට එවැනි සමුළු ඔවුන්ට ප්‍රස්තාවක්ද සැපයුවා. ඒ කාලය අතරතුරේදී, අපි පෘතුගාලයේ ආගමික සංවිධානයක් හැටියට ලියාපදිංචි කිරීමට ඉල්ලීම් ගණනාවක් කළත් මේ සියලුම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
වර්ෂ 1962 මුල් භාගයේදී මිෂනාරිවරුන්ව පිටුවහල් කළාට පස්සේ, රහස් පොලීසිය අපේ දේශනා වැඩය නතර කිරීම සඳහා දැරූ ප්රයත්නය වේගවත් කරන්න පටන්ගත්තා. අපේ සහෝදර සහෝදරියන් විශාල ගණනක් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ගෙන ගියා. මෙවැනි සිද්ධීන් ගණනාවක් ගැන විස්තර සහිත වාර්තා මේ සඟරාවේ හා එහි සහායක සඟරාව වන පිබිදෙව්!හි පළ කෙරුණා.a
දේශනා වැඩය නිසා හිරේ ගිය අය අතර පුරෝගාමියෙක් සිටියා; ඔහුට මුලින්ම දේවරාජ්‍යයේ ශුභාරංචිය ඉදිරිපත් කළේ මමයි. ඔහු ළඟ තිබූ දේවල් අතර මගේ ලිපිනය තිබී පොලීසියට අහු වුණ නිසා, මාව කැඳවා, මගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.
පසුව, පොලිස් භටයන් දෙන්නෙක් මගේ නිවසට ආවා. ඔවුන් මගේ බයිබල් පාඩම් ආධාරක පොත් පත් මෙන්ම බයිබල් පිටපත් 13ක් රාජසන්තක කළා. ඊට පස්සේ අපේ නිවස සෝදිසි කිරීම සඳහා විවිධ වෙලාවන්වලදී හත් වතාවක් ආපහු පැමිණ ඔවුන් දිගටම අපට කරදර කළා. හැම අවස්ථාවකදීම, ඔවුන් අපෙන් ප්‍රශ්න වැලක් ඇහැව්වා.
නඩුවලදී සෙසු සාක්ෂිකරුවන් වෙනුවෙන් සාක්ෂි දීමට මාව කීප වතාවක්ම කැඳෙව්වා. මම ඒ තරම් බාහිර අධ්‍යාපනයක් ලබාගෙන සිටියේ නැතත්, ‘සියලු එදිරිකාරයන් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරි වූ ප්‍රඥාවක්’ යෙහෝවා මට දුන්නා. (ලූක් 21:15) එක අවස්ථාවකදී මගේ සාක්ෂිය ගැන විනිශ්චයකරු කොතරම් පුදුම වුණාද කිව්වොත්, මම කොයිතරම් දුරට ඉගෙනගෙන තියෙනවාද කියලා ඔහු ඇහැව්වා. මම ඉගෙනගෙන තියෙන්නේ හතරවෙනි පංතියට යනකම් විතරයි කියලා පැවසුවහම අධිකරණ ශාලාවේ සිටි හැමෝම හිනා වුණා.
පීඩා වැඩි වෙද්දී, රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දැක්වූ අයගේ සංඛ්‍යාවත් වැඩි වුණා. මෙබැවින්, 1962දී පෘතුගාලයේ 1,300කට වඩා අඩුවෙන් සිටි සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 1974 වන විට 13,000ට වඩා වැඩි වුණා! මේ අතරතුර, 1967 මැයිවලදී, සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා. මේ සේවයේදී මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට යමින් ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කළා.
උතුම්ම ධනවත්කම් භුක්ති විඳීම
වර්ෂ 1974 දෙසැම්බර්වලදී, පෘතුගාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය නීතිගත කිරීමේදී එය ලියාපදිංචි කිරීමට හවුල් වීමේ වරප්‍රසාදය මට ලැබුණා. ඊළඟ වසරේදී මගේ භාර්යාව හා මම එෂ්ටරිල්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෙතෙල් පවුලේ සාමාජිකයන් බවට පත් වුණා. පෘතුගාල ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් සේවය කිරීමටත් මාව පත් කරනු ලැබුවා.
