නිදහස වෙත හියුගනට්වරුන්ගේ පලායෑම
“අපගේ රාජ්‍යයේ සරණය ලැබීම සඳහා, පැමිණෙන සෑම ප්‍රංශ රෙපරමාදුවෙකුම අපගේ රාජකීය ආරක්ෂාව ලබනවා පමණක් නොව . . . ඔවුන්ට ආධාර, උපකාර සහ සහය ලබාගැනීමට අප සියලු සාධාරණ ක්‍රම සහ විධි සපයන බවත් . . . එසේ, මෙහි ඔවුන්ගේ විසීම ඔවුන්ට සුවපහසු එකක් කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කරන බවත් රජුගේ සහ රැජිනගේ නාමයෙන් . . . අපි ප්‍රකාශ කර සිටිමු.”
එසේ කියවෙන්නේ, 1689දී එංගලන්තයේ රජ සහ රැජිනිය වූ විලියම් සහ මේරි විසින් කළ ප්‍රකාශයෙයි. නමුත්, හියුගනට්වරුන් ලෙස හැඳින්වූ ප්‍රංශ රෙපරමාදුවන්ට ප්‍රංශයෙන් පිටත සරණය සහ ආරක්ෂාව පැතීමට සිදු වූයේ ඇයි? දැනට අවුරුදු 300කට පමණ ඉහතදී ඔවුන් ප්‍රංශයෙන් පලායෑම අදදින අපට වැදගත් වන්නේ ඇයි?
ආගම හා බැඳි යුද්ධ සහ වාදවිවාද හේතුවෙන් 16වන සියවසේ යුරෝපය බලවත් පීඩාවට ලක් වුණා. කතෝලිකයන් සහ රෙපරමාදුවන් අතර පැවති ආගමික යුද්ධවලින් (1562-1598) දෙවනත් වූ ප්‍රංශය, මෙම වියවුලෙන් මිදුණේ නැහැ. කෙසේවෙතත්, 1598දී ප්‍රංශයේ IVවන හෙන්රි රජ ඉඩ දීමේ නියෝගයකට අත්සන් තැබුවා. ඒ තමයි නන්ට්හි නියෝගය. එයින් රෙපරමාදු හියුගනට්වරුන්ට යම් තාක් දුරකට ආගමික නිදහසක් ප්රදානය කෙරුණා. ආගම් දෙකේ මෙම නීතික පිළිගැනීම යුරෝපය තුළ අද්විතීය වුණා. එය, අවුරුදු 30කට වැඩි කාලයක් පුරා 16වන සියවසේ ප්‍රංශය පලුදු කළ ආගමික කැලඹීම්වලට කෙටි විරාමයක් තැබුවා.
නන්ට්හි නියෝගය “සදාකාලික සහ වෙනස් කළ නොහැකි” එකක් හැටියට අදහස් කළත්, 1685දී, ෆොන්ටන්බ්ලෝහි නියෝගය මගින් එය අවලංගු කළා. මෙම අවලංගු කිරීම “ප්‍රංශයේ මහත් ඛේදවාචකයන්ගෙන් එකක්” ලෙස ප්‍රංශ දාර්ශනික වොල්ටෙයාර් පසුව විස්තර කළා. ඒ හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළදී, 2,00,000ක් පමණ හියුගනට්වරුන්ට අනිත් රටවලට පලායෑමට සිදු වුණා. කෙසේවෙතත්, එහි ප්‍රතිඵල දුරදිග ගියා. නමුත් ආගමික ඉඩ දීමට පක්ෂව තිබූ නන්ට්හි නියෝගය අවලංගු කළේ ඇයි?
