යෙහෝවා ඇදහිලිවන්තයන් උදෙසා තම පොරොන්දු ඉටු කරයි
‘පොරොන්දුව දුන් තැනැත්තා විශ්වාසවන්තව සිටියි.’—හෙබ්‍රෙව් 10:23.
1, 2. යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි අපට පූර්ණ නිසැකකමක් තබාගත හැකි වන්නේ ඇයි?
යෙහෝවා තමා කෙරෙහිත් තම පොරොන්දු කෙරෙහිත් ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගෙන එය දිගටම පවත්වාගන්න කියා තම සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. යෙහෝවා කරන්න පොරොන්දු කර තිබෙන දේවල් කරන බවට එවැනි ඇදහිල්ලක් ඇතුව යමෙකුට ඔහු කෙරෙහි සම්පූර්ණයෙන්ම දැඩි විශ්වාසයක් තබන්න පුළුවන්. ඔහුගේ ආනුභාවය ලත් වචනය මෙසේ ප්‍රකාශ කරනවා: “සේනාවල [යෙහෝවා] දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.”—යෙසායා 14:24.
2 “සේනාවල [යෙහෝවා] දිවුරා කථාකොට” යන ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ, තම පොරොන්දු ඉටු කරන බවට ඔහු විධිමත් දිවුරුමක් සපයන බවයි. ඒ නිසයි මෙසේ පැවසීමට ඔහුගේ වචනයට හැකි වන්නේ: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) අපි යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඔහුගේ ප්‍රඥාව මගින් මඟ පෙන්වනු ලැබීමට අප ඉඩහරින විට, අපේ මාවත් අවහිරයකින් තොරව සදාකාල ජීවනය වෙතට ගමන් කරනවා; මන්ද දෙවිගේ ප්‍රඥාව ‘එය අල්ලාගන්නන්ට ජීවන වෘක්ෂයක්’ වෙනවා.—හිතෝපදේශ 3:18; යොහන් 17:3.
පුරාණ කාලවල සැබෑ ඇදහිල්ල
3. නෝවා යෙහෝවා කෙරෙහි ඇදහිල්ල පෙන්නුවේ කෙසේද?
3 සැබෑ ඇදහිල්ල තිබෙන අය හා සම්බන්ධ යෙහෝවාගේ ක්‍රියාවන් පිළිබඳ වාර්තාව මගින් ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව තහවුරු කරනවා. උදාහරණයක් හැටියට, අවුරුදු 4,400කට වඩා වැඩි කලකට ඉහතදී, නෝවාගේ දවසේ පැවති ලෝකය සමස්ත ලෝක ජලගැල්මකින් විනාශ වන බව දෙවි ඔහුට පැවසුවා. මිනිසුන්ව හා සතුන්ව සුරැකිව තබාගැනීමට විශාල නැවක් සාදන්න කියා ඔහු නෝවාට උපදෙස් දුන්නා. නෝවා කළේ කුමක්ද? හෙබ්‍රෙව් 11:7 අපට මෙසේ පවසනවා: “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන [දෙවි] විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය.” මීට කලින් කවදාවත් සිදු නොවූ දෙයක්, එනම් ‘නුදුටු දෙයක්’ කෙරෙහි නෝවා ඇදහිල්ල තැබුවේ ඇයි? දෙවි පවසන ඕනෑම දෙයක් සැබෑවක් වෙන බවට වූ කාරණය වටහාගැනීම සඳහා මිනිස් පවුල සමඟ දෙවි කලින් කටයුතු කළ ආකාරය ගැන ඔහුට හොඳ දැනුමක් තිබුණ නිසයි. එනිසා ජලගැල්මත් සිදු වන බවට නිසැකකමක් නෝවාට තිබුණා.—උත්පත්ති 6:9-22.
4, 5. ආබ්‍රහම් යෙහෝවා කෙරෙහි පූර්ණ ලෙස දැඩි විශ්වාසයක් තැබුවේ ඇයි?
