ඔබේ හෘදය සාක්ෂිය ඔබට විශ්වාස කළ හැකිද?
සාමාන්‍යයෙන් මාලිමා යන්ත්‍රයක් විශ්වාසදායක උපකරණයක්. පෘථිවියේ චුම්බක ක්ෂේත්රය මගින් දිශාගත කර තිබෙන එහි චුම්බක කටුව නිතරම උතුරු දිශාවට යොමු වෙනවා. ඒ අනුව, මඟ පෙන්වීම සඳහා කිසිම සලකුණක් නැති විට සංචාරකයන්ට දිශාව සොයාගැනීම සඳහා මාලිමා යන්ත්‍රය මත විශ්වාසය තබන්න පුළුවන්. ඒ වුණත්, මාලිමා යන්ත්‍රය අසල කාන්දම් කැබැල්ලක් තැබුවොත් මොනවද වෙන්නේ? කටුව උතුරු දිශාවට යොමු වෙනවා වෙනුවට කාන්දම් කැබැල්ල තිබෙන දිශාවට දෝලනය වෙයි. එවිට එය තවදුරටත් විශ්වාසදායක මඟ පෙන්වීමක් නොවෙයි.
ඒ හා සමාන දෙයක් මිනිස් හෘදය සාක්ෂිය සම්බන්ධයෙනුත් සිදු විය හැකියි. විශ්වාසදායක මඟ පෙන්වීමක් හැටියට කටයුතු කිරීම සඳහා මැවුම්කරු මේ ඉන්ද්‍රීය ශක්තිය මිනිස් සිත තුළට ඇතුල් කළා. අපව දෙවිගේ ස්වරූපයෙන් මවා තිබෙන නිසා, අප තීරණ ගන්නා අවස්ථාවලදී හෘදය සාක්ෂිය අපව නිරතුරුවම නිවැරදි දිශාවට යොමු කළ යුතුයි. දෙවිගේ සදාචාර ප්‍රමිති විදහාපෙන්වීමට එය අපව පෙලඹවිය යුතුයි. (උත්පත්ති 1:27) බොහෝ අවස්ථාවලදී එය එසේ කරනවා. උදාහරණයක් හැටියට, දෙවි විසින් හෙළි කරන ලද ව්‍යවස්ථාව නැති අය පවා “ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් [කරනවා]” කියා ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලිව්වා. එයට හේතුව මොකක්ද? එයට හේතුව ‘ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන් සමඟ සාක්ෂි දෙන’ නිසයි.—රෝම 2:15, 16.
කොහොමවුණත්, හෘදය සාක්ෂිය කතා කළ යුතු අවස්ථාවලදී සැමවිටම කතා කරන්නේ නැහැ. මිනිස් අසම්පූර්ණකම නිසා, අපි නැඹුරු වන්නේ වැරදියි කියා අප දන්නා දේවල් කරන්නයි. “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ” කියා පාවුල් පිළිගත්තා. (රෝම 7:22, 23) වැරදි නැඹුරුවාවන් මගින් පාලනය වීමට අපි නිතරම වගේ ඉඩහරිනවා නම්, අපේ හෘදය සාක්ෂිය හංවඩු ගැසුණු තත්වයකට ටිකෙන් ටික පත් වී, අවසානයේදී එවන් හැසිරීම් වැරදියි කියා පැවසීම නතර කර දැමිය හැකියි.
කොහොමවුණත්, අසම්පූර්ණකම් මධ්‍යයෙහි අපට පුළුවන් අපේ හෘදය සාක්ෂිය දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව සකස් කරගන්න. ඇත්තෙන්ම අපි එසේ කිරීම ඉතාමත් වැදගත්. පවිත්‍ර මෙන්ම නිසි ලෙස පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් දෙවි සමඟ උණුසුම්, පෞද්ගලික සබඳතාවකට මඟ පාදනවා පමණක් නොවෙයි, නමුත් එවැනි හෘදය සාක්ෂියක් අපේ ගැළවීමටත් අත්‍යවශ්‍යයි. (හෙබ්‍රෙව් 10:22; 1 පේතෘස් 1:15, 16) තවදුරටත්, අපේ ජීවිතයේ සාමයට හා සන්තෝෂයට මඟ පාදන නැණවත් තීරණ ගන්න යහපත් හෘදය සාක්ෂියක් අපට උපකාරවත් වෙන්න යනවා. එවන් හෘදය සාක්ෂියක් සතු පුද්ගලයෙකු ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා: “ඔහුගේ [දෙවිගේ] ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.”—ගීතාවලිය 37:31.
