ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
දේවදූතයන් සිටින බව දෙවිගේ වචනය තහවුරු කරනවා. මෙම ආත්ම මැවිලි මිලියන ගණන් සිටින බව එය අපට පවසනවා. යෙහෝවා දෙවිගේ සේවකයා වන දානියෙල් ස්වර්ගික දේවල් සම්බන්ධයෙන් දැක තිබුණු දර්ශනය ගැන මෙසේ ලිව්වා: “දහසක් වර දහස් දෙනෙක් [ඔහුට] සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද [ඔහු] ඉදිරියේ සිටියෝය.”—දානියෙල් 7:10.
දානියෙල්ගේ වාර්තාවේ, බොහෝ දේවදූතයන් සිටින බව අපට පවසනවාට වඩා වැඩි යමක් ඉටු කරන බව සැලකිල්ලට ගන්න. දේවදූතයන් දෙවිට සේවය කරන බවත් එය අඟවනවා. ඔවුන් ඔහුගේ සේවකයන්. මීට එකඟව ගීතිකාකරු මෙලෙස ගායනා කළා: ‘ඔහුගේ වාග් ශබ්දය අසා ඔහුගේ වචන ඉෂ්ට කරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, යෙහෝවාගේ දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරව්. යෙහෝවාගේ සේනා සියල්ලෙනි, එනම් ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරන්නාවූ ඔහුගේ මෙහෙකරුවෙනි, ඔහුට ප්‍රශංසා කරව්.’—ගීතාවලිය 103:20, 21.
මනුෂ්‍යයන් හා සමාන භූමික ආරම්භයක් දේවදූතයන්ට නොතිබූ බවත් බයිබලයේ පැහැදිලි කෙරෙනවා. යෙහෝවා ස්වර්ගයේ සිටින දේවදූතයන්ව මැව්වේ ඔහු මේ පොළොව මැවීමටත් ප්‍රථමයෙනුයි. දෙවි ‘පොළොව පිහිටෙවූ කල දෙවිගේ සියලු දේවදූත පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පැවැත්වූවා.’—යෝබ් 38:4-7.
දේවදූතයන් අදෘශ්‍යමාන, බලසම්පන්න සහ ප්‍රඥාවන්ත ආත්ම මැවිලි වෙනවා. බයිබලයේ මල්.’අඛ්’ යන හෙබ්‍රෙව් වචනයත්, ඇග්’ගි.ලොස් යන ග්‍රීක් යෙදුමත් ආත්ම මැවිල්ලක් අඟවන විටදී “දේවදූතයා” ලෙස පරිවර්තනය කරනවා. මෙම වචන බයිබලයෙහි, 400කට ආසන්න වාර ගණනක් සඳහන් වෙනවා. මෙම වචන දෙකටම තිබෙන්නේ එක සමාන අදහසකුයි, එනම් “පණිවුඩකරු” යන්නයි.
දේවදූතයන්ව මුණගැසුණු අවස්ථා
දේවදූතයන් නිසැකවම පණිවුඩකරුවන්. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට දර්ශනය වූ අවස්ථාව ගැන තිබෙන බයිබල් වාර්තාව ඔබ හොඳින් දන්නවා වන්න පුළුවන්. ඇය කන්‍යාවක්ව සිටියත්, ඇය යේසුස් යන නාමය තබන්න යන පුත්‍රයෙකු ප්‍රසූත කරන බව ඔහු ඇයට පැවසුවා. (ලූක් 1:26-33) පිට්ටනියේ සිටි සමහර එඬේරුන්ටත් දේවදූතයෙක් දර්ශනය වුණා. ඔහු මෙසේ දැනුම් දුන්නා: “ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද [උපන්නේය].” (ලූක් 2:8-11) ඒ හා සමානව, හාගර්, ආබ්‍රහම්, ලොත්, යාකොබ්, මෝසෙස්, ගිඩියොන්, යේසු සහ බයිබල් වාර්තාවේ සඳහන් වන වෙනත් අයටත් දේවදූතයන් පණිවුඩ බෙදා දුන්නා.—උත්පත්ති 16:7-12; 18:1-5, 10; 19:1-3; 32:24-30; නික්මයාම 3:1, 2; විනිශ්චයකාරයන් 6:11-22; ලූක් 22:39-43; හෙබ්‍රෙව් 13:2.
