ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 5/15 28-31 පි.
  • තල්මුඩය කියන්නේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තල්මුඩය කියන්නේ කුමක්ද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තල්මුඩය සෑදූ අයුරු
  • තල්මුඩ දෙකක් සෑදූ අයුරු
  • තල්මුඩයෙන් ඉටු වූයේ කුමක්ද?
  • දෙවි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව සහ මිෂ්නා
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වාචික ව්‍යවස්ථාව එය ලේඛනගත කළේ මන්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රබ්බි ලෙස හඳුන්වනු ලැබීමට වටින්නේ කවුද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඛාරායිට්වරු සහ සත්‍යය සඳහා ඔවුන්ගේ ගවේෂණය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 5/15 28-31 පි.

තල්මුඩය කියන්නේ කුමක්ද?

“තල්මුඩය එතෙක් මෙතෙක් බිහි වූ වඩාත්ම සිහිකටයුතු සාහිත්‍යමය නිෂ්පාදනවලින් එකක් බවට සැකයක් නැහැ.”—දි යූනිව’සල් ජුවිෂ් එන්සයික්ලොපීඩියා.

“[තල්මුඩය] මනුෂ්‍යවර්ගයාගේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමය සමර්ථකම්වලින් එකක්. එය කොතරම් දුරවබෝධ, අර්ථවත්, සියුම් ලේඛනයක්ද කිවහොත්, සහස්‍ර එකහමාරකටත් වඩා වැඩි කාලයක් තුළ විශිෂ්ට මනස් එහි තොරතුරුවල කඩිසරව නිරත වී තිබෙනවා.”—යුදෙව් විශාරද සහ කර්තෘ, ජේකබ් නොයිස්නෙ.

“යුදෙව් ජීවිතයේ සම්පූර්ණ ආත්මික සහ බුද්ධිමය ව්‍යූහය උසුලන [යුදෙව්වාදයේ] ප්‍රධාන කණුව තල්මුඩය වේ.”—තල්මුඩය පිළිබඳ විශාරදයෙක් සහ රබ්බිවරයෙක් වන ඒඩන් ස්ටයින්සෝල්ට්ස්.

සියවස් ගණනාවකටම තල්මුඩය යුදෙව් ජනයා මත ගැඹුරින් බලපා ඇති බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්. කෙසේවෙතත්, ඉහත උපුටා දක්වා ඇති පැසසුම් වැකිවලට වෙනස්ව, තල්මුඩය අවමානයට ලක්ව, “මඩ මුසු නොපැහැදිලි සාගරයක්” සේ හඳුන්වා තිබෙනවා. එය හෙළාදැක තිබෙන්නේ යක්ෂයාගේ අපහාසාත්මක කෘතියක් හැටියටයි. පාප්ගේ නියෝගයකට අනුව, එය විටින් විට විශෝධනයට ලක් කෙරුණා, රාජ සන්තක කෙරුණා, යුරෝපයේ මහජන චතුරස්‍රවල විශාල ප්‍රමාණවලින් පිලිස්සීමට පවා ලක් වුණා.

මෙතරම් මතභේදයකට තුඩු දී ඇති මෙම කෘතිය ඇත්තටම කුමක්ද? යුදෙව් ලියවිලි අතුරින් තල්මුඩය අද්විතීය යමක් කරවීමට හේතු වන්නේ කුමක්ද? එය ලියනු ලැබුවේ ඇයි? එය යුදෙව්වාදය කෙරෙහි මෙතරම් බලපෑමක් කිරීමට සමත් වී තිබෙන්නේ කෙසේද? යුදෙව් නොවන ලොවට ඉන් යම් අර්ථවත්බවක් තිබේද?

