ගැළවීම එය ඇත්තටම අදහස් කරන දේ
‘ඔයා ගැළවීම ලබලද?’ බොහෝවිට මේ ප්රශ්නය අහන අය ‘යේසුස් තමන්ගේ පෞද්ගලික ගැළවුම්කාරයා ලෙස පිළිගෙන’ ඇති නිසා ඔවුන් ගැළවීම ලබා ඇති බව සිතනවා. ඒත් ගැළවීම සඳහා විවිධාකාර මාර්ග ඇති බවත්, ‘යේසුස් ඔබේ හෘදයේ සිටින’ තාක් කල් ඔබ විශ්වාස කරන්නේ මොනවාද, අයිති වන්නේ මොන පල්ලියටද කියන කාරණය ප්‍රශ්නයක් නෙවෙයි කියාත් වෙනත් අය සිතනවා.
බයිබලය කියන්නේ, ‘සියලු මනුෂ්‍යයන් ගළවාගැනීම’ දෙවිගේ කැමැත්ත බවයි. (1 තිමෝති 2:3, 4) මෙලෙස එය පිළිගන්න සැමදෙනාටම ගැළවීම ලැබෙන්න යනවා. නමුත් ගළවනු ලැබීම කීමෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? ඇත්තෙන්ම එය ඔබගේ පැත්තෙන් සුළු හෝ කිසිම ආයාසයක් නැතුව නිකම්ම ඔබට සිදු වන දෙයක්ද?
“ගැළවීම” යන වචනයේ අර්ථය “අනතුරකින් හෝ විනාශයකින් බේරීම” යන්නයි. මේ විදිහට, සැබෑ ගැළවීම සඳහා ශාන්ත මානසික තත්වයකට වඩා වැඩි යමක් අයිතියි. මින් අදහස් කරන්නේ, මේ වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළේ විනාශයෙන් සහ අවසානයේදී මරණයෙන් පවා ගැළවීමයි! නමුත් දෙවි ගළවාගන්න යන්නේ කාවද? පිළිතුර සඳහා, මේ විෂය සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූයේ මොනවාද කියා පරීක්ෂා කර බලමු. අපේ සෝදිසි කිරීමේ ප්‍රතිඵල ඔබව මවිතයට පත් කරාවි.
ගැළවීම—සියලුම ආගම්වල සොයාගත හැකිද?
එක් අවස්ථාවක යේසුස්, සමරිතානු ස්ත්‍රියක් සමඟ සංවාදයක් පැවැත්වූවා. ඇය යුදෙව් ස්ත්‍රියක් නොවූවත්, “ක්‍රිස්තුස්යයි කියන” මෙසියස් එන බව වඩාත් නිවැරදි ලෙස විශ්වාස කළා. (යොහන් 4:25) ගළවනු ලැබීම සඳහා ඇයට එවැනි විශ්වාසයක් ප්‍රමාණවත් වුණාද? නැහැ, යේසුස් නිර්භීත ලෙස ස්ත්‍රියට මෙහෙම කිව්වා: “නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය.” මේ ස්ත්‍රියට ගැළවීම අත් කරගන්න නම්, ඇයට ඇගේ නමස්කාර ක්‍රමය සකස් කරගන්න අවශ්‍ය වන බව යේසුස් දැනගෙන හිටියා. එමනිසා යේසුස් මෙහෙම පැහැදිලි කළා: ‘නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියා තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳුවූවන් සොයන්නේය.’—යොහන් 4:22, 23.