දේවදූතයන් විසින් බෙදා දුන් මෙම සියලුම පණිවුඩ දෙවිගේ අරමුණ ඉටු කිරීමෙහිලා එකඟව පැවති අතර, අනිවාර්යයෙන්ම මනුෂ්‍යයන්ගේ අරමුණු ඉටු කිරීම හා බැඳී නොතිබූ බව සැලකිල්ලට ගත යුතු කාරණයක්. දේවදූතයන් දෙවිගේ කැමැත්තට සහ කාලසටහනට අනුව ඔහුගේ නියෝජිතයන් ලෙස පෙනී සිටියා. ඔවුන්ව මනුෂ්‍යයන් කැඳෙව්වේ නැහැ.
උපකාරය පතා අප දේවදූතයන්ට හඬගැසිය යුතුද?
පීඩා සහිත කාලවලදී දේවදූතයන්ට හඬගැසීම සුදුසුද? එසේනම් අපට හොඳින්ම උපකාර කළ හැකි දේවදූතයෙක්ගේ නම දැනගැනීමට අප කැමති වේවි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ දේවදූතයන්ගේ තනතුර, පදවි නාම සහ කාර්යයන් සමඟ ඔවුන්ගේ පටබැඳි නාමයන්ද විකිණීමට තිබෙන සමහරක් පොත්වල සඳහන් කරනවා. එක් පොතක “ප්‍රියතම දේවදූතයන්” සහ “බටහිර ලෝකයේ සිටින ජනප්‍රියම දේවදූතයන්” ලෙස ඔවුන්ව ලැයිස්තුගත කර තිබුණා. ඔබේ ඇස් වහන්න, කීප වතාවක් නැවත නැවත දේවදූතයාගේ නම මුමුණන්න, හොඳට හුස්ම ගන්න, හිමිහිට හුස්ම ගන්න, “ඔවුන් සමඟ සම්බන්ධ වීමට තිබෙන ප්‍රස්තාවට විවෘත වී සිටින්න” කියා දැක්වෙන උපදෙස, නාම ලැයිස්තුවත් සමඟ සඳහන් වෙනවා.
ඊට වෙනස්ව, බයිබලය අපට සපයන්නේ දෙවිගේ විශ්වාසවන්ත දේවදූතයන්ගෙන් දෙදෙනෙක් වන මිකායෙල් සහ ගාබ්‍රියෙල් යන අයගේ නම් පමණයි. (දානියෙල් 12:1; ලූක් 1:27) සෑම දේවදූතයෙක්ම නමක් සහිත අසහාය ආත්ම පුද්ගලයෙක් විනා, පෞද්ගලිකත්වයක් නැති නිකම්ම බලයක් හෝ බලවේගයක් නොවන බව පෙන්වීම, මෙම නම් සැපයීමේ හේතුව වූවා විය හැකියි.
සමහර දේවදූතයන් තමන්ගේ නම් මනුෂ්‍යයන්ට හෙළි කිරීමට අකමැති වූ බව සැලකිල්ලට ගත යුත්තකි. දේවදූතයෙක්ගෙන් ඔහුගේ නම හෙළි කරන ලෙස යාකොබ් ඉල්ලූ විට, ඔහු එසේ කිරීමට කැමති වුණේ නැහැ. (උත්පත්ති 32:29) යෝෂුවා වෙතට පැමිණි දේවදූතයෙකුගෙන් ඔහුව හඳුන්වා දෙන ලෙස ඉල්ලූ අවස්ථාවේදී ඔහු පැවසුවේ තමා ‘යෙහෝවාගේ සේනාවේ අධිපතියා’ වූ බව පමණයි. (යෝෂුවා 5:14) සම්සොන්ගේ දෙමාපියන් දේවදූතයෙක්ගෙන් ඔහුගේ නම විචාළ විට, ඔහු පැවසුවේ, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි” කියාය. (විනිශ්චයකාරයන් 13:17, 18) දේවදූතයන්ගේ නාම ලැයිස්තුවක් නොසැපයීමෙන්, දේවදූතයන්ට අයිති නැති ගෞරවයක් සහ නමස්කාරයක් දීමෙන් බයිබලය අපව ආරක්ෂා කරනවා. තවද අප බලන්න යන ආකාරයට ඔවුන්ගේ පිහිට පැතීමටවත් එය අපට උපදෙස් දෙන්නේ නැහැ.
දෙවිට හඬගැසීම
ආත්ම විෂයේ සිදු වන කාරණා ගැන අපට දැනගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම බයිබලය අපට පවසනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමට . . . ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) දේවදූතයන් බොහොමයකගේ නම් අප දැනගැනීම දෙවිට අවශ්‍යව තිබුණා නම්, ඔහුගේ වචනය වන බයිබලයේ මේවා එළිදරව් කර තබන්න තිබුණා. එමෙන්ම දේවදූතයන් සමඟ සම්බන්ධ වන්නේ සහ යාච්ඤාවේදී ඔවුන් සමඟ කතා කරන්නේ කෙසේද කියා උගන්වන්න ඔහු කැමතිව සිටියා නම්, ඔහු එවැනි තොරතුරු ශුද්ධ ලියවිලිවලට ඇතුළත් කර තබන්න තිබුණා.
