ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 10/15 18-23 පි.
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තෘප්තියේ හා ප්‍රීතියේ ගැඹුරු හැඟීම්
  • යෙහෝවාගේ රැකබලාගැනීමේ සාක්ෂි
  • “යෙහෝවාට වඩාත් කිට්ටු වෙන්න විශිෂ්ට මාර්ගයක්”
  • ඔබේ හෘදය වැඩියෙන් කරන්න ආශාවෙන් පසු වේද?
  • පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කරන්න සියල්ලන්ටම හැකියි
  • පුරෝගාමි සේවයේ ආශීර්වාද
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • පුරෝගාමිහු ආශීර්වාද පිරිනමා ලබා ගනිති
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමීන් කියන්නේ කාටද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 10/15 18-23 පි.

පුරෝගාමී සේවයේ ආශීර්වාද

‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’—හිතෝපදේශ 10:22.

1, 2. (අ) එක්තරා පුරෝගාමියෙක් පූර්ණ-කාලීන සේවය පිළිබඳව තම හැඟීම් පළ කරන්නේ කෙසේද? (ආ) පුරෝගාමීන් ගෝලයන් සෑදීමෙහි වඩා පූර්ණ ප්‍රීතියක් අද්දැකිය හැකි තත්වයක සිටින්නේ මන්ද?

“ඔබ සමඟ පාඩම් කළ කෙනෙක් යෙහෝවාගේ ක්‍රියාශීලී ප්‍රශංසාකරන්නෙක් වෙනවා දැකීමට වඩා විශාල ප්‍රීතියක් වෙන තිබෙනවාද? යෙහෝවාව සතුටු කිරීමට මිනිසුන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරන අතර, එහෙම කරන්න පොලඹවන දෙවිගේ වචනය කොපමණ බලවත්ද කියා දකින එක ප්‍රබෝධවත් පමණක් නොව ඇදහිල්ල පවා ශක්තිමත් කරවනවා.” එසේ ලීවේ වසර 32කට වඩා වැඩි කාලයක් පුරා පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙන කැනඩාවේ සිටින පුරෝගාමියෙක්. ඔහුගේ පුරෝගාමී සේවය සම්බන්ධයෙන් ඔහු මෙසේ කියනවා: “වෙන දෙයක් කරන එක ගැන මට හිතාගන්නවත් බැහැ. මේ ප්‍රීතියම ගේන වෙන කිසිම දෙයක් ගැන ඇත්තටම මට හිතන්න බැහැ.”

2 ජීවනයට යන මාර්ගය සඳහා යමෙකුට උපකාර කිරීමට හවුල් වීමෙහි මහත් ප්‍රීතියක් තිබෙන බවට ඔබ එකඟ වෙනවාද? ඇත්තවශයෙන්ම, එවන් ප්‍රීතියක් අද්දකින එකම සෙනඟ පුරෝගාමීන් පමණක්ම නෙවෙයි. සියලුම යෙහෝවාගේ සේවකයන්, “ජාතීන් ගෝලයන් කරන්න” කියන පැවරුම යටතේ සිටින අතර, ඔවුන් එසේ කරන්න වීර්යය කරනවා. (මතෙව් 28:19) කෙසේවෙතත්, ක්ෂේත්‍ර සේවයේ වැඩි පැය ගණනක් ගත කරන්න පුරෝගාමීන්ට හැකි නිසා, බොහෝවිට ගෝලයන්-සෑදීමෙහි වඩා වැඩි ප්‍රීතියක් අද්දකින තත්වයක ඔවුන් සිටිනවා. නමුත් පුරෝගාමී සේවයේ යෙදීමෙහි වෙනත් විපාකත් තිබෙනවා. පුරෝගාමීන් සමඟ කතා කරන්න; ‘කෙනෙකුව පොහොසත් කරන යෙහෝවාගේ ආශීර්වාදය’ අද්දැකීමට පුරෝගාමී සේවය මවිතාකර මාර්ගයක් බව ඔවුන් ඔබට කියාවි.—හිතෝපදේශ 10:22.

3. අපි දිගටම යෙහෝවාට සේවය කරද්දී, කුමක් අපව පෙලඹවීමට ඉඩ තිබේද?

3 පූර්ණ-කාලීන සේවයෙන් අද්දැක තිබෙන ආශීර්වාද විස්තර කරන ලෙස ලෝකයේ විවිධ කොටස්වල සිටින පුරෝගාමීන්ගෙන් මෑතකදී ඉල්ලනු ලැබුවා. ඔවුන්ට කීමට තිබූ දේ අපි සලකා බලමු. කෙසේවෙතත්, දුර්වල සෞඛ්‍යය, මහලු වයස හෝ වෙනත් තත්වයන් නිසා ඔබේ සේවය සීමා වී ඇත්නම්, අධෛර්යයට පත් වන්න එපා. මතක තබාගන්න, වැදගත් දෙය වන්නේ, ඕනෑම තත්වයක් තුළ යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කිරීමයි. එනමුත්, මේ විපාකදායී ක්‍රියාවේ යෙදෙන්න යම් හෙයකින් හෝ ඔබට හැකියාවක් තිබේ නම්, සමහර පුරෝගාමීන්ගේ අදහස්වලට ඇහුම්කන් දීම සමහරවිට ඔබේ උනන්දුව පවා වැඩි කරාවි.