හෘදය සාක්ෂිය පුහුණු කිරීම
නිකම්ම නීති මාලාවක් කටපාඩම් කරගෙන, ඒ නීතිවලට තදින්ම ඇලී සිටීමට වඩා වැඩි යමක් හෘදය සාක්ෂිය පුහුණු කිරීම යන්නට අයත් වෙනවා. යේසුගේ කාලයේ සිටි ඵරිසිවරුන් කළේ එයයි. ඒ ආගමික නායකයන් ව්‍යවස්ථාව දැන සිටියා; ව්‍යවස්ථාව කඩ කිරීමෙන් ජනයාව වළක්වනු ඇතැයි කියා සිතූ බොහෝ දේවල් ඇතුළත් සම්ප්රදායක් බිහි කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, යේසුගේ ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩාගෙන කෑ අවස්ථාවේදී, ඔවුන් විගස ඊට විරෝධය පළ කළා. ඒ වගේම යේසු සබත් දවසේදී වියළි අතක් ඇති මනුෂ්‍යයෙකුව සුව කළ අවස්ථාවේදී, ඔවුන් ඔහුට අභියෝග කළා. (මතෙව් 12:1, 2, 9, 10) ඵරිසිවරුන්ගේ සම්ප්‍රදායට අනුව මේ ක්‍රියාවල් දෙකම සිව්වන ආඥාව කඩ කිරීමකි.—නික්මයාම 20:8-11.
ඵරිසිවරුන් ව්‍යවස්ථාව අධ්‍යයනය කළ බව පැහැදිලියි. ඒ වුණත්, ඔවුන්ගේ හෘදය සාක්ෂිය දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව සකස් කර තිබුණාද? කොහෙත්ම නැහැ! සබත් දවසේ කොන්දේසි භයානක ලෙස කඩ කිරීමක් කියා ඔවුන් සිතූ දෙය ගැන අසාධාරණ විවේචනයක් කිරීමෙන් පසු යේසුව ‘නසන්නේ කෙසේද’ කියා ඔවුන් සාකච්ඡා කළා. (මතෙව් 12:14) ධාන්‍ය කරල් කඩාගෙන කෑම ගැන හා සබත් දවසේ කළ සුවපත් කිරීම ගැන ආත්ම-ධර්මිෂ්ඨ ආගමික නායකයන් වහා කලබල වුණත්, යේසුව නසන්න කුමන්ත්‍රණය කිරීමට ඔවුන් පසුබට වූයේ නැහැ. ඒ ගැන සිතා බලන්න!
නායක පූජකයන්ද ඒ හා සමානව විකෘති සිතුවිලි හෙළි කළා. යේසුව පාවා දීම වෙනුවෙන් යූදස්ට දේවමාළිගාවේ භාණ්ඩාගාරයෙන් රිදී මිල 30ක් ලබා දීමට ඉදිරිපත් වූ විට මේ දූෂිත පුද්ගලයන්ට අල්පමාත්රයක තරම්වත් වරදසහිතබවේ හැඟීමක් දැනුණේ නැහැ. බලාපොරොත්තු නොවූ විදිහට යූදස් ඒ මුදල් දේවමාළිගාවේ විසි කර දමා ගිය විට, නායක පූජකයන්ගේ හෘදය සාක්ෂියට නීතිමය උභතෝකෝටික ප්‍රශ්නයක් මගින් අභියෝගයක් එල්ල වුණා. “මේවා [කාසි] ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැත” කියා ඔවුන් පැවසුවා. (මතෙව් 27:3-6) දැන් යූදස්ගේ මුදල් අපවිත්‍ර වීම ගැන නායක පූජකයන් කරදර වූ බව පෙනේ. (ද්විතීය කථාව 23:18 සසඳන්න.) ඒ වුණත්, මේ මිනිසුන් කණ්ඩායමම දෙවිගේ පුත්‍රයාව පාවා දීම සඳහා මුදල් ගෙවීම වරදක් සේ කිසිසේත් සැලකුවේ නැහැ!