මුල සිටම විරෝධතා
නන්ට්හි නියෝගය නිල වශයෙන් අදාළ වුණේ අවුරුදු 90කට පමණක් වුවත්, “1685දී එය සම්පූර්ණයෙන්ම මරා දමද්දීත්, පණ අදිමිනුයි තිබුණේ” කියා එක් ඉතිහාසඥවරියක් සඳහන් කරනවා. ඇත්තවශයෙන්ම, නියෝගය ප්‍රබල පදනමක් මත ගොඩනඟා තිබුණේ නැහැ. මුල සිටම, එය කතෝලික පූජකයන් සහ ඔවුන් “නා.රෙ.ආ.” (නාමමාත්ර රෙපරමාදු ආගම) ලෙස හැඳින්වූවන් අතර, “ශීත යුද්ධයක්” ලෙස විස්තර කළ තත්වයට දායක වුණා. එය නිකුත් කළ 1598 සිට 1630 පමණ කාලය දක්වා, රෙපරමාදුවන් සහ කතෝලිකයන් අතර පැවති ප්‍රසිද්ධ විවාද වටාත්, නිකායික සාහිත්‍ය කෘති පළ කිරීම වටාත්, නන්ට්හි නියෝගය සඳහා තිබූ විරෝධතා කරකැවෙමින් පැවතුණා. කෙසේවෙතත්, නොරිස්සීමේ විවිධ පැති තිබුණා.
වර්ෂ 1621 සිට 1629 දක්වා රෙපරමාදුවන්ට විරුද්ධව යුද්ධ කිරීමෙන් පසු, ප්‍රංශ ආණ්ඩුව යටපත් කිරීමේ වැඩපිළිවෙළක් තුළින් ඔවුන්ව කතෝලික රාමුව තුළට ගැනීම සඳහා බල කිරීමට උත්සාහ කළා. මෙම අඩන්තේට්ටම “සූර්ය රාජයා” වන XIVවන ලුවී යටතේ වඩා දරුණු වුණා. ඔහුගේ පීඩාවේ ප්‍රතිපත්ති නන්ට්හි නියෝගය අවලංගු කිරීමට පාර කැපුවා.
මැඩපැවැත්වීම
මැඩපැවැත්වීමේ කොටසක් හැටියට, රෙපරමාදු ජනතාවගේ අයිතිවාසිකම් ක්‍රමානුකූලව ඉවත් කළා. වර්ෂ 1657 සිට 1685 දක්වා, බොහෝ අවස්ථාවල පූජකයන් විසින් යෝජනා කළ නීති 300ක් පමණ හියුගනට්වරුන්ට එරෙහිව පනවනු ලැබුවා. පැනවූ එම නීති ඔවුන්ගේ ජීවිතයේ සෑම අංගයක්ම ආක්‍රමණය කළා. උදාහරණයක් හැටියට, වෛද්‍ය, නීතික සහ වින්නඹුකම වැනි වෘත්තීන් ගණනාවක් හියුගනට්වරුන්ට තහනම් කළා. වින්නඹුකම ගැන එක් ඉතිහාසඥවරියක් හේතු දැක්වූයේ මෙම ආකාරයටයි: “රටේ පවතින පිළිවෙළ විනාශ කිරීම ඉලක්ක කරගත් මිථ්යාවාදියෙක්ව, ජීවිතයක් සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ කොහොමද?”
වර්ෂ 1677දී විරෝධයේ ග්‍රහණය තවදුරටත් දැඩි කළා. කතෝලිකයෙක්ව හරවාගැනීමට උත්සාහ කරමින් සිටින ඕනෑම හියුගනට්වරයෙක්ව හසු වුණොත්, ප්‍රංශ පවුම් දහසක් දඩ ගසන්න නියම වුණා. අති අසාධාරණ බදුවලින් අත් කරගත් රාජ්‍ය අරමුදල් හියුගනට්වරුන්ව නම්මවාගැනීමට යොදාගනු ලැබුවා. වර්ෂ 1675දී, කතෝලික පූජකයන් ප්‍රංශ පවුම් මිලියන 4.5ක් XIVවන ලුවීට දෙමින් මෙසේ කිව්වා: “ඔබ දැන් ඔබේ බලය පාවිච්චි කර අධර්මය සම්පූර්ණයෙන්ම මකා දැමීමට ක්‍රියා කිරීමෙන් ඔබේ කෘතඥතාව නිකම්ම කටවචනයට සීමා නොකළ යුතුයි.” හැරුණවුන්ව “මිල දී” ගැනීමේ මෙම උපායේ ප්‍රතිඵලයක් හැටියට, අවුරුදු තුනක් ඇතුළත 10,000දෙනෙක්ව කතෝලික ධර්මයට හරවාගැනීමට හැකි වුණා.