තෘප්තියේ හා ප්‍රීතියේ ගැඹුරු හැඟීම්

4, 5. (අ) ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදාගැනීම එතරම්ම විපාකදායි අද්දැකීමක් වන්නේ මන්ද? (ආ) පූර්ණ-කාලීනව දේවසේවයේ හවුල්වීම ගැන පුරෝගාමීන්ට හැඟෙන්නේ කෙසේද?

4 “ගැනීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ” කියා යේසුස් කිව්වා. (ක්‍රියා 20:35, NW) ඔව්, පරාර්ථකාමී දීම තුළ ඊටම ආවේණික විපාක තිබෙනවා. (හිතෝපදේශ 11:25) අන් අය සමඟ ශුභාරංචිය බෙදාගැනීමේදී, විශේෂයෙන්ම මෙය සැබෑවක් වෙනවා. ඇත්තෙන්ම, සදාකාල ජීවනයට මඟ පෙන්වන දෙවි පිළිබඳ දැනුම ලබාගන්න උපකාර කරනවාට වඩා කිනම් මහත් ත්‍යාගයක් සෙසු මනුෂ්‍යයෙකුට පිරිනමන්න අපට හැකිද?—යොහන් 17:3.

5 පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටින අය බොහෝවිට ඔවුන්ගේ සේවයෙන් ලබන්නාවූ ප්‍රීතිය සහ ඉටු කරගැනීමේ ගැඹුරු හැඟීම ගැන අදහස් දැක්වීම පුදුමයක් නෙවෙයි. “අනිත් අයත් එක්ක සත්‍යය බෙදාගැනීමෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම වැඩකින් ගේන්න පුළුවන් වෙන එකක් නැහැයි කියල මම දන්නවා” යයි පවසන්නේ බ්‍රිතාන්‍යයේ සිටින 64-හැවිරිදි පුරෝගාමියෙක්. පුරෝගාමී සේවය කීමෙන් තමන්ට අදහස් කළේ කුමක්ද කියා සයරේහි සිටින වැන්දඹුවක් කියා සිටියේ මෙසේයි: “මගේ ආදරණීය පුරුෂයා මැරුණට පස්සේ, පුරෝගාමී සේවය මට හැබෑ අස්වැසිල්ලක් වුණා. වැඩි වැඩියෙන් මම අනිත් අයට උදව් කරන්න සේවයේ යනකොට, ඒ දුක්මුසු පාඩුව දැනෙන්නේ අඩුවෙන්. මම මගේ ඇදහිල්ල යෙහෝවාගේ පොරොන්දු මත තියලා, මම පාඩම් කරන අයට ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව් කරන්නේ කොහොමද කියල හුඟාක් වෙලාවට හිතනවා. සෑම රාත්‍රියකම මගේ නින්ද මිහිරියි, ඒ වගේම මගේ හෘදය ප්‍රීතියෙන් පිරිලා.”

6. සමහර පුරෝගාමීන් කිනම් විශේෂ ප්‍රීතිය අද්දැක තිබේද?

6 දශක ගණනාවක් පුරා පුරෝගාමී සේවය කළ සමහරෙක්, හුදකලා ප්‍රදේශවල සේවය කර පසුකාලයේදී චාරිකාවන් දක්වා වර්ධනය වූ සභාවන් පිහිටුවීමේ විශේෂ ප්‍රීතිය ලබා තිබෙනවා. උදාහරණයකට, හොකයිඩෝ (ජපානයේ උතුරෙන්ම පිහිටි දූපත) ආබෂිරිහි වසර 33ක් පුරා පුරෝගාමී සේවයේ යෙදී සිටින සහෝදරියක් සිටිනවා. ඇගේ ප්‍රථම චාරිකා එක්රැස්වීමේදී—මුළු හොකයිඩෝවලින්ම පැමිණ සිටියේ 70දෙනෙක් පමණයි. නමුත් දැන්? දැන් එම දූපතේ චාරිකාවන් 12ක් ඇති අතර, මුළු ප්‍රචාරකයන් 12,000කට වැඩියි. එම දූපතේ සිටින සෙසු රාජ්‍ය ප්‍රචාරකයන් අතිවිශාල සංඛ්‍යාවක් සමඟ එක්රැස්වීම්වලට සහ සමුළුවලට ඇය සහභාගි වන විට ඇගේ හෘදය ප්‍රීතියෙන් පිරී ඉතිරී යන හැටි සිතා බලන්න!

