දාරියුස් යුක්තියේ හැඟීමකින් යුතු රජෙක්
තමා ඉදි කිරීමට භාරගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එක් සත්කීර්තිමත් රජෙක් මෙසේ උදම් ඇනුවා: “නැඟෙනහිර පැත්තට වන්න, බබිලෝනියේ මායිමේ මම මායිම් ප්රාකාරයක් තැනීමි. දිය අගලක් කපා . . . කන්දක් මෙන් ස්ථිර වූ සවිමත් ප්රාකාරයක් තාර හා ගඩොලින් මම සෑදීමි.” එසේය, බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් ඉතා විශාල වූ ඉදි කිරීමේ වැඩයක යෙදුණු අතර, තම අධිරාජ්‍යයේ අගනුවර ස්ථිර කිරීමට ඔහු වෙහෙස වී වැඩ කළා. නමුත් ඔහු සිහින මැවූ තරමටම බබිලෝනීය නගරය අපරාජිත එකක් වුණේ නැහැ.
පොදු යුගයට පෙර 539 ඔක්තෝබර් 5වනදා මෙයට සාක්ෂි ලැබුණා. පර්සියාවේ පාලක වූ IIවන කෝරෙෂ් මේදීය හමුදාවද කැටුව, බබිලෝනිය යටත් කරගෙන එහි පාලකයා වූ බේල්ෂශර්ව ඝාතනය කළා. මෙසේ අලුතින් පරාජය කළ නගරයේ පළමු පාලකයා වනු ඇත්තේ කවුද? අගනුවර පරාජයට ලක් වූ විට, එහි සිටි දෙවිගේ ප්‍රොපේත දානියෙල් මෙසේ ලීවා: “අවුරුදු හැටදෙකක් පමණ වයස්ව සිට මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.”—දානියෙල් 5:30, 31.
දාරියුස් කවුද? ඔහු කෙබඳු පාලකයෙක් බව ඔප්පු වුණාද? බබිලෝනියේ අවුරුදු 70කට වැඩි කාලයක් පුරා පිටුවහලෙක් ලෙස සිටි ප්‍රොපේත දානියෙල්ව ඔහු සැලකුවේ කොහොමද?
අපැහැදිලි ඉතිහාසයක් ඇති රජෙක්
මේදීය දාරියුස් පිළිබඳව ඇති ඓතිහාසික තොරතුරු අපැහැදිලි ස්වරූපයක් ගනී. මේදවරුන් ඇත්තටම එක ලිඛිත වාර්තාවක්වත් තබා ගියේ නැති තරම්ය. තවදුරටත්, මැද පෙරදිගින් කැණීම් කර සොයාගත් සියදහස් කීලාකාර ලෑලිවලින්ද සපයන්නේ අඩු පාඩු පිරි අසම්පූර්ණ ඉතිහාසයකි. අද දක්වා පැවත ඇති වෙනත් ඉපැරණි ලෞකික ලියවිලි ගණනින් සීමිත වන අතර, ඒවා දාරියුස් හා සම්බන්ධ සිදුවීම්වලින් සියවසකට හෝ ඊට වැඩි කාලපරිච්ඡේදයකට පසුව සිදු වූ දේවල් ගැන කතා කරයි.
