අපේ රටේම මිෂනාරි ක්ෂේත්රයට පැමිණීම
මම යන ක්‍රිස්තියානි සභා කාණ්ඩය මාව පෘතුගාලයේ සිට චීනයට ගෙනියනවා—නැත්නම් ඒ වගෙයි පේන්න තියෙන්නේ. ඒත්, මගේ බිරිඳ ඔලිව් සහ මම කවදාවත් බ්‍රිතාන්‍යය දාලා යන්නේ නෑ.
රට පුරා විසිරී තියෙන, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩි වෙමින් පවතින විදේශීය-භාෂා සභාවලට අපි යනවා. ප්‍රංශයේ නෝර්මන්ඩි වෙරළෙන් කිලෝමීටර් 20ක් විතර දුරින් පිහිටි, අපට පෘතුගීසි කණ්ඩායමක්ද සිටින ජර්සි දූපතේ ඉඳලා, චීන-භාෂාව කතා කරන උනන්දුමත් ජනයා බැහැදකින්න අපි උතුරු එංගලන්තයේ සන්ඩ’ලෑන්ඩ් නගරය දක්වා යනවා. එහි සඵල, ආත්මිකව සමෘද්ධිමත් මෙන්ම භාෂා කීපයක්ම කතා කරන ක්ෂේත්රයකයි අපි වැඩ කරන්නේ. මේ අසාමාන්‍ය පැවරුම අපට ලැබුණේ කොහොමද? ඒ වගේම අපේ රටේ මිෂනාරි ක්ෂේත්රයේ සිදු වෙමින් පවතින්නේ මොකක්ද? මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න.
හැම සතියකම වෙනස් සභාවකට යමින් ඔලිව් සහ මම අවුරුදු 20ක් විතර සංචාරක වැඩයේ නිරත වෙලා තියෙනවා. අපේ සංචාරයන් අපව උතුරේ සිට දකුණට, නැඟෙනහිර සිට බස්නාහිරට, බ්‍රිතාන්‍යය පුරාම හා මෑතකදී, මධ්‍යධරණී දූපතක් වන මෝල්ටාවේ ඉන්න අපේ ක්‍රිස්තියානි සහෝදරයන් වෙතට ගෙන ගොස් ඇති අතර, එහිදී අපි කැපීපෙනෙන ක්‍රිස්තියානි සත්කාරශීලීත්වයක් අද්දැක්කා. (ක්‍රියා 28:1, 2, සසඳන්න.) මෝල්ටාවේ අවුරුදු තුනක් හිටියට පස්සේ, අපේ ඊළඟ පැවරුම කොහෙට ලැබෙයිද කියලා අපි කල්පනා කරන්න පටන්ගත්තා. සමහරවිට අපිට ගම්බද ඉංග්‍රීසි ප්‍රදේශයකට යන්න සිද්ධ වෙයි කියලා අපි හිතුවා; ඒ සඳහා අපේ මනස් සකස් කරගන්න අපි පටන්ගත්තා. විවිධ භාෂා 23ක් කතා කරන කණ්ඩායම් හා සභාවලින් සෑදුණු මේ අලුත් චාරිකාවේ සේවය සඳහා අපේ පැවරුම අපිට ලැබීම මොනතරම් පුදුමයක්ද!
සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා. මෝල්ටාවේ අපේ අද්දැකීමට අමතරව, වෙනස් පසුබිමක් හා සංස්කෘතියක් තියෙන ජනයා එක්ක අපි කවදාවත් වැඩි සම්බන්ධකමක් පවත්වලා තිබුණේ නෑ. ඉංග්‍රීසි එච්චර තේරෙන්නේ නැති අයව දිරිගන්වන්න අපිට ඇත්තෙන්ම පුළුවන් වෙයිද? වෙනත් භාෂාවල් නොදැන අපි අදහස් හුවමාරු කරගන්නේ කොහොමද? කෑම සහ අනිත් අයගේ වෙනස් සිරිත් විරිත් ගැන මොනවද කියන්න පුළුවන්? අපිට සුදුසු විදිහට සකස් වෙන්න පුළුවන් වෙයිද? මකිදෝනියෙන් වූ මේ ඇරයුමට උත්තර සැපයීමට යාච්ඤාපූර්වකව සලකා බලද්දී මෙවැනි ප්‍රශ්න අපේ මනස්වල ඇඳී ගියා.—ක්‍රියා 16:9, 10; 1 කොරින්ති 9:19-22.