තවත් වතාවකදී යේසුස් ගැළවීම පිළිබඳ ඔහුගේ අදහස හෙළි කළ අතර, යුදෙව්වාදයේ ප්රමුඛ ආගමික නිකායක් වන ඵරිසිවරුන් ඊට අයත් වුණා. ඵරිසිවරුන් නමස්කාර ක්‍රමයක් ගොඩනඟාගෙන තිබූ අතර, ඊට දෙවිගේ අනුමැතිය තියෙනවයි කියා ඔවුන් විශ්වාස කළා. නමුත් ඵරිසිවරුන්ට කී යේසුස්ගේ වචනවලට ඇහුම්කන් දෙන්න: “වංචාකාරයෙනි! නුඹලා ගැන යෙසායා කී අනාවැකි නිවැරදිය: ‘මේ මිනිස්සු ඔවුන්ගේ තොල්වලින් මට ගෞරව කරති, නමුත් ඔවුන්ගේ හදවත් මාගෙන් ඈත්ව තිබේ. ඔවුන් නමස්කාර කරන්නේ නිරර්ථකයෙයි; ඔවුන්ගේ ඉගැන්වීම් මිනිසුන් ඉගැන්වූ නීති වේ.’”—මතෙව් 15:7-9, නියූ ඉන්ට’නැෂනල් ව’ෂන්.
අදදින ක්‍රිස්තුස්ව විශ්වාස කරනවායයි කියන බොහෝ ආගමික කණ්ඩායම් ගැන කියන්න පුළුවන් මොනවාද? ගැළවීම ලබාගන්න තියෙන නීත්‍යනුකූල මාර්ග ලෙස මේ සැමෙකක්ම යේසුස් තහවුරු කරනවාද? මේ කාරණය ගැන අපි සැක කරන්න ඕනෙ නැහැ; මොකද යේසුස් පැහැදිලිව කිව්වේ මෙහෙමයි: “ස්වර්ගයෙහි සිටින මාගේ [පියාගේ] කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.”—මතෙව් 7:21-23.
ගැළවීම සඳහා යේසුස් ගැන නිවැරදි දැනුම අත්‍යවශ්‍යය
යේසුස්ගේ මේ වදන්වල, බැරෑරුම් ලෙස සලකා බැලීමට තුඩු දෙන ඇඟවීම් තියෙනවා. බොහෝ බැතිමතුන් ‘පියාගේ කැමැත්ත කරන්න’ අසමත් වන බව මේවා අඟවනවා. එහෙමනම්, කෙනෙකුට ගැළවීම අත් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? පළමුවන තිමෝති 2:3, 4, [NW] මෙහෙම පිළිතුරු දෙනවා: “දෙවිගේ කැමැත්ත නම්, සියලු ආකාර මනුෂ්‍යයන් ගළවනු ලැබ සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබීමයි.”—කොලොස්සි 1:9, 10, සසඳන්න.
එවැනි දැනුම ගැළවීම ලබාගන්න ඉතා වැදගත්. “ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුද” කියා රෝම හිරගෙයි මුලාදෑනියා ප්‍රේරිත පාවුල් සහ ඔහුගේ සහයක සීලස්ගෙන් ඇසුවාම, ඔවුන් මෙහෙම පිළිතුරු දුන්නා: “ස්වාමිවූ [යේසුස් ක්‍රිස්තුස්] කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමය.” (ක්‍රියා 16:30, 31) හිරගෙයි මුලාදෑනියා ඇතුළු ඔහුගේ පවුලේ සියලුදෙනාටම කරන්න අවශ්‍ය වුණේ යම් ආකාරයක හැඟීමක් ඔවුන්ගේ හදවත් තුළ ඇති කරගැනීම පමණක් බවද මින් අදහස් කළේ? නැහැ. එක දෙයක් නම්, යේසුස් කවුද, ඔහු කළේ මොනවාද සහ ඔහු ඉගැන්වූයේ මොනවාද වැනි ඔහු ගැන යම් තේරුම්ගැනීමක් නැතුව ඔවුන්ට සැබෑවටම ‘ස්වාමි වූ යේසුස් කෙරෙහි අදහාගන්න’ බැහැ.
