ටාහිටිවල පාරාදීසය පිළිබඳ ශුභාරංචිය
ටාහිටි! මේ නමේ එක්තරා අද්විතීය ඇදබැඳගැනීමක් පෙනෙන්න තිබෙනවා. පෝල් යූජින්, රොබට් ලූයිස් ස්ටීවන්සන් සහ හ’මන් මෙල්විලෙ වැනි සිත්තරුවන් සහ ගත්කරුවන් විසින් එය ප්‍රසිද්ධ වෙන්න සැලැස්සුවා; දකුණු මුහුදු දූපත්වල නිවර්තන අලංකාරය සහ ශාන්තභාවය දැක්වූ ඔවුන්ගේ චිත්‍ර හා ලේඛන බොහෝදෙනෙකුගේ සිත් ඇදගෙන තිබුණා.
දකුණු පැසිෆික්හි පිහිටි 120කට වැඩි ප්‍රංශ දූපත් සමූහය අතුරින් විශාලතම එක ටාහිටියි. බොහෝදෙනෙක්ගේ මනස්වල මේ දකුණු මුහුදු දූපත ඇඳී තිබෙන්නේ පාරාදීසයක් ලෙසින් වුවත්, ළඟදී පැමිණෙන්න යන වෙනත් පාරාදීසයක් ගැන ටාහිටිවල ජනයා සවන් දිය යුතුව තිබෙනවා. (ලූක් 23:43) අදදින ටාහිටිවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1,918දෙනා, ටාහිටිවල පමණක් නොව නමුත් මුළු පොළොව පුරාම දේවරාජ්‍යය මගින් ළඟදීම බිහි කරන්න යන සැබෑ පාරාදීස තත්වයන් පිළිබඳ ශුභාරංචිය, 2,20,000ක ජනතාවට පැවසීමෙහි කාර්යබහුලව සිටිනවා.—මතෙව් 24:14; එළිදරව් 21:3, 4.
වර්ෂ ගණනාවක් පුරා ටාහිටිවල දේශනා වැඩය මෙහෙයවනු ලැබුවේ කිලෝමීටර් 3,500ක් පමණ ඈතින් ෆිජිහි පිහිටි වොච් ටවර් සමිති ශාඛා කාර්යාලය මගිනුයි. සෑහෙන ඈතක පිහිටි නිසා වැඩකටයුතු අසීරු වූ අතර, ප්‍රගතිය මන්දගාමීව තිබුණා. මෙබැවින්, 1975 අප්‍රියෙල් 1වනදා, ටාහිටිවල ශාඛා කාර්යාලයක් පිහිටෙවූ අතර, එතැන් පටන් මේ ප්‍රදේශයේ සැබෑ ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාකාරකමෙහි යම් දියුණුවක් පෙන්නුම් කළා. මේ වර්ධනයට මඟ පෑදුවේ කුමක්ද? එමෙන්ම ටාහිටිවල දේශනා වැඩය පටන්ගත්තේ කෙසේද?
සුළු ආරම්භයක්
රාජ්‍ය ශුභාරංචිය පළමුවෙන්ම ටාහිටිවල අහන්න ලැබුණේ 1930 ගණන්වල වූ අතර, බයිබලය වෙත හිතකර ගෞරවයක් දැක්වූ දූපත් වැසියන්ගෙන් බොහෝදෙනෙක් ලොකු උනන්දුවකින් ප්‍රතිචාරය දැක්වුවා. කෙසේනමුත්, රජයේ තහනම සහ වෙනත් සීමා පැනවීම්වල ප්‍රතිඵලයක් වශයෙන්, 1950 ගණන්වල අගභාගය වන විට දූපතේ සාක්ෂිකරුවන් සිටියේ නෑ. මේ කාලයේදී, එක්සත් ජනපදයේ ජීවත් වෙමින් සිටි ටාහිටි වැසියෙක් වූ ඇග්නස් ෂෙන්ක් තම සැමියා සහ පුතා සමඟ ටාහිටිවලට යළි යෑමට තීරණය කළා. සියල්ල සිදු වූ ආකාරය ඈ පැහැදිලි කරයි.