පොදු යුගයේ 70දී යෙරුසලමේ තිබූ දේවමාළිගාවේ විනාශයෙන් පසු ගෙවී ගිය අවුරුදු 150 තුළදී, ඊශ්‍රායෙලය පුරාම පිහිටි රබ්බි ඍෂිවරුන්ගේ ශාස්ත්‍රාල යුදෙව් ව්‍යවහාරය පවත්වාගැනීමට අලුත් පදනමක් මහත් උනන්දුවකින් සොයමින් සිටියා. ඔවුන් තම වාචික ව්‍යවස්ථාවේ විවිධ සම්ප්‍රදායන් ගැන වාද කොට ඒවා තහවුරු කළා. මෙම අත්තිවාරම මත ගොඩනඟමින්, ඔවුන් යුදෙව්වාදය සඳහා නවක සීමා සහ අවශ්‍යතාවන් පිහිටෙව්වා. මෙයින් දේවමාළිගාවක් නොමැතිව දෛනික ශුද්ධ ජීවිතයක් සඳහා මඟ පෙන්වීමක් ලැබුණා. මෙම නවක ආත්මික රාමුව පැහැදිලි කර තිබුණේ මිෂ්නා ග්‍රන්ථයෙහියි. ඒ ග්‍රන්ථය පො.යු. තුන්වන සියවසේ මුලදී ජූඩා හ-නසී විසින් පිළියෙළ කරනු ලැබූවක්.a

මිෂ්නා බයිබල් යොමු දැක්වීම්වල පිහිටෙන් යම් නිර්දෝෂබවක් නොසෙවූ ස්වාධීනව පැවති යමක්. එහි සාකච්ඡා ක්‍රමය, එහි හෙබ්‍රෙව් ශෛලිය පවා අද්විතීය වුණා, බයිබල් පාඨයට වඩා වෙනස් වුණා. මිෂ්නාහි උපුටා දක්වා ඇති රබ්බිවරුන්ගේ තීරණ හැම තැනකම වෙසෙන යුදෙව්වන්ගේ ජීවිතවලට බලපෑමටයි අදහස් කර තිබුණේ. ඇත්තෙන්ම ජේකබ් නොයිස්නෙ මෙසේ අදහස් දක්වයි: “මිෂ්නා ඊශ්‍රායෙලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපයා දුන්නා . . . එහි නීතිවලට එකඟ වීමටත් අනුකූල වීමටත් එය බල කර සිටියා.”

එනමුත් මිෂ්නාහි උපුටා දැක්වූ ඍෂිවරයන්ගේ අධිකාරය එළිදරව් කළ ශුද්ධ ලියවිල්ලට ඇත්තෙන්ම සමාන බව සමහරෙක් ප්‍රශ්න කළොත් තත්වය කුමක්ද? මිෂ්නාහි තිබෙන ටානාඉම්වරුන්ගේ (වාචික ව්‍යවස්ථාවේ ගුරුවරුන්ගේ) ඉගැන්වීම්, හෙබ්‍රෙව් ලියවිලිවලට සම්පූර්ණයෙන් එකඟ බව එම රබ්බිවරුන්ට පෙන්වන්න සිදු වෙයි. තවත් අදහස් දැක්වීමේ අවශ්‍යතාව පැන නැඟුණා. මිෂ්නා පැහැදිලි කිරීමේ, එය නිර්දෝෂ කිරීමේ සහ සීනයිහි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව සමඟ එය ආරම්භ වූ බව ඔප්පු කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට පෙනීගියා. වාචික මෙන්ම ලිඛිත ව්‍යවස්ථාව එක ආත්මයකින් සහ අරමුණකින් යුත් බව ඔප්පු කිරීමේ දැඩි අවශ්‍යතාව රබ්බිවරුන්ට හැඟුණා. එසේනම් යුදෙව්වාදය ගැන අවසාන නිගමනයකට එළඹෙනවා වෙනුවට, මිෂ්නා ආගමික සාකච්ඡා සහ විවාද සඳහා අලුත් පදනමක් බවට පත් වුණා.

