ගිනිකන්දක සෙවණැල්ලේ ජීවත් වීම සහ දේශනා කිරීම
“ඒක හරිම භයංකාර අද්දැකීමක්. බයිබලය කතා කරන ලෝකාන්තිමයට ඒක ගොඩාක් කිට්ටුවෙන් සමාන කරන්න පුළුවන්. අපි හැම මොහොතකම සෝදිසියෙන් ඉන්න ඕනෙ වගේම යෙහෝවා දෙවි ඉදිරියේ යහපත් ස්ථාවරයක් පවත්වාගන්න ඕනෙ.” ඒ සඳහන් කළේ, මෙක්සිකෝවේ පිහිටි පෝපකැටපෙට්ල්, නැත්නම් පෝපෝ ලෙස ප්‍රසිද්ධ ගිනිකන්දට ඉතාම කිට්ටුවෙන් ජීවත් වීමේ තම අද්දැකීම විස්තර කරන යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වන බික්ට’ගේ වචනයි.
මේ ගර්ජනාත්මක ගිනිකන්ද 1994 සිට ජාත්‍යන්තර පුවත් තලයේ පවතිනවා.a ගිනිකඳු මුඛයේ සිට කිලෝමීටර් 60ක වට ප්‍රමාණයක් තුළ ඇති ඕනෑම දෙයක් අධි-අවදානම් කලාපයක තිබෙන බව අධිකාරීන් නිගමනය කර තිබෙනවා. ගිනිකඳු මුඛය දකුණු පැත්තට බර වී තිබෙන නිසාත්, ලාවා සහ මඩ ගලාගෙන යා හැකි ගැඹුරු නිම්න ගණනාවක් ඒ පැත්තේ පිහිටා තිබෙන නිසාත්, ගිනිකන්දේ දකුණු පැත්ත විශේෂයෙන්ම අනතුරුදායකයි.
මෙම ගිනිකන්දේ දරුණු පිපිරීමක් සිදු වුණොත්, මෙක්සිකෝ නගරයට කුමක් සිදු වෙයිද කියා බොහෝදෙනෙක් කල්පනා කිරීම ස්වාභාවිකයි. එම නගරය පවතින්නේ අවදානමේද? එමෙන්ම ගිනිකන්දට දකුණින් පිහිටි මොරෙලොස් ජනපදයේ ජීවත් වන සෙනඟත් මුහුණ දෙන්නේ ඒ තත්වයටමයි. ඒ ප්‍රදේශයේ ජීවත් වන හැමදෙනාමත් අනතුරේද? ඒ වගේම ඕනෑම මොහොතක කුමක් වෙයිද කියා නොදැන ගිනිකන්දක සෙවණැල්ලේ ජීවත් වීම කොයි ආකාරද?
ගිනිකන්දේ තර්ජනය
නගරාසන්න පෙදෙස් ඊට කිලෝමීටර් 40ක් පමණ කිට්ටුවෙන් පිහිටියත්, මෙක්සිකෝ නගර මධ්‍යය පිහිටා තිබෙන්නේ පෝපකැටපෙට්ල්හි සිට කිලෝමීටර් 70ක් පමණ වයඹ දෙසින්. සැබෑ තත්වය අනුව නම්, මිලියන 20ක ජනගහනයක් සිටින මුළු නගර ප්‍රදේශයම තිබෙන්නේ අනතුරුදායක කලාපයෙන් පිටතයි. කෙසේවෙතත්, ගිනිකන්දෙන් අළු විශාල ප්‍රමාණක් පිට කළොත්, සුළඟේ දිශාව මත මෙම ප්‍රදේශය බලපෑමට ලක් වෙන්න පුළුවන්.