වර්ෂ 1663දී, රෙපරමාදු ධර්මයට හරවාගැනීම නීති විරෝධී දෙයක් කරනු ලැබුවා. හියුගනට්වරුන් ජීවත් විය යුත්තේ කොහේද යන්න ගැනත් තහංචි පනවා තිබුණා. එහි දරුණුකම පිළිබඳ උදාහරණයක් වන්නේ, වයස අවුරුදු හතේ දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගේ කැමැත්තට පිටින් කතෝලිකයන් වීමට හැකිවීමයි. තම දරුවන් කතෝලික හෝ යේසු නිකායික උපදේශකයන්ගෙන් අධ්‍යාපනය ලබද්දී ඒ සඳහා මුදල් ගෙවීමට රෙපරමාදු දෙමාපියන් බැඳී සිටියා.
හියුගනට්වරුන්ව මැඩලීමට යොදාගත් තවත් අවියක් වූයේ, රහස් කොම්පඥෙ ඩ්‍යු සන්-සක්රමාන් (ශුද්ධ වූ සක්‍රමේන්තු සමාගම). මෙය කතෝලික සංවිධානයක් වූ අතර, ෂනින් ගරිසොන් නම් ඉතිහාසඥවරිය කියන්නේ, මුළු ප්රංශයම වසාලන තරමට “විශාල ජාලයක්” ලෙස එය පැතුරුණු බවයි. එය සමාජ කවයේ ඉහළම තැන පවා පසාරු කළ අතර, ආර්ථිකව මෙන්ම සතුරා පිළිබඳ තොරතුරුවලින් පවා ඊට අඩුවක් වුණේ නැහැ. එහි ක්‍රම සහ විධි බොහෝ වූ බව ගරිසොන් පැහැදිලි කරනවා: “පීඩන, බාධා පැමිණවීම, තම වාසිය සඳහා දේවල් හරවාගැනීම, ප්‍රසිද්ධියේ හෙළාදැකීම ආදියෙන් රෙපරමාදු සමාජය බිඳ හෙළීමට කොම්පඥෙ විසින් සෑම මාධ්‍යයක්ම යොදාගනු ලැබුවා.” එසේවුවත්, මෙම පීඩාකාරි කාලය තුළ හියුගනට්වරුන් බොහෝදෙනෙක් ප්‍රංශයේ රැඳී සිටියා. ඉතිහාසඥවරිය වන ගරිසොන් සටහන් කරන්නේ මෙසේයි: “තමන්ට විරුද්ධව වෛරය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට හියුගනට්වරුන් විශාල සංඛ්‍යාවන් වශයෙන් ප්‍රංශය හැරදා නොගියේ ඇයි කියා තේරුම්ගන්න අපහසුයි.” කෙසේවෙතත්, නිදහස සඳහා පලායෑම කල් යත්ම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වුණා.