7, 8. බොහෝ දිගු කාලීන පුරෝගාමීන් අද්දැක ඇත්තේ කිනම් ප්‍රීතියද?

7 බයිබල් ශිෂ්‍යයන් බව්තීස්ම වී වඩා උතුම් සේවා වරප්‍රසාද අත් කරගෙන සිටීමේ ප්‍රීතිය වෙනත් දිගු කාලීන පුරෝගාමීන් අද්දැක තිබෙනවා. වර්ෂ 1957 සිට විවිධ පුරෝගාමී පැවරුම් නවයක සේවය කර ඇති ජපානයේ සිටින සහෝදරියක් බැංකුවක වැඩ කරමින් සිටි තරුණ කාන්තාවක් සමඟ පිබිදෙව්! සඟරාවක් තැබූ බව මතක් කරනවා. මාස නවයක් ඇතුළත මේ කාන්තාව බව්තීස්ම වුණා. පසුව ඇය විවාහ වී, ඇයත් ඇගේ පුරුෂයාත් විශේෂ පුරෝගාමීන් බවට පත් වුණා. මේ පුරෝගාමී සහෝදරියගේ තුන්වන පැවරුමේදී ඇය මොනතරම් ප්‍රීති වුණාද, ඇගේ සභාව බැහැදකින්න පැමිණි විට අලුත් චාරිකා අවේක්ෂක සහ ඔහුගේ භාර්යාව—කලින් ඇගේ බයිබල් ශිෂ්‍යාව!

8 පුරෝගාමී සේවය ජීවන මාර්ගය කරගත් අය, වසර 22ක් සේවය කළ පුරෝගාමියෙක් ප්‍රකාශ කළ විදිහට “රැකගත යුතු අමිල වරප්‍රසාදයක්” ලෙස එය දැකීම පුදුමයක් නෙවෙයි!

යෙහෝවාගේ රැකබලාගැනීමේ සාක්ෂි

9. ශ්‍රේෂ්ඨ සපයන්නා වශයෙන්, තම සේවකයන්ට යෙහෝවා පොරොන්දු වෙන්නේ කුමක්ද? එමෙන්ම එයින් අපට අදහස් වන්නේ කුමක්ද?

9 ශ්‍රේෂ්ඨතම සපයන්නා වන යෙහෝවා, ඔහුගේ සේවකයන්ව ආත්මිකව සහ ශාරීරිකව රැකබලාගනිමින් ඔවුන්ව නඩත්තු කරන බවට පොරොන්දු වී තිබෙනවා. පුරාණ දාවිත් රජ ඉතා හොඳින් ඒ පිළිබඳව මෙසේ කිව්වා: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” (ගීතාවලිය 37:25) ඇත්තවශයෙන්ම, මේ දිව්‍ය සහතිකය අපේ පවුල්වලට ද්‍රව්‍යමයව සැපයීමේ වගකීමෙන් අපව නිදහස් කරන්නේවත්, අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ ත්‍යාගශීලීකම අපේක්ෂාවෙන් සිටීමට බලපත්‍රයක් ලබා දෙන්නේවත් නැහැ. (1 තෙසලෝනික 4:11, 12; 1 තිමෝති 5:8) එහෙත්, වඩා පූර්ණ ලෙස යෙහෝවාට සේවය කිරීමේ අරමුණෙන්, අපේ ජීවිත තුළ කැමැත්තෙන්ම පරිත්‍යාගයන් කරද්දී, ඔහු කිසිදා අපව අත්හරින්නේ නැහැ.—මතෙව් 6:33.

10, 11. සැපයීමට යෙහෝවාට ඇති හැකියාව සම්බන්ධයෙන් බොහෝ පුරෝගාමීන් අද්දැකීමෙන් දන්නේ කුමක්ද?