කොහොම වුණත්, මේදියාවේ අගනුවර වන එක්බතානා අල්ලාගැනීමෙන් පසු, IIවන කෝරෙෂ් මේදවරුන්ගේ හිත දිනාගැනීමට සමත් වූ වග සාක්ෂිවලින් ඉඟි දෙයි. ඊට පසුව, ඔහුගේ පාලනය යටතේ මේදවරුන් හා පර්සියානුවන් එකමුතුව සටන් කළා. මේදවරුන් හා පර්සියානුවන් (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ ඔවුන් අතර තිබූ සම්බන්ධතාව ගැන රොබට් කොලින්ස් මෙසේ නිරීක්ෂණය කරයි: “ඔවුන් එකමුතු වූ පසු, මේදවරුන් පර්සියානුවන් හා එකම තළයකයි සිටියේ. ඔවුන්ව සිවිල් ආණ්ඩුමය බලතලවලට හා පර්සියානු හමුදාවේ නායකත්වය පිළිබඳ නිලතලවලට නිතර පත් කරනු ලැබුවා. විදේශිකයන් මේදවරුන් හා පර්සියානුවන් ගැන කතා කළේ පරාජය වූ හා පරාජය කළ යන වෙනසට ලක් නොකරමිනුයි.” මෙසේ මේදියාව පර්සියාව සමඟ සම්මිශ්‍රණය වීමෙන් මේද-පර්සියානු අධිරාජ්‍යය බිහි වුණා.—දානියෙල් 5:28; 8:3, 4, 20.
බබිලෝනිවරුන්ගේ විනාශයට මේදවරුන් මහත් සේ දායක වුණා. බබිලෝනිය පාලනය කිරීම සඳහා පත් කළ මේද-පර්සියානු අධිරාජ්‍යයේ පළමු රජ “මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රවූ දාරියුස්” බව ශුද්ධ ලියවිලි පෙන්වා දෙයි. (දානියෙල් 9:1) “වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට” නීති පිහිටුවීමේ අධිකාරියත් ඔහුගේ රාජකීය බලයට ඇතුළත් වුණා. (දානියෙල් 6:8) දාරියුස් පිළිබඳව බයිබලයේ පවසන දෑ, අපට ඔහුගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් සපයන අතර, ඔහු සම්බන්ධයෙන් ලෞකික තොරතුරුවල හිඟයක් ඇත්තේ මන්ද යන්නටත් වලංගු හේතුවක් සපයයි.
දානියෙල්ට අනුග්‍රහය ලැබෙයි
බබිලෝනියේ බලය තහවුරු කර වැඩි කලක් යන්ට මත්තෙන්, “මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්” දාරියුස් පත් කළ අතර, “ඔවුන් කෙරෙහි අමාත්‍යයන් [උසස් නිලධාරින්, NW] තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය” කියා බයිබලය පවසයි. (දානියෙල් 6:1, 2) කොහොම වුණත්, දානියෙල්ගේ ඉහළ තානාන්තරය අනික් නිලධාරීන් තුළ ඇති කළේ අප්රසන්නබවේ හැඟීමකි. ඔහුගේ අවංකකම නොඅනුමානවම දූෂණය වළකාලීමට හේතුවක් වූ අතර, මෙනයින් බොහෝදුරට කෝපයක් ඇති වෙන්න ඇති. රජ දානියෙල් කෙරෙහි අනුග්‍රහයෙන් යුතු හැඟීමක් පෙන්නුම් කළ නිසාත්, ඔහුව අගමැති ධුරයට පත් කිරීමට කල්පනා කරමින් සිටි නිසාත්, ඉහළ පෙළේ නිලධාරින් තුළ ඊර්ෂ්‍යාවේ හැඟීමක් ඇතිවීමටත් මෙය දායක වෙන්න ඇති.
මේ තත්වයට නිමාවක් දැකීමේ ආශාවෙන්, නිලධාරීන් දෙදෙනා හා දිසාපතීන් නීතික උගුලක් ඇටෙව්වා. දින 30ක් යන තුරු දාරියුස්ට ඇරෙන්න ‘යම් දෙවිකෙනෙකුට හෝ මනුෂ්‍යයෙකුට කරන ඕනෑම අයැදුම් කිරීමක්’ තහනම් කරන විධානයකට අත්සන් තබන හැටියට ඔවුන් රජුගෙන් ඉල්ලා සිටියා. එම නීතිය කඩ කරන ඕනෑම කෙනෙකුව සිංහ ගුහාවට හෙළන හැටියටයි ඔවුන් යෝජනා කළේ. සියලුම නිලවලට අයත් රාජ්‍ය නිලධාරීන් විසින් මෙම විධානය සතුටින් භාරගැනේවිය කියා විශ්වාස කිරීමට දාරියුස්ව පෙලඹෙවූ අතර, එම යෝජනාව රජුට ඇති පක්ෂපාතිත්වය නිරූපණය කිරීමේ ප්‍රකාශයක් මෙන් වුණා.—දානියෙල් 6:1-3, 6-8.