නැවතත් මුලට
නයිමේජන්හි සාමයත් (1678) රැටස්බාන්හි තාවකාලික සාම ගිවිසුමත් (1684) XIVවන ලුවී රජුව විදේශීය යුද්ධවලින් නිදහස් කළා. වර්ෂ 1685 පෙබරවාරි මාසයේදී, ඉංග්‍රීසි ඕඩයෙන් එතෙර එංගලන්තයේ කතෝලිකයෙක් රජකමට පත් වුණා. දහහතරවන ලුවීට මෙම අලුත් තත්වයෙන් ප්‍රයෝජන ගත හැකි වුණා. වසර කිහිපයකට පෙර, ප්‍රංශයේ කතෝලික පූජකයන් පාප්වරයාගේ බලයට තහංචි පැනවූ ප්‍රංශ ආඥා හතරක් නිකුත් කළා. එවිට XIවන ඉනසන්ට් පාප්, “ප්‍රංශ පල්ලිය සම්පූර්ණයෙන්ම වාගේ භේදකාරි එකක් ලෙස සලකනු” ලැබුවා. නන්ට්හි නියෝගය අවලංගු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, පාප්වරයා ඉදිරියේ පලුදු වූ කීර්තිය ප්‍රකෘතිමත් තත්වයට ගෙනෙන්නත්, ඔහු සමඟ පැවති සාමාන්‍ය සම්බන්ධය යළි පිහිටුවාගැනීමටත් XIVවන ලුවීට හැකි වුණා.
රෙපරමාදුවන්ට විරුද්ධ රජුගේ ප්‍රතිපත්තිය ඉතා හොඳින් පැහැදිලි වුණා. මෘදු ක්‍රමය (ඒත්තුගැන්වීම සහ නීති පැනවීම) පෙනෙනවිදිහට වැඩදායක වුණේ නැහැ. අනිත් අතට, ඊට ආසන්න කාලයකදී ඩ්රැගනේඩයa සාර්ථක වුණා. එමනිසා 1685දී, XIVවන ලුවී, නන්ට්හි නියෝගය අවලංගු කර, ෆොන්ටන්බ්ලෝහි නියෝගයට අත්සන් තැබුවා. මෙම අවලංගු කිරීම සමඟම ඇති වූ සාහසික පීඩාව, නන්ට්හි නියෝගය පැනවීමට පෙර පැවති තත්වයට වඩා දරුණු තත්වයකට හියුගනට්වරුන්ව ඇද දැමුවා. දැන් ඔවුන් කුමක් කළ යුතුද?
සැඟවෙන්නද, සටන් කරන්නද නැත්නම් පලායන්නද?
සමහර හියුගනට්වරුන් රහසිගත ලෙස වන්දනා කිරීමට තෝරාගත්තා. ඔවුන්ගේ රැස්වීම් ස්ථාන විනාශ කිරීමත්, ඔවුන්ගේ ප්‍රසිද්ධ වන්දනාව තහනම් කිරීමත් සමඟම, ඔවුන් ‘කතරේ පල්ලිය’ හෝ රහසිගත වන්දනා වෙත හැරෙන්න පටන්ගත්තා. ඔවුන් මෙය කළේ, 1686 ජූලි මාසයේදී පනවන ලද නීතියකට අනුව, එවැනි රැස්වීම් පවත්වන ජනයා මරණයට පත් කිරීමේ අවදානම හමු වෙයි. සමහරුන් පසුව නැවත හියුගනට්වරයෙක් වෙන්න පුළුවන් කියා සිතමින්, තමන්ගේ ඇදහිල්ල අතහැරියා. හැරුණාවූ සමහරුන් කතෝලික ධර්මය පිටාතර ඔපයට ඇදහූ අතර, එය පසු පරම්පරාවන් ආදර්ශයට ගත්තා.