භාෂා බාධකය ජයගැනීම
“භාෂා ගැන දැනුමක් මට තිබුණේ නැති නිසා සුදුසුකමක් නෑයි කියලා මුලදී මට හැඟුණා” කියලා ඔලිව් පැහැදිලි කරනවා. “සහෝදරියන්ට උපකාර කරන්න මට පුළුවන් වෙන්නේ කොහොමද කියන එක මට තේරුණේ නෑ. අපිත් එක්ක මුලින්ම බයිබලය පාඩම් කළ යුවළ කවදාවත් පැවරුමක් ප්‍රතික්ෂේප කරන්න එපා කියලා අපිව දිරිගන්වපු විදිහ එතකොට මට මතක් වුණා. අපිට කරන්න බැරි දෙයක් කරන්න යෙහෝවා අපෙන් කවදාවත් ඉල්ලන්නේ නැහැ කියලා ඔවුන් අපිට ඉගැන්නුවා.” එනිසා අපි දෙන්නා කැමැත්තෙන්ම පැවරුම භාරගත්තා.
කල්පනා කරලා බලද්දී, අපි වෙන භාෂාවක් නොදැන සිටීම හැමෝටම එකම විදිහට සලකන්න අපට උපකාර වෙලා තියෙන බව අපිට පේනවා. නිදසුනක් වශයෙන්, පැවසූ දේවල් යන්තමින් තේරුණත් සහෝදරයන් ඉංග්‍රීසි රැස්වීම්වලට ඇවිත් ඉඳගෙන ඉන්දැද්දී ඔවුන්ට හැඟුණ ආකාරය තේරුම්ගන්න, වෙනස් භාෂාවකින් පැවැත්වෙන රැස්වීම්වලට යෑමෙන් අපිටත් ඉඩ සැලැස්සුවා. ඉදිරිපත් කරන දේවල් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න අපිට ඇත්තටම රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න සිද්ධ වෙනවා. රැස්වීමේදී ඔලිව් එක ප්‍රශ්නෙකට හරි උත්තර දෙනවා. ඇය ඉංග්‍රීසියෙන් උත්තරය සූදානම් කරගෙන, සහෝදරියක ලවා ඒක පරිවර්තනය කරවගෙන, ශබ්ද වන ආකාරය අනුව පරිවර්තනය ලියාගන්නවා. උත්තර දෙන්න ඇය අත උස්සන්නේ ටිකක් අදි මදි කරමින් බව ඇය පිළිගන්නවා. සමහර වෙලාවට ඇගේ උත්සාහයන් සිනහ උපදවනවා. නමුත් මෙය ඇයව නවත්තන්නේ නෑ. “සහෝදරයන් මගේ උත්සාහය අගය කරන බව මම දන්නවා” යයි ඇය පවසනවා. “ඇරත්, මම උත්තර දෙන එකෙන් භාෂාව හොඳින් දන්න අයටත් සභාවේ උත්තර දෙන්න දිරිගැන්වීමක් වෙනවා.”
මා ගැන බලද්දී, හැම වාක්‍යයකින්ම පස්සේ පරිවර්තකයාට කාලය දෙන්න සිද්ධ වෙන නිසා කතාවල් දෙන එකත් වෙනස්. මගේ කල්පනාවේ තියෙන අදහස් පහසුවෙන්ම ගිලිහිලා යන්න පුළුවන්. මට වැඩි අවධානයක් දෙන්නත්, මගේ කරුණු විශාල ලෙස කපාහරින්නත් සිද්ධ වෙන බව මට පේනවා. නමුත් මම ඒක කරන්නේ ආශාවෙන්.
විවිධත්වයක් ඇති අපේ මෙහෙය
බ්‍රිතාන්‍යයේ බොහෝ නාගරික ප්‍රදේශවල, විදේශීය භාෂා කතා කරන ජනයා විසිරී සිටින අතර, සමහරවිට එක වීදියක ඉන්නේ දෙන්නෙක් විතරක් වෙන්න පුළුවන්; හැබැයි ඊට පස්සේ අනිත් අයව හමු වෙන්න සෑහෙන දුර යන්න සිද්ධ වෙනවා. ඒත්, ඔබ ඔවුන්ගේම භාෂාවෙන් ඔවුන්ට ආචාර කර, ඔවුන්ගේ ප්‍රතිචාරය දකින විට ඔබට ඒක වටිනවා කියලා හැඟෙනවා. මාත් එක්ක යන සහෝදරයා, ගෙවැසියාගේම භාෂාවෙන් රාජ්‍ය පණිවුඩය ඉදිරිපත් කරනවා නම් ප්‍රතිචාරය බොහෝවිට ලැබෙන්නේ ඉමහත් ප්‍රීතියකින්.