දෙවිගේ සිතුවිලිවලට අනුකූලව හැඩගැසීම
ඉහත ආදර්ශවලින් පැහැදිලි වන්නේ කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් ඇතුළත් ලැයිස්තුවකින් මනස පුරවාගෙන සිටීමට වඩා වැඩි යමක් හෘදය සාක්ෂිය පුහුණු කිරීමේදී අවශ්‍ය කරන බවයි. දෙවිගේ නීති පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බවත් ගැළවීම සඳහා ඒවාට කීකරු වීම අවශ්‍ය බවත් ඇත්තයි. (ගීතාවලිය 19:7-11) ඒ කොහොමවුණත්, දෙවිගේ නීති ගැන ඉගෙනගන්නවාට අමතරව, දෙවිගේ සිතුවිලිවලට අනුකූලව හැඩගසන ලද හෘදයක් අපි වැඩිවර්ධනය කරගත යුතුයි. එවිට අපිට පුළුවන් යෙසායා මාර්ගයෙන් ප්‍රකාශ කළ යෙහෝවාගේ මෙම අනාවැකිය ක්‍රියාත්මක වීම අද්දකින්න; එහි මෙසේ සඳහන් වෙනවා: “නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා [උදාර උපදේශකයා, NW] දකින්ටත්, නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.”—යෙසායා 30:20, 21; 48:17.
අපි ඉතා වැදගත් තීරණයක් ගන්නා විට, කළ යුත්තේ මොනවාද කියා සැබෑ කටහඬක් අපට පවසන්න යන බව එයින් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොමවුණත්, කාරණා සම්බන්ධයෙන් අපේ සිතුවිලි දෙවිගේ සිතුවිලිවලට අනුකූලව හැඩගසාගන්නා විට, ඔහුව සතුටු කරවන තීරණ ගැනීමට අපේ හෘදය සාක්ෂිය වඩාත් හොඳින් සකස් වී තියෙයි.—හිතෝපදේශ 27:11.
පොයු යුගයට පෙර 18වන සියවසේ විසූ යෝසෙප් ගැන සිතා බලන්න. තමා සමඟ කාමමිථ්‍යාචාරයේ හවුල් වන්න කියා පෝතිඵර්ගේ භාර්යාව ඔහුට පෙරැත්ත කළ විට මෙසේ පවසමින් යෝසෙප් එය ප්‍රතික්ෂේප කළා: ‘මම මේ මහත් දුෂ්ටකම කර දෙවිට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද?’ (උත්පත්ති 39:9) කාමමිථ්‍යාචාරය හෙළාදකිමින් දෙවි දුන් ලිඛිත ව්‍යවස්ථාවක් යෝසෙප් ජීවත් වූ කාලයේ තිබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි, යෝසෙස් ජීවත් වෙමින් සිටියේ මිසරයේයි; පවුලේ අයගෙන් හික්මවීමක් ලැබීමෙන් හා කුලදෙටුවන්ගේ නීතිවලින් හුඟාක් ඈත්වයි ඔහු සිටියේ. එහෙමනම්, වැරදි පෙලඹීමට එරෙහිව විරෝධය පළ කිරීමට යෝසෙප්ට හැකියාව ලබා දුන්නේ කුමක්ද? සරලව කියනවා නම්, එය ඔහුගේ පුහුණු කරන ලද හෘදය සාක්ෂියයි. ස්වාමිපුරුෂයා සහ භාර්යාව “එක මාංසයක්” විය යුතු බවට වූ දෙවිගේ දෘෂ්ටිය යෝසෙප් දැරුවා. (උත්පත්ති 2:24) එනිසා වෙනත් කෙනෙකුගේ භාර්යාවක් ගැනීම වැරදි බව ඔහු වටහාගත්තා. මේ කාරණය සම්බන්ධයෙන් යෝසෙප්ගේ සිතුවිලි දෙවිගේ සිතුවිලිවලට අනුකූලව හැඩගසනු ලැබුවා. කාමමිථ්‍යාචාරය, සදාචාරය පිළිබඳ ඔහුගේ හැඟීමට පටහැනි දෙයක් වුණා.
අදදිනත් යෝසෙප් හා සමාන අය ස්වල්පදෙනෙක් සිටිනවා. ලිංගික දුරාචාරය සෑම තැනම පැතිරී තිබෙන අතර, සදාචාරමය ලෙස පවිත්‍රව සිටීම සම්බන්ධයෙන් තමාගේ මැවුම්කරුට, තමාටම හෝ තමාගේ කලත්‍රයාට පවා වගකීමේ හැඟීමක් බොහෝදෙනෙක් තුළ නැහැ. මේ තත්වය බොහෝදුරට යෙරෙමියා පොතේ විස්තර කළ දෙයට සමානයි: “මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට [ජනප්‍රිය මාර්ගයට, NW] හැරීයති.” (යෙරෙමියා 8:6) මේ අනුව දෙවිගේ සිතුවිලිවලට අනුව හැඩගැසීම සඳහා වෙන කවරදාටත් වඩා ඉමහත් අවශ්‍යතාවක් අපට තිබෙනවා. එසේ කිරීමට අනිත් අයට උපකාර කිරීම සඳහා අපිට මවිතකර සැපයුමක් තිබෙනවා.