10 යෙහෝවාගේ රැකවරණය යටතේ තමන්ව තබන අයට ඔහු සපයන බව ලොව පුරා සිටින පුරෝගාමීන් අද්දැකීමෙන් දන්නවා. රාජ්‍ය ප්‍රචාරකයන්ගේ මහත් අවශ්‍යතාවක් තිබෙන කුඩා නගරයකට පදිංචිය මාරු කළ පුරෝගාමී යුවළකගේ සිදුවීම සලකා බලන්න. මාස කිහිපයකට පසු, බාහිර වැඩ හිඟ වූ අතර, ඔවුන් අත කිසි මුදලක් ඉතිරිව තිබුණේ නැහැ. පසුව, ඔවුන්ට රුපියල් 4,860ක ඔවුන්ගේ මෝටර් රථ-රක්ෂණ බිලක් ගෙවන්න සිදු වුණා. “අපිට කිසිම මාර්ගයක් තිබුණෙ නෑ ඒක ගෙවන්න” සහෝදරයා පැහැදිලි කළා. “අපි එදා රෑ හොඳටම යාච්ඤා කළා.” ඊළඟ දවසේදී, මිල මුදල් සම්බන්ධයෙන් පොරබදිමින් සිටි වෙනත් පවුලකින් ඔවුන්ට කාඩ්පතක් ලැබුණා. මේ පවුල ගෙවූ බදු මුදලක් ආපසු ලැබුණු බවද, එය ඔවුන් අපේක්ෂා කළාට වඩා වැඩි ප්‍රමාණයක් නිසා එයින් කොටසක් පුරෝගාමී යුවළ සමඟ බෙදාගන්න ඔවුන්ට වුවමනා වුණ බවද කාඩ්පතේ විස්තර කර තිබුණා. එය ඇතුළේ චෙක්පතක් තිබුණා රුපියල් 4,860ක් සඳහා! “මට කවදාවත් ඒ දවස අමතක වෙන්නේ නැහැ—මගේ ඇඟේ මවිල් කෙළින් වුණා” කියා පුරෝගාමී සහෝදරයා පවසනවා. “අපි මේ පවුලේ ත්‍යාගශීලිත්වය ගොඩක් අගය කළා.” එවන් කරුණාවන්තකමක් යෙහෝවා පවා අගය කරන අතර, එය ඔහුගේ සේවකයන් තුළ යෙහෝවා දිරිගන්වන ත්‍යාගශීලිකමේ ස්ප්‍රීතුව ආදර්ශවත් කරනවා.—හිතෝපදේශ 19:17; හෙබ්‍රෙව් 13:16.

11 බොහෝ පුරෝගාමීන්ට ඒ හා සමාන අද්දැකීම් පැවසිය හැකියි. ඔවුන්ගෙන් අසන්න, ඔවුන්ව කිසිදා ‘අත්හරිනු’ ලැබ නැති බව ඔවුන් කියාවි. වසර 55ක පූර්ණ-කාලීන සේවයක් දෙස ආපසු හැරී බලමින් 72-හැවිරිදි පුරෝගාමියෙක් මෙසේ පවසනවා: “යෙහෝවා කවදාවත් මගේ බලාපොරොත්තු කඩ කරල නැහැ.”—හෙබ්‍රෙව් 13:5, 6.

“යෙහෝවාට වඩාත් කිට්ටු වෙන්න විශිෂ්ට මාර්ගයක්”

12. ශුභාරංචිය ප්‍රචාරය කිරීමේ වැඩය එතරම්ම විශිෂ්ට වරප්‍රසාදයක් වන්නේ මන්ද?

12 තම රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රචාරය කරන්න කියා යෙහෝවා අපෙන් ඉල්ලා සිටීමෙන්ම අපට වරප්‍රසාදයක් උදා කර දෙනවා. අප අසම්පූර්ණ මනුෂ්‍යයන් වුවත්—ඔහු අපව සලකන්නේ, මෙම ජීවිත-ගළවන වැඩයෙහි ඔහුගේ “හවුල් වැඩකරන්නෝ” හැටියටයි. (1 කොරින්ති 3:9; 1 තිමෝති 4:16) දෙවිගේ රාජ්‍යය ගැන අප අනුන්ට දේශනා කරද්දී, දුෂ්ටකමේ අවසානය ගැන ප්‍රචාරය කරද්දී, මිදීමේ මිලයක් සැපයීමේ ඔහුගේ මවිතකර ප්‍රේමය ගැන මිනිසුන්ට අප පැහැදිලි කරද්දී, ඔහුගේ ජීවමාන වචනය දිගහැර, එහි අඩංගු වටිනා දෑ අවංක හෘද ඇත්තන්ට උගන්වද්දී, අප ඉබේම අපේ මැවුම්කාරයා වන යෙහෝවා සමීපයට ඇදෙනවා.—ගීතාවලිය 145:11; යොහන් 3:16; හෙබ්‍රෙව් 4:12.

13. යෙහෝවා සමඟ ඔවුන්ගේ සබඳතාවට පුරෝගාමී දේවසේවයේ ඇති බලපෑම ගැන සමහරු කියන්නේ කුමක්ද?