ඇත්තෙන්ම, අපේ 40 වසරක රාජ්‍ය සේවයේදී අපි අද්දැකලා තියෙන ප්‍රීතිමත්ම දේවලින් එකක් තමයි, විදේශ-භාෂා ක්ෂේත්රයක දේවසේවය කිරීම. වැඩිවර්ධනය සඳහා ඉඩප්‍රස්තා එමටයි. ජනයාට ඔවුන්ගේම මව්බසින් ඉගැන්නුවොත් මිනිසුන් හුඟදෙනෙක් ඉතා ඉක්මනටත්, ඒ වගේම වඩාත් අගය කිරීමකිනුත් ඉගෙනගන්නවාට සැකයක් නෑ. (ක්‍රියා 2:8, 14, 41) රැස්වීමක අවසානයේදී සතුටු කඳුළින් පිරි සහෝදර සහෝදරියන් දකින්න ලැබීම සිතේ බලවත් සතුටක් ඇති කරවන අතර, සමහරුන්ට මුළු වැඩසටහනටම ඇහුම්කන් දීලා, තේරුම්ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මුල් වතාවටයි.
අපිට සමහර අවස්ථාවලදී තරමක දුෂ්කරතාවකට පත් වෙන්න සිද්ධ වුණත්, ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙද්දී අඩුම තරමින් ගෙවැසියාගේම භාෂාවෙන් හැඳින්වීමවත් හදාගන්න අපි වෑයම් කරනවා. උදාහරණයක් වශයෙන්, ගුජරාටි ගෙවැසියෙකුට සාමාන්‍යයෙන් ආචාර කරන්නේ කෙම්කො කියලයි; ඒකෙ සරල අදහස “කොහොමද” කියලා අහන එකයි. පෙනෙන විදිහට, එක අවස්ථාවකදී මම වරද්දලා කිව්ව දෙයින් අදහස් වෙලා තිබුණේ හරියට මම ප්‍රසිද්ධ කෝපි වර්ගයක් නිවේදනය කරනවා කියලයි. කොහොමනමුත්, එක ගෙදරකදී මම ගුජරාටිවලින් ආචාර කළහම එක ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් මාත් එක්ක හිනා වුණා. ඒ මොහොතෙම ඔවුන් අපිට ඇතුළට එන්න කියලා කාරුණිකව අපිට කෝපි දුන්නා—හැබැයි වරද්දලා ශබ්ද කළ නිසා නම් නෙවෙයි. අන්තිමට බලං ගියාම ඒගොල්ලන් ගෙයින් ගෙට යමින් හිටි අපේ කණ්ඩායමේ සමහරදෙනෙකුගේ නෑදෑයෝ කියලා දැනගන්න ලැබුණ අතර, ඔවුන් සත්‍යය කෙරෙහි අව්‍යාජ උනන්දුවකුත් දැක්වුවා.
ඉංග්‍රීසි කතා කරන එක සහෝදරියක් අවුරුදු ගණනාවක් තිස්සේ චීන භාෂාව කතා කරන කාන්තාවකට නිතරම සඟරා දුන්නා. ඇය ඉඳහිට කාන්තාවට නිවාස බයිබල් පාඩමක් ඉදිරිපත් කරලා තිබුණත් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. චීන භාෂාව ඉගෙනගනිමින් ඉන්න සහෝදරියක් දිනක් ඈ එක්ක ගිහින්, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොත ඒ භාෂාවෙන් ඉදිරිපත් කළ අතර, උනන්දුව දැක්වූ ගෙවැසියා කැමැත්තෙන්ම ඒක ගත්තා.a දැන් ඇගේම භාෂාවෙන් පොත තියෙන නිසා ඈ බයිබල් පාඩමකට කැමති වුණා. කාන්තාවගේම භාෂාවෙන් කිව්ව ඒ වචන ස්වල්පය සම්පූර්ණ වෙනසක් ඇති කළා.