තල්මුඩය සෑදූ අයුරු

මෙම අලුත් අභියෝගය භාරගත් රබ්බිවරුන්, මිෂ්නාහි “ආමෝරාඊම්” එනම් “අර්ථකථිකයන්” නොහොත් “පැහැදිලිකරන්නන්” ලෙස ප්‍රචලිත වුණා. හැම ශාස්ත්‍රාලයක්ම ප්‍රසිද්ධ රබ්බිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණා. අවුරුද්ද පුරාම විශාරදයන් සහ ශිෂ්‍යයන් කුඩා කණ්ඩායමක් සාකච්ඡා පැවැත්වූවා. එනමුත්, වඩාත් වැදගත් සැසිවාර අවුරුද්දකට දෙවරක්, කෘෂිකාර්මික වැඩ අඩුව තිබුණු, තවත් සිය ගණනක් දහස් ගණනක් පවා පැමිණිය හැකි අදාර් සහ එලුල් මාසවලදී පවත්වනු ලැබුවා.

ඒඩන් ස්ටයින්සෝල්ට්ස් මෙලෙස පැහැදිලි කරයි: “ශාස්ත්‍රාලාධිපති පුටුවක හෝ විශේෂ පැදුරක ඉඳගනිමින් මුලසුන දැරුවා. ඔහු ඉදිරිපිට ඉදිරි පේළිවල ඔහුගේ සගයන් හෝ කැපීපෙනෙන ශිෂ්‍යයන් ඇතුළු වැදගත් විශාරදයන් ඉඳගෙන සිටි අතර, ඔවුන් පිටුපස අන් සියලු විශාරදයන් ඉඳගෙන සිටියා. . . . අසුන්ගැනීමේ අනුපිළිවෙළ, සියුම් ලෙස දක්වා තිබුණු තානාන්තර පද්ධතියක් [වැදගත් උදවියට මුල් තැන] අනුව පදනම්ව තිබුණා.” මිෂ්නාහි කොටසක් කියවනු ලැබීමෙන් පසු, ටානාඉම්වරුන් විසින් එක්රැස් කරනු ලැබුවත් මිෂ්නාහි ඇතුළත් නැති සමාන්තර හෝ අතිරේක තොරතුරු සමඟ මෙය සසඳනු ලබනවා. එවිට විග්‍රහ ක්‍රියාවලිය ඇරඹේ. ප්‍රශ්න අසා, ඉගැන්වීම් අතර අභ්‍යන්තර එකඟත්වයක් සොයාගැනීමේ අදහසින් පරස්පර විරෝධිතා විග්‍රහ කරනු ලබනවා. රබ්බිවරුන්ගේ ඉගැන්වීම්වලට අනුබල දීම සඳහා හෙබ්‍රෙව් ලියවිලිවලින් ඔප්පු සපයන පාඨ සොයනු ලැබුවා.

පරෙස්සමින් සැලසුම් කර තිබුණත්, මෙම සාකච්ඡා උත්සන්න ඇතැම්විට කැලඹිලි සහිත ස්වරයකින් සිදු කෙරුණා. විවාදයක් තුළදී රබ්බිවරුන්ගේ මුඛවලින් “ගිනි පුපුරු” නැඟුණු අන්දම තල්මුඩයෙහි උපුටා දැක්වූ ඍෂිවරයෙක් සඳහන් කළා. (හලින් 137b, බබිලෝනීය තල්මුඩය) සිදු වන දේවල් ගැන ස්ටයින්සෝල්ට්ස් මෙසේ පවසයි: “දේශනය දෙන ශාස්ත්‍රාලාධිපති හෝ ඍෂිවරයා ගැටලු සම්බන්ධව තම අර්ථකථනය ඉදිරිපත් කෙරුවා. ඊළඟට වෙනත් මූලාශ්‍ර, වෙනත් ටීකාකරුවන්ගේ මත හෝ තමුන්ගේම තර්කානුකූල නිගමන පදනම් කරගනිමින් සබයේ සිටින විශාරදයන් ඔහු වෙත ප්‍රශ්න කන්දරාවක් එල්ල කරනවා. ඇතැම් අවස්ථාවල විවාදයට ගත වුණේ ඉතා කෙටි කාලයක්. ඉදිරිපත් කළ ප්‍රශ්නයට පැහැදිලි, තීරණාත්මක උත්තරයකට එය සීමා වුණා. තවත් අවස්ථාවලදී වෙනත් විශාරදයන් විකල්ප විසඳුම් ඉදිරිපත් කළ අතර, මහ පරිමාණයේ විවාදයක් එහි ප්‍රතිඵලය වෙනවා.” පැමිණි සියල්ලන්ටම සහභාගි වන්න හැකියාවක් තිබුණා. සැසිවාර තුළදී පැහැදිලි කරනු ලැබූ වාද විෂයන්, වෙනත් විශාරදයන්ගේ විචාරය සඳහා වෙනත් ශාස්ත්‍රාලවලටද යවනු ලැබුවා.