ආණ්ඩුව හැරුණාවූ අයව එක්සත් කරන්න උත්සාහ කළා. අලුතෙන් හැරුණාවූ අය රැකියා ලබාගැනීම සඳහා, තමන් සහභාගි වන පල්ලියේ පැමිණීම වාර්තා කළ මීසම් භාර පූජකයාගේ අත්සන ඇති තමන්ගේ කතෝලිකභාවය තහවුරු කරන සහතිකයක් ලබාගත යුතු වුණා. දරුවන් බව්තීස්ම කර කතෝලිකයන් ලෙස ඇති දැඩි නොකළොත්, ඔවුන්ව ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ඉවත් කරන්න ඉඩ තිබුණා. පාසැල්වල කතෝලික අධ්‍යාපනය ව්‍යාප්ත කළ යුතුව තිබුණා. “පොතේ [බයිබලයේ] ජනයා” ලෙස හැඳින්වූ රෙපරමාදුවන් සඳහා කතෝලික ධර්මයට සහයෝගීත්වය දක්වන නිර්මාණ නිපදවන්න වෑයම් දැරුවා. ආණ්ඩුව මිලියනයකට වඩා පොත් මුද්‍රණය කර, බොහෝදෙනා හැරුණාවූ ප්‍රදේශවලට ඒවා යවනු ලැබුවා. යමෙක් කතෝලික අන්තිම ආලේපය ප්‍රතික්ෂේප කර පසුව යම් විදිහකින් සුව වුණා නම්, ජීවිතාන්තය දක්වා සිරගෙට හෝ නැව්වල හබල්කරුවන් ලෙස යවන තරමටම නීති දැඩි වුණා. එමෙන්ම පසුව ඔහු මියගිය විට, ඔහුගේ සිරුර කුණු කසළ මෙන් නිකම්ම විසි කර, ඔහුට අයිති දේවල් රාජසන්තක කළා.
සමහර හියුගනට්වරුන් අවි අතට ගත්තා. ආගමික උමතුව සඳහා නම් දැරූ සේවෙන් කලාපයේ සටන්කාමී හියුගනට්වරුන්ව කැමිසාඩ්වරු ලෙස හැඳින්වූ අතර, ඔවුන් 1702දී කැරලිගැසුවා. කැමිසාඩ්වරුන්ගේ සැඟවී කළ පහර දීම්වලට සහ රාත්‍රි-කාලයේ ආක්රමණවලට ප්‍රතිචාරය දක්වමින් ආණ්ඩුවේ සේනාංක ගම්මාන ගිනිලෑවා. විටින් විට සිදු කරන හියුගනට් ආක්‍රමණ දිගින් දිගටම පැවතුණත්, ලුවී රජුගේ හමුදා බලය 1710 වෙද්දී, කැමිසාඩ්වරුන්ව අතුගා දමා තිබුණා.
හියුගනට්වරුන්ගේ තවත් ප්‍රතිචාරයක් වූයේ ප්‍රංශයෙන් පලායෑමයි. එම රට හැර යෑම, ඇත්තටම සැම තැනකටම විසිරයෑමක් සේ හඳුන්වා තිබෙනවා. රජය ඔවුන් සතු දේ රාජසන්තක කළ නිසා, එසේ හැර යන බොහෝ හියුගනට්වරුන් අසරණ වුණා. කතෝලික පල්ලිය එම ධන සම්භාරයෙන් කොටසක් ලැබුවා. එමනිසා පලායෑම පහසු එකක් වුණේ නැහැ. පිටවීමේ මං පිරික්සමින්, නැව් සෝදිසි කරමින්, සිදු වෙමින් පැවති දෙය සම්බන්ධයෙන් ප්‍රංශ ආණ්ඩුව වේගයෙන් ප්‍රතික්‍රියා කළා. බේරීයන්නන්ව අල්ලා දෙන අයට ත්‍යාග ලබා දුන් නිසා, මුහුදු කොල්ලකාරයන් ප්‍රංශයෙන් පිට වන නැව් කොල්ල කෑවා. පලායද්දී හසු වූ හියුගනට්වරුන් දරුණු දඬුවම්වලට මුහුණ දුන්නා. දේවල් තවත් දුෂ්කර කරවමින්, පලායෑමට සැලසුම් කරමින් සිටි අයගේ නම් සහ ඔවුන්ගේ ගමන් මාර්ග සොයාගැනීමට ප්‍රජාව තුළම සිටි ඔත්තුකාරයන් උත්සාහ කළා. ලියුම් අතරමඟ නැවැත්වීම, හොර අත්සන් ගැසීම සහ වංචාව පොදු දෙයක් වුණා.