13 යෙහෝවා ගැන ඉගෙනගන්නත්, උගන්වන්නත් සෑම මාසයකම බොහෝ කාලයක් ගත කරන්න පුරෝගාමීන්ට හැකියි. දෙවි සමඟ ඇති ඔවුන්ගේ සබඳතාවට මෙය බලපාන ආකාරය ගැන ඔවුන්ට හැඟෙන්නේ කෙසේද? “පුරෝගාමී සේවය යෙහෝවාට වඩාත් කිට්ටු වෙන්න විශිෂ්ට මාර්ගයක්” කියා වසර දහයකට වඩා වැඩි කාලයක් පුරෝගාමියෙක් ලෙස සේවය කර තිබෙන ප්‍රංශයේ සිටින වැඩිමහල්ලෙක් පිළිතුරු දෙනවා. පූර්ණ-කාලීන සේවයේ අවුරුදු 18ක් ගත කළ එම රටේම තවත් පුරෝගාමියෙක් කියන්නේ මෙසේයි: “පුරෝගාමී සේවය ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න’ අපට ඉඩ දෙන අතර, දවසක් දවසක් පාසා, අපේ මැවුම්කාරයා එක්ක වඩා ශක්තිමත් සම්බන්ධයක් ගොතමින් තියෙනවා.” (ගීතාවලිය 34:8) වසර 30ක් පුරා පුරෝගාමියක්ව සිටින බ්‍රිතාන්‍යයේ සහෝදරියකටත් හැඟෙන්නේ ඒ ආකාරයටමයි. “මගේ සේවයට මඟ පෙන්වීම සඳහා යෙහෝවාගේ ආත්මය යොදාගැනීම මාව යෙහෝවාට ළං කර තියෙනවා” යයි ඇය පවසනවා. “යෙහෝවාගේ ආත්මය මාව හුඟාක් අවස්ථාවල හරි වේලාවට නියම ගෙදරට යවල තියෙනවා කියල මට ඇත්තටම හැඟිල තියෙනවා.”—ක්‍රියා 16:6-10 සසඳන්න.

14. අන්‍යයන්ට උගන්වන්න දවසක් දවසක් පාසා බයිබලය සහ බයිබල් ප්‍රකාශන පාවිච්චි කිරීම පුරෝගාමීන්ට ප්‍රයෝජනවත් වී ඇත්තේ කෙසේද?

14 බයිබල් සත්‍යයන් පැහැදිලි කරන්න සහ උගන්වන්න දවසක් දවසක් පාසා බයිබලය සහ බයිබල් ප්‍රකාශන පාවිච්චි කිරීම, දෙවිගේ වචනය පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමට ඔවුන්ට උපකාර වී ඇති බව බොහෝ පුරෝගාමීන් සොයාගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේ සිටින වසර 31ක් පුරා පුරෝගාමියෙක්ව සිටින 85-හැවිරිදි සහෝදරයෙක් මෙසේ පැහැදිලි කරනවා: “බයිබලය ගැන ගැඹුරු දැනුමක් ලබාගන්නත්, යෙහෝවා සහ ඔහුගේ අරමුණු ගැන ඉගෙනගන්න හුඟදෙනෙකුට උපකාර කිරීම සඳහා එය යොදාගන්නත් පුරෝගාමී සේවය මට උපකාර වෙලා තියෙනවා.” වසර 23ක් පුරා පුරෝගාමී සේවයේ යෙදෙන බ්‍රිතාන්‍යයේ පුරෝගාමී සහෝදරියක් මෙසේ කියනවා: “ආත්මික ආහාරවලට හෘදයාංගම රුචියක් වර්ධනය කරගන්න පූර්ණ-කාලීන සේවය මට උදව් කරල තියෙනවා.” අන් අයට “ඔබ තුළ ඇති බලාපොරොත්තුව පිළිබඳ හේතු” පැහැදිලි කිරීම මගින් ඔබ තදින් අල්ලාගෙන සිටින විශ්වාසයන් සම්බන්ධ ඔබේම අවබෝධය ශක්තිමත් කළ හැකියි. (1 පේතෘස් 3:15, NW) ඕස්ට්‍රේලියාවේ සිටින පුරෝගාමියෙක් පවසන්නේ, “මගේ ඇදහිල්ල අනිත් අයට ප්‍රකාශ කරද්දී, පුරෝගාමී සේවය මගේ ඇදහිල්ල වැඩිදියුණු කරනවා” කියායි.

15. පුරෝගාමී දේවසේවයට ඇතුළු වී එහි දිගටම රැඳීසිටීම සඳහා බොහෝදෙනෙක් කැමති වී තිබෙන්නේ කුමක් කිරීමටද?

15 පැහැදිලිවම, යෙහෝවාගෙන් ගණින්න බැරි ආකාරයේ ආශීර්වාද ගෙනෙන සේවයක් තමුන් තෝරාගෙන තිබෙන බව මේ පුරෝගාමී දේවසේවකයන් වටහාගෙන සිටිනවා. පුරෝගාමී දේවසේවයට ඇතුළු වී එහි දිගටම රැඳීසිටීම සඳහා බොහෝදෙනෙක් වෙනස්කම් කරන්න, ඒ කියන්නේ, ලෞකික රැකියාව සහ ද්‍රව්‍යමය වස්තුව අතහැරීමට පවා කැමති වී තිබීම පුදුම වෙන්න කාරණයක් නෙවෙයි!—හිතෝපදේශ 28:20.