වෙනස් සංස්කෘතීන්
තම භාර්යාවන් රෑපානේ තනියෙන් යනවාට සමහර සංස්කෘතීන්වල පුරුෂයන් අකමැති බව අපට වැටහිලා තිබුණේ නෑ. ඒ නිසා සහෝදරියන් හුඟදෙනෙක්ට හවස පැවැත්වෙන රැස්වීම්වලට යන්න හරිම අමාරුයි. විවාහ නොවෙන්න තීරණය කරන යෞවන ස්ත්‍රීන්, දිගටම ගෙදර ඉඳීම පවුලට අවනම්බුවක් කියලා ඇතැම් ආසියාතික ප්රජාවාසීන් විශ්වාස කරනවා. යෞවන සහෝදරියකට විවාහ වෙන්න කියලා ඇගේ පවුලේ අය තෝරා දුන් තැනැත්තා සමඟ විවාහ වෙන්න ඇය ප්‍රතික්ෂේප කළ විට ඇගේ පියා වහ බොන්න හැදුවා. ඔව්, ඒ වගේ සහෝදරියන්ට විඳින්න වෙන්නේ ඇත්තෙන්ම පුදුම දේවල්! කොහොමනමුත්, පවුලේ අයගේ ජීවිත කෙරෙහි සත්‍යයට තියෙන බලපෑමත්, ඒ සහෝදරියන් තුළ යෙහෝවාට තිබූ පක්ෂපාතකමත් ඔවුන්ගේ දෙමාපියන්ගේ සිත්ගන්නා විට, එය ඇත්තෙන්ම චමත්කාරජනකයි.
මේ පැවරුමේ යෙදෙද්දී අපිට යම් වෙනස්කම් කරන්න සිද්ධ වුණා. අපි සංචාරක වැඩය පටන්ගන්න ඉස්සෙල්ලා මට ඕන වුණේ ඉංග්‍රීසි ක්‍රමයට හැදුව කෑමයි; නමුත් දැන් කෑමවල තුනපහ වැඩි වෙන තරමට කෑම තවත් රසයි. අමු මාළුවල ඉඳලා ව්‍යාංජන දක්වා විවිධත්වයක් තියෙන ඒ වගේ කෑම කන්න මෙච්චර කාලයක් ගත වුණ එක ගැන අපි කනගාටු වෙනවා.
දීප්තිමත් අපේක්ෂා
බොහෝ ප්‍රදේශවල විදේශීය-භාෂා ක්ෂේත්‍ර වැඩිවීමට කාලය මෙය බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. විවිධ භාෂාවලින් ප්‍රකාශන වැඩි වැඩියෙන් දැන් ලබාගන්න පුළුවන්. අලුත් සභා සංවිධානය කිරීමත් සමඟම ඔබට යෙහෝවාගේ ආශීර්වාද තියෙන බව දැනෙයි. වෙනත් භාෂා ගැන දැනුමක් තියෙන සහෝදරයෝ උපකාර කරන්න දුර බැහැරින් පැමිණෙනවා.
ප්‍රංශයේ රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රතිචාරය දැක්වීම විශිෂ්ට ආදර්ශයක්ව තිබෙනවා. මෑත අවුරුදුවලදී ප්‍රංශ භාෂාව කතා කරන හුඟදෙනෙක් සයරෙන් හා වෙනත් අප්‍රිකානු රටවලින් බ්‍රිතාන්‍යයට ඇවිත් ඉන්නවා. ප්‍රංශ භාෂාව කතා කරන මුල්ම සභාව ලන්ඩන්වල පිහිටෙව්වහම රාජ්‍ය ප්‍රචාරකයන් 65දෙනෙක් විතර එක්රැස් වුණා. අවුරුද්දකට පස්සේ ඒ ගණන 117කට පැනලා තිබුණ අතර, 48දෙනෙක් ස්ථාවර පුරෝගාමීන් වශයෙන් පූර්ණ-කාලීනව සේවය කළා. වැඩි කල් නොගොස් වැඩි වන උනන්දුව සඳහා සැලකිලිමත් වෙන්න දෙවනි සභාවකුත් පිහිටෙව්වා. උනන්දුව දක්වන අයට දැන් වැඩි අවධානයක් දෙන්න පුළුවන් වන අතර, 1995 සිහි කිරීමේ උත්සවයට 345දෙනෙක් පැමිණුණා. බෙනින්, අයිවරි කෝස්ට්, මොරොක්කෝ සහ සයරේවල කලින් සේවය කළ ගිලියඩ් උපාධිධාරීන් වැඩිදියුණු වන මේ ක්ෂේත්‍ර සඳහා සැලකිල්ල දක්වන්න ඔවුන්ගේ අද්දැකීම දැන් යොදාගන්නා අතර, තියෙන්නේ පුදුම ප්‍රතිචාරයක්.