“ලොස් ඇන්ජලීස්වල 1957දී පැවැත්තුව දිස්ත්‍රික් සමුළුවේදී සහෝදර නෝර් [එවකට වොච් ටවර් සමිතියේ සභාපති], ටාහිටිවලට රාජ්‍ය ප්‍රචාරකයන්ගේ මහත් අවශ්‍යතාවක් තිබෙන බව පැහැදිලි කළා. මම එතකොට බව්තීස්ම වෙලා අවුරුද්දයි; ‘හරි, අපි ටාහිටිවලට යමු!’ කියලා මම එකපාරටම කිව්වා. අපේ හොඳ යාළුවන් වූ නීල් පවුලට සහ කාරානෝ පවුලට මං කියපු එක ඇහුණා. ඔයගොල්ලන් එක්ක එන්න කැමතියි, නමුත් අපිට ඒ තරම් ලොකු මුදලක් නෑනෙ කියා ඔවුන් අපිට පැවසුවා. මගේ සැමියා හුඟ කාලෙක ඉඳලා ලෙඩ වෙලා හිටිය අතර මගේ පුතාත් ළාබාල වයසෙයි හිටියේ. එනිසා අපිට එහෙන් පිට වෙන එක අමාරු දෙයක් වුණා. අසල්වැසි සභාවල මිතුරන්ට අපේ අරමුණ දැනගන්න ලැබිලා ඔවුන් අපිට මුදල් සහ ගෙදරට අවශ්‍ය බඩු එව්වා. ඊට පස්සේ 1958 මැයි මාසයේදී ඇතිරිලි 36ක් ඇතුළු තවත් දේවලුත් අරං ටාහිටි බලා ගමන ඇරඹුවා!
“මම දූපතෙන් පිට වෙලා තිබුණේ අවුරුදු 20කට ඉස්සෙල්ලා නිසා අපි ටාහිටිවලට ආවහම මට මහා අමුත්තක් දැනුණා. අපේ ක්‍රිස්තියානි වැඩයට තහංචි පනවා තිබුණ නිසා අපි දේශනා කරන්න පටන්ගත්තත් අපිට පරෙස්සම් වෙන්න සිද්ධ වුණා. අපිට සඟරා සඟවා තබන්න සිද්ධ වුණ නිසා අපි පාවිච්චි කළේ බයිබලය විතරයි. මුලදී අපි සාක්ෂිදැරුවේ ඒ වන විටත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලට දායක ලබාගෙන තිබුණු ජනයාට පමණයි.
“නියූ යෝක් නගරයේ, 1958දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවෙන් පස්සේ ක්ලයිඩ් නීල් සහ ඩේවිඩ් කාරානෝ ඔවුන්ගේ පවුල් එක්ක අපට එකතු වුණා. අපි එක් වී දේශනා කළ අතර, සහෝදරයන්ගේ ගෙවල්වලදී දුන් කතාවලට සවන් දෙන්න එන්න කියා ජනයාට ආරාධනා කළා. ටිකෙන් ටික දේවල් සංවිධානය වූ අතර, අපි 15දෙනෙකුගෙන් සමන්විත බයිබල් පාඩමක් පටන්ගත්තා. නීල්ලාගේ සහ කාරානෝලගේ විදේශ බලපත්‍ර කල්පිරී තිබුණු නිසා, මාස තුනකට පස්සේ ඒගොල්ලන්ට යන්න සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ යන්න ඉස්සෙල්ලා සුදුසුකම් ලබා තිබෙන සියලුදෙනාවම ඒගොල්ලන්ට කියා බව්තීස්ම කරවන්න සහෝදරයෝ තීරණය කළා. මුල් බව්තීස්ම කතාව පරිවර්තනය කිරීමේ වරප්‍රසාදය මට ලැබුණා. මේ අවස්ථාවේදී දූපත් වැසියන් අටදෙනෙක් බව්තීස්මය මගින් යෙහෝවාට ඔවුන්ගේ කැපවීම සංකේතවත් කළා. ඉන්පසු නීල්ලා සහ කාරානෝලා ආපහු එක්සත් ජනපදයට ගියා.