4 ආබ්‍රහම්, සැබෑ ඇදහිල්ල පිළිබඳව තවත් උදාහරණයක්. ආසන්න වශයෙන් අවුරුදු 3,900කට කලින්, තම භාර්යාව වන සාරාට දාව උපන් තම එකම පුත්‍රයා වන ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ආබ්‍රහම්ට පැවසුවා. (උත්පත්ති 22:1-10) ආබ්‍රහම් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? හෙබ්‍රෙව් 11:17හි මෙසේ සඳහන් වෙනවා: “ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.” කෙසේවෙතත්, අන්තිම මොහොතේදී, යෙහෝවාගේ දේවදූතයා ආබ්‍රහම්ව නැවැත්තුවා. (උත්පත්ති 22:11, 12) ඒත්, ඒ වගේ දෙයක් කිරීම ගැන සලකා බලන්න තරම්වත් ආබ්‍රහම් පෙලඹුණේ ඇයි? මන්ද, හෙබ්‍රෙව් 11:19 පවසන විදිහට, “[ඊසාක්ව] මළවුන්ගෙන් පවා නැගුටුවන්ට [දෙවිට] පුළුවනැයි ඔහු කල්පනා” කළා. ඒත් කවදාවත් නැවත නැඟිටීමක් දැක්කේවත්, ඒ පිළිබඳව කලින් වාර්තාවක් තිබුණේවත් නැති වුණත් ඔහුට එය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීමට හැකි වූයේ කෙසේද?
5 දෙවි ඔවුන්ට පුතෙක් දෙන්න පොරොන්දු වෙන විට සාරාට අවුරුදු 89ක් වූ බව මතකයට නඟන්න. සාරාගේ ගර්භයට දරුවන් බිහි කිරීමේ හැකියාව තිබුණේ නැහැ—කතාවට කියනවා නම් වඳ තත්වයකයි තිබුණේ. (උත්පත්ති 18:9-14) දෙවි සාරාගේ ගර්භය නැවත ප්‍රකෘතිමත් තත්වයට පත් කළ අතර, ඇය ඊසාක්ව ප්‍රසූත කළා. (උත්පත්ති 21:1-3) සාරාගේ වඳ ගර්භය නැවත ප්‍රකෘතිමත් තත්වයකට ගෙන එන්න දෙවිට හැකි වූ නිසා, අවශ්‍ය නම් ඊසාක්ව නැවත ජීවත් කරවන්න ඔහුට හැකි බව ආබ්‍රහම් දැනසිටියා. ආබ්‍රහම් ගැන රෝම 4:20 සහ 21 මෙසේ පවසනවා: “[දෙවිගේ] පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, [දෙවිට] ගෞරවකරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට [ඔහුට] පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.”
6. යෝෂුවා යෙහෝවා කෙරෙහි නිසැකකම ප්‍රකාශ කළේ කෙසේද?
6 අවුරුදු 3,400කට වඩා වැඩි කලකට ඉහතදී යෝෂුවා අවුරුදු සියයකට වඩා වයස්ව සිටියදී හා දෙවි කොතරම් විශ්වාසවන්ත කෙනෙක්ද කියා මුළු ජීවිත කාලය පුරාම අද්දැකීමෙන් පසු, තම නිසැකකම සඳහා මෙම හේතුව දුන්නා: ‘නුඹලාගේ දෙවි වූ යෙහෝවා නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු හෘදයෙනුත් මුළු ප්රාණයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.’—යෝෂුවා 23:14.
7, 8. පළමු සියවසේ සිටි ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් කිනම් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගත්තාද? එමෙන්ම ඒ ඇයි?
7 මීට අවුරුදු 1,900කට පමණ ඉහතදී නිහතමානී මිනිසුන් බොහෝදෙනෙක් සැබෑ ඇදහිල්ලක් නිරූපණය කළා. බයිබල් අනාවැකිවල ඉටුවීම මගින් යේසු මෙසියස් වූ බව ඔවුන් වටහාගත් අතර ඔහුගේ ඉගැන්වීම් පිළිගත්තා. සැබෑ කරුණු සහ හෙබ්‍රෙව් ලියවිලි කෙරෙහි ස්ථිර පදනමක් ඇතුව ඔවුන් යේසු ඉගැන්වූ දේවල් කෙරෙහි ඇදහිල්ල තැබුවා. මේ අනුව, නොඇදහිලිකාරකම නිසා දෙවිගේ විනිශ්චය යූදා සහ යෙරුසලමට එරෙහිව පැමිණෙන බව යේසු පැවසූ විට ඔවුන් ඔහුව විශ්වාස කළා. එමෙන්ම තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කළ යුතුව තිබූ දෙය ගැන ඔහු ඔවුන්ට පැවසූ විට, ඔවුන් ඒ දේ කළා.