එම අළුවල බලපෑම් සාමාන්‍යයෙන් වඩා තදින් බලපවත්වන්නේ ගිනිකන්දේ නැඟෙනහිර පැත්තෙයි. පුඑබ්ලා සහ ඊට වඩා කුඩා නගර ගණනාවකුත් මෙම ප්‍රදේශයට අයත් වෙනවා. ඒ කියන්නේ 2,00,000ක පමණ ජනකායක් මෙම අධි-අවදානම් ප්‍රදේශය තුළ ජීවත් වන බවයි. වර්ෂ 1997 මැයි 11වන ඉරිදා, ගිනිකන්දෙන් ටොන් ගණනාවක් අළු වායුගෝලයට පිට කළ අතර, නැඟෙනහිරට වෙන්න කිලෝමීටර් 300කට වඩා එහායින් පිහිටි වෙරකෲස් ජනපදය තරම් දුරකට ළඟා වෙමින් එම ප්‍රදේශය පුරාම අළු පැතුරුණා. ගිනිකන්දට දකුණු දෙසින්, මොරෙලොස් ජනපදයේ 40,000ක පමණ ජනගහනයෙන් යුත් නගර කිහිපයක් පිහිටා ඇති අතර, ඒවා පවා බරපතළ අනතුරේ පැවතිය හැකියි.
මේ සියල්ල මධ්‍යයෙහි යෙහෝවාගේ සාක්ෂිකාරයන් ජීවත් වෙමින් වැඩපළ කරගෙන යනවා. මෙක්සිකෝ නගරයේ සභාවන් 1,700ක පමණ ඔවුන්ගෙන් 90,000කට වැඩිදෙනෙක් සිටිනවා. වොච් ටවර් සමිතියේ ශාඛාව මෙක්සිකෝ නගරයට එපිටෙන් වයඹ දෙසට වෙන්න, ගිනිකන්දේ සිට කිලෝමීටර් 100ක් පමණ වට ප්‍රමාණයක් ඇතුළතයි පිහිටා තිබෙන්නේ. විශාල ඉදි කිරීමේ ව්‍යාපෘතියක වැඩ කරන ස්වේච්ඡා සේවකයන් 500දෙනෙකුට පමණ අමතරව, ස්වේච්ඡා සේවකයන් 800කට වඩා වැඩිදෙනෙක් ශාඛාවේ වැඩ කරමින් සිටිනවා. මේ සියලුදෙනාම සිටින්නේ, අවදානම් කලාපයෙන් පිටතයි.
මොරෙලොස් ජනපදයේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභා 50කට වැඩි ප්‍රමාණයක රාජ්‍ය ප්‍රචාරකයන් 2,000ක් පමණ සිටිනවා. මේවායින් සමහරක් තෙතෙලා දෙල් බොල්ඛන් සහ වේයාපාන් අතර පිහිටා ඇති අතර, ගිනිකඳු මුඛයට කිලෝමීටර් 20ක් පමණ කිට්ටුවෙන් පිහිටා තිබෙනවා. ඊට අමතරව, නැඟෙනහිරට වෙන්න, පුඑබ්ලා ජනපදයේ ප්‍රචාරකයන් 600ක් පමණ සිටින සභාවන්, ගිනිකන්දට කිලෝමීටර් 20-30ත් අතර දුරින් ජීවත් වෙනවා. ඇත්තෙන්ම මේවා තදබල අනතුරේ පැවතිය හැකියි.
යෙහෝවාගේ සාක්ෂිකාරයන් ක්‍රියාශීලීව සිටී
නිරන්තර තර්ජනය හමුවේ, යෙහෝවාගේ සාක්ෂිකාරයන් මෙම ප්‍රදේශවල ඔවුන්ගේ දේශනා වැඩය නවතා දමා නැහැ. ඔවුන් ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම් වැඩසටහන දිගටම පවත්වාගෙන යන අතර, එය මෙවන් දරුණු තත්වයන් යටතේ ඔවුන්ට එක්සත්කමේ සහ විශ්වාසයේ හැඟීමක් ලබා දෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) එක් සභාවකින් ලැබුණු වාර්තාවක් මෙසේ සඳහන් කරනවා: “රාජ්‍ය ශුභාරංචිය කෙරෙහි මිනිසුන්ගේ ආකල්පය පුදුමාකාර විදිහට වෙනස් වී තිබෙනවා. උදාහරණයක් හැටියට, පුංචි ගම්මානයක, මෑතකදී 18දෙනෙක් නිවාස බයිබල් පාඩම් පිළි අරගෙන තියෙනවා.”