ඔබේ හෘදය වැඩියෙන් කරන්න ආශාවෙන් පසු වේද?

16, 17. (අ) ඔබට පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද බැරිද කියා ඔබ සිතමින් සිටිනවා නම්, ඔබට කුමක් කළ හැකිද? (ආ) පුරෝගාමී සේවය කිරීමට නොහැකි වන විට සමහරුන්ට හැඟෙන්නේ කෙසේද?

16 පුරෝගාමී සේවයේ ආශීර්වාද සම්බන්ධයෙන් පුරෝගාමීන්ට කියන්න තිබෙන දේ සලකා බැලුවාට පසුව පුරෝගාමී සේවය ඔබට ප්‍රායෝගිකද කියා සමහරවිට ඔබ කල්පනා කරමින් සිටිනවා විය හැකියි. එසේනම්, පූර්ණ-කාලීන සේවයේ සඵලත්වයක් ලබා ඇති පුරෝගාමියෙකු සමඟ කතා නොකරන්නේ මන්ද? එමෙන්ම, සභාවේ සිටින—ඔබේ සෞඛ්‍ය තත්වය, ඔබේ සීමාවන් සහ ඔබේ පවුල් වගකීම් ගැන දන්නාවූ වැඩිමහල්ලෙකුට කතා කිරීමත් උපකාරවත් බව ඔබ සොයාගනීවි. (හිතෝපදේශ 15:22) අන් අයගේ යථාර්ථවාදී අදහස් ඔබට පුරෝගාමී සේවයේ යෙදෙන්න පුළුවන්ද බැරිද කියා පරෙස්සමින් ගණන් බැලීමට උපකාර වෙනවා. (ලූක් 14:28 සසඳන්න.) පුරෝගාමී සේවය කරන්න ඔබට හැකි නම්, ඔබේ ආශීර්වාද ඇත්තවශයෙන්ම මහත්ය!—මලාකී 3:10.

17 කෙසේවෙතත්, වැඩියෙන් දේවසේවයේ යෙදෙන්න ආශාවෙන් සිටියත්, පුරෝගාමී සේවයේ යෙදෙන්න බැරි විශ්වාසවන්ත රාජ්‍ය ප්‍රචාරකයන් බොහෝදෙනා ගැන කුමක් කිව හැකිද? උදාහරණයක් හැටියට, තම දරුවන් සිව්දෙනාව තනියම හදාවඩා ගැනීමට පොරබදින එක්තරා ක්‍රිස්තියානි සහෝදරියකගේ හැඟීම් සලකා බලන්න. “මට හරී දුකක් දැනුණා, මොකද මම කලින් ස්ථාවර පුරෝගාමියෙක්, ඒත් දැන් මම ඉන්න තත්වය නිසා කලින් ක්ෂේත්‍ර සේවයේ ගිය තරං මට දැන් යන්න බැහැ” කියා ඇය පවසනවා. මේ සහෝදරිය ඇගේ දරුවන්ට බොහෝ සේ ප්‍රේම කරන අතර, ඔවුන්ට සපයන්න ඇයට ඕනෑ කරනවා. මේ අතරතුර, දේශනා කිරීමේ වැඩයේ වැඩියෙන් යෙදෙන්නත් ඇය ආශාවෙන් පසුවෙනවා. “දේවසේවයට මං ආදරෙයි” කියා ඇය පැහැදිලි කරනවා. ‘ඔවුන්ගේ මුළු හෘදයෙන්’ යෙහෝවාට සේවය කරන්න ආශාවක් දක්වන, දෙවිට ඇති ප්‍රේමය තමුන්ව පොලඹවා ඇති වෙනත් භක්තිවන්ත ක්‍රිස්තියානීන් පවා මේ හා සමාන හැඟීම් හවුලේ භුක්ති විඳිනවා.—ගීතාවලිය 86:12.

18. (අ) යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (ආ) අපේ තත්වයන් අපට කරන්න පුළුවන් දේ සීමා කරනවා නම් අප අධෛර්යයට පත් නොවිය යුත්තේ මන්ද?