උදාහරණයක් හැටියට, ස්වර්ගීය ආණ්ඩුව—එනම්, ‘දෙවිගේ රාජ්‍යය’ පිහිටුවීම ගැන යේසුස් ඉගැන්වූවා. (ලූක් 4:43) ක්‍රිස්තියානි සදාචාරය සහ හැසිරීම පිළිබඳ ප්‍රතිපත්තිත් ඔහු ඉදිරිපත් කළා. (මතෙව් 5-7 දක්වා පරිච්ඡේද) දේශපාලනමය කාරණාවලදී තම ගෝලයන් ගත යුතු ස්ථාවරය දැක්වූවා. (යොහන් 15:19) ඔහු ලෝක ව්‍යාප්ත අධ්‍යාපන වැඩසටහනක් දියත් කර එහි හවුල් වෙන්න කියා ඔහුගේ අනුගාමිකයන්ට නියම කළා. (මතෙව් 24:14; ක්‍රියා 1:8) ඔව්, ‘යේසුස් කෙරෙහි ඇදහීම’ බොහෝ දේවල් තේරුම්ගැනීම අදහස් කළා! ඒ අනුව, මේ නවක විශ්වාසිකයන්ව බව්තීස්ම කිරීමට පෙර පාවුල් සහ සීලස්, ‘ඔහුගේ ගෙයි වැසි සියල්ලන් ඇතුළුව හිරගෙයි මුලාදෑනියාට යෙහෝවාගේ වචනය කියා දීම’ පුදුමයක් නෙවෙයි.—ක්‍රියා 16:32, 33.
දෙවි ගැන නිවැරදි දැනුමද අත්‍යවශ්‍යය
සැබවින්ම යේසුස් කෙරෙහි ඇදහීමට අයත් වන අත්‍යවශ්‍ය කොටසක් වන්නේ, යේසුස් විසින්ම නමස්කාර කළ දෙවිට නමස්කාර කිරීමයි. යේසුස් මෙහෙම යාච්ඤා කළා: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයයි: එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.
දේවපුත්‍රයා ඔහුගේ භූමික දේවසේවය තුළදී, තමා වෙතට නොව, නමුත් සැමවිටම තම පියා වෙතට අවධානය යොමු කෙරෙව්වා. ඔහු කිසිවිටකත් සර්ව පරාක්‍රම දෙවියයි කියාගත්තේ නැහැ. (යොහන් 12:49, 50) අනේකවිධ අවස්ථාවලදී දෙවිගේ විධිවිධානය තුළ තමන්ගේ ස්ථානය ගැන පැහැදිලිව සඳහන් කරමින් තමන්ගේ පියාට වඩා තමා පහත් බව කියා සිටියා. (ලූක් 22:41, 42; යොහන් 5:19) ඇයි, ‘පියා මට වඩා උතුම්’ කියා යේසු කියා සිටියා. (යොහන් 14:28) දෙවි සහ ක්‍රිස්තුස් අතර ඇති සැබෑ සම්බන්ධය ඔබේ පල්ලියෙන් ඔබට උගන්වා තියෙනවාද? එහෙම නැත්නම්, යේසුස් සර්ව බලධාරි තැනැත්තා ලෙස විශ්වාස කරන්න මඟ පෙන්වා තියෙනවාද? ඔබේ ගැළවීම රඳා පවතින්නේ නිවැරදි තේරුම්ගැනීම මතයි.
ස්වාමීන්ගේ යාච්ඤාවේදී, තම ගෝලයන්ට මෙහෙම යාච්ඤා කරන්න යේසුස් උනන්දු කළා: “ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9) බයිබලයේ බොහෝ පරිවර්තන “ස්වාමීන්” ලෙස යොමු දක්වමින් දෙවිගේ නාමය සඟවා තියෙනවා. නමුත් “පරණ ගිවිසුමේ” පැරණි පිටපත්වල දෙවිගේ නාමය සඳහන් වෙනවා හයදහස් වාරයකටත් වඩා! ගීතාවලිය 83:17 මෙහෙම කියනවා: ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයා බව ඔවුන් දැනගන්නවා ඇත.’ ඔබට උගන්වා තියෙනවාද දෙවිගේ නාමය යෙහෝවා බව? එසේ නොවේ නම්, ඔබේ ගැළවීම තියෙන්නේ අනතුරේ; මොකද, ‘යෙහෝවාගේ නාමයෙන් යාච්ඤා කරන කවරේත් ගළවනු ලබන්නේය’!—ක්‍රියා 2:21; සසඳන්න යෝවෙල් 2:32.
