ඔබට හරි වැරැද්ද හඳුනාගත හැකිද?
“මිනිසුන් 25දෙනෙකුව විතර මරාදැමීම ගැන මම පෞද්ගලිකව වගකිව යුතුව තිබුණා. . . . හැම රාත්‍රියකම, හැම දවසකම මගේ මනසේ ඒ චිත්‍රය මැවිලා පේනවා. මට භයානක හීන පේනවා. . . . මම කොහේ හරි යනකොට සමහර අයව දකිද්දී මට මරාදාපු මිනිසුන්ව මතක් වෙනවා. ඒක හරියට අද වුණා වගේ, මේ දැන් වුණා වගේ මැවිල පේනවා. . . . මම කරපු දේවලට මට මටම සමාවක් දෙන්න බැහැ.”—වී.එස්.
“එහෙට ගිහිල්ලා සතුරන්ව විනාශ කරල දාන්න මට අණ කෙරුවා. . . . ඒ අය පිරිමින්ද, ගැහැනුන්ද, ළමයින්ද කියල මොහොතකටවත් නතර වෙලා කල්පනා කෙරුවේ නැහැ. . . . මට කියපු විදිහට මම කෙරුවා කියලයි මට එදත් හැඟුණේ, අදත් හැඟෙන්නේ. මට දුන්න නියෝග මම පිළිපැද්දා. මට එකේ වරදක් පේන්නේ නැහැ.”—ඩබ්.සී.
ඉහත සඳහන් කළ මිනිසුන් දෙදෙනා 1968 මාර්තු 16වනදා නින්දාසහගත යුද්ධ අපරාධයක් ලෙස පසු කලෙක නම් කළ අපරාධයකට හවුල් වුණා. අනිත් සොල්දාදුවන් සමඟ ඔවුනුත් වියට්නාමයේ කුඩා ගමකට ඇතුල් වී, ස්ත්‍රීන්, දරුවන් හා වයසක පුරුෂයන් ඇතුළුව සාමාන්‍ය වැසියන් සියගණනක් මරා දැම්මා. ඒ වුණත්, මේ සොල්දාදුවන් දෙදෙනාගේ එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියාවන් සැලකිල්ලට ගන්න. පළමු සොල්දාදුවා තමා කළ දෙය මගින් බලවත් වේදනාවක් අද්දකිනවා. තමා කළ දෙයට හොඳ හේතු තිබෙනවා කියා දෙවන සොල්දාදුවාට හැඟෙනවා. මිනිසුන් දෙදෙනෙකු එකම අද්දැකීමට බෙහෙවින් වෙනස් ආකාරයක ප්‍රතිචාරයක් දැක්විය හැක්කේ කෙසේද?
එයට සපයන පිළිතුර හෘදය සාක්ෂිය හා සම්බන්ධයි. එය අප ගැනත් අප කරන දේවල් ගැනත් අපේ චේතනා ගැනත් අවංක තක්සේරුවක් කරන්න දෙවි විසින් දානය කර තිබෙන අපට උපකාර කරන ඉන්ද්‍රීය ශක්තියක්. හෘදය සාක්ෂිය කියන්නේ හරි වැරැද්ද සම්බන්ධයෙන් අපේ ඇතුළාන්තයේ ඇති වන හැඟීමයි.
තීරණ ගැනීමේදී, “ඔබේ මඟ පෙන්වන්නා වීමට ඔබේ හෘදය සාක්ෂියට ඉඩහරින්න” කියා නිතර කියන දෙය සමහරුන් ආධාරයක් කරගන්නවා. කොහොමවුණත් හෘදය සාක්ෂිය සැමවිටම විශ්වාසදායක නොවීම කනගාටුවට කරුණක්. ඇත්තෙන්ම, සමහර අය ඉතාමත් බිහිසුණු දාමරික ක්‍රියාවලට ඉඩ දී තිබෙනවා පමණක් නොව ඒවායෙහි හවුල් වෙලත් තිබෙනවා. ඒ වුණත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කොහොමටවත් දොස් කියන්නේ නැහැ. (යොහන් 16:2; ක්‍රියා 8:1) ඉංග්‍රීසි නවකතාකරුවෙකු වූ සැමුවෙල් බට්ල’ වරක් පැවසුවාක් මෙන් හෘදය සාක්ෂිය, “එයට සවන් දෙන්න අකමැති අයට කතා කිරීම වහාම නවතා දමයි.”
ඔබේ හෘදය සාක්ෂිය ඔබට විශ්වාස කළ හැකිද? ඊළඟ ලිපියේ පෙන්වා දෙන්නාක් මෙන් පිළිතුර බොහෝදුරට රඳා පවතින්නේ එය කොතරම් හොඳින් පුහුණු කර තිබෙනවාද යන්න මතයි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ යුධ දර්ශනය: U.S. Signal Corps photo