ගිනිකන්දෙන් කිලෝමීටර් 20ක් එහායින් පිහිටා ඇති තවත් සභාවක් මෙසේ වාර්තා කරනවා: “වර්ධනය කැපීපෙනෙනසුලු එකක්. මේ සභාව පිහිටෙව්වේ 1996 නොවැම්බර් මාසයේ. ඊළඟ මාස හයේදී 10දෙනෙක් ක්ෂේත්‍ර දේවසේවයේ සහභාගි වෙන්න සුදුසුකම් ලැබුවා. සමහර ප්‍රචාරකයන් ජීවත් වන්නේ ගිනිකඳු මුඛයෙන් කිලෝමීටර් 20ක් විතර එහායින්. එහිත් ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන අතර, 40දෙනෙක් විතර එනවා.”
ගිනිකන්දෙන් කිලෝමීටර් 25ක් එහායින් පිහිටි පුඑබ්ලාහි, සාන් ආගූස්ටින් ඉක්ස්ටාවික්ස්ට්ලාහි ජීවත් වන මග්දලේනා බයිබල් පාඩම් පැවැත්වීමෙහි ඉතා ක්රියාශීලීයි. එක් දරුණු පිපිරීමකට පසුව සිදු වූ දෙය ඇය විස්තර කරනවා.
“අපිට අපේ ගෙවල් ඇරල යන්න දැනුම් දුන්නම, අළු වැස්සේම අපි පිට වුණා. ඒ අස්සෙ, මාත් එක්ක බයිබලය පාඩම් කරමින් හිටිය දෝරාදෝ පවුල ගැන මම කල්පනා කළා. මම සහෝදරයන් එක්ක දෝරාදෝගේ ගෙදරට ගිහිං ආරක්ෂිත තැනකට යන්න උදව් කළා. පුඑබ්ලා නගරය ළඟ, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සහනාධාර කමිටුව ඒ වන විටත් වැඩකටයුතු ආරම්භ කරල තිබුණා. එහෙදී අපිට සලකපු ආකාරය ගැන දෝරාදෝ පවුලේ අයගේ හිත ඇදී ගියා. අපේ ක්‍රිස්තියානි සහෝදරයන් කල් ඇතුව අපි වෙනුවෙන් සකස් කර තිබුණු විවිධ තැන්වල අපට නවාතැන් තිබුණා. අපි අපේ ගෙවල්වලින් ඈත්ව හිටියත්, කිසිම දෙයකින් අපිට අඩුවක් වුණේ නැහැ. මේ පවුල රාජ්‍ය ශාලාවේ පැවැත්වූ සමහර රැස්වීම්වලට පැමිණ තිබුණත්, ඔවුන් කවමදාකවත් දැකල නැති සහෝදරයන් ඔවුන්ට පෙන්වූ ප්‍රේමය නිසා ඔවුන් පුදුමයට පත් වුණා. අපි අපේ ගෙවල්වලට ආයෙත් ඇවිත් සති කිහිපයකට පස්සේ, මේ පවුලේ අය සියලුම රැස්වීම්වලට නොකඩවාම පැමිණෙන්න පටන්ගත්තා. ඉක්මනින්ම ඔවුන් ශුභාරංචියේ සුදුසුකම් ලත් ප්‍රචාරකයන් බවට පත් වුණා. ඔවුන්ගෙන් දෙදෙනෙක් දැන් බව්තීස්ම වී සිටිනවා. ඔවුන් මාස ගණනාවක් උපකාරික පුරෝගාමී දේවසේවකයන් ලෙස සේවය කරල තියෙනවා; ස්ථාවර පුරෝගාමී සේවයේ යෙදෙන්න සැලසුම් කරමින් සිටිනවා.”
ගිනිකඳු මුඛයෙන් කිලෝමීටර් 21ක් එහායින් ජීවත් වන 20 හැවිරිදි ගැහැනු ළමයෙක් වන මාර්තා, දේශනා කිරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීමෙන් වැළැක්වීමට ඇගේ ආබාධිත තත්වය හේතුවක් කරගෙන නැහැ. අවුරුදු 3කට කලින් ගිනිකන්ද නැවත වතාවක් ක්‍රියාශීලී වූ අවස්ථාවේදී ඇය සත්‍යය ඉගෙනගත්තා. ඇය ජීවත් වන අධික බෑවුම් සහිත බිම් ප්‍රදේශය තුළ හසුරුවන්න අමාරු රෝද පුටුවක් පාවිච්චි කරනවා වෙනුවට, දේශනා වැඩයේ හවුල් වෙන්න ඇය බූරුවෙක් පිට නැඟ යනවා. ඇය රැස්වීම්වලටත් බූරුවා පිට නැඟ එනවා. බූරුවා පිට නඟින්නත් බහින්නත් ඇය සභාවේ සහෝදරියන් මත යැපෙන නිසා, ප්‍රේමනීය සහෝදරත්වයේ කොටස්කාරියක් වීම ගැන මාර්තා යෙහෝවාට ගැඹුරු ලෙස කෘතඥපූර්වක වෙනවා. සෑම මාසයකම, ඇය පැය 15කට වඩා දේවසේවයේ ගත කරනවා.