හෘදය සාක්ෂිය පුහුණු කිරීම සඳහා ආධාරකයක්
“[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස [දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි] ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) හරි වැරැද්ද හඳුනාගැනීම සඳහා අපේ “වටහාගැනීමේ ශක්තිය” යනුවෙන් බයිබලය හඳුන්වන දෙය පුහුණු කරගැනීමට බයිබලය පාඩම් කිරීම අපට උපකාරවත් වෙන්න යනවා. (හෙබ්‍රෙව් 5:14, NW) දෙවි ප්‍රේම කරන දේවලට ප්‍රේම කිරීම හා ඔහු වෛර කරන දේවලට පිළිකුලක් ඇති කරගැනීම වර්ධනය කරගන්න එය අපට හැකියාව ලබා දෙනවා.—ගීතාවලිය 97:10; 139:21.
එසේනම් බයිබල් පාඩමේ ඉලක්කය වන්නේ, නිකම්ම තොරතුරු දැනගැනීමට වඩා සත්‍යයේ නියම හරය සහ ගුණය වටහාගැනීමයි. වර්ෂ 1976 සැප්තැම්බර් 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ මෙසේ සඳහන් කර තිබුණා: “ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමේදී අපේ වෑයම විය යුත්තේ, දෙවිගේ යුක්තිය, ප්‍රේමය හා ධර්මිෂ්ඨකම යනාදියේ අර්ථය අවබෝධ කරගෙන, ආහාර ගැනීම හා හුස්ම ගැනීම මෙන් එයත් අපේ ජීවිතයේ කොටසක් වන ලෙස ඒවා අපේ හදවත්වල ගැඹුරටම කාවැද්දවීමයි. සදාචාරාත්මක ලෙස වගකීමෙන් බැඳී සිටීම පිළිබඳ හැඟීමක් ඇති කරගැනීම සඳහා වඩාත් පූර්ණ ලෙස සාවධානව සිටීමට අපි උත්සාහ කළ යුතුයි. ඒ සඳහා හරි වැරැද්ද සම්බන්ධයෙන් තියුණු අවබෝධයක් වැඩිවර්ධනය කරගත යුතුයි. මීට වඩා, පරිපූර්ණ නීති දායකයා හා විනිශ්චයකරු කෙරෙහි වගකීමේ හැඟීමක් අපේ හෘදය සාක්ෂිය තුළ ඇතිවීමට සැලැස්විය යුතුයි. (යෙසා. 33:22) එනිසා දෙවි ගැන දේවල් ඉගෙනගන්න විට, අපේ ජීවිතයේ සෑම අංගයකදීම ඔහුව අනුකරණය කරන්න අපි වෑයම් කළ යුතුයි.”
“ක්‍රිස්තුස්ගේ මනස” අත් කරගැනීම
“ක්‍රිස්තුස්ගේ මනස,” එනම් කීකරුකම හා නිහතමානිකම සම්බන්ධයෙන් ඔහු විසින් විදහාපෙන්වන ලද මානසික ස්වභාවය අප තුළත් ඇති කරගැනීම සඳහා බයිබලය පාඩම් කිරීම අපිට උපකාරවත් වෙන්න යනවා. (1 කොරින්ති 2:16, NW) යේසුට තම පියාගේ කැමැත්ත කිරීම ප්‍රීතිය ගෙන දෙන්නක් වුණා; එය හුදෙක් කල්පනා කිරීමෙන් තොරව, ඉබේටම සිදු වන පුරුද්දක් වුණේ නැහැ. අනාවැකිමය වදන්වලින් ඔහුගේ ආකල්පය විස්තර කරමින් ගීතිකාකාර දාවිත් මෙසේ ලිව්වා: “මාගේ [දෙවියනි], ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; . . . ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහිය.”a—ගීතාවලිය 40:8.