වරක් ප්‍රංශ සභාවකට යද්දී, මම යෞවන අප්‍රිකානු ස්ත්‍රියක් සමඟ බයිබල් පාඩමකට ගියා. අපි පිටත් වෙන්න හදන කොට, යෞවන ස්ත්‍රිය මෙහෙම ආයාචනා කළා: “කරුණාකරලා යන්න එපා. තව ටිකක් ඉන්න.” ඇයට ඕන වුණේ තවත් දේ දැනගන්නයි. ඇය මට පළමු-ශතවර්ෂයේ ලිදියාව මතකයට නැංවූවා.—ක්‍රියා 16:14, 15.
විදේශීය භාෂාව කතා කරන කුඩා කණ්ඩායම්වලට සභාවල් බවට පත් වෙන්න උපකාර කරන එක අපේ මූලික වැඩය වෙලා තිබුණා. සතිපතා පොත් පාඩම පැවැත්තුව සහෝදරයන්ට, මාසෙකට සැරයක් කෙටි දිව්‍යාණ්ඩු සේවා පාසැලක් පැවැත්වීම අපි හඳුන්වලා දුන්නා. මෙය ඔවුන්ට ක්ෂේත්‍ර දේවසේවයේදී හොඳින් කතා කරන්න උපකාර වෙනවා. එවිට ඔවුන් ක්‍රමානුකූලව සතිපතා සභා රැස්වීම් පහම පවත්වන්න කටයුතු කළා. දැනටමත් අපිට චීන (කැන්ටන් උපභාෂාව), ප්‍රංශ, ගුජරාටි, ජපන්, පෘතුගීසි, පන්ජාබි, දෙමළ සහ වේල්ස් භාෂාව කතා කරන අලුත් සභා තියෙනවා.
අපි බීරි සහෝදරයන්ගේ රැස්වීම්වලට සහභාගි වීමේ ප්‍රස්තාවත් භුක්ති විඳලා තියෙනවා. තමන්ගේ අත්වලින් ගීතිකා කියන සහෝදරයන්ව බලද්දී ඇත්තෙන්ම එය හැඟීම් දනවන දෙයක් වුණා. ඔවුන්ගේ දේවසේවයේදී ඔවුන් කතා කරන්නේ අංගචලනය මගින් බව වටහාගත් මම, රාජ්‍ය දේශනාවේ හවුල් වෙන්න ඔවුන් දරන විශිෂ්ට වෑයම අගය කරනවා. බීරි සහ අන්ධ අය සඳහා සංඥා භාෂා පරිවර්තකයන් පවා ඉන්නවා. කිසි කෙනෙක් අතපසු නොවෙන බවට යෙහෝවා වගබලා ගන්න බව පෙනෙනවා.
අපිට විශේෂ ඉල්ලීමක් කරන්න තිබුණා නම් එය යේසු පැවසූ දෙය හා සමාන එකක් වේවි: “ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න.” (මතෙව් 9:38) අපේ සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක්, තම සභා බලප්‍රදේශයේ ඉන්න ජනවාර්ගික කණ්ඩායම්වල භාෂා ඉගෙනීමේ අභියෝගය පිළිගනිමින් සිටිනවා. විවිධ භාෂා කතා කරන්න අපිට ආශ්චර්යවත් ලෙස ආශීර්වාද ලැබී නොතිබුණත්, කැපීම සඳහා පැසී තිබෙන ක්ෂේත්රයක් වන මේ රටේ මිෂනාරි ක්ෂේත්රයේ මෙහෙය යෙහෝවා ඇත්තෙන්ම පුළුල් කරමින් සිටිනවා. (යොහන් 4:35, 36)—කොලින් සෙමුව’ පැවසූ පරිදි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.