“දේශනා වැඩය දිගටම පැවතුණා. අපි කුඩා කණ්ඩායම් හැදිලා, සවස්වරුවල ජනයා වෙත ගියා. ගොඩක් අවස්ථාවලදී උනන්දුව දැක්වූ අය සමඟ රෑ ජාමේ වෙනකම් සාකච්ඡාවල් පැවැත්තුවා. සමහර වෙලාවලදී රෙපරමාදු දේවගැතියන් පවා සාකච්ඡාවලට සහභාගි වුණා. එක්දාස් නවසිය පනස්නවය වෙන කොට මුල් සභාව පිහිටෙව්වා. ඊට පස්සේ, අපව ඉමහත් ප්‍රීතියට පත් කරවමින් 1960දී රජය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිල ලත් සංගමයක් හැටියට පිළිගත්තා. ඒ මුල් අවුරුදු ගණන ප්‍රීතියෙන් හා උසස් ආත්මික දේවලින් පිරී තිබුණා. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයට යෑමට අප ගත් තීරණයට යෙහෝවා ඇත්තෙන්ම ආශීර්වාද කළා.” සහෝදරී ෂෙන්ක්ට දැන් වයස අවුරුදු 87ක් වන අතර, ඇය තවමත් ඇගේ සභාවේ විශ්වාසවන්තව යෙහෝවාට සේවය කරමින් ඉන්නවා.
වැඩය ඉදිරියට ඇදී ගියා
වර්ෂ 1969දී, ප්‍රංශයේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් වන ෂාක් සහ පෝලෙට් ඉනෝඩි යුවළට විශේෂ පුරෝගාමීන් වශයෙන් ටාහිටිවලට පැවරුමක් ලැබුණා. ෂාක් මෙසේ මතකයට නඟයි: “අපි ටාහිටිවලට ආවහම ප්‍රචාරකයන් 124දෙනෙක් විතරයි හිටියේ; පාපීට්වල එක සභාවයි තිබුණේ; වායිරාඕ අර්ධද්වීපයේ විශේෂ පුරෝගාමීන් දෙන්නෙක් විතරයි හිටියේ.” අර්ධද්වීපය ටාහිටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ දේශ සන්ධියකින්. “පොළොවේ සාමය” ජාත්‍යන්තර එක්රැස්වීම නොබෝ කලකින් පැවැත්වීමට යෙදී තිබුණා. “සමුළුවක් සංවිධානය කිරීමේ මගේ මුල්ම අද්දැකීම ඒකයි” කියා ෂාක් තවදුරටත් පවසනවා. “අමුත්තන් සඳහා ඉංග්‍රීසි සැසිවාරයක් සැලසුම් කරන්නත්, රාජ්‍ය ගී සඳහා වාදක මඩුල්ලක් සූදානම් කරන්නත් ඒ වගේම නාට්‍ය දෙකක් පුරුදු කරන්නත් අපිට සිද්ධ වුණා. මේ වැඩ සියල්ලම ඉටු වුණේ ප්‍රචාරකයන් 126දෙනෙක්ගෙන්. ඒකෙන් වැඩිම කොටස කළේ යෙහෝවා කියන එක මට විශ්වාසයි.” හාරසිය අසූඅටක පැමිණීමක් දැකීම දූපතේ වැසියන්ට ලොකු සතුටක් වුණා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක්ට වෙනත් රටවලින් පැමිණි සෙසු සාක්ෂිකරුවන්ව මුණගැසුණු පළමු වතාව එයයි.