හෘදය සාක්ෂිය පුහුණු කිරීම සඳහා “ක්‍රිස්තුස්ගේ මනස” අත් කරගැනීම ඉතාමත් වැදගත්. පරිපූර්ණ මිනිසෙකු ලෙස මිහිපිට වාසය කරන කාලයේදී යේසු සිය පියාගේ ගුණාංග හා පෞද්ගලිකත්වය මිනිස් සීමාවන් තුළ හැකි උපරිමයෙන් පිළිබිඹු කළා. එනිසා ඔහුට හැකි වුණා මෙසේ පවසන්න: “මා දුටු තැනැත්තේ [පියා] දුටුවේය.” (යොහන් 14:9) මිහිපිට වාසය කරන විට ඔහු මුහුණ දුන් සෑම තත්වයකදීම යේසු කළේ සිය පියාට වුවමනා කළ දෙයයි. එනිසා අපි යේසුගේ ජීවිතය අධ්‍යයනය කරන විට, යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියන දෙය ගැන අපට පැහැදිලි චිත්‍රයක් මැවෙනවා.
යෙහෝවා ‘අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාවෙන් යුක්ත’ කෙනෙක් කියා අපිට කියවන්න තිබෙනවා. (නික්මයාම 34:6) යේසු සිය ප්‍රේරිතයන් සමඟ කටයුතු කරද්දී මේ ගුණාංග නැවත නැවත විදහාපෙන්නුවා. වඩා උතුම් කවුරුන්ද යන්න ගැන කිහිපවතාවක් ඔවුන් වාද කළ අවස්ථාවේදී, “නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය” කියා පවසමින් යේසු වචනයෙන්ද ආදර්ශයෙන්ද ඔවුන්ට ඉවසිලිවන්තව ඉගැන්වුවා. (මතෙව් 20:26, 27) යේසුගේ ජීවිතය කෙරෙහි සැලකිල්ල යොමු කිරීමෙන් දෙවිගේ සිතුවිලිවලට අනුව අපට හැඩගැසිය හැකි බව පෙන්වන එක් ආදර්ශයකි එය.
අපි යේසු ගැන වැඩියෙන් ඉගෙනගන්න තරමට, අපි අපේ ස්වර්ගික පියාව අනුකරණය කිරීමට වඩාත් හොඳින් සන්නාහ සන්නද්ධව සිටින්න යනවා. (එපීස 5:1, 2) දෙවිගේ සිතුවිලිවලට අනුව හැඩගසා ගත් හෘදය සාක්ෂියක් අපව නිවැරදි දිශාවට යොමු කරවනවා. යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන අයට ඔහු මෙසේ පොරොන්දු වෙනවා: “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”—ගීතාවලිය 32:8.
පුහුණු කරන ලද හෘදය සාක්ෂියකින් ප්‍රයෝජන ගැනීම
අසම්පූර්ණ මිනිසුන්ගේ හිතුවක්කාරකම ගැන දැනගෙන මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ [හදවත්] යොමුකරන්න.” (ද්විතීය කථාව 32:46) අපිත් අපේ හදවත්වල දෙවිගේ ව්‍යවස්ථාව ලියාගත යුතුයි. අපි එසේ කරනවා නම්, අපේ හෘදය සාක්ෂිය බොහෝදුරට අපව නියම දිශාව ඔස්සේ ගෙන යන අතර නිවැරදි තීරණ ගන්න අපට උපකාර කරන්න යනවා.
ඇත්තෙන්ම අපි පරෙස්සම් විය යුතුයි. බයිබල් හිතෝපදේශයක මෙසේ පවසනවා: “මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.” (හිතෝපදේශ 14:12) බොහෝ අවස්ථාවලදී, දේවල් මේ විදිහට සිදු වන්නේ ඇයි? එයට හේතුව බයිබලය මෙසේ ඉදිරිපත් කරයි: “සියල්ලට වඩා [හෘදය] රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?” (යෙරෙමියා 17:9) එනිසා හිතෝපදේශ 3:5, 6හි සඳහන් මෙම ඔවදන පිළිපැදීමේ අවශ්‍යතාවක් අප සියලුදෙනාටම තිබෙනවා: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු [හෘදයෙන් යෙහෝවා, NW] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.”
[පාදසටහන]
a හෙබ්‍රෙව්වරුන්ට ලියූ සිය ලිපියේදී, ප්‍රේරිත පාවුල් 40වන ගීතිකාවේ සඳහන් වදන් යේසුස් ක්‍රිස්තුස්ට අදාළ කර දැක්වුවා.—හෙබ්‍රෙව් 10:5-10.
[7වන පිටුවේ පින්තූරය]
මාලිමා යන්ත්‍රයක් හා සමානව අපව නිවැරදි දිශාවට යොමු කරවන්න බයිබලයට එකඟව පුහුණු කළ හෘදය සාක්ෂියකට හැකියි
[හිමිකම් විස්තර]
මාලිමා යන්ත්‍රය: අනුග්‍රහය, Peabody Essex Museum, Salem, Mass.