එහෙත්, මෙම සැසිවාර නිකම්ම නිමක් නැතුව පැවති නීතියට වහල් වූ විවාදයන් නොවෙයි. යුදෙව් ආගමික ජීවිතයට සම්බන්ධ නීති සහ රෙගුලාසි හා බැඳි නීතික කටයුතු හලකාහ් යනුවෙන් නම් කර තිබෙනවා. මෙම යෙදුම “යන්න” යන හෙබ්‍රෙව් මූලයකින් පැමිණෙන අතර, ‘යමෙකු යා යුතු ජීවන මාර්ගය’ ඉන් ඇඟවේ. රබ්බිවරුන් සහ බයිබල් චරිතයන්, ප්‍රඥාවන්ත කියමන්, ඇදහිලි සහ දර්ශනය පිළිබඳ සංකල්ප ඇතුළු වෙනත් සියලු කාරණා හග්ගඩාහ් යනුවෙන් හැඳින්වේ. එය “කියන්න” යන හෙබ්‍රෙව් මූලයකින් පැමිණේ. රබ්බිවරුන්ගේ විවාදවලදී හලකාහ් සහ හග්ගඩාහ් සම්මිශ්‍රණය කොට පැවතුණා.

මොරිස් ඇඩ්ල’ තල්මුඩය වටා ගෙතුණු ලොව (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි මෙලෙස අදහස් දැක්වූවා: “ප්‍රඥාවන්ත ගුරුවරයෙකු දිග්ගැස්සුණු දුෂ්කර නීතික තර්කයක් බාධාවට පත් කළේ, එතරම් ආයාසයක් දරන්න අවශ්‍ය නැති වඩාත් ගොඩනංවනසුලු ස්වභාවයකින් යුත් වෙනම කාරණයකට යොමුවීමෙනුයි. . . . මේ අනුව පුරාවෘත්ත සහ ඉතිහාසය, සමකාලීන විද්‍යාව සහ ජනප්‍රවාද, බයිබල් අර්ථකථනය සහ චරිත කතා, අනුශාසනා සහ දේවධර්මවාදය, ශාස්ත්‍ර අනුගමනය කරන ක්‍රමවලට නුපුරුදු කෙනෙකුට පෙනී යන පරිදි, සංවිධානය නොවූ දත්ත රැසක් සේ පෙනී යන පුදුමසහගත මිශ්‍රණයක් ලෙස එකට ගොනු වී ඇති බව අපට දකින්න ලැබෙනවා.” ශාස්ත්‍රාලවල සිටි විශාරදයන්ට නම්, ඉස්මතු කළ එම වෙනම කාරණා ඉස්මතු කළේ අරමුණකටයි, ඇරත් එය සාකච්ඡාවට බඳුන් වූ විෂය හා සම්බන්ධව පැවතුණා. හලකාහ් සහ හග්ගඩාහ් රබ්බි ශාස්ත්‍රාලවල ඉදි කෙරෙමින් පැවති අලුත් ව්‍යූහයක මුල් ගල් වුණා.