8 යෙරුසලම සේනාවන් වට කර තිබෙන විට ඔවුන් පලා යා යුතු බව යේසු ඇදහිලිවන්තයන්ට පැවසුවා. පොදු යුගයේ 66වන අවුරුද්දේදී රෝම සේනාවන් යෙරුසලමට එරෙහිව පැමිණියා. නමුත් පැහැදිලි කර නැති යම් හේතුවක් නිසා ඔවුන් ආපසු හැරී ගියා. ක්‍රිස්තියානීන්ට නගරය අත්හැර යන්න තිබූ ලකුණ වුණේ එයයි; මන්ද යේසු මෙසේ පවසා තිබුණා: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.” (ලූක් 21:20, 21) සැබෑ ඇදහිල්ලක් තිබූ අය යෙරුසලම සහ අවට ප්‍රදේශය අත්හැර, ආරක්ෂාව සඳහා පලාගියා.
ඇදහිල්ලේ ඌනතාවේ ප්‍රතිවිපාක
9, 10. (අ) ආගමික නායකයන් යේසු කෙරෙහි ඇදහිල්ල දැක්වීමේ ඌනතාවක් පෙන්නුවේ කෙසේද? (ආ) ඇදහිල්ලේ ඌනතාවේ ප්‍රතිවිපාක වුණේ මොනවාද?
9 සැබෑ ඇදහිල්ලක් නොතිබුණු අය කළේ කුමක්ද? ඔවුන්ට අවස්ථාව ලැබුණු විට ඔවුන් පලාගියේ නැහැ. ඔවුන්ගේ නායකයන්ට ඔවුන්ව ගළවාගන්න පුළුවන් කියා ඔවුන් සිතුවා. ඒත්, එම නායකයන්ට මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ටත් යේසු මෙසියස් බවට සාක්ෂි තිබුණා. එසේනම් ඔහු පැවසූ දේවල් ඔවුන් පිළිනොගත්තේ ඇයි? එයට හේතුව ඔවුන්ගේ හෘදය දුෂ්ට තත්වයක තිබීමයි. යේසු ලාසරුස්ව නැවත නැඟිටවීමෙන් පසුව පොදු ජනයාගෙන් බොහෝදෙනෙක් යේසු වටා එක්රොක් වෙනවා ඔවුන් දුටු විට ඒ බව කලින් හෙළි වුණා. යොහන් 11:47, 48 මෙසේ පවසනවා: “නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් [යුදෙව් මහාධිකරණය] රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා [යේසු] බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.” පනස්තුන්වන වගන්තියේ මෙසේ පවසනවා: “මෙසේ එදා පටන් ඔව්හු [ඔහුව] මරන්ට මන්ත්‍රණයකළෝය.”
10 මියගිය ලාසරුස්ව නැවත නැඟිටවීමෙන් යේසු සිදු කළේ මොනතරම් මවිතකර ආශ්චර්යයක්ද! නමුත් ඒ දෙය කිරීම නිසා යේසුව මරා දමන්න ඔවුන්ට වුවමනා වුණා. “නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් [යේසු] කෙරෙහි [අදහාගත්]” අවස්ථාවේදී ඔවුන්ගේ අතිමහත් දුෂ්ටකම තවදුරටත් හෙළි වුණා. (යොහන් 12:10, 11) ලාසරුස්ව මළවුන්ගෙන් නැවත නැඟිටුවා තිබුණා විතරයි; නැවත ලාසරුස් මැරී සිටිනවා දකින්න එම පූජකයන්ට වුවමනා වුණා! ඔවුන් දෙවිගේ කැමැත්ත ගැනවත් පොදු ජනයාගේ ශුභසිද්ධිය ගැනවත් සැලකිල්ල දැක්වූයේ නැහැ. ඔවුන් ආත්මාර්ථකාමී, තමන්ගේ තනතුරු සහ වාසි ප්‍රයෝජන ගැන පමණක් සැලකිල්ල දැක්වූ අය වුණා. “ඔව්හු [දෙවිගෙන්] ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූවෝය.” (යොහන් 12:43) ඒත් ඔවුන් තමන්ගේ ඇදහිල්ලේ ඌනතාවට වන්දි ගෙව්වා. පොදු යුගයේ 70වන අවුරුද්දේදී, රෝම සේනාවන් නැවත ඇවිත් ඔවුන්ගේ ස්ථානය, ජාතිය මෙන්ම ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව විනාශ කළා.
