දිව්‍ය නාමය ඉශ්රායෙලයේ යොදාගැනේ
සියවස් ගණනාවක් සම්ප්‍රදායික යුදෙව්වාදය එහි බැතිමතුන්ට දිව්‍ය නාමය වන යෙහෝවා යන්න උච්චාරණය කිරීම දැඩි ලෙස තහනම් කර ඇත. මිෂ්නාට අනුව, දෙවිගේ නාමය උච්චාරණය කරන කවරෙකු නමුත්, “මතු ලොවේදී කිසිදු පංගුකාරකමක් නොලබයි.”—සැන්හීඩ්‍රින් 10:1.a
වර්ෂ 1995 ජනවාරි 30 වනදා, ඉශ්රායෙල්හි කලින් සිටි සෙෆාඩීය නිකායේ නායක රබ්බි, දිව්‍ය නාමය උවමනාවෙන්ම ප්‍රකාශ කළා. ඔහු මෙය කළේ කබාලා නිකායේ අනුගාමිකයන් විසින් තමන්වම හික්මවාගැනීම සඳහා කරන ටීකූන් ලෙස හඳුන්වන යාච්ඤාවක් යදිමිනුයි. නමස්කාරකරන්නන් පවසන ආකාරයට, මෙම යාච්ඤාව කරන්නේ, දුෂ්ට බලවේගයන් විසින් නැති කර තිබෙන සමගිය යම් තාක් දුරට නැවතත් දෙවි විසින් ගෙන ඒම සඳහායි. වර්ෂ 1995 පෙබරවාරි 6වනදා, යෙඩිඕත් ආහාරෝනෝත් නම් පුවත්පතේ, මෙසේ සඳහන් වුණා: “මේ යාච්ඤාව කොතෙක් ප්‍රබල ලෙස ලියා තිබෙනවාද කියනවා නම්, එය දක්නට ලැබෙන්නේ මහ ජනයාට අලෙවි නොකරන විශේෂ පොත් පිංචයක පමණයි.” මෙයට දෙවිගේ නාමය ඇතුළත් කිරීම, ඉල්ලීමට තවත් විශේෂ බලයක් එකතු කිරීමක් කියා සිතනවා.
දෙවිගේ සේවකයන්ට යෙහෝවා යන දිව්‍ය නාමය භාවිත කරන ලෙස බයිබලය ආඥා කරන බව සැලකිල්ලට ගැනීම වටී. (නික්මයාම 3:15; හිතෝපදේශ 18:10; යෙසායා 12:4; ශෙපනියා 3:9) බයිබලයේ මුල් හෙබ්‍රෙව් පිටපත්වල, මෙම නාමය 7,000 වාරයක් පමණ දක්නට ලැබෙනවා. කොහොමවුණත්, දෙවිගේ නාමය වැරදි ලෙස භාවිත කිරීමට එරෙහිව බයිබලය අනතුරු අඟවනවා. දස පනතේ තුන්වන ආඥාව මෙසේ ප්‍රකාශ කරනවා: “නුඹේ දෙවිවූ [යෙහෝවාගේ] නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද [යෙහෝවා] තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් [නොගන්නේය].” (නික්මයාම 20:7) දෙවිගේ නාමය නිකරුණේ භාවිත කරනවා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? “නිකරුණේ” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් යෙදුමට, දිව්‍ය නාමය “සැහැල්ලුවට ගැනීම” පමණක් නොව, නමුත් “අනවශ්‍ය ලෙස, දිගින් දිගටම ආශීර්වාද පැතීම” යන අදහසත් ඇතුළත් විය හැකි බව යුදෙව් ප්‍රකාශන සංගමය මගින් කළ විචාරයක සඳහන් වෙනවා.
එසේ නම්, තමන්වම හික්මවාගැනීම සඳහා කරන කබාලා නිකායේ ටීකූන් නමැති යාච්ඤාව දෙස අප බැලිය යුත්තේ කෙසේද? එහි මූලාරම්භය කුමක්ද? පොදු යුගයේ 12 සහ 13වන සියවස්වලදී, කබාලා ලෙස හඳුන්වන යුදෙව්වාදයෙහි ගුප්ත නිකායක් ජනප්‍රිය වීමට පටන්ගත්තා. දහසය වන සියවසේදී, රබ්බි කෙනෙක් වන ඊසක් ලූරියා, කබාලාවරුන්ගේ වත්පිළිවෙත්වලට “ටීකූනිම්” යාච්ඤා ඇතුළත් කළා. විශේෂ බලයන් සහිත ගුප්ත මැතිරීමක් ලෙස දෙවිගේ නාමය යොදාගත් අතර, එය කබාලා වත්පිළිවෙත්වල අංගයක් බවට පත් වුණා. මෙය දෙවිගේ නාමය සුදුසු ලෙස භාවිත කිරීමක් කියා ඔබට හැඟෙනවාද?—ද්විතීය කථාව 18:10-12.
එම ප්‍රශ්නයට ඔබ කෙසේ පිළිතුරු දුන්නත්, දෙවිගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නූතන දින ඉශ්රායෙල්හි බොහෝ සෙයින් අසාමාන්‍ය සිද්ධියක් වී තිබෙන බවට ඔබ එකඟ වේවි. එනමුත් දෙවි මෙසේ පුරෝකථනය කළා: ‘ඒ දවසෙහි නුඹලා කතා කොට: යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න, ඔහුගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, ඔහුගේ නාමය උසස් බව සඳහන් කරන්න. යෙහෝවාට ගායනා කරන්න; මක්නිසාද ඔහු උතුම් දේ කළේය. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේ.’—යෙසායා 12:4, 5.
සතුටට කරුණක් නම්, ඉශ්රායෙලය ඇතුළුව රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් තම අසල්වාසීන්ට යෙහෝවා ගැන නිවැරදි දැනුම ලබාගැනීමට උපකාර කිරීම සඳහා සෑම ප්රයත්නයක්ම දරමින් සිටීමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ තව බොහෝදෙනෙක් ඉදිරියේදී ගීතාවලිය 91:14 වැනි බයිබල් පදවල ඇති අර්ථය අගය කරනවා දැකීමයි. එහි මෙසේ සඳහන් වෙනවා: “ඔහු මා [යෙහෝවා] කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.”
[පාදසටහන]
a මිෂ්නා ලෙස හඳුන්වන්නේ, ටානාඉම්වරුන් (ගුරුවරුන්) ලෙස හඳුන්වන රබ්බිවරුන් විසින් කළ පැහැදිලි කිරීම් මත පදනම් වූ ශුද්ධ ලියවිලිමය ව්‍යවස්ථාවට අතිරේකව තිබෙන විචාරයන්වල එකතුවකටයි. එය ලේඛනගත කරනු ලැබුවේ පො.යු. දෙවන ශතවර්ෂයේ අග භාගයේ සහ තුන්වන ශතවර්ෂයේ මුල් භාගයේදීයි.
[28වන පිටුවේ පින්තූරය]
නෙගෙබ්හිදී, යෙහෝවාගේ නම සහ ඔහුගේ වචනය ඔහුගේ ජනයා විසින් දන්වමින් සිටී
[29වන පිටුවේ පින්තූරය]
පෝස්ටරයෙන් දිව්‍ය නාමය පෙන්නුම් කරනවා