තල්මුඩ දෙකක් සෑදූ අයුරු

අවසානයේදී, පලස්තීනයේ පිහිටි ප්‍රධාන රබ්බි මධ්‍යස්ථානය තිබේරියස් දක්වා මාරු වුණා. වෙනත් වැදගත් ශාස්ත්‍රාල සෙෆෝරිස්, කායිසාරිය සහ ලිද්දාවල පිහිටා තිබුණා. එහෙත් පිරිහෙමින් පැවති ආර්ථික තත්වය, නිතරම දකින්න ලැබූ දේශපාලන අස්ථාවරත්වය සහ අවසාන වශයෙන් ඇදහිල්ල අත්හළ ක්‍රිස්තු ධර්මයෙන් එල්ල වූ පීඩන සහ පීඩා හේතුවෙන් මහ පරිමාණයේ සංක්‍රමණයක් සිදු වුණා, නැඟෙනහිර දෙසින් පිහිටි තවත් ප්‍රධාන යුදෙව් ජනගහන මධ්‍යස්ථානයක් වන බබිලෝනිය වෙතට.

සියවස් ගණනාවකට, ශාස්ත්‍රාලවල සිටි ශ්‍රේෂ්ඨ රබ්බිවරුන් යටතේ අධ්‍යයනය කිරීමට ශිෂ්‍යයන් බබිලෝනියේ සිට පලස්තීනයට එක්රොක්ව තිබුණා. ඉන් එක් ශිෂ්‍යයෙක් ආබා බෙන් ඊබෝයි; ඔහුට ආබා ආරීකා, එනම් උසැති ආබා යන නමත් දී තිබුණත්, පසුව ඔහුව නිකම්ම රාබ් ලෙසයි හැඳින්වූයේ. ජූඩා හ-නසී යටතේ අධ්‍යයනය කිරීමෙන් පසු පො.යු. 219දී ඔහු බබිලෝනියට ආපසු පැමිණි අතර, මෙය බබිලෝනියේ සිටි යුදෙව් ප්‍රජාවේ ආත්මික වැදගත්කම වෙනස් වූ මොහොත සේ ගණන් ගත හැකියි. යුදෙව්වන් බොහෝදෙනෙකු සිටියත් විශාරදයන් ඉතා අඩු වූ සූරාහි රාබ් ශාස්ත්‍රාලයක් පිහිටෙව්වා. ඔහු ලැබූ කීර්තිය නිසා, නිතිපතා ශිෂ්‍යයන් 1,200ක් ඔහුගේ ශාස්ත්‍රාලයට ඇදී ආ අතර, අදාර් සහ එලුල් යන යුදෙව් මාසවලදී තවත් දහස් ගණනක් පැමිණ සිටියා. රාබ්ගේ ප්‍රමුඛ සමකාලීනයෙක් වූ සාමුවෙල්, නෙහාර්ඩියාහි ශාස්ත්‍රාලයක් පිහිටෙව්වා. වැදගත්කමක් ඉසිලූ වෙනත් ශාස්ත්‍රාල පුම්බෙඩිතා සහ මෙහෝසාහි ජනිත වුණා.

යමෙකුට බබිලෝනියෙහිම ශ්‍රේෂ්ඨ විශාරදයන් යටතේ අධ්‍යයනය කරන්න හැකිකම තිබුණු බැවින්, පලස්තීනයට ගමන් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් තිබුණේ නැහැ. වෙනම පාඨයක් වශයෙන් මිෂ්නා ප්‍රබන්ධ කිරීම බබිලෝනියේ ශාස්ත්‍රාලවලට සම්පූර්ණ ස්වාධීනත්වයක් දැරීමට මඟ පෑදුවා. පලස්තීනයෙහි සහ බබිලෝනියෙහි එකිනෙකට වෙනස් අධ්‍යයන ශෛලියන් සහ ක්‍රම වර්ධනය වුවත්, නිරන්තර අදහස් හුවමාරුවකුත් ගුරුවරුන් හුවමාරුවකුත් මෙම ශාස්ත්‍රාල අතර එක්සත්කම රැක්කා.