18 මතක තබාගන්න, යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රාණ-පූර්ණ සේවයයි. මෙහි ප්‍රමාණය ප්‍රාණයෙන් ප්‍රාණයට සැලකිය යුතු තරම් වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන්ගේ කටයුතු සකස් කරගන්න හැකියාව තිබෙනවා. තව බොහෝදෙනෙක් දේවසේවයේ මසකට පැය 60ක් ගත කරමින් ස්ථාවර පදනමක් මත හෝ විටින් විට උපකාරික පුරෝගාමී සේවයට ඇතුළත් වී සිටිනවා. කෙසේවෙතත්, යෙහෝවාගේ සෙනඟගෙන් බහුතරයක් සභා ප්‍රචාරකයන් හැටියට දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයේ තමන්වම කැප කර තිබෙනවා. ඉතින්, ඇත්තෙන්ම ඔබ දුර්වල සෞඛ්‍යය, මහලු වයස, පවුල් වගකීම් හෝ වෙනත් තත්වයන් හේතුවෙන් සීමා වී සිටී නම්, අධෛර්යයට පත් වන්න එපා. ඔබ ඔබේ හොඳම දෙය දෙන තාක් කල්, පූර්ණ-කාලීන සේවයේ සිටින අය හා සමානව, දෙවිගේ ඇස් හමුවෙහි ඔබේ සේවයත් අනර්ඝයි.

පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කරන්න සියල්ලන්ටම හැකියි

19. පුරෝගාමී ස්ප්‍රීතුව කියන්නේ කුමක්ද?

19 පුරෝගාමී සේවයට ඇතුල් වීමට ඔබට හැකියාවක් නැති වුණත්, පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කිරීමට ඔබට හැකියි. පුරෝගාමී ස්ප්‍රීතුව කියන්නේ කුමක්ද? වර්ෂ 1988 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාව මෙසේ සඳහන් කළා: “දේශනා කිරීම සහ ගෝලයන් සෑදීම සම්බන්ධ ආඥාව පිළිබඳව ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීම, ජනයා උදෙසා ප්‍රේමය සහ සැලකිල්ල පෙන්වීමට සම්පූර්ණයෙන්ම බැඳී සිටීම, ආත්ම-පරිත්‍යාගශීලී වීම, ස්වාමියාව ළඟින් අනුකරණය කිරීමෙන් ප්‍රීතිය සොයාගැනීම සහ ද්‍රව්‍යමය දේවලින් නොව එහෙත් ආත්මික දේවලින් සතුට ලැබීම ලෙස මෙය විග්‍රහ කළ හැකියි.” පුරෝගාමී ස්ප්‍රීතුව විදහාපෑමට ඔබට හැක්කේ කෙසේද?

20. දෙමාපියන්ට පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කළ හැක්කේ කෙසේද?

20 ඔබ තරුණ දරුවන් සිටින දෙමාපියෙක් නම්, ඔවුන්ට පුරෝගාමීන් හැටියට ජීවන මාර්ගය තෝරාගැනීම සඳහා මුළු හදින්ම නිර්දේශ කළ හැකියි. දේවසේවය පිළිබඳ ඔබේ ඒකාන්ත ආකල්පය, යෙහෝවාගේ සේවය තම ජීවිතයේ ඉතා වැදගත්ම දෙය කරගැනීමේ අවශ්‍යතාව වෙත ඔවුන්ගේ සිත ඇදී යන්න හේතු විය හැකියි. පූර්ණ-කාලීන දේවසේවයෙන් ප්‍රීතිය සොයාගත් අයගේ ආදර්ශවලින් ප්‍රයෝජන ලබන්න පුළුවන් වන පිණිස පුරෝගාමීන්, සංචාරක අවේක්ෂකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඔබේ නිවසට කැඳවන්න ඔබට පුළුවන්. (හෙබ්‍රෙව් 13:7 සසඳන්න.) ආගමිකව බෙදුණු පවුල්වල පවා, ඇදහිලිවන්ත දෙමාපියන් ඔවුන්ගේ ක්‍රියාවෙන් සහ ආදර්ශයෙන් ජීවිතයේ ඉලක්කය පූර්ණ-කාලීන සේවය කරගන්න තම දරුවන්ට උදව් කළ හැකියි.—2 තිමෝති 1:5; 3:15.

21. (අ) පුරෝගාමී සේවය කරන අයට සහයෝගය දීමට අප සියලුදෙනාටම හැක්කේ කෙසේද? (ආ) පුරෝගාමීන්ව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට කළ හැක්කේ කුමක්ද?