අපේ කාලයේ නිරූපණය කර තිබෙන ඇදහිල්ල
11. මේ සියවසේ මුල් භාගයේදී, සැබෑ ඇදහිල්ල නිරූපණය වූයේ කෙසේද?
11 මේ සියවසේදී, සැබෑ ඇදහිල්ලේ පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝදෙනෙක් සිටිනවා. උදාහරණයක් හැටියට, 1900ගණන්වල මුල් කාලයේදී මිනිසුන් පොදුවේ සාමකාමී හා සෞභාග්‍යවත් අනාගතයක් අපේක්ෂාවෙන් සිටියා. ඒ කාලයේදීම, මනුෂ්‍යවර්ගයා ගැටලුවලින් පිරි දරුණුම යුගයකට පා තබන්න යන බව යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබූ අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියා. මතෙව් 24වන පරිච්ඡේදයෙහි, 2 තිමෝති 3වන පරිච්ඡේදයෙහි සහ වෙනත් තැන්වල දේවවචනය පුරෝකථනය කර තිබුණේ එයයි. පළමුවන ලෝක මහ යුද්ධය ආරම්භ වූ 1914 පටන් ඒ ඇදහිල්ලේ මිනිසුන් පැවසූ දෙය ඇත්තෙන්ම සිදු වුණා. ඇත්තෙන්ම ලෝකය, පුරෝකථනය කළ “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” සහිත ‘අන්තිම දවස්වලට’ අවතීර්ණ වුණා. (2 තිමෝති 3:1, NW) අනිත් අය දැන නොසිටිද්දී, ඒ කාලයේ සිටම ලෝක තත්වයන් ගැන සත්‍යය දැනගන්න යෙහෝවාගේ සේවකයන්ට හැකි වුණේ ඇයි? මන්ද යෙහෝවාගේ එක වචනයක්වත් බොරු වෙන්නේ නැති බවට යෝෂුවාට මෙන් ඔවුන්ටත් ඇදහිල්ලක් තිබුණා.
12. අදදින, යෙහෝවාගේ සේවකයන් පූර්ණ ලෙස දැඩි විශ්වාසය තබන්නේ ඔහුගේ කුමන පොරොන්දු මතද?
12 අදදින යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබන ඔහුගේ සේවකයන්ගේ සංඛ්‍යාව ලොව පුරා දශලක්ෂ හයකට ආසන්නයි. ළඟදීම දෙවි මෙම සාහසික, දුරාචාර දේවල පිළිවෙළ අවසානයකට ගෙනෙන්න යන බව දෙවිගේ අනාවැකිමය වචනවල ඉටුවීමක් වශයෙන් ඉස්මතු වී තිබෙන සාක්ෂිවලින් ඔවුන් දැනගෙන සිටිනවා. එනිසා 1 යොහන් 2:17 කියන දෙයෙහි ඉටුවීම ඔවුන් දකින්න යන කාලය ළඟ බව ඔවුන්ට නිසැකයි; එහි මෙසේ පවසනවා: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” යෙහෝවා මේ පොරොන්දුව ඉටු කරන්න යන බවට ඔහුගේ සේවකයන් තුළ සම්පූර්ණ ලෙස දැඩි විශ්වාසයක් තිබෙනවා.
13. ඔබට කොතෙක් දුරට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබන්න පුළුවන්ද?
13 ඔබට කොතෙක් දුරට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබන්න පුළුවන්ද? ඔහු වෙනුවෙන් ඔබේ ජීවිතය අවදානම් තත්වයක තබන්න ඔබට පුළුවන්! ඔහු වෙනුවෙන් සේවය කළ නිසා ඔබේ ජීවිතය නැති වුණත්, නැවත නැඟිටීමේදී වඩාත් හොඳ ජීවිතයක් ඔහු ඔබට නැවත දෙන්න යනවා. යේසු අපට මෙසේ සහතික කරනවා: “[සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි [එනම්, දෙවිගේ මතකයෙහි] සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ඒ දේ කරන්න පුළුවන් යම් දේශපාලන නායකයෙක්ව, විද්‍යාඥයෙක්ව, ව්‍යාපාරිකයෙක්ව, වෛද්‍යවරයෙක්ව හෝ වෙනත් ඕනෑම මනුෂ්‍යයෙක්ව ඔබ දන්නවාද? ඔවුන්ට ඒ දේ කරන්න බැරි බව ඔවුන්ගේ අතීත වාර්තාවන් පෙන්නුම් කරනවා. ඒ දේ කරන්න යෙහෝවාට පුළුවන්, ඔහු එය කරන්නත් යනවා!