බෙහෙවින් අගය කළ සරණක්
ප්‍රංශයෙන් හියුගනට්වරුන්ගේ පලායෑමත්, සත්කාරක රටවල් ඔවුන්ව පිළිගැනීමත්, සරණය ලෙස හැඳින්වූවා. හියුගනට්වරුන් නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ එංගලන්තය වෙත පලාගොස් තිබුණා. පසුව සමහරුන් ස්කැන්ඩිනේවියාව, අමෙරිකාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අමෙරිකාව සහ රුසියාව වෙත ගියා.
හියුගනට්වරුන්ට තමන් වෙත පැමිණෙන ලෙස දිරිගන්වමින් යුරෝපීය රටවල් ගණනාවක් නියෝග නිකුත් කළා. නිදහස් පුරවැසිකම, බදුවලින් නිදහස් කිරීම සහ ව්‍යාපාර සමාගම්වල සාමාජිකත්වය නොමිලේ ලැබීම, ඉදිරිපත් කළ පෙලඹවීම් අතර වුණා. ඉතිහාසඥවරියක් වන එලිසබෙත් ලැබෲස්ට අනුව, හියුගනට්වරුන්ගෙන් බොහෝදෙනෙක්, “තරුණ පුරුෂයන් වූ අතර . . . අතිවිශේෂ සදාචාර සාරධර්ම ඇති, ඕනෑම දෙයකට සූදානම් ක්‍රියාශීලී යටත්වැසියන් වුණා.” ප්‍රංශය මෙසේ, ඇගේ බලයේ හිණි පෙත්තේ සිටියත්, කර්මාන්ත ගණනාවක නිපුණ වැඩකරුවන් ඔවුන්ට අහිමි වුණා. ඔව්, “වස්තුව, වාසනාව සහ ශිල්ප ක්‍රම” එතෙර ගියා. හියුගනට්වරුන්ට සරණය දීමේදී ආගමික මෙන්ම දේශපාලන කාරණාත් යම් කාර්යභාරයක් දැරුවා. නමුත්, මෙම දිගු කාලීන විදේශගත වීමේ ඵලවිපාක වූයේ මොනවාද?
නන්ට්හි නියෝගය අවලංගු කිරීම සහ පීඩා පැමිණවීමේ ඵලවිපාකයක් හැටියට නිෂේධාත්මක ජාත්‍යන්තර ප්‍රතික්‍රියා පැනනැඟුණා. ඔරෙන්ජ්හි විලියම්, පැවති ප්‍රංශ-විරෝධී හැඟීම් නෙදර්ලන්තයේ පාලකයා වීම සඳහා තම වාසියට හරවාගත්තා. හියුගනට් නිලධාරීන්ගේ සහයෙන්, ඔහු කතෝලික IIවන ජේම්ස් රජු වෙනුවට මහා බ්‍රිතාන්‍යයේ රජ බවටද පත් වුණා. ඉතිහාසඥ ෆීලීප් ෂූටා පැහැදිලි කරන්නේ මෙසේයි: “IIවන ජේම්ස් රජුගේ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ XIVවන ලුවීගේ රෙපරමාදු විරෝධී ප්‍රතිපත්තිය [සහ] ඔග්ස්බ’ග් ගිවිසුම පිහිටුවීමයි. . . . [මෙම] සිදුවීම් යුරෝපා ඉතිහාසය වෙනතකට හැරවූ අතර, ප්‍රංශ ආධිපත්‍යය වෙනුවට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය පැතිරීමට හේතු වුණා.”