21 සභාවේ පුරෝගාමී සේවය කිරීමට හැකි අයට අප සියලුදෙනාගේම හෘදයාංගම සහයෝගය දක්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, දේවසේවයේ යෙදී සිටින පුරෝගාමියෙක් සමඟ, විශේෂයෙන්ම පුරෝගාමියා තනියම වැඩ කරන අවස්ථාවලදී එබන්දෙකු සමඟ වැඩ කිරීමට විශේෂ වෑයමක් දරන්න ඔබට හැකිද? ඒ තුළ “දිරිගැන්වීමේ හුවමාරුවක්” තිබෙන බව ඔබ හොඳ හැටි දැනගනීවි. (රෝම 1:11, 12, NW) ඔබ වැඩිමහල්ලෙක් නම්, පුරෝගාමීන්ව දිරිගන්වන්න ඊට වඩා වැඩි යමක් කරන්න ඔබට හැකියි. වැඩිමහල්ලන්ගේ මණ්ඩල රැස්වෙද්දී, පුරෝගාමීන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඔවුන් නිරතුරුවම සලකා බැලිය යුතුයි. පුරෝගාමියෙක් අධෛර්යයට පත් වී සිටී නම් හෝ දුෂ්කරතා අද්දකී නම්, පුරෝගාමී සේවය නවතා දමන්න කියා නිර්දේශ කිරීමට ඉක්මන් වෙන්න එපා. සමහර අවස්ථාවල එවැනි නිර්දේශ කිරීමක් අවශ්‍ය විය හැකි මුත්, පුරෝගාමී සේවය පූර්ණ-කාලීන සේවකයෙකු විසින් ගැඹුරින් අගය කරන අනර්ඝ වරප්‍රසාදයක් බව අමතක කරන්න එපා. පුංචි දිරි දීමක්, යම් ප්‍රායෝගික උපදේශයක් හෝ සහයක්—සමහරවිට අවශ්‍ය වන්නේ එපමණයි. සමිතියේ ස්පාඤ්ඤ ශාඛා කාර්යාලය මෙසේ ලියනවා: “වැඩිමහල්ලන් පුරෝගාමී සේවයට දිරිගන්වද්දී, ක්ෂේත්‍ර සේවයේදී පුරෝගාමීන්ට සහය වෙද්දී, නිබඳව ඔවුන්ට එඬේර බැහැදැකීම් කරද්දී, ඔවුන් වැඩි ප්‍රීතියක් අත් කරගනී; එමෙන්ම ප්‍රයෝජනවත් බව සහ පැනනැඟිය හැකි බාධා අභිභවා දිගටම එහි යෙදෙන්න ඕනෑ යන හැඟීම ඇති වෙයි.”

22. මනුෂ්‍ය ඉතිහාසයේ මේ දුෂ්කර කාලයේදී, කුමක් කිරීමට අප අධිෂ්ඨාන කරගත යුතුද?

22 අප ජීවත් වන්නේ, මනුෂ්‍ය ඉතිහාසයේ දුෂ්කර කාලයකයි. යෙහෝවා අපට ඉටු කිරීමට ජීවිත-ගළවන වැඩක් භාර දී තිබෙනවා. (රෝම 10:13, 14) මේ වැඩයේ පූර්ණ-කාලීනව පුරෝගාමීන් හැටියට හවුල් වන්න අපට හැකි වුණත් නැතත්, අපි පුරෝගාමී ස්ප්‍රීතුව පෙන්වමු. අපි හදිසිතාවේ හැඟීමක් සහ ආත්ම-පරිත්‍යාගී ස්ප්‍රීතුවක් ඇතුව සිටිමු. යෙහෝවා අපෙන් ඉල්ලන දෙය දීමට අපි අධිෂ්ඨාන කරගනිමු—ඒ ප්‍රාණ-පූර්ණ සේවයයි. අපට හැකි සියල්ලම දෙන විට, අප දෙන දෙය වැන්දඹුවගේ කුඩා කාසි හෝ මරියාගේ වටිනා තෙල යන දෙකෙන් කුමක් නියෝජනය කළත්, අප අපේ ප්‍රාණ-පූර්ණ සේවය පිරිනමද්දී, යෙහෝවා අපේ ප්‍රාණ-පූර්ණ සේවය අගය කර සලකන බව මතක තබාගන්න!

ඔබට මතකද?

◻ පූර්ණ-කාලීන සේවය තෘප්තියේ සහ ප්‍රීතියේ හැඟීම් ගෙනෙන්නේ මන්ද?

◻ සැපයීම සඳහා යෙහෝවාගේ හැකියාව ගැන බොහෝ පුරෝගාමීන් අද්දැකීමෙන් දන්නේ කුමක්ද?

◻ යෙහෝවා සමඟ ඔවුන්ගේ සබඳතාවට දේවසේවය බලපා ඇති ආකාරය ගැන පුරෝගාමීන් කියන්නේ කුමක්ද?

◻ පුරෝගාමී ස්ප්‍රීතුව නිරූපණය කරන්න ඔබට හැක්කේ කෙසේද?

[23වන පිටුවේ පින්තූරය]

ගෝලයන් සෑදීමෙන් පුරෝගාමීන් මහත් ප්‍රීතියක් ලබයි

[23වන පිටුවේ පින්තූරය]

පූර්ණ-කාලීන රාජ්‍ය ප්‍රචාරකයන්ව ඇසුරු කිරීමෙන් ඔබේ දරුවන්ට ප්‍රයෝජන ලබාගත හැකියි

[23වන පිටුවේ පින්තූරය]

ක්ෂේත්‍ර සේවයේ යෙදෙන පුරෝගාමීන්ව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න