පොදු යුගයේ සිව්වන සියවසේ අවසානයේදී සහ පස්වන සියවසේ මුල වෙද්දී, පලස්තීනයේ යුදෙව්වන්හට තත්වය විශේෂයෙන්ම දුෂ්කර වුණා. ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ලෝකයේ නැඟී එන අධිකාරය යටතේ එල්ල වූ තහංචි සහ පීඩා රැලි, පො.යු. 425දී පමණ සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව සහ නාසිවරුන්ගේ (කුලදෙටුවන්ගේ) තත්වය අහෝසි කරලීම යන අවසාන පහර එල්ල කිරීමට මඟ පෑදුවා. එමනිසා ශාස්ත්‍රාල විවාදයන්වල සාරාංශයන් රැකගැනීමේ අදහසින් පලස්තීන ආමෝරාඊම්වරුන් ඒවා එක ඒකාබද්ධ කෘතියකට ගොනු කරන්න පටන්ගත්තා. පොදු යුගයේ සිව්වන සියවසේ අවසාන භාගයේ හදිසියේ සම්පාදනය කෙරූ මෙම කෘතිය පලස්තීන තල්මුඩය හැටියට නම් දරන්න පටන්ගත්තා.b

පලස්තීනයේ ශාස්ත්‍රාල පිරිහෙමින් පැවතුණත්, බබිලෝනීය ආමෝරාඊම්වරුන් තම හැකියාවන්වල හිණිපෙත්තටම නඟිමින් සිටියා. ආබාය සහ රාබා විවාදයේ මට්ටම සංකීර්ණ සියුම් තර්ක විතර්ක කිරීමේ ක්‍රමයක් දක්වා ප්‍රවර්ධනය කළ අතර, මෙය පසුව තල්මුඩ විග්‍රහයේ ආදර්ශයක් බවට පත් වුණා. ඊළඟට, සූරාහි ශාස්ත්‍රාලාධිපති වූ ආෂී (පො.යු. 371-427), විවාදවල සටහන් සම්පාදනය කිරීමටත් සංස්කරණය කිරීමටත් පටන්ගත්තා. ස්ටයින්සෝල්ට්ස්ගේ මතයට අනුව, ඔහු එසේ කළේ “සෑහෙන අපිළිවෙළකින් තිබුණු වාචික තොරතුරු සම්භාරය අතුරුදහන් වී යෑමේ අන්තරාවට පත් වේවි යන බියෙනුයි.”

තිබුණු ඉමහත් තොරතුරු සම්භාරය ගත් කල, එය එක මිනිසෙකුට එක පරම්පරාවකට පවා සංවිධානය කරන්න බැරි තරම්. ආමෝරාඊම් වකවානුව බබිලෝනියෙහි පො.යු. පස්වන සියවසේදී අවසන් වුණත්, බබිලෝනීය තල්මුඩය අවසාන වශයෙන් සංස්කරණය කිරීමේ කාර්යය සාබෝරාඊම් යනුවෙන් හැඳින්වූ කණ්ඩායමක් මගින් සයවන සියවස දක්වා කරනු ලැබුවා. මෙය “පහදන්නන්” නොහොත් “මතධාරීන්” යන තේරුම ඇති ඇරමයික යෙදුමක්. මෙම අවසාන සංස්කාරකයන් නොපැහැදිලි තැන් දහස් ගණනකුත් සියවස් ගණනාවක රබ්බිවරුන්ගේ විවාදත් පැහැදිලි කරමින්, කලින් පැවති වෙනත් සියලුම යුදෙව් ලියවිලිවලට වඩා කැපීපෙනෙන්න සැලැස්සූ විශේෂ ශෛලියක් සහ ව්‍යූහයක් බබිලෝනීය තල්මුඩයට ලබා දුන්නා.