වැඩි කල් නොගොස්, ෂාක් ඉනෝඩිව සංචාරක අවේක්ෂක වශයෙන් පත් කළා. ඔහු විවිධ දූපත්වලට ගිය නිසා, උනන්දුවක් දක්වන බොහෝදෙනෙක් හිටියත් ඔවුන්ව ගොඩනඟන්න හිටියේ රාජ්‍ය ප්‍රචාරකයන් ටිකදෙනෙක් කියන එක ඔහු දැක්කා. “අවශ්‍යතාව වැඩියෙන් තිබුණ මේ දූපත්වලට එන්න කියා බොහෝ පවුල්වලට මම දිරිගැන්නුවේ ඒ නිසයි” කියා ෂාක් පැහැදිලි කරයි. “ඉතින් ටිකෙන් ටික, ඒ දූපත් කොදෙව් රැසට ශුභාරංචිය පතළ වුණා.” සහෝදර ඉනෝඩි 1969 සිට 1974 දක්වා සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කළ අතර, අදදින ඔහු ටාහිටිවල එක සභාවක වැඩිමහල්ලෙක්.
ඕග්යූස්ට් ටෙමානාහෙ සහෝදර ඉනෝඩිගේ දිරිගැන්වීමට ප්‍රතිචාරය දැක්වූ කෙනෙක් වූ අතර, ඔහු 1958දී බව්තීස්ම වූ අටදෙනාගෙන් එක් කෙනෙක්. ඔහු සිදු වූ දේ විස්තර කරයි. “සොසයටි දූපත් කාණ්ඩයේ ලිවර්ඩ් දූපතක් වන වාහිනිවල සේවය කරන්න යන්න කල්පනා කරලා බලන්න කියලා චාරිකා අවේක්ෂක ෂාක් ඉනෝඩි 1972දී අපිට දිරිගැන්නුවා. මම සභාවේදී දීලා තිබුණේ බයිබල් කියවීම විතරක් නිසා එවැනි වගකීමක් භාරගන්න තරම් මට සුදුසුකමක් නෑ කියලා හැඟුණ නිසා මම දෙගිඩියාවෙන් හිටියා. කොහොමනමුත්, ‘බය වෙන්න එපා, ඔයාට පුළුවන් ඒක කරන්න!’ කියා සහෝදර ඉනෝඩි මට නොකඩවම කිව්වා. ටික දවසකට පස්සේ අපි යන්න කැමති වුණා. මේ විදිහට, 1973දී අපි හැම දෙයක්ම විකුණලා, අපේ කුඩා දරුවන් තුන්දෙනාවත් අරං වාහිනිවලට ගියා.
“අපි එහි පැමිණි විට, මුරටැඹ පාඩම, දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ එවැනි දේවල් සියල්ලම මට පටන්ගන්න සිද්ධ වෙලා තිබුණා. ඒක ලේසි වුණේ නැතත්, අපි යෙහෝවාගේ ආරක්ෂාව සහ උපකාරය අද්දැක්කා. අවස්ථා කීපයකදීම නවතින්න තැනක් සොයාගන්න ඔහු අපිට උපකාර කළා. ඊට පස්සේ, විරුද්ධ කණ්ඩායමක් සාක්ෂිකරුවන්ව දූපතෙන් පිටමං කරන්න හැදුව අවස්ථාවේ, දූපතේ දේශපාලනඥයෙක් අපේ ආරක්ෂාව සලසන්න ඉදිරිපත් වුණා. ඒ මුළු කාලයේදීම යෙහෝවා අපි ගැන විමසිල්ලෙන් සිටි බවට සැකයක් නෑ.” දැන්, වාහිනිවල සභා දෙකක් තිබෙනවා—ප්‍රචාරකයන් 23ක් ඉන්න ප්‍රංශ සභාවක් සහ ප්‍රචාරකයන් 55ක් ඉන්න ටහීටියානු සභාවක්.