දාරියුස් විධානයට අත්සන් තැබූ අතර, එහි ප්‍රතිඵලවලට කෙළින්ම මුහුණ දෙන්න සිදු වුණා. දානියෙල් දිගටම යෙහෝවාට යාච්ඤා කිරීමේ නිරත වූ නිසා, ඔහු විධානය කඩ කළ මුල් තැනැත්තා වුණා. (ක්‍රියා 5:29 සසඳන්න.) වෙනස් කළ නොහැකි විධානය මඟහැරීමට ක්‍රමයක් සෙවීමට වූ රජුගේ අවංක වෑයම් මධ්‍යයෙත්, ඇදහිලිවන්ත දානියෙල්ව සිංහ ගුහාවට හෙළුවා. ප්‍රොපේත දානියෙල්ව මරණින් බේරාගැනීමට ඔහුගේ දෙවිට බලය තිබෙනවාය කියා දාරියුස් නිසැකකමෙන් යුතුව ප්‍රකාශ කළා.—දානියෙල් 6:9-17.
නිරාහාරව ගෙවූ නිදි නැති රැයකින් පසුව, දාරියුස් කඩිමුඩියේ සිංහ ගුහාව වෙතට ගියා. දානියෙල් කිසිදු හානියකින් තොරව පණ පිටින් සිටිනවා දැකීමෙන් ඔහු මොනතරම් ප්‍රීති වුණාද! යුක්තිසහගත දඬුවමක් හැටියට, රජු දානියෙල්ගේ පැමිණිලිකරුවන් හා ඔවුන්ගේ පවුල් සිංහ ගුහාවට හෙළුවා. එමෙන්ම “රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ [දෙවි] ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට” ආඥාවකුත් ඔහු ස්ථාපිත කළා.—දානියෙල් 6:18-27.
පැහැදිලිවම, දාරියුස් දානියෙල්ගේ දෙවිටත් ඔහුගේ ආගමටත් ගරු කළ අතර, වැරදිකරුවන් නිවැරදි කරන්න යුහුසුලු වුණා. නමුත්, මෙසේ දානියෙල්ගේ පැමිණිලිකරුවන්ට දඬුවම් කිරීම, අනික් නිලධාරින්ගේ වෛරය ඇවිස්සීමට හේතුවක් වෙන්න ඇති. තවදුරටත්, ‘දානියෙල්ගේ දෙවි ඉදිරියෙහි භයවීමට’ ආඥා කරමින් රාජ්‍යය මුළුල්ලේම කළ ප්‍රකාශය බලගතු බබිලෝනීය පූජක පක්ෂය තුළ දැඩි ක්‍රෝධයක්ද ඇති කරන්න ඇති. ලියන්නන් මෙවැනි කාරණාවලින් නිසැකවම බලපෑම් ලැබූ නිසා, ලෞකික වාර්තාවන් යළි සකස් කළා හෝ දාරියුස් පිළිබඳ තොරතුරු නැති කර දැම්මා කියා පැවසුවොත් එය පුදුමයට හේතුවක් නෙවෙයි. නමුත් දානියෙල්ගේ පොතේ ඇති කෙටි වාර්තාවෙන් ඇඟවෙන්නේ දාරියුස් සාධාරණත්වයේ හා යුක්තියේ හැඟීමකින් යුතු රජෙකු බවයි.