ආත්මයෙන්ද සැබෑකමෙන්ද
යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ වචනය වන බයිබලයටත් යොමු දැක්වූවා. සමහර කාරණා පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය ගැන විග්රහ කරද්දී, ඔහු සැමවිටම මෙහෙම කිව්වා: එය “ලියා තිබේ.” (මතෙව් 4:4, 7, 10; 11:10; 21:13) ඔහුගේ මරණයට කලින් රාත්රියේදී තම ගෝලයන් ගැන යේසුස් මෙහෙම යාච්ඤා කළා: “සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය.”—යොහන් 17:17, 18.
දෙවිගේ වචනය වන බයිබලයේ ඉගැන්වීම් පිළිබඳ තේරුම්ගැනීමක් ඇතුව සිටීම, ගැළවීම සඳහා තවත් අත්‍යවශ්‍ය දෙයක් වෙයි. (2 තිමෝති 3:16) බයිබලය විතරයි මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ: ජීවිතයේ අරමුණ මොකක්ද? දුෂ්ටකම මෙපමණ කල් පවතින්න දෙවි ඉඩහැර තියෙන්නේ ඇයි? පුද්ගලයෙක් මැරුණු විට සිදු වන්නේ මොකක්ද? ගිනිමය නිරයක දමා ඇත්තෙන්ම දෙවි මිනිසුන්ට වධ දෙනවාද? පොළොව සඳහා දෙවිගේ අරමුණ මොකක්ද?a එම කාරණා ගැන නිවැරදි තේරුම්ගැනීමකින් තොරව නිසියාකාරයෙන් දෙවිට නමස්කාර කරන්න කෙනෙකුට බැරි නිසයි, ‘සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරනවා’ කියා යේසුස් කිව්වේ.—යොහන් 4:23.
ඇදහිල්ල ක්‍රියාවට පොලඹවයි
නිකම්ම තොරතුරු ලබාගැනීමට වඩා වැඩි යමක් ගැළවීම සඳහා අයත් වෙන්න යනවා. දෙවි ගැන ඒකාන්ත දැනුම, ප්‍රතිචාරය දක්වන හෘදයක් තුළ ඇදහිල්ල නිපදවනවා. (රෝම 10:10, 17; හෙබ්‍රෙව් 11:6) එවැනි ඇදහිල්ලක් කෙනෙකුව ක්‍රියාවට පොලඹනවා. උදාහරණයක් හැටියට බයිබලය මෙහෙම අනුශාසනා කරනවා: ‘යෙහෝවා ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද, නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.’—ක්‍රියා 3:19, 20.
ඔව්, හැසිරීම සහ සදාචාරය පිළිබඳ දෙවිගේ ප්‍රමිතීන්ට කෙනෙකුව එකඟ කරගැනීම පවා ගැළවීමට අයිති වෙනවා. දෙවිගේ වචනයේ වෙනස් කරවනසුලු බලපෑම යටතේ, බොරුකීම සහ වංචාව වැනි ජීවිත කාලය පුරා පැවති පුරුදු වෙනුවට අවංකකම සහ සත්‍යවාදිකම ඇති වෙනවා. (තීතස් 2:10) නිර්මල සදාචාර හැසිරීම හේතුවෙන් සමලිංගිකතාව, කාමමිථ්‍යාචාරය සහ වේශ්‍යාකම වැනි දුරාචාර පුරුදු අත්හැර තියෙනවා. (1 කොරින්ති 6:9-11) මෙය චිත්තවේග මත පදනම් වුණු තාවකාලික වැළකී සිටීමක් නොව, නමුත් එය දෙවිගේ වචනයේ පරෙස්සම් අධ්‍යයනයක සහ අදාළ කරගැනීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ස්ථිර වෙනස්වීමක්.—එපීස 4:22-24.