අර්ධද්වීපයේ විශේෂ පුරෝගාමියක ලෙස වැඩ කිරීමට 1969දී ඒලන් මාපූට පැවරුමක් ලැබුණා. “අර්ධද්වීපයේ සෑහෙන උනන්දුවක් දක්වන අය හිටිය නිසා කෙටි කාලෙකින්, මම බයිබල් පාඩම් හුඟක් පටන්ගත්තා” කියා ඒලන් පවසයි. වැඩි කල් නොගොස් වායිරාඕවල කුඩා සභාවක් පිහිටෙවූ නමුත් වැඩිමහල්ලන්ගේ අවශ්‍යතාවක් තිබුණා. කල් යත්ම, කිලෝමීටර් 35කට එහා පාපාරාවල ජීවත් වූ කොල්සෝන් ඩින්ට හැකි වුණා උපකාරය සපයන්න. “වායිරාඕවල සේවය කරන්න අපිට හොඳින් සංවිධානය වෙන්න සිද්ධ වුණා” කියා සහෝදර ඩින් විස්තර කරයි. “මම වැඩ කළේ දූපතේ අනිත් කෙළවරේ වායිරාඕවල ඉඳලා කිලෝමීටර් 70ක දුරින් පිහිටි ෆා නගරයෙයි. වැඩ ඇරුණට පස්සේ, ඉක්මනට ගෙදර ගිහින්, මගේ පවුලේ අයවත් එක්කගෙන වායිරාඕවලට යන්න මට සිද්ධ වුණා. පස්සේ කාලෙක මගේ රැකියාව නිසා අපිට ෆාවල පදිංචියට යන්න සිද්ධ වුණා. වායිරාඕ සභාවට තවදුරටත් උපකාර කරන්න අපිට පුළුවන් වෙයිද? එහෙ ඉන්න සහෝදරයන්ට උපකාර කරන්න අපිට ඇත්තෙන්ම ඕන වුණ නිසා දිගටම එහෙ යෑමට අපි තීරණය කළා. රැස්වීම් දින රාත්රිවලදී කාර් තිබුණේ නැති අයව ගෙවල්වලට ඇරලවන්න ගමන් කීපයක්ම යන්න සිද්ධ වුණ නිසා අපිට මැදියම් රෑට කලින් ගෙදර එන්න ලැබුණේ කලාතුරකින්. අපි මේ විදිහට අවුරුදු පහක්ම කළා. දූපතේ මේ ප්‍රදේශයේ සභා හතරක් දකින්න ලැබීම ලොකු ප්‍රීතියක් වගේම අපිට ඒ දවස් ගැන තියෙන්නේ සොඳුරු මතකයන්. ඒ දවස් අපිට ආසාවෙන් මතක් කරගන්න පුළුවන්.”
ටාහිටි ශාඛාවක් බවට පත් වෙයි
වර්ෂ 1974 වන විට ටාහිටිවල රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 199 දක්වා වැඩි වී තිබුණා. ඊළඟ වර්ෂයේ, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සහ උපසභාපතිව සිටි, එන්. එච්. නෝර් සහ එෆ්. ඩබ්. ෆ්රාන්ස්, ප්‍රංශ දූපත්වලට ගිය අතර, ප්‍රංශ දූපත්වල දේශනා වැඩය කිලෝමීටර් 3,500කට වඩා ඈතින් පිහිටි ෆිජිවලින් නොව, නමුත් ටාහිටිවලින් මෙහෙයවීම වඩාත් ප්‍රායෝගික බව ඔවුන් දැක්කා. මෙලෙස, 1975 අප්‍රියෙල් 1වනදා, ටාහිටි ශාඛා කාර්යාලය ක්‍රියාත්මක වෙන්න පටන්ගත් අතර, චාරිකා අවේක්ෂක ආලන් ෂමේව ශාඛා අවේක්ෂක ලෙස පත් කළා.