තල්මුඩයෙන් ඉටු වූයේ කුමක්ද?

තල්මුඩයේ රබ්බිවරුන්ගේ අදහස වූයේ, මිෂ්නා සහ හෙබ්‍රෙව් ලියවිලි දෙකම එකම මූලාශ්‍රයෙන් පැමිණි බව ඔප්පු කරන්නයි. ඒත් ඇයි? ජේකබ් නොයිස්නෙ මෙසේ අදහස් දක්වයි: “සඳහන් වාද විෂය මිෂ්නාහි තත්වය හා සම්බන්ධ වුණා. එනමුත් කාරණයේ මුලටම බැස්සොත් එය ඍෂිවරයාගේ අධිකාරය හා සම්බන්ධයි.” මෙම අධිකාරය තහවුරු කිරීමට, මිෂ්නාහි සෑම පේළියක්ම, ඇතැම්විට හැම වචනයක්ම, යම් ක්‍රමයකට අනුව පරීක්ෂණයට, අභියෝගයට ලක් වෙමින්, පැහැදිලි කොට, එකඟත්වයකට පත් කරනු ලැබුවා. මෙයාකාරයෙන් රබ්බිවරුන් “මිෂ්නාහි දිශාව එක මඟක සිට තවෙකක් දක්වා වෙනස්” කළ බව නොයිස්නෙ නිරීක්ෂණය කරයි. තනිව අංග සම්පූර්ණ කෘතියක් හැටියට ප්‍රබන්ධ කර තිබුණත්, මිෂ්නා ග්‍රන්ථය බෙදා වෙන් කර තිබුණා. මෙම ක්‍රියාවලිය තුළින් එය නැවත ජනිත කොට, යළිත් අර්ථ දක්වා තිබුණා.

තල්මුඩය නමැති මෙම අලුත් කෘතිය රබ්බිවරුන්ගේ අරමුණු ඉටු කළා. ඔවුන් විග්‍රහ කිරීමේ නීති සම්පාදනය කළ බැවින්, ජනයාට රබ්බිවරුන් මෙන් කල්පනා කිරීමට එය ඉගැන්නුවා. තම අධ්‍යයන සහ විග්‍රහ ක්‍රමය දෙවිගේ මනස පිළිබිඹු කළ බව රබ්බිවරුන් විශ්වාස කළා. තල්මුඩය අධ්‍යයනය කිරීම ඔවුන්ගේ පරමාර්ථය, එනම් නමස්කාර පිළිවෙතක් බවට පත් වුණා. ඔවුන් සිතූ පරිදි එයින් සිදු වූයේ දෙවිව අනුකරණය කිරීමක් වශයෙන් මනස යොදාගැනීමයි. මතු පරම්පරා බොහොමයක් තුළදී, මෙම ක්‍රමය අනුව තල්මුඩය විග්‍රහ කිරීමටයි අදහස් කර තිබුණේ. ප්‍රතිඵලය? ඉතිහාසඥ සීසල් රොත් මෙසේ ලියයි: “තල්මුඩය . . . [යුදෙව්වන්ව] වෙනත් අයගෙන් වෙන් කොට දැක්වූ විශේෂ ගතිලක්ෂණයක් මෙන්ම වෙනස් නොවී සිටීමටත් එක්සත්ව සිටීමටත් අරුම පුදුම ශක්තියකුත් ලබා දුන්නා. එහි තර්කය ඔවුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව මුවහත් කරමින්, ඔවුන්හට . . . මානසික තීව්‍රබවක් ලබා දුන්නා. . . . මධ්‍යතන යුගයේ පීඩිත යුදෙව්වාට පලා යා හැකි තවත් ලොවක් තල්මුඩයෙන් සාදා දුන්නා . . . ඔහුගේම දේශය අහිමිව තිබුණු අවස්ථාවක ඔහුට තමා සමඟ රැගෙන යා හැකි සංකේතාත්මක ජන්මභූමියක් එයින් ලබා දුන්නා.”

