පල්ලි පාපෝච්චාරණය කරයි
“පාප් පල්ලිය උසාවි ගෙනියයි.” “අධර්ම මර්දනාධිකරණය සහ යුදෙව් විරෝධවාදය —පල්ලිය ඇගේ මේය’ කුල්පa සූදානම් කරයි.” “සමූලඝාතනය සඳහා මේය’ කුල්ප.” “මෙතෝදිස්තවරු බටහිර එක්සත් ජනපද රතු ඉන්දියානුවන්ගෙන් සමාව අයදියි.”
ඔබ මෙවන් ශීර්ෂ පාඨ කියවා තිබෙනවාද? ශතවර්ෂ ගණනාවක් පුරා තමන් කර ඇති දේ ගැන පල්ලි චෝදනා පිළිගනිමින්, සමාව අයැදිමින් සිටීම වැඩි වශයෙන් නිතර නිතර සිදු වෙමින් පවතින බව පෙනෙනවා. ජනසන්නිවේදන මාධ්‍යය පාප්ගේ අලුත්ම මේය’ කුල්ප නිබඳවම උලුප්පා දක්වමින් සිටිනවා.
පාප් සමාව අයැදිද්දී
වර්ෂ 1980 සිට 1996 දක්වා, IIවන ජුවාම් පාවුලු පාප් අඩුම තරමින් 94 වතාවක්වත් ‘පල්ලියේ ඓතිහාසික වැරදි තේරුම්ගෙන හෝ සමාව අයැද හෝ’ ඇති බව තම ක්වාන්ඩෝ ඉල් පප ක්‍යෙදෙ පෙර්දෝනෝ (පාප් සමාව අයැදිද්දී) නමැති පොතෙහි වතිකානු ප්‍රකාශක ලුඊජි ආකාත්තොලි පැවසුවා. ආකාත්තොලිට අනුව, “කතෝලික සභාවෙහි යුක්තිසහගත ලෙස මේය’ කුල්ප සිදු කළ හැක්කේ පාප්ට පමණයි.” ඔහු මෙය කර ඇති අතර, එහිදී කතෝලික ඉතිහාසයේ තදබල මතභේදයට තුඩු දුන් පිටු වෙත යොමු දක්වා තිබෙනවා—ඒවා නම්, කුරුස යුද්ධ, යුද්ධ, ආඥාදායකත්වයන්ට සහය වීම, සභාවල බෙදීම, යුදෙව් විරෝධවාදය, අධර්ම මර්දනාධිකරණ, මාෆියා සහ ජාතිවාදී ආකල්ප යනාදියයි. දෙවන ජුවාම් පාවුලු පාප් 1994දී, කාදිනල්වරුන් වෙත යවනු ලැබූ සිහිගැන්වීමේ ලිපියක (මෙය පාප්ගේ නිල දරන කාල සීමාව තුළ ලියන ලද වැදගත්ම ලිපිය ලෙස සමහරුන් සලකනවා), “අවුරුදු දහස් ගණනක් පුරා කළ පව් සඳහා සාමාන්‍ය පාපෝච්චාරණයක්” ඉදිරිපත් කළා.
නායක දේවගැතිවරු කිහිපදෙනෙක් පාප්ගේ ආදර්ශය අනුගමනය කර තිබෙනවා. ඉතාලි පුවත්පතක් වන ඉල් ජෝර්නාලෙ 1994 දෙසැම්බර් මාසයේදී, මෙසේ වාර්තා කළා: “අමෙරිකානු බිෂොප්වරු බොහෝදෙනෙක් රූපවාහිනියේ පෙනී සිට, ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.” මොනවටද? ළාබාල ගොදුරු බොහෝමයකට හානි කළ, කෞමාර කාමාතුර පූජකයන්ගේ ගැටලුව අවතක්සේරු කිරීම ගැන. “සමකාලීන කතෝලික ඉතිහාසයේ පෙර නොදුටුවිරූ ක්‍රියාපිළිවෙළක්” ගැන 1995 ජනවාරි මාසයේදී ලා රෙපූබ්ලිකා වාර්තා කළ අතර, සමූලඝාතනය පිළිබඳ XIIවන පයස් පාප්ගේ නිහැඬියාව පිළිබඳ ගැටලුව ගැන අමතා තිබුණා. නාට්සිවරුන්ගේ අපරාධවලට සහය වූ රෝමානු කතෝලිකයන්ගේ “බොහෝ පව්” උදෙසා ජර්මානු බිෂොප්වරු සමාව අයැද සිටියා කියා 1995 ජනවාරි මාසයේදී එම පුවත්පතම වාර්තා කළා. විවිධ රෙපරමාදු පල්ලි පවා තමන්ව ආත්ම-විවේචනයට භාජන කළා.
ඇයි?
අප වැරදි කළ විට සමාව අයැද සිටින්න බයිබලය අපට දිරිගන්වන අතර, පල්ලි විසින් තමන්ව ආත්ම-විවේචනයට භාජන කළ විට බොහෝදෙනෙක් ඊට ප්‍රශංසා කරනවා. (යාකොබ් 5:16) නමුත් පල්ලි එසේ කරන්නේ ඇයි? අප ඒවා සලකන ආකාරයට එය බලපෑ යුත්තේ කොහොමද?
[පාදසටහන]
a “මගේම වරද” සඳහා ලතින් යෙදුමක්; කතෝලික යාච්ඤාවක (කෝන්ෆිටෙඕර් හෝ “මම පසුතැවෙනවා”) කොටසක් වන මෙය, එසේ කරන අතරතුර පල්ලි සාමාජිකයන් මේ කියමන නැවත නැවත කියයි.