හියුගනට්වරුවන් යුරෝපය තුළ වැදගත් සංස්කෘතික කාර්යභාරයක් ඉටු කළා. අලුත ලැබුණු නිදහස පාවිච්චි කරමින් ඥානාලෝකය පිළිබඳ දර්ශනවාදය සහ ආගමික නිදහසට ඉඩ දීම පිළිබඳ අදහස් සකස් කිරීමට ඔවුන් සාහිත්‍ය කෘති නිර්මාණය කළා. උදාහරණයක් හැටියට, ප්‍රංශ රෙපරමාදුවෙක්, ඉංග්‍රීසි දාර්ශනික ජොන් ලෝක්ගේ ස්වාභාවික අයිතිවාසිකම් පිළිබඳ අදහස පැතිරෙවූ කෘතීන් පරිවර්තනය කළා. වෙනත් රෙපරමාදු ලේඛකයන් හෘදය සාක්ෂියේ නිදහසේ ඇති වැදගත්කම ගැන අවධාරණය කළා. පාලකයන්ට කීකරු වීම සාපේක්ෂී බවත්, ජනයා සහ ඔවුන් අතර පැවති බැඳීම කැඩුණොත්, එවිට පාලකයන්ව නොසලකා හැරිය හැකිය යන අදහසද වර්ධනය වුණා. තවදුරටත්, ඉතිහාසඥ චාල්ස් රීඩ් පැහැදිලි කරන්නේ, නන්ට්හි නියෝගය අවලංගු කිරීම “ප්‍රංශ විප්ලවයට හේතු වූ පැහැදිලි සාධකයන්ගෙන් එකක්” බවයි.
පාඩම් ඉගෙනගත්තාද?
පීඩාවේ අවැඩදායක ඵලවිපාක සහ රජයට බොහෝ වටිනා ජනයා අහිමි වීම යන කාරණා සලකා බලා XIVවන ලුවී රජුගේ හමුදා උපදේශකයෙක් වූ මාර්කී ඩ වෝබාන්, “හෘද හැරවීමට අයිතිය තිබෙන්නේ දෙවිට පමණයි” යනුවෙන් පවසමින් නන්ට්හි නියෝගය යළි පිහිටුවන ලෙස රජුගෙන් උදක්ම ඉල්ලා සිටියා. ප්‍රංශ ආණ්ඩුව ඉන් පාඩමක් ඉගෙනගෙන තීරණය ආපස්සට හැරවූයේ නැත්තේ ඇයි? නිසැකවම එක් සාධකයක් වූයේ, රජය දුර්වල වෙයි කියා රජු භයවීමයි. තවදුරටත්, කතෝලික ධර්මය ප්‍රකෘතිමත් කිරීම සඳහාත්, 17වන සියවසේ ප්‍රංශයේ ආගමික නුරුස්නාගතිය සඳහාත්, අතහිත දීම වාසිදායක යමක් වුණා.
අවලංගු කිරීම වටා ගෙතුණු සිදුවීම් නිසා බොහෝදෙනෙකු මෙසේ ඇසීමට පෙලඹුණා: “සමාජයක් කොතරම් දුරටද බහුත්වවාදය සඳහා ඉඩහරින්නේ එමෙන්ම රුස්සන්නේ?” ඇත්තෙන්ම, ඉතිහාසඥයන් සටහන් කර තිබෙන්නේ, “බල උපක්‍රම සහ ඒවායේ අනිසි භාවිතය” ගැන නොසිතා හියුගනට්වරුන්ගේ කතාව සලකා බලන්න අපහසු බවයි. නිදහස වෙත හියුගනට්වරුන්ගේ පලායෑම, අදදින වැඩි වැඩියෙන් බහුජාතික මෙන්ම බහුආගමික ස්වරූපයක් ගන්නා සමාජයන්හි, ජනයාගේ ශුභසිද්ධියට ඉහළින් පල්ලිය විසින් පොලඹවන දේශපාලනය කිරීමෙන් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ ඛේදජනක මතක් කිරීමක්.
[පාදසටහන]
a 28වන පිටුවේ ඇති කොටුව බලන්න.
