ලෝක සමඟිය එය කවදා හෝ යථාර්ථයක් වේවිද?
“මීළඟ පරම්පරා කිහිපය තුළ, අප ජීවත් වන ස්වාධීන රාජ්‍යයන්ගෙන් සැදුම් ලත් මේ ලෝකය යම් අව්‍යාජ ජාත්‍යන්තර ප්‍රජාවක් බවට පරිවර්තනය කිරීමෙහි අපි සාර්ථකත්වයක් ලැබුවහොත් . . . එවිට අපි යුද්ධය නමැති පැරණි ආයතනය සාර්ථක ලෙස සුන්නද්දූලි කර තිබෙනු ඇත . . . කෙසේවෙතත් අපි අසාර්ථක වුවහොත් සමහරවිට . . . කිසිම ශිෂ්ටාචාරයක් නොතිබෙනු ඇත.” වෝ (යුද්ධය) නමැති ඔහුගේ පොතේ යුධ ඉතිහාසඥ ග්වින් ඩය’ එසේ පවසනවා.
ජාතීන් සහ වෙනත් බලවත් කණ්ඩායම් තමන්ගේ මතභේද නිරාකරණය කරගැනීමට යුද්ධයේ සරණය පැතීමේ වාර්තාවලින් ඉතිහාසයේ පිටු පිරී ඇතැයි ඩය’ පවසනවා. ඔවුන්ගේ අසමඟිය, ගොදුරුවූවන් මිලියන ගණනකගේ ජීවිත වනසා තිබෙනවා. ඔහුගේ දවසේදී මිනිසුන්ට මෙය බලපෑවේ කෙසේද යන්න ගැන කියා තිබෙන සාලමොන් රජුගේ වාර්තාව අදටත් ගැළපෙනවා. ඔහු මෙසේ ලීවා: “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.”—දේශනාකාරයා 4:1.
මේ දවස්වල, ඉහත ඉතිහාසඥයා පෙන්වන අන්දමට, “පීඩා ලබන්නන්ගේ කඳුළු” කෙරෙහි අනුකම්පා කරනවාට අමතරව, ස්වාධීන රාජ්‍යයන්ගේ ලොවක සිට සැබෑ ජාත්‍යන්තර ප්‍රජාවක තත්වයකට වෙනස් කිරීමක් සොයාගැනීම සඳහා අමතර හේතුවක් තිබෙනවා: ශිෂ්ටාචාරය ගළවාගැනීමම අනතුරේ! වර්තමානයේ යුද්ධ කටයුතු පොරොන්දු වන්නේ, එහි සරණ පතන සියලුම ජාතීන් විනාශ කිරීමට වන අතර, කිසිම ජයග්‍රාහකයෙක් ඉතිරි වෙන්න යන්නේ නැහැ.
ලෝක සමඟිය පෙනෙන තෙක් මානයේද?
ලෝක සමඟිය සඳහා ඇත්තේ කිනම් අපේක්ෂාද? පොළොවේ ගැළවීමට තර්ජනය කරන්නාවූ බෙදීම් ඇති කරවන බලයන් ජයගන්න මනුෂ්‍ය සමාජයට හැකිද? සමහරුන් එසේ සිතනවා. බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්රාෆ්හි ආරක්ෂක කටයුතු පිළිබඳ කර්තෘ ජෝන් කීගන් මෙසේ ලියයි: “ව්‍යාකූලත්වය සහ අස්ථිරත්වය තිබියදීත් යුද්ධයෙන් තොර ලොවක දසුනක සේයාවක් දැකගන්න පුළුවන් වගෙයි පෙනෙන්නේ.”
ඔහුට මෙම සුභවාදී බලාපොරොත්තුව ලබා දෙන්නේ කුමක්ද? මනුෂ්‍යවර්ගයාගේ යුධ කටයුතු පිළිබඳ දිගු කාලීන ඉතිහාසය සහ තමාවම සාර්ථක ලෙස පාලනය කරගැනීමට මිනිසාට හැකියාවක් නැති බව පෙනීම පසෙකලා බොහෝදෙනෙක් බලාපොරොත්තු ඇතුව සිටිනවා වගේ පෙනෙන්නේ මන්ද? (යෙරෙමියා 10:23) ‘මනුෂ්‍යවර්ගයා ඉදිරියට ඇදෙයි. ඉතිහාසය නිරන්තර ප්‍රගතියක රටාවක් පෙන්වයි’ කියා යම් කලෙක සමහරුන් විවාද කළා. අදදින පවා මිනිසාගේ අභ්‍යන්තර යහපත විසින් අයහපත කෙසේ හෝ ජයගන්නා බව බොහෝදෙනෙක් විශ්වාස කරනවා. එය යථාර්ථවාදී බලාපොරොත්තුවක්ද? එසේ නැත්නම් එය තව තවත් බලාපොරොත්තු සුන්බවට මඟ පෙන්වන නිකම්ම මායාවක්ද? ෂෝට’ හිස්ට්‍රි ඔෆ් ද ව’ල්ඩ් (ලෝකය පිළිබඳ වඩා කෙටි ඉතිහාසය) නමැති ඔහුගේ පොතේ ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් යථාර්ථවාදී ලෙස මෙසේ ලීවා: “ලෝකයේ අනාගතය සුරක්ෂිතය කියා කීම උගහටය. එමෙන්ම අපට දැන් පෙනෙන මනුෂ්‍ය දුක් විඳීම් අවසන් වෙයි කියා විශ්වාස කරන්න කිසිම පදනමක් නැත.”
ජනයා සහ ජාතීන් ඇත්තෙන්ම ඔවුන්ගේ අන්‍යොන්‍ය අවිශ්වාසයන් සහ බෙදීම් මගින් ඇති කරවන මතභේද ජයගනියි කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවාද? එසේ නැත්නම් මනුෂ්‍ය ප්‍රයත්නවලට වඩා වැඩි යමක් අවශ්‍යද? මීළඟ ලිපිය මේ ප්‍රශ්න සලකා බලනවා.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරයේ පසුබිමේ ඇති පෘථිවිගෝලය: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.