ඒ වෙනුවට යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූයේ මෙහෙමයි: “නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ [පියාට] යාච්ඤාකරන්න, . . . එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න: ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:6, 9) ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය නම් මෙයයි: අප දේවදූතයන්ට හඬගැසීම හෝ යාච්ඤා කිරීම නොකළ යුතු නමුත් අප දේවදූතයන්ගේ මැවුම්කරු වන දෙවි වෙත යාච්ඤාපූර්වකව ළඟා විය යුතුයි. ඔහුගේ නම අභිරහසක් නොවෙයි; ඒ වගේම එය එළිදරව් කර දීමට දර්ශන දකින්නෙකු අවශ්‍ය නැහැ. දිව්‍ය නාමය සඟවන්න උත්සාහයන් ගෙන තිබුණත්, එය බයිබල් වාර්තාවේ 7,000කටත් වඩා වැඩි වාර ගණනක් සඳහන්ව තිබෙනවා. උදාහරණයකට, “යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයා” කියා ගීතිකාකරු ගායනා කළ විට ඔහු යොමු දැක්වූයේ ස්වර්ගික පියාටයි.—ගීතාවලිය 83:17.
යෙහෝවා වෙතට අප සුදුසු ලෙස යාච්ඤාව තුළින් ළඟා වෙනවා නම් කිසිවිටක ඔහු අපට සවන් නොදී සිටින්නේ නැහැ. බයිබලයේ අපට මෙම නිසැකකම සපයනවා: “[යෙහෝවා] කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස [ඔහුගේ] බලය පාමින්, [ඔහුගේ] ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.”—2 ලේකම් 16:9.
දේවදූතයන් සහ සදාචාරය
බොහෝවිට මාධ්‍යය තුළින් විස්තර කරන ආකාරයට පටහැනිව, දේවදූතයන් මිනිසුන්ව විනිශ්චය කරන්නේ නැහැ. මනුෂ්‍යයන්ව විනිශ්චය කරන්න දේවදූතයන්ට අධිකාරිත්වයක් නැතැයි යන්නට එය ගැළපෙනවා. “සියලු විනිශ්චයම පුත්‍රයාට” එනම් යේසුස් ක්‍රිස්තුස්ට ‘දී තිබුණත්,’ ‘සියල්ලන්ගේ විනිශ්චයකරුවා’ වන්නේ යෙහෝවායි. (යොහන් 5:23; හෙබ්‍රෙව් 12:23) එසේවූවත්, දේවදූතයන් අප අපේ ජීවිත ගත කරන ආකාරය පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැහැයි කියා සිතීම වැරදිසහගත වෙනවා. යේසු මෙසේ පැවසුවා: “පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන [දෙවිගේ] දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේය.”—ලූක් 15:10.
කොහොම වුණත්, දේවදූතයන් නිකම්ම පැත්තකට වෙලා බලන් ඉන්න අය නොවෙයි. අතීතයේදී, දෙවිගේ විනිශ්චයන් රැගෙන ගිය වධකයන් ලෙස ඔවුන් ක්‍රියා කළා. උදාහරණයකට පුරාණ ඊජිප්තුවට එරෙහිව දෙවි දූතයන්ව භාවිත කළා. ගීතාවලිය 78:49ට අනුව, “[ඔහු] විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට [හෙළුවේය]” කියා සඳහන් වෙනවා. ඒ හා සමානව, එක රාත්‍රියකදී තනි දේවදූතයෙක් අෂූර්වරුන්ගේ යුධ භටයන් 1,85,000ක් විනාශ කළ බව බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා.—2 රාජාවලිය 19:35.
එසේම, දෙවිගේ ධර්මිෂ්ඨ ප්රමිතීන් පිළිපැදීම ප්‍රතික්ෂේප කරමින් සෙසු අයගේ සුභසිද්ධියට තර්ජන එල්ල කරන්නාවූ අයව අනාගතයේදී දේවදූතයන් විසින් විනාශ කරන්න යනවා. යේසු “තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන්” පැමිණ, “[දෙවිව] නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ [යේසුස්ගේ] ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල [දෙන්නේය].” —2 තෙසලෝනික 1:6, 7.