[28වන පිටුවේ කොටුව]
ඩ්රැගනේඩය
භය කිරීමෙන් හැරවීම
සමහරුන් ඩ්රැගූන්වරු “විශිෂ්ට මිෂනාරිවරුන්” ලෙස දක්වනවා. කෙසේවෙතත්, හියුගනට්වරුන් අතර, ඔවුන් ත්‍රාසය පිබිදවූ අතර, ඔවුන් එන බව ඇසූ විගසින් ගම්මාන මුළුමනින්ම කතෝලික ධර්මයට හැරෙනවා. නමුත් කව්ද මේ ඩ්රැගූන්වරු කියන්නේ?
ඩ්රැගූන්වරුන් කියන්නේ දැඩි ලෙස සන්නාහ සන්නද්ධව සිටි භට පිරිස් වූ අතර, පදිංචිකාරයන්ව භයගන්වන අටියෙන් ඔවුන් හියුගනට්වරුන්ගේ නිවෙස්වල ලැගුම්ගෙන සිටියා. ඩ්රැගූන්වරුන්ව මෙසේ යොදාගැනීම ඩ්රැගනේඩය ලෙස හැඳින්වූවා. පවුල් මත යොදන බර වැඩි කිරීමට නිවසට එවනු ලැබූ භටයන් සංඛ්‍යාව, පවුලේ ධන සම්පත් හා සැසඳූ කල, දරාගත නොහැකි පීඩනයක් එල්ල කළා. පවුල් පෙළන්නත්, ඔවුන්ගේ නින්ද කඩාදැමීමෙන් දුක් විඳවන්නත්, ධනසම්පත් නැති නාස්ති කර දමන්නත් ඩ්රැගූන්වරුන්ට බලය ලැබුණා. පදිංචිකාරයන් රෙපරමාදු ඇදහිල්ල අත්හැරිය විට ඩ්රැගූන්වරු ඔවුන්ව හැර ගියා.
වර්ෂ 1681දී, හියුගනට්වරු විශාල ප්‍රමාණයක් සිටි බටහිර ප්‍රංශයේ ප්වාටූහි, ආගම හැරවීමට ඩ්රැගනේඩය යොදාගත්තා. මාස කිහිපයක් තුළ, 30,000 සිට 35,000 දක්වා ප්‍රමාණයක් හැරුණා. වර්ෂ 1685දී, හියුගනට්වරු සිටින වෙනත් ප්‍රාන්තවලත් එම ක්රමයම යොදාගත්තා. මාස කිහිපයකදී, 3,00,000 සිට 4,00,000 දක්වා ප්‍රමාණයක් ආගමට හැරවීම සිදු කෙරුණා. ඉතිහාසඥ ෂාන් කේන්යර්ට අනුව, ඩ්රැගනේඩය සාර්ථක ප්‍රතිඵල නෙළාගත් නිසා, “[නිදහසට ඉඩ දුන් නන්ට්හි නියෝගය] අනිවාර්යයෙන්ම අවලංගු කළ හැකි දෙයක් ලෙස පෙනුණා.”
[හිමිකම් විස්තර]
© Cliché Bibliothèque Nationale de France, Paris
[25වන පිටුවේ පින්තූරය]
1689දී කළ මෙම ප්‍රකාශය, ආගමික විරෝධත්වයෙන් සහනය සෙවීම සඳහා ප්‍රංශ රෙපරමාදුවන්ට සරණය සැපයුවා
[හිමිකම් විස්තර]
The Huguenot Library, Huguenot Society of Great Britain and Ireland, London අවසරය ඇතුව
[26වන පිටුවේ පින්තූරය]
1685දී, නන්ට්හි නියෝගය අවලංගු කිරීම (අවලංගු කිරීමේ මුල් පිටුව පෙන්වා ඇත)
[හිමිකම් විස්තර]
Documents conservés au Centre Historique des Archives nationales à Paris
[26වන පිටුවේ පින්තූරය]
බොහෝ රෙපරමාදු දේවස්ථාන විනාශ කළා
[හිමිකම් විස්තර]
© Cliché Bibliothèque Nationale de France, Paris