පෘතුගාලයේ හා අපේ ශාඛාවේ අධීක්ෂණය යටතේ තිබෙන ප්‍රදේශවල දේශනා වැඩය දියුණු වෙනවා දැකීම මොනතරම් ප්‍රීතියක්ද! මේවාට ඇන්ගෝලා, අශෝර්ස්, කේප්වර්ඩ් දූපත, මැඩීරා මෙන්ම සොවු ටූම් සහ ප්‍රින්සිප් ඇතුළත් වෙනවා. රාජ්‍ය පණිවිඩයට පුදුමාකාර උනන්දුවක් දක්වන මේ රටවල සේවය කිරීමට පෘතුගාලයෙන් මිෂනාරිවරුන්ව යවා තිබෙනවා දැකීම නිම් හිම් නැති ප්‍රීතියක් වී තිබෙනවා. පෘතුගාලයේ 47,000කට වැඩිදෙනෙක් ඇතුළුව, මේ ස්ථානවල රාජ්‍ය ප්‍රකාශකයන් 88,000කට වඩා දැන් සිටීම අපට මොනතරම් ප්‍රීතියක්ද කියා සිතා බලන්න! මේ රටවල 1998දී 2,45,000 සිහි කිරීමේ උත්සවයට පැමිණියා; නමුත් මම සාක්ෂිකරුවෙක් බවට පත් වූ 1954දී පැමිණියේ 200කට වඩා අඩු සංඛ්‍යාවක්.
“[යෙහෝවාගේ] මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත” කියා පැවසූ බයිබලයේ ගීතිකාකරු සමඟ එඩ්මින්යායි මමයි මුළු හෘදයෙන්ම එකඟ වෙනවා. (ගීතාවලිය 84:10) මගේ දුප්පත් ආරම්භයන් ගැන මම ආපහු හිතලා බලද්දීත්, ඊට පස්සේ මම භුක්ති විඳලා තියෙන ආත්මික ධනයන් සමඟ ඒවා සසඳද්දීත්, මට අනාගතවක්තෘ යෙසායාට හැඟුණ ආකාරයටමයි හැඟෙන්නේ: ‘යෙහෝවා, ඔබ මාගේ දෙවිය; මම ඔබ උසස් කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ ඉෂ්ට කළේය. ඔබ දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව සිටියේය.’—යෙසායා 25:1, 4.
[පාදසටහන්වල]
a 1964 මැයි 22 පිබිදෙව්! 8-16 පිටු (ඉංග්‍රීසියෙන්) සහ 1966 ඔක්තෝබර් 1 මුරටැඹ 581-92 පිටු (ඉංග්‍රීසියෙන්) බලන්න.
[24වන පිටුවේ පින්තූර]
ඉහළ: ලිස්බන්හි සහෝදර ආල්මේඩ 1958 නියූ යෝක් සමුළුවට නියෝජිතයන්ව යැවීම සඳහා විධිවිධානය නිවේදනය කරමින්
මැද: පැරිස්වල “පොළොවේ සාමය” ජාත්‍යන්තර එක්රැස්වීමේදී ආදර්ශ සේවකයන්ගේ රැස්වීමක් පවත්වමින්
පහළ: කුලියට ගත් බස් රථ ප්‍රංශයේ දිස්ත්‍රික් සමුළුවට යෑමට සූදානම් වෙමින්
[25වන පිටුවේ පින්තූරය]
පෘතුගාල ශාඛාවේ උදෑසන නමස්කාරය පවත්වමින්
[25වන පිටුවේ පින්තූරය
1988දී කැප කළ පෘතුගාල ශාඛාව
[26වන පිටුවේ පින්තූරය]
බෘක්ලින් බෙතෙල් එකෙන් ඇවිත් සහෝදර හූගෝ රයිම දුන් කතාවලින් අප දිරිගැන්වුණා
[26වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව සමඟ