දෙවිගේ විශ්වාසවන්ත දූතයන් ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් සහ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති රැකීමෙන් නිතරම ඔහුගේ කැමැත්ත කරන බව ශුද්ධ ලියවිලි මෙයාකාරයෙන් පෙන්වනවා. දෙවිගේ දූතයන්ගෙන් උපකාර ලබාගැනීමට අපට අවශ්‍ය නම් පැහැදිලිවම අප දෙවිගේ කැමැත්ත දැනගැනීම අවශ්‍ය වන අතර, එය කිරීමට මහත් වෑයමක් දැරිය යුතුයි.
රැකවල් දේවදූතයන්
දේවදූතයන් මිනිසුන්ව රැකබලා ගනිමින් ආරක්ෂා කරනවාද? ප්‍රේරිත පාවුල් මෙසේ විමසුවා: “ඔවුන් [දේවදූතයන්] සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?” (හෙබ්‍රෙව් 1:14) පැහැදිලිවම පාවුල්ගේ පැනයට පිළිතුර ඔව්, කියන එකයි.
බබිලෝනීය රජ වන නෙබුකද්නෙශර් විසින් ගොඩනැඟූ රන් රූපයක් ඉදිරියෙහි වැඳ වැටීමට ප්‍රතික්ෂේප කිරීම නිසා ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ යන හෙබ්‍රෙව්වරුන් තිදෙනාව අධික ලෙස රත් වූ ගිනි උදුනකට හෙළුවා. කොහොමවුණත්, දෙවිගේ මෙම විශ්වාසවන්ත සේවකයන්ට ගින්නෙන් හානියක් වුණේ නැහැ. රජ ගිනි උදුන දෙස බලන විට, ‘මනුෂ්‍යයන් සතරදෙනෙක්ව’ ඔහු දැක්ක අතර, “සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි” ඔහු පැවසුවා. (දානියෙල් 3:25) අවුරුදු කීපයකට පසු, දානියෙල්ට තමාගේ ඇදහිලිවන්තකම නිසා සිංහ ගුහාවක සිටීමට සිදු වුණා. ඔහුත් කිසි උපද්‍රවයකට ලක් නොවී බේරුණ අතර මෙසේ පැවසුවා: ‘මාගේම දෙවි තමන්ගේ දූතයා එවා, සිංහයන්ගේ කටවල් පියෙව්වේය.’—දානියෙල් 6:22.
පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේ, ක්‍රිස්තු අනුගාමිකයන්ගේ සභාව ස්ථාපිත කිරීමත් සමඟම ප්‍රේරිතයන්ව සිරගෙදරින් මුදවාගනිමින් නැවතත් දේවදූතයන් පෙනී සිටියා. (ක්‍රියා 5:17-24; 12:6-12) ඒ වගේම, මුහුදේදී පාවුල්ගේ ජීවිතය අනතුරට ලක් වූ විට, ඔහු නිරුපද්‍රිතව රෝමයට පැමිණෙන බවට දේවදූතයෙක් ඔහුට සහතික කළා.—ක්‍රියා 27:13-24.
දේවදූතයන් එලිෂාට සහ ඔහුගේ සේවකයාට කළ ලෙස තමන්ටත් ආරක්ෂාව සලසා දිය හැකි බවත්, අදෘශ්‍යමාන දේවදූත සේනාවන් ඇත්තටම පවතින බවත් අදදින යෙහෝවා දෙවිගේ සේවකයන් සම්පූර්ණයෙන්ම ඒත්තුගෙන සිටිනවා. (2 රාජාවලිය 6:15-17) සැබවින්ම, “[යෙහෝවාගේ] දූතයා [ඔහුට] භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.”—ගීතාවලිය 34:7; 91:11.
දේවදූතයන් රැගෙන යන පණිවුඩය
දේවදූතයන් යෙහෝවා දෙවිට සේවය කරන අයගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වෙනවා වගේම, ජනයා ඔහු ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගන්න බවට වගබලා ගන්නවා. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: [දෙවිට] භයවී [ඔහුට] ගෞරව දෙන්න.”—එළිදරව් 14:6, 7.
මෙම ‘සදාකාල ශුභාරංචියේ’ අඩංගු දේ ඔබට දැනගැනීමට ඕනෑද? එසේනම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. ඔවුන් ඔබත් සමඟ එය බෙදාගැනීමට සතුටු වෙයි.
[7වන පිටුවේ පින්තූර]
අහස මැද පියාසර කරන දේවදූතයෙක් සදාකාල ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. ඔබට ඒ ගැන දැනගන්න අවශ්‍යද?