රබ්බිවරුන්ගේ චින්තනය අනුන්ට ඉගැන්වීම තුළින්, තල්මුඩයට බලයක් තිබී ඇති බව සහතිකයි. එසේ නමුත් සියල්ලන්ගෙන්ම—යුදෙව්වන් සහ යුදෙව් නොවන දෙපාර්ශ්වයෙන්ම—අසන්න තිබෙන ප්‍රශ්නය මේකයි: තල්මුඩය ඇත්තටම දෙවිගේ මනස පිළිබිඹු කරයිද?—1 කොරින්ති 2:11-16.

[පාදසටහන්වල]

a මිෂ්නාහි විකාශය සහ අඩංගු දෑ ගැන වැඩිමනත් තොරතුරු සඳහා මුරටැඹ 1997 නොවැම්බර් 15හි “දෙවි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව සහ මිෂ්නා” යන ලිපිය බලන්න.

b පලස්තීන තල්මුඩය ජනප්‍රිය වී ඇත්තේ යෙරුසලෙම් තල්මුඩය යන නමිනුයි. කෙසේවෙතත්, ආමෝරි වකවානුවේ වැඩි හරියකදී යෙරුසලමට යෑම බොහෝ යුදෙව්වන්ට තහනම් වූ නිසා, මෙම යෙදුම වැරදිසහගත නමක්.

[31වන පිටුවේ කොටුව]

තල්මුඩ දෙක—ඒවා සැසඳෙන්නේ කෙසේද?

“තල්මුඩය” යන හෙබ්‍රෙව් වචනයෙහි තේරුම “අධ්‍යයනය” හෝ “ඉගෙනගැනීමයි.” පලස්තීනයෙහි සහ බබිලෝනියෙහි ආමෝරාඊම්වරුන් මිෂ්නා අධ්‍යයනය කිරීමට හෝ විග්‍රහ කිරීමට යොමු වී තිබුණා. තල්මුඩ දෙකම (පලස්තීන සහ බබිලෝනීය) එසේ කළත්, ඒවා සසඳද්දී කුමක්ද හෙළි වන්නේ? ජේකබ් නොයිස්නෙ මෙසේ ලියයි: “පළමු තල්මුඩය සාක්ෂි විග්‍රහ කරයි; දෙවන එක උපකල්පන සෝදිසි කර බලයි; පළමු එක සම්පූර්ණයෙන් ඊට අදාළ විෂයේ සීමා තුළ පවතින අතර, දෙවන එක ඒවා බෙහෙවින් අභිභවා යනවා.”

බබිලෝනීය තල්මුඩය වඩාත් පරිශ්‍රමයකින් සහ සම්පූර්ණව සංස්කරණය කර තිබෙන නිසා, එය වඩාත් විශාලව පවතිනවා පමණක් නොව, නමුත් එහි චින්තන සහ විග්‍රහ පිළිවෙළ වඩාත් ගැඹුරු මෙන්ම කාවදිනසුලුයි. “තල්මුඩය” යන වචනය සඳහන් කරනු ලබන විට, සාමාන්‍යයෙන් අදහස් කරන්නේ බබිලෝනීය තල්මුඩයයි. සියවස් ගණනාව පුරා වැඩි වශයෙන් අධ්‍යයනයට සහ විචාරයට භාජන වී තිබෙන තල්මුඩය මෙයයි. නොයිස්නෙගේ මතයට අනුව, පලස්තීන තල්මුඩය “නිපුණත්වයේ කෘතියක්” සහ බබිලෝනීය තල්මුඩය “අතිශ්‍රේෂ්ඨ බුද්ධියේ කෘතියක්.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න