මේ හුදකලා ප්‍රදේශවල සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ අසල්වැසියන්ගෙන්, ඔවුන්ගේ ආගමික නිවාඩු උත්සව පවත්වන්න හවුල් වීම හා සම්බන්ධ පීඩනයට මුහුණ දෙනවා. උත්සවවලට පරිත්‍යාග එකතු කිරීම සඳහා සාක්ෂිකාරයන්ව හමු වෙන්න, ගිනිකන්දෙන් කිලෝමීටර් 20ක් පමණ එහායින් පිහිටා ඇති ගමක් වන තුල්සිංගෝහි මිනිසෙක්ව පත් කළා. එවැනි ආගමික නිවාඩු උත්සවවලට තමන්ට සහභාගි වෙන්න බැරි ඇයි කියා සහෝදරයන් ඉවසිලිවන්තව පැහැදිලි කළා. මේ මිනිසා සහෝදරයන්ගෙන් පරිත්‍යාග ලබාගන්න නොනවත්වාම කොතරම් උත්සාහ කළාද කිවහොත්, ඔහු ඔවුන්ගේ ඇසුරට වැටුණු අතර, ඔවුන්ගේ විශ්වාසයන් සමහරක් දැනගන්න ලැබුණා. ඔහුගේ ප්‍රශ්නවලට ඔහුගේම කතෝලික බයිබලයෙන් උත්තර සොයාගැනීමෙන් ඔහු ප්‍රීතියට පත් වුණා. ඔහුගේ බිරිඳත් දියණියත් සමඟ ඔහු අවුරුද්දක් පුරා නොකඩවාම රැස්වීම්වලට පැමිණෙන අතර, ඔහු රාජ්‍ය ශුභාරංචියේ ප්‍රචාරකයෙක් බවට පත්වීමේ ආශාව ප්‍රකාශ කර තිබෙනවා.
ඔබට සූදානම් විය හැක්කේ කෙසේද?
තර්ජනාත්මක පෝපකැටපෙට්ල් ගැන ගිනිකඳු විද්‍යාඥයන් අධ්‍යයනයන් පවත්වා නිල වාර්තා පළ කළත්, කවදා කුමක් වේද කියා කිසිවෙක් දන්නේ නැහැ. ජනසන්නිවේදනයට සහ ගිනිකන්ද ආසන්නයේ ජීවත් වන මිනිසුන්ට අනුව නම්, එය ඕනෑම වේලාවක පුපුරා යන්න පුළුවන්. තර්ජනය සැබෑ එකක්. ඇත්තෙන්ම, අධිකාරීන් ඒ ගැන ඉතා සැලකිලිමත්ව මෙන්ම, හදිසිතාවකදී ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට සූදානමින් සිටිනවා. එනමුත් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම පිළිබඳව ඔවුන් සාවධානව සිටිය යුතු බව තේරුම්ගත හැකියි. මන්ද ආසන්නයේ අනතුරක් නැතුව විශාල නික්මයෑමක් පටන්ගැනීමට ඔවුන්ට වුවමනාවක් නැහැ. එසේනම්, කෙනෙක් කළ යුත්තේ කුමක්ද?
“නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති” කියා බයිබල් හිතෝපදේශයක් පවසනවා. (හිතෝපදේශ 22:3) එමනිසා, ඥානවන්ත ක්‍රියාමාර්ගය වන්නේ, කිසි දෙයක් වෙන්නේ නැහැ කියා ‘උදාසීන ලෙස’ එවැනි ස්වාභාවික බලවේගයන් සමඟ සෙල්ලම් නොකර, ප්‍රස්තාවේ දොරටුව තවමත් විවෘතව ඇති මොහොතේ, තමන්ගේ ආරක්ෂාව සහතික කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. මෙම ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන් කාරණා දෙස බලන්නේ ඒ විදිහටයි.
වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාල නියෝජිතයන්, අනතුරුදායක කලාපයට ඉතා ආසන්නයේ පිහිටි සභාවන් ඇති පුඑබ්ලා ජනපදයේ සංචාරක අවේක්ෂකයන්ව මෑතකදී මුණගැසුණා. ගිනිකඳු මුඛයේ සිට කිලෝමීටර් 25ක් ඇතුළත සිටින සෑම පවුලක්ම බැහැදැකීමට, සංචාරක අවේක්ෂකයන් සහ සහනාධාර කමිටුවේ සාමාජිකයන් සඳහා සැලසුම් යෙදුවා. සංත්රාසයට පෙර අනතුරුදායක කලාපයෙන් පිට වී යෑම ගැන සලකා බැලීමට මේ පවුල්වලට උපකාර කළා. පුඑබ්ලා නගරය තුළ 1,500දෙනෙකුව යළි ස්ථානගත කිරීමට ප්‍රවාහණ සහ නවාතැන් සැලසුම් කළා. සමහර පවුල් තමන්ගේ නෑයන් සමඟ ජීවත් වෙන්න වෙනත් නගරවලට ගියා.
වඩා විශාල පරිමාණයක අනතුරු ඇඟවීමක්
පෝපකැටපෙට්ල්හි දුමාරය, ගිනි සහ දෙදරුම, පිපිරීමක් ආසන්නයේ ඇති බවට පැහැදිලි සංඥාවන්. බේරීමට කැමැත්තෙන් සිටින සියලුදෙනාම අධිකාරීන් විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම්වලට අවනත වී නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. ගිනිකන්දට ඉතා ආසන්නයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන්, තමන්ගේ ආරක්ෂාව සහතික කරගැනීමට නිරතුරුවම අවදියෙන් සිටිමින්, අන් අයට අනතුර දැකීමටත්, ප්‍රමාද වැඩිවීමට කලින් ඒ ගැන යමක් කිරීමටත් උපකාර කරමින් සිටිනවා.
වඩා විශාල පරිමාණයෙන්, යෙහෝවාගේ සාක්ෂිකාරයන් බයිබල් අනාවැකිවල ආලෝකයෙන් ලෝක සිදුවීම් පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා. යුද්ධ, භූමිකම්පා, සාගත, ලෙඩරෝග සහ අපරාධ, ගිනිකන්දක ක්‍රියාවලිය හා සමානව කැපීපෙනෙනසුලුයි. ඒවා යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළ ආකාරයට “දේවල පිළිවෙළේ නිමාව” සලකුණු කෙරෙන සංයුක්ත ලකුණේ අංගයන්. ඒ අවසානය පැමිණෙන්නේ හරියටම කවදාද කියා කිසිවෙක් දන්නේ නැති වුණත්, එය පැමිණෙන බවටත්, එය ඉතාමත්ම ආසන්න බවටත් කිසිම සැකයක් නැහැ.—මතෙව් 24:3, NW, 7-14, 32-39.
අද තිබෙන හදිසි අවශ්‍යතාව නම්, සෑම තැනකම සිටින ජනයා විසින් යේසුස්ගේ අනතුරු ඇඟවීම ඉතා බැරෑරුම් ලෙස ගැනීමයි: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.” (ලූක් 21:34) මෙය පැහැදිලිවම, ගැනීමට තිබෙන ඥානවන්තම ක්‍රියාමාර්ගයයි. ගිනිකන්දේ අනතුරු ඇඟවීම් අප සැහැල්ලුවට නොගන්නා සේම, මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනතුරු ඇඟවීම්ද අප නොසලකා නොහැරිය යුතුයි. ඔහු තදින් අවවාද කළේ මෙසේයි: “නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා [එන්නේය].”—මතෙව් 24:44.
[පාදසටහන]
a 1997 මාර්තු 8, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාව මෙම තර්ජනාත්මක ගිනිකන්ද පිළිබඳව වාර්තා කළා.
[23වන පිටුවේ පින්තූර]
මාර්තා (බූරුවා පිට) සහ අනිත් සාක්ෂිකාරයන් පෝපකැටපෙට්ල් සෙවණැල්ලේ සාක්ෂි දරනවා