ඇදහිලිවන්තයන් උදෙසා මවිතකර අනාගතයක්
14. දේවවචනය ඇදහිලිවන්තයන් උදෙසා පොරොන්දු කරන්නේ කිනම් මවිතකර අනාගතයක්ද?
14 “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්හුය, NW]; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය” කියා පවසමින් දෙවිගේ ස්වර්ගික රාජ්‍යය යටතේ පාලනය වන නව ලොව කෙරෙහි නිසැකකම යේසු ඇඟෙව්වා. (මතෙව් 5:5) යළි තහවුරු කරන ලද දෙවිගේ ඒ පොරොන්දුව ගීතාවලිය 37:29හි මෙසේ සඳහන් වෙනවා: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” එමෙන්ම යේසුගේ මරණයට මොහොතකට කලින්, අපරාධකාරයෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කළ අවස්ථාවේදී යේසු ඔහුට මෙසේ පැවසුවා: ‘නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.’ (ලූක් 23:43) ඔව්, ඒ පාරාදීසයෙහි සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුව, මේ මනුෂ්‍යයා පොළොව මත ජීවනයට නැවත නැඟිටීමක් ලබන බවට දේවරාජ්‍යයෙහි රජ වශයෙන් යේසු වග බලාගන්න යනවා. අදදින, යෙහෝවාගේ රාජ්‍යය කෙරෙහි තම ඇදහිල්ල තබන අයට පුළුවන් පාරාදීසයෙහි ජීවත් වීම සඳහා මහත් ආශාවෙන් බලා සිටින්න; ඒ කාලයේදී “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.
15, 16. නව ලොවෙහි ජීවිතය එතරම්ම සාමකාමී වෙන්න යන්නේ ඇයි?
15 අපි ඒ නව ලොවට මනසින් ගමන් කරමු. අපි දැනටමත් එහි ජීවත් වෙමින් සිටිනවා කියා සිතන්න. සෑම තැනම සම්පූර්ණ සමාදානයකින් එකට ජීවත් වෙන සන්තෝෂවත් ජනකායක් වහාම අපේ අවධානයට යොමු වෙනවා. ඔවුන් යෙසායා 14:7හි විස්තර කර තිබෙන මේ තත්වයන්ට සමාන තත්වයන් සතුටින් භුක්ති විඳිමින් සිටිනවා: “මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.” ඔවුන් එහෙම සිටින්නේ ඇයි? එක දෙයක් නම් ගෙවල්වල සවි කර තිබෙන දොරවල්වලට අගුල් දාලා නැහැ. අපරාධ හෝ සාහසිකකම් නැති නිසා, ඒවා සඳහා අවශ්‍යතාවක් නැහැ. එය හරියට දෙවිගේ වචනයේ පවසා තිබෙන මේ දෙය හා සමානයි: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—මීකා 4:4.
16 යුද්ධ තවත් නැහැ; මන්ද මේ නව ලොවෙහි යුද්ධ තහනම් කර තිබෙනවා. සෑම අවියක්ම සමාදානයේ උපකරණ බවට හරවා තිබෙනවා. යෙසායා 2:4 පූර්ණ ආකාරයකින් ඉටු වී තිබෙනවා: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” අපි අපේක්ෂා කළෙත් ඒ දේම නොවේද! ඇයි? පරණ ලෝකයේදී දෙවිට සේවය කරමින් සිටින විට, නව ලොවෙහි වැසියන් බොහෝදෙනෙක් ඒ දේ කරන්න ඉගෙනගෙන තිබුණා.
17. දේවරාජ්‍යය යටතේ කුමන ආකාරයේ ජීවන තත්වයන් පවතින්න යනවාද?
