රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
‘දෙවිට සියල්ලම පුළුවන්’
මතෙව් 19:26හි සඳහන් වන ඉහත වදන් වෙනිසුවේලාහි සිටින තරුණ ස්ත්‍රියකට සත්‍යයක් බව ඔප්පු වුණා. ඈ යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමට ඉගෙනගත්තායින් පසු බරපතළ ප්‍රශ්නයකින් ගොඩ ඒමට ඇයට හැකි වුණා. ඇය මෙසේ පවසනවා:
“මගේ ආච්චි හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම ප්‍රේමනීයයි. කනගාටුදායක විදියට, මට වයස අවුරුදු 16දී එයා මැරුණා. එයාගේ මරණය මගේ ජීවිතය දෙදරුම් කාපු සිද්ධියක් වුණා. මම මානසිකව හොඳටම වැටුණා. වත්තට යන්න ගෙයින් එළියට බහින්නවත් මට ඕනෙ වුණේ නැහැ. මම සම්පූර්ණයෙන්ම හුදෙකලා වෙලයි හිටියේ.
“මම ඉස්කෝලෙ ගියේවත්, මට රස්සාවක් තිබුණේවත් නැහැ. මම මගේ කාමරයට වෙලා ඔහේ හිටියා. කිසිම යාළුවෙක් නැතුව තට්ට තනියම පාළුවේ හිටපු හින්දා, මම දරුණු අසහනකාරි තත්වයකින් පීඩා වින්දා. මම කිසිම වැදගැම්මකට නැති පුද්ගලයෙක් කියලා මට හැඟුණා. මට මගේ ජීවිතය නැති කරගෙන ඒක සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න ඕනෙ වුණා. ‘ඇයි මම ජීවත් වෙන්නේ?’ කියලා මම මගෙන්ම දිගින් දිගටම අසාගත්තා.
“මගේ අම්මට, ජිසෙලා නමැති තරුණ සාක්ෂිකාරියකගෙන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කලින් ලැබිලා තිබුණා. එක දවසක් මගේ අම්මා, ජිසෙලා අපේ ගේ ගාවින් යනවා දැකලා, පුළුවන් නම් මට උදව් කරන්න කියලා එයාට කිව්වා. ජිසෙලා උත්සාහ කරලා බලන්න කැමති වුණත් මම එයාව මුණගැහෙන්න කැමති වුණේ නැහැ. මේක ජිසෙලාව අධෛර්යය කෙරුවේ නැහැ. එයා මට ලියුමක් ලියලා කිව්වා, එයාට මගේ යාළුවා වෙන්න ඕනේ කියලා. ඒ වගේම එයාට වඩා හුඟාක් වැදගත් කෙනෙක්ටත් මගේ යාළුවා වෙන්න ඕනෙ කියලා කිව්වා. එම තැනැත්තා යෙහෝවා දෙවි බව ඇය පැවසුවා.
“මේක මගේ හිතට හොඳට කාවැදුණා. ඉතිං මම එයාට පිළිතුරක් ලිව්වා. මාස තුනක් තිස්සේ අපි ලිපි හුවමාරු කළා. ජිසෙලා මට හුඟාක් පෙරැත්ත කෙරුවාට පස්සේ අන්තිමේදී මම එයාව හමු වෙන්න ධෛර්යය උපදවාගත්තා. අපේ පළමු හමුවීමේදී පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත යොදාගනිමින් ජිසෙලා මාත් එක්ක බයිබලය අධ්‍යයනය කෙරුවා. රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වෙන්න කියලා, පාඩමෙන් පස්සේ එයා මට ආරාධනා කෙරුවා. මම අවුරුදු හතරක් තිස්සේ ගෙදරින් එළියට බැහැලා තිබුණේ නැති හින්දා, පාරේ යනවයි කියන එක හිතනකොටත් මට මහ භයක් දැනුණා.
“ජිසෙලා මාත් එක්ක හුඟාක් ඉවසිලිවන්තව කටයුතු කෙරුවා. භය වෙන්න කිසිම හේතුවක් නැති බවත්, මාත් එක්ක රැස්වීම්වලට යන්න එන බවටත් ඇය සහතික වුණා. අන්තිමේදී මම කැමති වුණා. අපි රාජ්‍ය ශාලාවට එද්දී මාව වෙව්ලන්න පටන්ගත්තා. ඒත් එක්කම මට දාඩිය දාන්නත් පටන්ගත්තා. මට කිසිම කෙනෙකුට ආචාර කරන්න බැරුව ගියා. ඒ වුණත් මම නොකඩවා රැස්වීම්වලට එන්න පොරොන්දු වුණා. ඒ වගේම ජිසෙලා අත්හරින්නේ නැතුව හැම සතියකම මාත් එක්ක යන්න ආවා.
“මගේ මේ නොසන්සුන් ගතියෙන් ජයගැනීමට උදව් කරන්න ඕන හින්දා ජිසෙලා මාව රැස්වීම්වලට හුඟාක් වේලපහින් එක්කගෙන ගියා. අපි දොර ගාව හිටගෙන ඉඳලා ඇතුල් වෙන සෑම කෙනෙක්වම පිළිගත්තා. ඒ විදිහට, එක සැරේ මුළු කණ්ඩායමකට මුහුණ දෙනවා වෙනුවට එක පාරකට මම මුහුණ දුන්නේ එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට විතරයි. තවදුරටත් මේක මට දරාගෙන ඉන්න බැහැයි කියලා හැඟුණාම ජිසෙලා මට මතෙව් 19:26 පෙන්නනවා. එනම්: ‘ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවිට සියල්ලම පුළුවන.’
“ඒක ලේසි වුණේ නැති වුණත්, අන්තිමේදී මට විශාල පිරිසක් එකතු වන චාරිකා එක්රැස්වීමකට පවා යන්න හැකි වුණා. මම කොච්චර ලොකු පියවරක් අරගෙන තිබුණද! මම 1995 සැප්තැම්බර් මාසයේදී, ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වෙන එක ගැන වැඩිමහල්ලන් එක්ක කතා කරන්න ධෛර්යය උපදවාගත්තා. මාස හයකට පස්සේ, ඒ කියන්නේ 1996 අප්‍රියෙල් මාසයේදී මම වතුර බව්තීස්මයෙන් යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කෙරුවා.
“මට මේක කරන්න ධෛර්යය ලැබුණේ කොහොමද කියලා මෑතකදී කෙනෙක් මගෙන් ඇහුව්වම මම මෙහෙම උත්තර දුන්නා: ‘යෙහෝවාව සතුටු කරන්න තියෙන මගේ ආශාව මගේ භයට වඩා වැඩියි.’ මම තවමත් ඉඳහිට අසහනකාරි තත්වයත් එක්ක පොරබදනවා වුණත් ස්ථාවර පුරෝගාමියක් ලෙස සේවය කරන හින්දා මගේ සතුට වැඩි වෙනවා. අතීතය දිහා බලද්දී, මට ජිසෙලාත් එක්ක එකඟ වෙන්න සිද්ධ වෙනවා. මං ගැන උනන්දුවක් දක්වන ඒ වගේම ‘මාව බලවත් කරන’ යාළුවෙක් දැන් මට ඉන්නවා.”—පිලිප්පි 4:13.
[8වන පිටුවේ පින්තූර]
“යෙහෝවාව සතුටු කරන්න තියෙන මගේ ආශාව මගේ භයට වඩා වැඩියි”