වර්ෂ කීපයකට පෙර, සහෝදර ෂමේට යෙහෝවාගෙන් ලැබුණ මවිතාකාර ආශීර්වාද යළි මතකයට නඟාගන්න හැකි වුණා. “බටහිර යුරෝපයම මෙන් විශාල ප්‍රදේශයක් ආවරණය කරන, අපේ බලප්‍රදේශයට අයිති හැම දූපතකම සහ දූපත් කොදෙව් රැසේම ශුභාරංචිය බෙදාහැරීමට 1975 සිට සෑහෙන වෙහෙසක් දරා තිබෙනවා. ප්‍රතිඵල සතුටුදායකයි. ප්රචාරක සංඛ්‍යාව 1983 වෙද්දී 538 දක්වා වැඩි වී තිබුණා. ඒ අවුරුද්දේ පේආහි ශාඛා කාර්යාලයක් සහ බෙතෙල් නිවසක් සඳහා ගොඩනැඟිල්ලක් ගොඩනැඟුවා. දැන්, සොසයටි දූපත්වල සභා 30ක ප්‍රචාරකයන් 1,900ක් විතර විසිරී ඉන්නවා; ටුබූඅයි දූපත්වල එක සභාවක් සහ එක හුදකලා කණ්ඩායමක්, මාර්කේසශ්වල එක සභාවක් සහ හුදකලා කණ්ඩායම් දෙකක් මෙන්ම ටුඅමෝටුවල සහ ගැම්බිය දූපත්වල හුදකලා කණ්ඩායම් කීපයකුත් ඉන්නවා. අලුත් රාජ්‍ය ශාලා හුඟක් හදලා තියෙනවා; රැස්වීම්වලට එන නවකයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වන නිසා, ඔවුන්ව බලාගැනීමට මාර්කේසශ්වල තුනක් සහ ටාහිටිවල හතක් ගොඩනඟලා තියෙනවා. පහුගිය අවුරුදු 20දී, ටහීටියානු ක්ෂේත්රය වගා කිරීම සඳහා වූ අපේ වෑයම්වලට යෙහෝවා ඇත්තෙන්ම ආශීර්වාද කළා.”
තව බොහෝ දේ කිරීමට තිබෙනවා
ප්‍රංශ දූපත් සමූහයේ වැඩිවර්ධනය සඳහා ඇති ප්‍රස්තා විශිෂ්ටයි. යේසුගේ මරණය සිහි කිරීම සඳහා 1997 මාර්තු 23වනදා ප්‍රංශ දූපත් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ 5,376ක් විතර එක්රැස් වුණා. මේ උනන්දුමත් ජනයාගේ ආත්මික අවශ්‍යතා සැපයීමට ප්‍රාදේශීය භාෂා ගණනකින් අපේ බයිබල් ප්‍රකාශන ලබාගැනීමට හැකි කරවා තිබෙනවා. ටහීටියානු භාෂාවට අමතරව, ටුඅමෝටු දූපත් කොදෙව් රැසේ මෙන්ම උතුරු සහ දකුණු මාර්කේසශ්වල කතා කරන පුඅමෝටු භාෂාවෙන්ද පොත් පත් සූදානම් කර තිබෙනවා.
ස්ථිර වැඩිවීම සහ කදිම අද්දැකීම්, ටාහිටිවල රාජ්‍ය ප්‍රචාරකයන්ට, “සියලු මනුෂ්‍යයන්” එනම් දකුණු මුහුදේ ඉතා ඈතින් පිහිටි දූපත්වල ඉන්න අය පවා “ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ” යෙහෝවාගේ ප්‍රේමය හා ඉවසීම ගැන තව තවත් අගය කරන්න උපකාරවත් වෙලා තිබෙනවා. (1 තිමෝති 2:3) ටාහිටි සහ ප්‍රංශ දූපත්වලට අයත් වෙනත් දූපත්වල ඉන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා: “ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.”—යෙසායා 51:5.
[26වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ටාහිටි ශාඛාව ප්‍රංශ දූපත්වල අවශ්‍යතා බලාගනියි
ඕස්ට්‍රේලියාව
[25වන පිටුවේ පින්තූරය]
වමේ සිට දකුණට: ආලන් ෂමේ, මේරි-අන් ෂමේ, ඇග්නස් ෂෙන්ක්, පෝලෙට් ඉනෝඩි සහ ෂාක් ඉනෝඩි
[27වන පිටුවේ පින්තූරය]
ටාහිටි ශාඛා කාර්යාලය