17 ඔබේ අවධානයට ලක් වෙන තවත් දෙයක් නම් දුගීකම නැතිවීමයි. කිසිම කෙනෙක් අපිරිසිදු පැල්පතක ජීවත් වෙන්නේවත්, වැරහැලි අඳින්නේවත්, නිවාසයක් නැතුව සිටින්නේවත් නැහැ. සෑම කෙනෙකුටම පහසුකම් තිබෙන නිවසක් සහ ලස්සන ගස්වැල් සහ මල්වලින් පිරි හොඳින් පවත්වාගෙන යන ඉඩමක් තිබෙනවා. (යෙසායා 35:1, 2; 65:21, 22; එසකියෙල් 34:27) එමෙන්ම කොහොමටවත් කුසගින්නක් නැහැ; මන්ද, සියලුදෙනාටම ආහාර බහුලව තිබෙන බවට වූ තමාගේ මේ පොරොන්දුව දෙවි ඉටු කර තිබෙනවා: “ධාන්‍යවල බහුලත්වයක් පොළොවේ තිබෙන්නේය; කඳු මුදුන් පිරී ඉතිරී යන්නේය” (ගීතාවලිය 72:16, NW) ඇත්තෙන්ම දේවරාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ දෙවි මුලින්ම ඒදන්හිදී අරමුණ කළ ආකාරයටම ඉතාමත් අලංකාර පාරාදීසයක් පොළොව පුරා ව්‍යාප්ත වෙනවා.—උත්පත්ති 2:8.
18. නව ලොවෙහි, මිනිසුන්ට තවදුරටත් තර්ජනයක් නොවන්නේ කුමන දේවල්ද?
18 සෑම කෙනෙකු තුළම තිබෙන ක්‍රියාශීලී ස්වභාවය ගැනද ඔබ පුදුම වෙනවා. මෙයට හේතුව ඔවුන්ට දැන් පරිපූර්ණ ශරීර සහ මනස් තිබීමයි. තවදුරටත් අසනීප, වේදනාව හෝ මරණය නැහැ. කිසිම කෙනෙක් රෝදපුටුවක හෝ රෝහලේ ඇඳක් මත නැහැ. ඒ සියල්ලම සදහටම පහ වී ගොස් තිබෙනවා. (යෙසායා 33:24; 35:5, 6) කිසිම සතෙක් මනුෂ්‍යයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරන්නෙත් නැහැ; මන්ද දෙවිගේ බලය මගින් උන්ව සාමකාමී තත්වයකට පත් කර තිබෙනවා.—යෙසායා 11:6-8; 65:25; එසකියෙල් 34:25.
19. නව ලොවෙහි ගත කරන සෑම දවසක්ම ‘මහත් ප්‍රීතියක්’ ගෙන දෙන යමක් වන්නේ ඇයි?
19 මේ නව ලොවෙහි සිටින ඇදහිලිවන්ත වැසියන් මොනතරම් මහිමාන්විත ශිෂ්ටාචාරයක් ගොඩනඟමින් සිටිනවාද! ඔවුන්ගේ ශක්තීන්, කුසලතා මෙන්ම පොළොවේ සම්පත් යනාදිය යොදාගනු ලබන්නේ හිංසාකාරි දේවලට නොව, ප්‍රයෝජනවත් දේවල් සඳහායි; අනිත් අය සමඟ තරඟ වදින්න නොව, ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහායි. එමෙන්ම ඔබට හමු වෙන සෑම කෙනෙක්ම, ඔබට දැඩි විශ්වාසය තබන්න පුළුවන් කෙනෙක්, මන්ද දෙවි පොරොන්දු වී තිබෙන විදිහට, සියලුදෙනාම “[යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ” වෙනවා. (යෙසායා 54:13) සෑම කෙනෙක්ම දෙවිගේ නීති මගින් පාලනය වන නිසා, “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) ඇත්තෙන්ම, මේ නව ලොවෙහි සෑම දවසක්ම ගීතාවලිය 37:11හි පවසා තිබෙන්නාක් මෙන් ‘මහත් ප්‍රීතියක්’ ඇති දවසක් වෙන්න යනවා.
සන්තෝෂවත් අනාගතයක් සහතික කෙරෙයි
20. සාමකාමී අනාගතයක් භුක්ති විඳීම සඳහා අප කුමක් කළ යුතුද?