කාලයාගේ ඇවෑමෙන්, දෙවි සඳහා ආදරය සහ අගය කිරීම අවංක හෘදයක් ඇති කෙනෙකුව දෙවිට සම්පූර්ණ කැපවීමක් කර වතුර බව්තීස්මයෙන් එය සංකේතවත් කරන්න පොලඹවනවා. (මතෙව් 28:19, 20; රෝම 12:1) බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ ඇස් ඉදිරියේ ගළවනු ලබනවා. (1 පේතෘස් 3:21) මේ දුෂ්ට ලෝකයට එන විනාශය අතරේදී, ඒ පීඩාවෙන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් දෙවි ඔවුන්ව ගළවන්න යනවා.—එළිදරව් 7:9, 14.
ගැළවීමෙන් ඔබට අදහස් කළ හැකි දෙය
ගැළවීම ලබාගැනීම කියන්නේ නිකම්ම ‘ස්වාමි වූ යේසුස් ඔබේ හෘදයේ සිටීමට’ වඩා වැඩි දෙයක් බව මේ කෙටි සාකච්ඡාවෙන් පැහැදිලියි. යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඒකාන්ත දැනුමක් ලබාගැනීම සහ කෙනෙකුගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගැනීම එයින් අදහස් කරනවා. මෙසේ කිරීම අධෛර්යය කරවන්නක් මෙන් හැඟුණත්, මේ වෑයම සඳහා උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. නොමිලේ පවත්වනු ලබන නිවාස බයිබල් පාඩමක් මාර්ගයෙන් සැබෑ ගැළවීමේ මාර්ගයේ ගමන් කිරීමට පටන්ගන්න ඔබට උපකාර කරන්න ඔවුන්ට පුළුවන්.b
දෙවිගේ පැමිණෙන විනිශ්චය දවසේ ආසන්නභාවය සිහියේ තබාගෙන ගැළවීමේ මාර්ගයේ ගමන් කිරීම වෙන කිසිදාකටත් වඩා හදිසියි! අනාගතවක්තෘගේ වචනවලට අවනත වීමට කාලයයි දැන්: ‘යෙහෝවාගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත් වෙන්න. යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, ඔහුව සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.’—ශෙපනියා 2:2, 3.
[පාදසටහන්වල]
a මේ විෂයන් පිළිබඳ සාකච්ඡාවක් සඳහා කරුණාකර, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත බලන්න.
b නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමකට ඔබ කැමති නම්, කරුණාකර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවකට දන්වන්න. එසේ නැත්නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න ඔබට පුළුවන්.
[6වන පිටුවේ කොටුව]
ගැළවීම අත්වන්නේ . . .
◻ දෙවි සහ යේසුස් ගැන ඒකාන්ත දැනුම ලබාගැනීමෙන්.—යොහන් 17:3.
◻ ඇදහිල්ල පැවැත්වීමෙන්.—රෝම 10:17; හෙබ්‍රෙව් 11:6.
◻ පසුතැවිලි වී හැරීමෙන්.—ක්‍රියා 3:20; එපීස 4:22-24.
◻ කැප වී බව්තීස්ම වීමෙන්.—මතෙව් 16:24; 28:19, 20.
◻ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙහි නොකඩවා යෙදීමෙන්.—මතෙව් 24:14; රෝම 10:10.
[7වන පිටුවේ පින්තූර]
බයිබලය අධ්‍යයනය කිරීම, ඉගෙනගත් දේ අදාළ කරගැනීම, කැපවීම සහ බව්තීස්මය ගැළවීම සඳහා මඟ පෙන්වන පියවර වේ