20 ඒ සන්තෝෂවත් අනාගතයෙහි පංගුකාරයන් වෙන්න අපි කළ යුත්තේ මොනවාද? යෙසායා 55:6 අපට මෙසේ පවසනවා: ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහුව සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න.’ එමෙන්ම අපි සොයන විට, අපේ ආකල්පය ගීතාවලිය 143:10හි විස්තර කර තිබෙන්නාක් මෙන් විය යුතුයි: ‘ඔබගේ කැමැත්ත කරන්න මට උගන්වන්න; මක්නිසාද ඔබ මාගේ දෙවිය.’ මෙසේ කරන අයට යෙහෝවා ඉදිරියෙහි නිර්දෝෂීව මේ අන්තිම දවස් අතරින් ගමන් කළ හැකියි; එමෙන්ම කදිම අනාගතයක් ආශාවෙන් බලා සිටිය හැකියි. “නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ. අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි කෙළවර සිඳිනු ලබන්නේය.”—ගීතාවලිය 37:37, 38.
21, 22. අද දෙවි සකස් කරමින් සිටින්නේ කුමක්ද? එමෙන්ම පුහුණුව සම්පූර්ණ කරමින් සිටින්නේ කෙසේද?
21 යෙහෝවා තමාගේ කැමැත්ත කරන්න කැමති අයව දැන් සියලු ජාතීන්ගෙන් කැඳවමින් සිටිනවා. බයිබල් අනාවැකියේ මෙසේ පුරෝකථනය කර තිබෙන්නාක් මෙන් ඔහු තම නව භූමික සමාජයේ අත්තිවාරම ලෙස ඔවුන්ව සකස් කරමින් සිටිනවා: ‘මතු දවස්වලදී [අපි දැන් ජීවත් වන කාලයේදී] බොහෝ ජනයෝද පිටත්ව කතාකොට: එන්න, යෙහෝවාගේ කන්දට [ඔහුගේ උසස් සැබෑ නමස්කාරයට] යමු; ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වන්නේය, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමු.’—යෙසායා 2:2, 3.
22 එළිදරව් 7:9හි මොවුන්ව විස්තර කරන්නේ, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” හැටියටයි. දාහතරවන වගන්තියේ මෙසේ පවසනවා: “මොව්හු මහත් [පීඩාව] මැදින් එන්නෝය.” ඔවුන් වර්තමාන පිළිවෙළේ නිමාවෙන් බේරී ජීවත් වෙනවා. නව ලොව සඳහා සාදන මේ අත්තිවාරම දැන් දශලක්ෂ හයකට ආසන්න ගණනකින් ශක්තිමත් වන අතර, සෑම අවුරුද්දකම නවකයන් බොහෝදෙනෙක් එහි කොටසක් බවට පත් වෙමින් සිටිනවා. යෙහෝවාගේ මේ ඇදහිලිවන්ත සේවකයන් සියලුදෙනාටම දෙවිගේ නව ලොවෙහි ජීවත් වීම සඳහා පුහුණුවක් දෙනු ලබනවා. මේ පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය ආත්මික සහ වෙනත් කුසලතා ඔවුන් ඉගෙනගනිමින් සිටිනවා. එමෙන්ම ‘පොරොන්දුව දුන් තැනැත්තා විශ්වාසවන්තව සිටින’ නිසා එම පාරාදීසය යථාර්ථයක් වන බවට ඔවුන් පූර්ණ ලෙස දැඩි විශ්වාස තබනවා.—හෙබ්‍රෙව් 10:23.
පුනරීක්ෂණය සඳහා කරුණු
◻ පළමු සියවසෙහි ඇදහිල්ලේ ඌනතාවක් මගින් කිනම් ප්‍රතිවිපාක ඇති වුණාද?
◻ දෙවිගේ සේවකයන්ට කොතෙක් දුරට ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබිය හැකිද?
◻ ඇදහිලිවන්තයන් උදෙසා කුමන ආකාරයේ අනාගතයක් පිළියෙළ කර තිබෙනවාද?
◻ දෙවිගේ නව ලොවෙහි අප සඳහා සන්තෝෂවත් අනාගතයක් සහතික කරගැනීමට අපි කුමක් කළ යුතුද?
[18වන පිටුවේ පින්තූරය]
දැන් යෙහෝවා නව භූමික සමාජයේ අත්තිවාරම සකස් කරමින් සිටිනවා